ගුත්තිල චරිතය ගැන අප පොතපත තුළින් අසා තිබුණත් මෙයට පෙර නිර්මාණ හරහා දැක තිබුණත් ඒ සියල්ල අභියෝගයට ගනිමින් චිත්‍රපට අධ්‍යක්‍ෂ සනත් අබේසේකර ගුත්තිල සිනමා නිර්මාණයක් බවට පත්කර හමාරයි. නමුත් ගුත්තිල චරිතය වෙනුවෙන් සුවිශේෂී නිර්මාණකරුවකු සිනමාවට හඳුන්වා දෙනවා. ඔහු විශාරද ගායන ශිල්පී එඞ්වඞ් ජයකොඩි. ගුත්තිල වුණු ඔහු ඒ ගැන අප සමඟ කතා කළේ මේ විදියට.
මේ දවස්වල අලුත් නිර්මාණ කිහිපයක් අපිට දැකගන්නට ලැබුණා. එය ගැන කතා කළොත්?
ඔස්කා සංවිධානය ඔස්සේ නිවෙසේ සිටම ආශීර්වාද ගීතයක් කළා. ඒ වගේම සංගීත අධ්‍යක්‍ෂවරුන්ගේ සංගමය සමඟ එකතු වෙලා ගීතයක් නිර්මාණය කළා ලෝකේ ඇති වුණු කොරෝනා වසංගතය වෙනුවෙන්. එයට අමතරව මගේ පුතා චන්දීප සමඟ එකතුවෙලා රාගධාරි සංගීතය සහ බටහිර සංගීතය පුහුණු වීම් කටයුතු කරගෙන යනවා. ඔය වගේ වැඩකටයුතු එක්ක වගේම අතපසු වුණු නිර්මාණ කටයුතු ඉදිරියට කිරීමට සැලසුම් කටයුතු කරගෙන යනවා.
ඔබ මුල් කාලයේ වේදිකා රංගන ශිල්පියකු ලෙසට කටයුතු කළා නේද?
ඔව්. මම කලා ක්‍ෂේත්‍රයට පිවිසෙන කොට ආධුනික ගායන ශිල්පියෙක් විදියට තමයි කටයුතු කළේ. සෞන්දර්ය විශ්වවිiාලයේ අධ්‍යාපන කටයුතු කරන කාලේ සෙක්කුවා, නරි බෑනා, ගජමන් පුවත, අංගරා ගඟ ගලා බසී ජනප්‍රිය වේදිකා නාට්‍යවල මම රඟපෑවා. ඒ වගේම වේදිකා නාට්‍යවල පසුබිම් සංගීත අධ්‍යක්‍ෂවරයකු ලෙසට කටයුතු කළා. රඟපෑම මගේ ඇඟේ තියෙන්න ඇති. ඒත් මට වුවමනා කළේ ගායනය පැත්තෙන් මේ ක්‍ෂේත්‍රයෙන් ඉදිරියට යන්න. ඒ නිසා මම රංගනයට තිත තබා ගායනය පැත්තෙන් ඉස්සරහට ආවා.
හැබැයි ඔබ එහෙම ආවත් පසුකාලීනව සිනමා රංගන ශිල්පියෙක් ලෙසට කටයුතු කිරීමට වරම් ලැබුණා නේද?
තිස්ස නාගොඩ මහතා කිහිප සැරයක්ම මට කිව්වා චිත්‍රපටයක් කරනවා ඒකේ ප්‍රධාන චරිතය මම කියලා. ඉතින් මම කිව්වා හා මම එන්නම් සටන් කරන්න එහෙම කරන්න පුරුදු වෙලා කියලා. මම ඇත්තටම හිතුවේ විහිළුවක් කළා කියලා. මම බැහැමයි කිව්වා රඟපාන්න. ගුත්තිල චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ හරෙන් නාගොඩ විතාන, දිලිනි නාගොඩ විතාන යුවළයි. ඒ චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කරන්නේ සනත් අබේසේකර කියලා තිස්ස නාගොඩවිතාන කිව්වා. ඉතින් ගුත්තිලගේ චරිතයට මට ආරාධනා කළා. සියලුම දෙනාගේ ඉල්ලීම පරිදි මම චිත්‍රපටයට සම්බන්ධ වුණා.
ගුත්තිල චරිතය වෙනුවෙන් ඔබ ලබපු අත්දැකීම ගැන කතා කළොත්?
මම වේදිකාවේ රඟපාලා තිබුණත් ටෙලිනාට්‍යයක, චිත්‍රපටයක මෙයට කලින් රඟපාලා නැහැ. අත්දැකීම් නම් එමටයි. කියා නිම කළ නොහැකියි. මම හිතුවෙ නැහැ එවන් උතුම් බෝසත් චරිතයක් මට රඟපාන්න ලැබෙයි කියලා. රංගන ශිල්පීන් කොච්චර දුකක් විඳිනවාද, මොන තරම් කැපකිරීමක් කරනවාද කියලා මම දන්නවා මේ වෘත්තිය වෙනුවෙන්. රංගනයේදී හොඳ අධ්‍යාපනයක් තිබිය යුතුයි. මට කළ හැකි උපරිම අයුරින් ගුත්තිල චරිතය මම නිරූපණය කළා. බලන ප්‍රේක්‍ෂකයන් තීරණය කරාවි මම ඒ චරිතයට සාධාරණයක් ඉටුකළාද කියලා. එය ගැන මට දැන්ම කියන්න බැහැ.
ඉදිරියටත් ඔබ රංගනය පැත්තෙන් දායක වීමට බලාපොරොත්තුවක් තිබෙනවාද?
මම තිස්ස නාගොඩවිතාන මහතාට එදා පැවැසුවේ මේ මගේ පළමු සහ අවසාන රංගනය කියලා. ඉතින් මම බොහෝ දුරට රංගනය පැත්තෙන් සම්බන්ධ වීමට අදහසක් නැහැ. හැබැයි සිනමාව පැත්තෙන් මගේ සංගීත කටයුතු සපයනවා.
වසන්ත විතාරණගේ











