කණ්ඩායම් සංගීතය අතිශය ජනප්‍රියත්වයට පත් යුගයේ ප්‍රසංග වේදිකාවේ තිබූ රිද්මය වෙනස් කළ කෙනෙක් සිටිනවා දැයි කාගෙන් හෝ විමසුවහොත් ඇගේ නම ප්‍රකාශ වන බව නම් ස්ථිරයි. ඒ එදා ජිප්සීස් සංගීත කණ්ඩායමේ ගීත රිද්මයට සිය නර්තන ඉදිරිපත් කරමින් සංගීත ලෝලීන් අමන්දානන්දයට පත්කරන්නට ඇයට හැකි වූ නිසාය. එදා සංගීතලෝලීන් බොහෝ පිරිසක් ඇගේ නර්තනය බලන්නටම සැදී පැහැදී ප්‍රසංගවලට පැමිණි බවත් අමුතුවෙන් අටුවා ටීකා දමා කිවයුතු නොවේ. ඉතින් එතරම් ආකර්ෂණීය නර්තන රිද්මයක් උපතින්ම උරුම කරගත් ඇය පසුකාලීනව මෙරට සියලු රූපවාහිනී නාළිකාවලත්, රියැලිටි ප්‍රසංගවත් නිතර දකින්නට ලැබුණේය. නිලන්ති ඩයස් කිව්වාම රටම දන්න ඇගේ අලුත්ම තොරතුරුයි මේ.
නිලන්ති මොනවද අලුත් තොරතුරු?
මේ දිනවල ඉතින් සුපුරුදු පරිදි නර්තන කටයුතුවල යෙදෙමින් තමයි කාලය ගතකරන්නෙ. විශේෂයෙන්ම දෙසැම්බර් 31 රෑ හිරු නාළිකාවේ යන සිහින රැයක් කියන ප්‍රසංගය සඳහා මේ දිනවල පුහුණුවීම් කටයුතු කරගෙන යනවා. ඊට අමතරව දෙසැම්බර් 21 තියෙනවා ‘රිදී රැයක්’ ප්‍රසංගය. එහිත් පුහුණුවීම් කටයුතුවල යෙදිල ඉන්නවා. ඒ කටයුතුත් එක්ක මේ දිනවල ටිකක් කාර්යබහුල වෙලා තමයි ඉන්නේ.
පවුලෙ තොරතුරු සහ කලාවට යොමුවුණු විදිය ගැන මතක් කළොත්?
අපේ පවුලෙ අම්මයි, තාත්තයි, මායි, මල්ලියි තමයි ඉන්නේ. ඉතින් ඒ කාලේ අපේ තාත්තට ස්ටුඩියෝ එකක් තිබුණා. අපි නිතරම එයට යනවා එනවා. ඒ අතරේ තමයි මට ජිප්සීස් සංගීත කණ්ඩායමට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ. නර්තන ශිල්පිනියක් විදියට එතැනින් පස්සෙ තමයි මගේ කලා ජීවිතේ ඇරැඹෙන්නෙ. මම මුලින්ම රඟපෑවේ ලාල් ප්‍රියදේව මහත්මයාගෙ පළමුවැනි චිත්‍රපටය වන ‘ජොලි හලෝ’ චිත්‍රපටයෙ. ඊට පස්සෙ මට චිත්‍රපටවලින් ආරාධනා ගලාගෙන ආවා. එතැනින් පස්සෙ චිත්‍රපට තිහක පමණ රඟපාන්න මට අවස්ථාව ලැබුණා. ටෙලිනාට්‍යයත් දහයක පමණ රඟපෑවා. හැබැයි මට ටෙලිනාට්‍ය විශාල ප්‍රමාණයකින් ආරාධනා ලැබුණත් ඒ සියල්ල භාරගන්න බැරි වුණා. නර්තන කටයුතු සමඟ තිබූ කාර්ය බහුලතාවය නිසා.
ඔබ රඟපෑ නිර්මාණ අතර කැමැතිම නිර්මා-ණයකුත් ඇති?
ඔව්… අනිවාර්යයෙන්ම තියෙනවා. දමිළ යුවතියකගෙ කතාවක් තිබුණා මීනා කියලා. එය තමයි මගේ හිතට දැනුණු චරිතය. මම ඒ චරිතය ගොඩාක් ආසාවෙන් රඟපෑවේ. එහි ලොකු වෙනසක් තිබුණා. එල්.ටී.ටී.ඊ. කලබල අතරේ දුක්විඳින යුවතියක් තමයි මීනා. ඉතින් ඇගේ චරිතයට පණ දෙන්නට ලැබීම මා ලද වෙනස්ම අත්දැකීමක්.
සිනමාවද, නර්තනයද වැඩිපුරම හොඳ?
ඇත්තටම කිව්වොත් මම නර්තනයට ගොඩාක් කැමැතියි. නර්තනය නිසා තමයි මම අද මේ තැනට ඇවිත් ඉන්නේ. අනෙක් කාරණය තමයි ගොඩාක් අය හමුවුණාම අහන්නේ කතා කරන්නේ නර්තනය ගැන. අගය කරන්නේ මගේ නර්තන හැකියාව. එහෙම බලද්දී නර්තනය නිසා මා අතිශය තෘප්තිමත් සතුටක් ලබනවා. ඉතින් එහෙම බලපුවාම නර්තනයට වැඩිපුර කැමැත්තක් තියෙනවා.
කාර්යබහුල ජීවිතේ ඇතුළේ විවේකයක් ලැබුණොත්?
විවේකයක් ලැබුණු ගමන් මම කරන්නෙම චිත්‍රපටයක් බලන එක තමයි. එහිදී ලංකාවේ ඒවාම කියලා විශේෂයක් නැහැ. ඒ ඒ කාලෙට ජනප්‍රිය ඕනෑම භාෂාවක චිත්‍රපටයක් නරඹනවා. එය තමයි මගේ හොඳම විනෝදාංශය සහ හිත නිදහස් කරගන්න කරන හොඳම දෙය.
නිලන්තිගෙ ඊළඟ ටාගට් එක?
හොඳ චරිත ලැබෙන නිර්මාණ කිහිපයකට සම්බන්ධවෙලා රංගනය වෙනුවෙන් යමක් කරන්න කැමැත්තක් තියෙනවා. ඊට අමතරව මම අම්මා කෙනෙක් විදියට මගේ දරුවාගේ අනාගතය සාර්ථක කරන්න තමයි හීන දකින්නේ. එහෙම බලපුවාම අනාගතයේදී දරුවාගේ ජයග්‍රහණ දැකල සතුටු වෙන්න පුළුවන් විදියට දරුවා නිසි මඟ යවන්න තමයි මම දැන් සිහින දකින්නේ.
ජීවිතේට අමතක නොවන තෑග්ග?
එහෙම අමතක නොවන තෑගි නම් අනන්තවත් රසික රසිකාවියන්ගෙන් ලැබිලා තියෙනවා. පොත්, සමරු, තිළිණ, මල් ඔය වගේ ගොඩාක් දේවල් තිබෙනවා. හැබැයි එක් කෙනෙක් මට දැනට වසර පහළොවකට විතර පෙර සාරියක් එවලා තිබුණා. එය තාමත් මම ළඟ සුරැකිව තිබෙනවා.
නිලන්ති කියන්නෙ කවුද?
ඇත්තටම කිව්වොත් නිලන්ති කියන්නෙ සරල සාමාන්‍ය ගැහැනියක්. මම පොළොවේ පය ගහලා ජීවත් වෙන්න කැමැති, බොරු ආටෝප නැති, අවංක, නිහතමානී කෙනෙක්, මං ගැන දන්න බොහෝ දෙනෙක් ඒ බව දන්නවා.
නර්තනයේ කිරුළ දරන නිලන්ති අලුත් තරු දකින්නෙ?
අලුත් අය බිහිවන එක හොඳයි. හැබැයි ඒ අය එකමුතු නැහැ. ප්‍රවීණ අයට ගරු කරන්නෙ නැහැ. කිසිම කැපවීමක් කරන්නේ නැහැ. ඉතින් ආවා ගියා වගේ අද ඉඳලා හෙට නැතිව යනවා වගේ පේනවා. එහෙම නොවී කැපවීමෙන්, උනන්දුවෙන් හිටියොත් එයාලටත් දිගු ගමනක් යන්න ලැබේවි.
නිලන්තිගෙ රසික රසිකාවියන්ට මොනවා හරි කියන්න තියෙනවද?
අනිවාර්යයෙන්ම ඔව්. එයාලා නිසා තමයි අද නිලන්ති ඩයස් මෙතැන ඉන්නේ. ඉතින් එයාලට ස්තුති නොකර කොහොමද මම මගේ ආදරණීය රසික රසිකාවියන්ට ගොඩාක් ආදරෙයි. එයාලට ගොඩාක් ස්තුතියි මාව අගය කරලා මේ තත්ත්වයට ගෙනාවට. ඉතින් ඉදිරියටත් මගේ නිර්මාණ බලලා රසවිඳලා මගෙත් එක්කම ඉන්න කියලා මම මට ආදරය කරන හැමෝටම කියනවා. ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඒ වගේම ඒ හැම කෙනකුටම සුබ අනාගතයක් කියලත් ප්‍රාර්ථනා කරනවා.
කුමාර රත්නායක











