වේදිකාව, සිනමාව සහ ටෙලිනාට්‍ය යන පැතිකඩ තුනේම ප්‍රධාන චරිත රඟපාමින් කලා ක්ෂේත්‍රයේ දුර ගමනක් පැමිණි සොඳුරු නිර්මාණකරුවෙක් අපට හමුවුණා. කලකට පෙර ‘කීටයා’ ටෙලිනාට්‍ය මාලාව හරහා රහස් පරීක්ෂකයකු ලෙස අතිශය ජනප්‍රිය වූ ඔහු ප්‍රවීණ රංගන ශිල්පි පාලිත සිල්වා. සද්ද බද්ද නැතිව තමන්ගේ පාඩුවේ ඉන්න සොඳුරු නිර්මාණකරුවකු වුණු ඔහු මේ දිනවල ‘දෙවෙනි ඉනිම’ ටෙලිනාට්‍යයේ ඒකනායක සර්ගෙ චරිතය වෙනුවෙන් ඉමහත් ප්‍රතිචාර භුක්ති විඳිනවා.
පුංචි තිරයේ කලක් රජකරපු ඔබ දැන් නිරමාණවල දකින්න නැත්තෙ ඇයි?
දැන් නම් නිර්මාණ වැඩකටයුතුවල ලොකුවට නැහැ. පසුගිය දවස්වල සේනක විජේසිංහ අධ්‍යක්ෂණය කළ ‘සීරුවෙන් සිටින්’ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයක් රඟපෑවා. එය හමුදා සෙන්පතියකුගේ චරිතයක්. එයට අමතරව උදයකාන්ත වර්ණසූරියගේ ‘ප්‍රසිඩන්ට් ස්ටාර්’ සහ ‘හිතුමතේ ජීවිතේ’ චිත්‍රපට තුළින් ඉදිරියේදී දැකබලා ගන්න පුළුවන්.
නිර්මාණ අඩු නිසාද රඟපෑම පුහුණු කරන්න ගමින් ගමට යන්නේ?
මම ඒ කාලේ ඉඳල නාට්‍ය වැඩමුළුවලට සම්බන්ධ වෙලා රංගනය පිළිබඳ දැනුම ලබාදුන්නා. යුද්ධෙ කාලෙත් යන්න බැරි ප්‍රදේශවලට ගිහින් මම නාට්‍ය වැඩමුළු පැවැත්වූවා. රංගන පාසලක් ආරම්භ කරන්න කාලයක් තිස්සේ ඉඳලා මට ආශාවක් තිබුණා. ඒත් එය බැරෑරුම් දෙයක්. මොකද පාඨමාලා ගාස්තුව ගෙවාගන්නවත් බැරි අපහසුතා තිබෙන සමහර දරුවන් අදටත් ඉන්නවා. ඉතින් මෙහෙම ප්‍රදේශයෙන් ප්‍රදේශයට ගියාම ඕනෙ කෙනෙක්ට ඊට සම්බන්ධ වෙන්න පුළුවන්.
ටෙලිනාට්‍ය තේරීම, වර්ග කිරීම නිසාද පාලිත ටෙලිනාට්‍යවල දකින්න නැත්තෙ?
හොඳ ටෙලිනාට්‍ය දැන් කවුරුත් හදන්නේ නැහැ. ඒ කාලේ හොඳ ටෙලිනාට්‍ය හැදුවා. අදටත් ප්‍රේක්ෂකයන්ට ඒ නිර්මාණ විතරක් නෙවෙයි ඒ ටෙලිනාට්‍යවල චරිතත් මතකයි. දැන් බහුතරයක් හදන්නේ මෙගා නාට්‍ය. දැනටමත් මට මෙගා ටෙලිනාට්‍ය පිටපත් කිහිපයක් ලැබිලා තියෙනවා. තවම මම තීරණය කළේ නැහැ සම්බන්ධ වෙනවද නැද්ද කියලා. මොකද සල්ලි හොයන්න මම රඟපාන්න කැමැති නැහැ. කරන වැඬේ පිළිවෙළක් වගේම හරයක් තිබුණොත් මම ඊට සම්බන්ධ වෙනවා. නිකම් කරන්නම් වාලේ කරන නිර්මාණවලට සම්බන්ධ වෙන්න මගේ කිසිම කැමැත්තක් නැහැ.
ඔබේ ප්‍රධානම විෂය වෙලා තිබුණේ වේදිකාව සහ සිනමාවයි. ඒත් අපි ඔබව වැඩිහරියක්ම දැක්කේ ටෙලිනාට්‍යවල තමයි. ඒ ගැන කතා කළොත්?
ඇත්තටම මම වේදිකාවෙන් ආපු රංගන ශිල්පියෙක්. මම වේදිකාවට හදවතින්ම ආදරය කරනවා. අවුරුදු තිහක් පමණ මම ටෙලිනාට්‍යවලට කොටු වුණා. ඉතින් මගේ ලොකු ආශාවක් තිබෙනවා මා ලබපු අත්දැකීම් එකතු කරගෙන චිත්‍රපටයක් නිර්මාණය කරන්න. දැනටමත් මම පිටපත සකස් කරමින් යන්නේ. සිනමා නිර්මාණයක් කරගැනීමට නොහැකි වුණොත් ටෙලිනාට්‍යයක් හරි මම නිර්මාණය කරනවා.
අද සමාජයේ බහුතරයක් කියන දෙයක් තමයි හොඳ නිර්මාණ දකින්න නැති බව. මෙයට හේතුව?
දක්ෂ රංගන ශිල්පීන්ට පවා අද රඟපාන්න නිර්මාණ නැතුව ගෙදරට වෙලා ඉන්නෙත් මේ හේතුව නිසා. අද ටෙලිනාට්‍ය ලියන සමහරු ටෙලිනාට්‍ය පිටපත් දහයක්වත් කියවල නැහැ. ඒ විතරක් නෙවෙයි නවකතා පහක් විතර ලියනවා. හැබැයි නවකතා දහයක්වත් කියවලා නැහැ. සමහරු කවි පොත් ලියනවා. එක කවි පොතක්වත් දැකලා, කියවලා නැහැ. ඉතින් කොහොමද හොඳ නිර්මාණ බිහිවෙන්නේ?
ඒත් එම නිර්මාණ, සම්මාන රාත්‍රීන්වල ‘හොඳම නිර්මාණය’ බවට නිර්දේශ වෙනවා?
සම්මාන රාත්‍රීන්වල සම්මාන තෝරන විනිශ්චය මණ්ඩලය ගැන මම කිසිම අයුරකින් සෑහීමකට පත්වෙන්නේ නැහැ. ඔවුන් සිනමාව, ටෙලිනාට්‍ය, රූප කාව්‍ය ගැනවත් නොදැනයි නිර්මාණ තෝරන්නේ. කලාව ගැන කිසිම හැදෑරීමක් නැතිව කොහොමද ටෙලි නාට්‍යයක් තෝරන්නේ?
වසන්ත විතාරණගේ