අතිශය කාර්යබහුල දේශපාලනික ජීවිතය හේතුවෙන් වසර ගණනාවක් පුරා සිංහල සිනමා ක්‍ෂේත්‍රයෙන් බැහැරව සිටි ප්‍රකට, දක්‍ෂ සිනමා කලාකරුවකු වන ප්‍රවීණ රංගන ශිල්පී ජීවන් කුමාරතුංග නැවත සිනමාවට ආගමනය වීම පසුගියදා දක්නට හැකිවිය. බොහෝ නිහතමානී මෙන්ම කාගේත් සිත් දිනාගත් දේශපාලකයකු සහ ප්‍රවීණ රංගධරයකුද වන ජීවන් කුමාරතුංග මෙවර වසර ගණනාවකට පසුව සිංහල සිනමාව අතික්‍රමණය කරන්නේ චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු ලෙසිනි. එනම කුළුඳුලේ දොරට වඩින සිනමා අධ්‍යක්‍ෂවරයකු වශයෙනි. වසර 35කට අධික කාලයක් ප්‍රකට රංගන ශිල්පියකු ලෙස සිටි ජීවන් මෙවර තම නිර්මාණය අධ්‍යක්‍ෂණය කරමින් එහි ප්‍රධාන භූමිකාවක්ද නිරූපණය කරයි.
“ජීවා” නමින් නම් කර ඇති මෙම සිංහල චිත්‍රපටයේ මුහුරත් උළෙල පසුගියදා කොළඹ කින්ග්ස්බරි හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙම උත්සවයේ ප්‍රධාන අමුත්තා වශයෙන් පැමිණියේ ව්‍යාපාරික ක්‍ෂේත්‍රය, කලාව සහ ක්‍රීඩා ක්‍ෂේත්‍රවලද ප්‍රබල නමක් හිමිකරගෙන ඇති, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ වත්මන් සභාපති කිෂූ ගෝමස් මහතාය. එහිදී ඔහු ප්‍රධාන දේශනය පවත්වමින් කියා සිටියේ ජීවන් කුමාරතුංග වැනි හසල දක්‍ෂතා ඇති රංගන ශිල්පියකු, චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු වශයෙන් දොරට වැඩීම අතිශය සතුටට පත්වීමට හේතුවක් බැව්ය. එමෙන්ම වත්මන් සමහර පාර්ශ්ව පවසන පරිදි වත්මන් සිනමාව කඩාවැටී ඇතැයි කියන කතාව අසත්‍යයක් බවත්, හොඳ සිනමා නිර්මාණ බිහිවන්නේ නම් ජනතාව ඒ කෙරෙහි ඇදී එන බවත්ය.
රංගන ශිල්පියකු මෙන්ම හිටපු අමාත්‍යවරයකුද වන ජීවන් කුමාරතුංග මහතා කතා කරමින් කියා සිටියේ,
තමන් අධ්‍යක්‍ෂණය කර නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන්නේ ජනතාවට සමීප වන වාණිජමය තේමාවක් ඇති එහෙත් ගුණාත්මකභාවයකින් යුත් සිනමා නිර්මාණයක් බවය. ඒ සඳහා තමන් දැඩි කැපකිරීමක් සිදු කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවද පැවසීය. එය සම්පූර්ණයෙන්ම ජනතාව ආදරයෙන් වැලඳ ගන්නා පොදු සමාජයීය කතාවක් වනු ඇතැයිද ඔහු අවධාරණය කර සිටියේය. මෙම චිත්‍රපටයේ තමන් සමඟ වසර කිහිපයක නිහැඬියාවකින් සිටි තවත් ප්‍රවීණ රංගන ශිල්පිනියක වන සංගීතා වීරරත්න ප්‍රධාන නිළි භූමිකාව නිරූපණය කරන බවද පැවසීය.
ප්‍රවීණ රංගධර රවීන්ද්‍ර රන්දෙණිය මහතාද මෙම උත්සවය අමතමින් ප්‍රකාශ කර සිටියේ,
ජීවන් කුමාරතුංග වැනි ප්‍රවීණ ශිල්පීන් නැවත සිනමාවට ආගමනය වීම අතිශය සතුටට කරුණක් බවය. එමෙන්ම ඔහු සිනමා අධ්‍යක්‍ෂණයට පිවිසීමද ඉතාමත් සතුටුදායක පුවතක් වන අතර, ඔහු අතින් සාර්ථක සිනමා නිර්මාණයක් බිහිවනු ඇතැයි තමන් විශ්වාස කරන බවත්ය. විවිධ දේශපාලනික කරුණු කාරණා නිසා ජීවන් කුමාරතුංග සිනමාවෙන් ඉවත්ව සිටීම විශාල පාඩුවක් බවද ප්‍රකාශ කර සිටියේය.
“ජීවා” චිත්‍රපටයේ රූගතකිරීම් කටයුතු මෙම සතියේදී ආරම්භ කිරීමට නියමිතය. තරුණ ව්‍යාපාරික යුවළක් වන තිළිණි ප්‍රියමාලී සහ ඉසුරු බණ්ඩාර “තිකෝ ෆිල්ම්ස්” වෙනුවෙන් මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරයි. ජීවන් කුමාරතුංග සහ සංගීතා වීරරත්න සමඟ ක්ලීටස් මෙන්ඩිස්, මීනා කුමාරි, දර්ශන් ධර්මරාජ්, කැලුම් ආරියන් සහ තවත් ජනප්‍රිය නළු නිළියන් කිහිපදෙනෙක්ම මෙම නිර්මාණයට දායක වෙති. මෙහි තිර රචනය කැළුම් ආරියන්ද, කැමරා අධ්‍යක්‍ෂණය ප්‍රවීණ කැමරා අධ්‍යක්‍ෂ ත්‍රිශූලදීප තඩවිට විසින්ද, සිදුකරනු ලබයි. එයට අමතරව සහාය අධ්‍යක්‍ෂණය චන්දන එදිරිසිංහ, අංග රචනය ධනුෂ්ක හුලංගමුව, සංගීත අධ්‍යක්‍ෂණය සුනිල් ධර්මසේන, සටන් අධ්‍යක්‍ෂණය වසන්ත කුමාරවිල, නිෂ්පාදන කළමනාකරණය සුසන්ත කැළුම්ප්‍රිය සහ චාමර උජෙක්ෂිතද සිදුකරනු ලබයි. “ජීවා” චිත්‍රපටයේ මාධ්‍ය සම්බන්ධීකරණය ඇන්ටන් ජේ. ප්‍රනාන්දුගෙනි.
ප්‍රියන්ත හෙට්ටිගේ