ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 9 වැනි ගුවන් හමුදාපතිවරයා වූ එයාර් චීෆ් මාර්ෂල් ඔලිවර් රණසිංහ මහතා විසින් රචිත “To Survive as One Nation, One People” (එක් ජාතියක්, එක් ජනතාවක් ලෙස පැවැත්ම උදෙසා) නමැති ස්වයංචරිතාපදානය කොළඹ කිංස්බරි හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් දොරට වඩින ලදී.Sri Lanka Latest News
එතුමාගේ දශක තුනකට අධික දීර්ඝ මෙන්ම අභියෝගාත්මක ගුවන් හමුදා ජීවිතය තුළ ලැබූ සුවිශේෂී අත්දැකීම්, මෙහෙයුම් දායකත්වයන් සහ පෞද්ගලික මතකයන් රැසක් මෙම කෘතිය ඔස්සේ ඉතා රසවත්ව හා ගැඹුරින් සාකච්ඡාවට බඳුන් කර ඇත.
මෙම සුවිශේෂී අවස්ථාවට Marshal of the Sri Lanka Air Force රොෂාන් ගුණතිලක සහ වත්මන් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ යන මහත්වරුන් ඇතුළු ත්‍රිවිධ හමුදාවේ හිටපු හමුදාපතිවරුන්, උසස් රාජ්‍ය නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් රැසක් සහභාගී වූහ.
සර්ජන්ට් ගුවන් නියමුවෙකු (Sergeant Pilot) ලෙස සේවයට බැඳී, ගුවන් හමුදාවේ ඉහළම තනතුර වන ගුවන් හමුදාපති ධූරය දක්වා කැපී පෙනෙන ගමනක නිරත වූ රණසිංහ මහතාගේ දශක තුනකට අධික සේවා කාලය, මෙරට ඉතිහාසයේ අතිශය අභියෝගාත්මක මෙහෙයුම් රැසකින් සමන්විත වූවකි.
විශේෂයෙන්ම, 1985 වසරේ බ්‍රිතාන්‍ය අගමැතිනි Margaret Thatcher’s මහත්මියගේ මෙරට සංචාරය අතරතුර, දැඩි අවදානමක් ගනිමින් යාපනය කොටුවේ සිරවී සිටි සෙබළුන් 250 දෙනෙකු බේරාගැනීම සඳහා දියත් කළ ඓතිහාසික රාත්‍රී මෙහෙයුම ඉන් ප්‍රධාන තැනක් ගනී. එමෙන්ම, 1995 වසරේදී දකුණු සහ ගිනිකොනදිග ආසියාවේ ප්‍රථම වරට, නිරවද්‍ය ඉලක්ක හඳුනාගැනීම සඳහා නියමුවන් රහිත ගුවන් යානා (UAV) මෙරට ආරක්ෂක සේවා වෙත හඳුන්වා දීමට කටයුතු කළේ ද ඔහුගේ දූරදර්ශී අණදීම යටතේය.
මෙම කෘතිය මඟින් මෙතෙක් අනාවරණය නොවූ සුවිශේෂී ගුවන් හමුදා මෙහෙයුම් පිළිබඳ තොරතුරු මෙන්ම, රටේ වර්තමානය සහ අනාගතය පිළිබඳව එතුමා සතු පරිණත ආවර්ජනයන් ද ඉදිරිපත් කර තිබේ. මෙය අපට එක් ජාතියක් සහ එක් ජනතාවක් ලෙස ඉදිරියට යා යුතු ආකාරය පිළිබඳව නැවත සිතා බැලීමට පොළඹවන කෘතියක් බව උත්සව සභාව අමතමින් ප්‍රකාශකයෝ සඳහන් කළහ














