සිනමාවේ, ටෙලිනාට්‍යවල විවිධ චරිත නිරූපණය කරමින් හොඳම ළමා නිළියට සම්මාන හිමිකර ගත්ත සුරංගනාවියක් තමයි 2021 නව වසර උදාවීමත් එක්ක ‘මව්රට’ ජාතික පුවත්පතේ ‘හාට්’ කලා විශේෂාංගයේ මංගල කලාපය මෙවර හැඩගන්වන්නේ. නිර්මාණ කලාවටම පුංචි සුරංගනාවියක් ලෙසට කටයුතු කළ ඇය දැන් ටෙලිනාට්‍ය කිහිපයකම පෙම්වතියක් බවට පත්වීමත් විශේෂත්වයක්. ඉතින් ඒ කරුණු කාරණා සියල්ල ගැන කෙටි පිළිසඳරක යොහානි හෙට්ටිආරච්චි සමඟ අප සම්බන්ධ වුණා.
ඉතින් යොහානි නව වසරේ බලාපොරොත්තු රාශියක් ඇති?
මගේ එකම බලාපොරොත්තුව මේ රටේ සියලුම ජනතාවට නිදහසේ හුස්ම ගන්නට නිදුක් නිරෝගී රටක් උදාවේවි කියලා. ඒ වගේම සියලුම මිනිසුන්ගේ සිත්වල යහගුණවත් සිතුවිලි පහළවේවා කියා. එතකොට අපේ මේ පුංචි දූපත මුළු ලෝකයටම ආදර්ශවත් රටක් වෙයි.
ඔබ පළමු වතාවට ‘වැඩිවියේ’ චරිතයක් නිරූපණය කරනවා අපි දකිනවා?
ඇත්තටම මම මෙහෙම තාරුණ්‍ය චරිතයක් නිරූපණය කරන පළමු වතාව. සිහින ගෙනෙන කුමාරි, සකුනි, බේබි ගැන ගොඩදෙනෙක් කතාබහ වෙනවා. මඟතොට පාරෙවත් බැහැල යන්න බැරි තරමට ප්‍රතිචාර. සකුනි බේබි චරිතය වෙනුවෙන් මාව තෝරාගත්ත නිවන්ත ප්‍රසාර මාමාටත්, ඒ වගේම රංජන් ප්‍රසන්න මාමාට වගේම මට උදවු කළ සියලුම දෙනාට මම ස්තුතිය පුදකරනවා.
‘සකුනි’, ‘බේබි’ චරිතය හා සමානයි නේද ඔබේ ජීවිතය?
සකුනි බේබි හා සමානකම් චරිත ගති ලක්‍ෂණ මා තුළත් තිබෙනවා. හැබැයි ඉතින් මට පොඩි දේ වුණත් දරාගන්න බැහැ දුක හිතෙනවා.
දැන් ඉතින් යොහානිටත්, පෙම්වතියගේ චරිත නිරූපණය කිීමට ගලාගෙන එයි?
දැනටමත් ටෙලිනාට්‍ය දෙකකින් මට ආරාධනා ඇවිත් තියෙන්නේ පෙම්වතියගේ චරිතයට. එයත් මට නුහුරු අත්දැකීමක් වෙයි. මම ඒ ටෙලිනාට්‍ය දෙකේම ප්‍රධාන චරිත තමයි රඟපාන්නේ. හැබැයි ඉතින් ඇඟපතින් උස්මහත් වුණාට තවම මම පොඩි ළමයෙක්.
සැබෑ ජීවිතයේදීත් ඔබ දැන් පෙම්වතියක්ද?
අම්මෝ නැහැ. ඒ ගැන තවම මම හිතලවත් නැහැ. තවමත් අපේ පවුලේ හුරතලේට හැදෙන පොඩි ළමයෙක් මම.
කලා ක්‍ෂේත්‍රයේ ගොඩදෙනෙක්ට අසාධාරණකම් වෙනවා. ඔබටත් එවැනි අසාධාරණකම් වෙනවාද?
අපෝ ඕනෑ තරම් වෙලා තියෙනවා. ඔය දේවල් ගැන කතා කරන්න මම කැමැති නැහැ. ඒ දේවල් කරපු අයම දවසක පසුතැවෙයි. මම කිසිම කෙනෙක් එක්ක තරහක් නැහැ. මම මේ ක්‍ෂේත්‍රයට ගොඩාක් ආදරෙයි. ඒ හැම දෙයක්ම විඳදරාගෙන මගේ ගමන හෙමින් යනවා.
වසන්ත විතාරණගේ