සයිබර් හැකර්වරුන්ට මුදල් ගෙවීමේ ගනුදෙනු සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදුකිරීම සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වන්නේදැයි ඊයේ (23දා) දහවල් මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදී ‘දිවයින’ ඇසූ ප්‍රශ්නයට මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා නිශ්චිත පිළිතුරක් ලබාදීමෙන් වැළකී සිටියේය.Sri Lanka Latest News
ඒ වෙනුවට මුදල් අමාත්‍යංශ ලේකම්වරයා පිළිතුරු දෙමින් සඳහන් කළේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන විසින් ගන්නා තීරණවලට අනුගතව කටයුතු කිරීමට රාජ්‍ය නිලධාරීන් ලෙස සියලු දෙනා බැඳී සිටින බවයි.
එසේම ප්‍රශ්නගත ගනුදෙනු සඳහා ඔබ අනුමැතිය ලබාදුන්නාදැයි ඊයේ මාධ්‍ය හමුව අවසානයේදී ‘දිවයින’ ඇසූ ප්‍රශ්නයට ද මුදල් අමාත්‍යංශ ලේකම්වරයා කිසිදු පිළිතුරක් ලබා නොදුන්නේය.
රට තුළ ඉමහත් ආන්දෝලනයට තුඩුදී ඇති මේ මහා භාණ්ඩාගාරයේ සිදුව ඇති ගනුදෙනු පිළිබඳව දීර්ඝ කරුණු පැහැදිලි කිරීමක් කළ මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා අවධාරණය කළේ අදාළ සයිබර් අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීම සහ ගෙවීම් සිදුකර ඇති අදාළ මුදල් ප්‍රමාණයෙන් හැකි තරම් ප්‍රමාණයක් නැවත ලබාගැනීම බවයි.
මේ මුදල් ප්‍රමාණය නැවත ලබාගැනීමට නොහැකි වුවහොත් ඒ සඳහා වගකියන්නේ කවුදැයි යනුවෙන් ‘දිවයින’ තවත් ප්‍රශ්නයක් විමසා සිටි අතර එහිදී ලේකම්වරයා කියා සිටියේ සමස්තයම ගන්න පුළුවන්ද? කොටසක් ලබාගන්න පුළුවන්ද? යන්න දැනගැනීමට ලැබෙනු ඇත්තේ නීතිමය ක්‍රියාවලිය තුළින් බවයි. එහිදී යම් අලාභයක් සිදුවුවහොත් ඊට ගන්නා පිළියම ඉදිරි පරීක්‍ෂණවලින් ලබාගන්නා තොරතුරුවලින් තීරණය කිරීමට සිදුවනු ඇති බවද හෙතෙම පැවැසීය.
දැනට සිදුකරන ලද අභ්‍යන්තර පරීක්‍ෂණවලට අනුව නිලධාරීන් කිහිපදෙනකු සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ඉදිරි පරීක්‍ෂණවලට සහාය ලබාදීම සඳහා ඇතැම් තොරතුරු අනාවරණය කළ නොහැකි බවත් ආචාර්ය සූරියප්පෙරුම මහතා කීවේය.
මේ සිදුවීම් පිළිබඳ මුදල් අමාත්‍යංශයට දැනගැනීමට ලැබුණේ 2026 ජනවාරි මාසයේදී බවත් ඉන් පසු ඇතිවූ සැකය මත පසුගිය ගනුදෙනු පරීක්ෂා කිරීමේදී අදාළ ගෙවීම් සයිබර් අපරාධකරුවන් අතට පත්වී ඇති බවට දැනගැනීමට ලැබුණු බවත් සඳහන් කළ මුදල් අමාත්‍යංශ ලේකම්වරයා තවදුරටත් කීවේ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 යනු තනි ගනුදෙනුවක් නොව ගනුදෙනු කීපයක් බවයි.










