පහුගිය දවස් නිමා වෙන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සහ සුන්දරතම නිවාඩුව. අපි ඒකට කියන්නේ අලුත් අවුරුදු නිවාඩුව කියලා. අලුත් අවුරුද්දට අපි හැමෝම විවිධාකාරයෙන් සතුටු වෙනවා. අලුත් අවුරුද්දට ප්‍රධාන ආයතන සියල්ලේම වගේ නිවාඩු හම්බවෙනවා. ඒ නිසා අපේ රටේ මිනිස්සු පුරුදු වෙලා තියෙනවා අලුත් අවුරුද්දත් එක්ක ගම්බිම් බලා යන්න. බොහෝ වෙලාවට නෑදෑ ගෙවල්වල යන්න. එහෙම ගිහිල්ලා විවේකය ඉතාම සුන්දරව ගතකරන්න විවිධ උපක්‍රම භාවිත කරනවා. ඇත්තටම ඒකට තමයි අලුත් අවුරුද්දට නිවාඩු හම්බවෙන්නේ. Sri Lanka Latest News
අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර කරන්න දවස් දෙකක් විතර වෙන්වුණාට ඉතුරු දවස් කීපයම අපි පාවිච්චි කරන්නේ රට තොට ඇවිදින්න, විනෝද සාජ්ජ, විනෝද චාරිකා යන්න, නෑදෑ ගෙවල්වල යන්න. ඒක අපේ පුරාණ ගම්තුලානවල මිනිසුන්ගේ අතීතයේ ඉඳන්ම තිබිච්ච පුරුද්දක්. සාමාන්‍යයෙන් මේක වෙන්නේ මහ කන්නයේ ගොවිතැන් බත් කරපු ගොවියා තමන්ගේ අස්වැන්න ගෙට අරගෙන නිදහසේ ඉන්න කාලය. ඒ නිසා ඊළඟ කන්නයට ගොවිතැන් බත් සරුසාර වෙලා ඒවාට අවශ්‍ය කරන කුඹුරු ඉඩකඩම් සූදානම් කරගන්නා තුරු මේ විවේකය අපේ අය ගතකරනවා. දැන් අපි රාජකාරිවලට පුරුදු වෙලා තියෙනවා, රැකී රක්ෂාවලට යන්න පටන් අරන් තියෙනවා, විවිධ ව්‍යාපාර කටයුතුවලට පුරුදු පුහුණු වෙලා තියෙනවා. විවිධ ආයතනවල අපිට රැකියාවල් ලැබිලා තියෙනවා. ඒ නිසා දැන් වෙනදා වගේ ගොවිතැන් බත් කරන උදවිය අඩුයි. ගොවිතැනින් විතරක් ජීවත් වෙන උදවිය හොඳටම අඩුයි. ගොවිතැන් බත් කළත් වෙනත් රැකියාවක්, වෙනත් ව්‍යාපාරයක් කරන අය තමයි ඉන්නේ. ඒ සියලු දෙනාම තමන්ගේ ව්‍යාපාර කටයුතු, තමන්ගේ වැඩකටයුතු ටික අඩු වැඩි වශයෙන් නතර කරලා දාලා මේ කාලේ විනෝද වෙනවා.
නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපි විනෝද වෙන්න දන්නවද? පහුගිය සතිය, නැත්නම් පහුගිය දවස් දහය අපි වෙනම ගත්තොත් ඒ දවස් දහයේ සිදුවෙච්ච ප්‍රධාන සිදුවීම් ටික මේ විදියට වර්ග කරන්න පුළුවන්. අප්‍රේල් 16 වැනිදා පස්වරුවේ හුරටියගහමුල කියන ප්‍රදේශයේදී දැදුරුඔයේ නාන්න ගිය පිරිස අතරින් අටදෙනෙක් ගෙදර එන්නේ නෑ. ඒ අයගේ මෘත ශරීර තමයි ගෙදර ගේන්න පුළුවන් වෙන්නේ. මෙතැනදී 15 දෙනකුගෙන් යුත් පිරිසක් මේ විනෝද චාරිකාවට සහභාගි වෙනවා. කොබෙයිගනේ ප්‍රදේශයේ එක්තරා පවුලක් සහ ඒ නිවසට ආපු තවත් පිරිසක් තමයි මේ විදියට දැදුරු ඔයේ නාන්න යන්නේ. දැදුරු ඔයේ ගිලෙන අටදෙනාම මියයනවා. පවුල් පිටින් මියගියපු ඛේදවාචකයක් බවට මේක පත්වෙනවා. මේ අටදෙනා මියගිය ස්ථානයේ මීට කලිනුත් පස් දෙනෙක් මියගිහිල්ලා තියෙන බව මේ මියගිය අටදෙනා අතරින් බොහෝ දෙනෙක් දන්න කාරණයක්. ඒක ප්‍රසිද්ධ දෙයක්. හැබැයි එහෙම තියෙද්දි තමයි මේ අය මෙතැන නාන්න යන්නේ.
තඹුත්තේගම නල්ලච්චිය වැව ප්‍රදේශයේ සිද්ධ වෙච්ච ඛේදවාචකය අප්‍රේල් 18 වැනි දින වාර්තා වෙනවා. මේ ස්ථානයේ නාන්න ගිය උපකාරක පන්ති ගුරුවරයෙක් සහ උසස් පෙළ සිසුවෙක් ඇළ මාර්ගයට වැටිලා ඔවුන්ව ගහගෙන ගිහිල්ලා පසුව ඔවුන්ගේ ප්‍රාණය නිරුද්ධ වෙච්ච සිරුරු තමයි ගොඩගන්න පුළුවන් වෙන්නේ.
ඒ වගේම මිහින්තලේ මරදන්කුලම වැව ආශ්‍රිතව සිදුවෙච්ච ඛේදවාචකය ගැනත් අපිට දැනගන්න ලැබුණා. දියේ ගිලෙමින් හිටපු අවුරුදු 11ක සහ 12ක දරුවෝ දෙදෙනෙක් ජීවිතය ඉල්ලලා කෑගහන හඬ ඇහෙනවා. මේක දැක්ක එක්තරා පුද්ගලයෙක් ඔවුන්ව බේරගන්න යනවා. නමුත් දරු දෙදෙනා නිරුපද්‍රිතව බේරගත්තත් ඔවුන්ව බේරගන්න ගිය 55 හැවිරිදි පුද්ගලයාගේ මෘත ශරීරය තමයි අලුත් අවුරුද්දේ නිවසට ගේන්න සිද්ධ වෙන්නේ.
ඒ වගේම අපි දැක්කා දෙහිඕවිට සීතාවක ගඟ කියන ප්‍රදේශයේ සිදුවීමක් වාර්තා වුණා. මේ සිදුවීමේදී සිද්ධ වෙන්නේ හුංගුරුලකන්ද කියන ප්‍රදේශයේ ඉඳලා සීතාවක ගඟේ නාන්න ගිය පිරිසක් අතරින් 17 හැවිරිදි තරුණයෙක් දියේ ගිලිලා ජීවිතක්ෂයට පත් වෙනවා. ඉතාම ඛේදජනක සිදුවීමක් වාර්තා වෙනවා පිළියන්දල හෝටලයක පිහිනුම් තටාකයක. මේක වැවක, ගඟක, ඔයක නෙවෙයි, පිහිනුම් තටාකයක. පිහිනුම් තටාක පිළිබඳ අපි මීට කලිනුත් ඉතාම සවිස්තර ලිපියක් ලිව්වා. පිහිනුම් තටාකවල සිදුවීම් ගැන අපි මීට වඩා ඉතාම ඉහළින් පැහැදිලි කළා. නමුත් ඒක අපේ රටේ මිනිස්සු කියවලවත් තේරුම් අරගෙනවත් නැහැ. දම්පේ ප්‍රදේශයේ හෝටලයක තිබිච්ච අවුරුදු උත්සවයක් අතරතුර හය හැවිරිදි ගැහැනු දරුවෙක් පිහිනුම් තටාකයට වැටිලා මියයනවා. ඇගේ මව ඉන්නේ විදේශගතව. ඉතින් මේ පවුලේ අයත් එක්ක ඔවුන් ගිහිල්ලා ඇති ඒ ස්ථානයට. ක්ෂණිකවම ක්‍රියාත්මක වෙලා ඔවුන්ව රෝහල්ගත කළත් මේ දරුවා බේරගන්න බැරිවෙනවා.
ඔබට මතක ඇති විශාල සිදුවීමක් වාර්තා වුණා සේරුවිල මහවැලි ගඟ ප්‍රදේශයේදී. පවුලක්ම මේ විනෝද චාරිකාවට සහභාගි වෙලා තියෙනවා. එතැනදී තමන්ගේ පියා ගිලෙමින් ඉන්නවා, ඔහුගේ කෙණ්ඩ පෙරළිලා කියලා ඔහු කෑගහනවා. මහවැලි ගඟේ වළකට වැටිලා තමයි ඔහු ජීවිතය ඉල්ලලා කෑගහන්නේ. ඔහුගේ පවුලේ දරුවෝ පස් දෙනෙක් ඉන්නවා මම නිවැරදි නම් පිරිමි දරුවෝ, එක් අයෙක් විදේශගතව ඉන්නේ. ඉතුරු හතර දෙනාම මේ වෙලාවේ නාන්න ගිහිල්ලා ඉන්නවා. ඉන් තුන් දෙනෙක් මේ ස්ථානයේ ඔහුව බේරගන්න ගඟට පනිනවා. එතැනදී වයස අවුරුදු 24, 34 සහ 35 කියන වයස්වල ඉන්න සහෝදරයෝ තුන් දෙනාම මියයනවා. මේ තාත්තා සහ එක සහෝදරයෙකුට විතරයි ජීවිතය බේරගන්න පුළුවන් වෙන්නේ.
හබරාදූව මුහුදු වෙරළේ විනෝද චාරිකාවකට ආපු කටුනායක ප්‍රදේශයේ පුද්ගලයෝ පිරිසකටත් මෙවැනි විපතකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතැනදී වයස අවුරුදු 21, 26 කියන වයස්වල තරුණයෝ දෙදෙනෙක් මුහුදේ ගසාගෙන යනවා. පසුව තමයි ඔවුන්ගේ මෘත ශරීර සොයාගන්න ලැබෙන්නේ. කැලණි ගඟේ පිරිසක් සමග දිය නාන්න ගිය හැටන් ප්‍රදේශයේ පුද්ගලයකුත්, ඔහු අවුරුදු 46ක පුද්ගලයෙක් විදියට තමයි දැනගන්න ලැබුණේ, සැඩපහරට හසු වෙනවා. ඔහුගෙත් පසුව ඔහුව බේරගන්න බැරි වෙනවා. ඔහුගේ මෘත ශරීරය තමයි මේ විදියට සොයාගන්න ලැබෙන්නේ.
ඉතින් මේ විදියට ජල මූලාශ්‍ර විශාල ප්‍රමාණයක නාන්න ගිය විනෝද චාරිකාවලට සහභාගි වෙච්ච පිරිස්වලට බරපතළ අනතුරුවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. මෙවැනි අනතුරු සෑම වසරකම වාර්තා වෙනවා. මේ අද විතරක් නෙමෙයි. මේ වෙලාවේ ඇත්තටම අපි දන්නවා ලංකාවටම වහින්නේ නැති කාලයක් තිබ්බේ. ඉතින් ජල මූලාශ්‍රවල ජලය ගොඩක් අඩුයි. ජලය අනතුරුදායක විදියට පිරිලා ඉතිරෙන කාලයක් නෙමෙයි මේක. නමුත් එහෙම කාලයකත් අපි මේ ස්ථානවලට ගිහිල්ලා අපේ ජීවිත පූජා කරලා තියෙනවා. පිළියන්දල ප්‍රදේශයේදී සිදුවූ සිදුවීම හැරුණු කොට අනිත් සියල්ලම අනාරක්ෂිත ස්ථානවල දිය නෑමට ගිහිල්ලා වෙච්ච අනතුරු.
නොදන්න මුහුදේ, නොදන්න ගඟේ, නොදන්න වැවේ, නොදන්න ඔයේ සෙල්ලම් කරන්න එපා කියලා අපි සාමාන්‍යයෙන් කියනවා. හැබැයි මෙතන සමහර වෙලාවට සිද්ධ වෙලා තියෙන්නේ කොබෙයිගනේ සිදුවීම වගේ සිදුවීම් ගත්තාම, ඔවුන් දන්න ජල මූලාශ්‍රයක්, ඔවුන් හඳුනන තැනක්, නිතර යන එන තැනක්. අනතුරු වූ බව දන්නවා, අනතුරු වෙන හැටි දන්නවා, අනතුරුවලින් ආරක්ෂා විය යුතු ආකාරය ගැන දැනගෙන ඔවුන් පරිස්සම් වෙලා නාන්න උත්සාහ කළා කියලත් සඳහන් වෙලා තියෙනවා. ඒ නිසා අපිට තේරෙන දේ තමයි දන්න ගඟද නොදන්න ගඟද, දන්න වතුරද නොදන්න වතුරද, දන්න ඔයද නොදන්න ඔයද කියලා එකක් නැහැ. ජලය අනතුරුදායකයි.
දරුවන්ව බස්සන්න එපා නොදන්නා පිහිනුම් තටාකයකටවත්. පිහිනුම් උපදේශකයෙක් නැති තැනක ජලය කියලා කියන්නේ කොයි වෙලාවේ ඔබට මරණය අරන් එයිද කියන්න බැහැ. අපේ රටේ යුද්ධයක් නැහැ, අපේ රටේ මේ වෙලාවේ ත්‍රස්තවාදීන් නැහැ, අපේ රටේ බෝම්බ ප්‍රහාර නැහැ. නමුත් 26 දෙනෙක් මියයනවා. ඉතින් ඒක එතරම් හොඳ දෙයක් නෙමෙයි. ඒක ඉතාම භයානක දෙයක්. අපි රටක් විදියට බරපතළ විදියට සාකච්ඡා කරන්න ඕනෙ මාතෘකාවක්. මේ 26 දෙනාම අලුත් අවුරුද්ද ගෙවිලා ටික දවසක් යනකොට අලුත් අවුරුද්දට නෑදෑයෝ ගෙදර එන කාලේ ගෙදර මෘතශරීර වෙලා ඇවිල්ලා.
ඒක කනගාටුදායකයි. අපි ශෝකය පළකරනවා. ඒ වගේම අපි ඔබට කියනවා මේ මෘතශරීර 26 දිහා බලන්න. මේ මැරුණ මිනිස්සුන්ගේ කතා අහන්න. මේ මැරුණ මිනිස්සු ගැන හොයන්න. ඔබ ඒ කොටසට එකතු නොවී ඔබේ ජීවිතය පරිස්සම් කරගන්න. අනතුරක් වෙන එක, ලෙඩක් දුකක් හැදෙන එක, ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්වෙන එක අපිට වළක්වන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි ඔබ ගිහිල්ලා ඇඳුම් ගලවලා තියලා ගඟකට, ඔයකට බැහැලා ඒකේ වතුරේ පීනන්න බැරි තැනකට ගිහිල්ලා ගිලිලා මැරුණාම ඔබට කාටවත් චෝදනා කරන්න අයිතියක් නැහැ. චෝදනාව කරන්න තියෙන්නේ අපිට ඔබට.
ඔබ රටට වටිනවා. ඔබ මේ මහ පොළොවට වටිනවා. ඔබ මේ රට වෙනුවෙන් සේවයක් කරන්න උපන් මනුස්සයෙක්. කොහොමද ඔබ ඔබේ ජීවිතය ඒ තරම් නොවටිනා බව තීරණය කරලා රුපියලකට ගණන් නොගෙන මේ විදියට ජීවිත පූජා කළේ? ඔබ දන්නේ නැහැ ඔබ අපිට, ඔබේ දෙමවුපියන්ට, ඔබේ පවුලට, මේ මහ පොළොවට කොච්චර වටිනවද කියලා. ඒ නිසා ඔබේ ජීවිතය ඒ විදියට නැති කරගන්න එපා. විනෝද වෙන්න වෙන ක්‍රමයක් හොයාගන්න. ගංදෑලක, ඔයදෑලක, වැව් ඉවුරක, වැව් තාවුල්ලක ඒ දිහා බලාගෙන කතා කර කර ඉන්න. ආදරවන්තියත් එක්ක සාකච්ඡා කරන්න. හුදකලාවෙ සින්දුවක් අහන්න. ඔබට මීට වඩා විනෝදයක් ලැබෙයි. ඔබ මියයන්නේ නැහැ. ඔබ ආරක්ෂිතයි. ඔබ අනාරක්ෂිත නැහැ. ඔබ වටිනවා. ඒ නිසා මේ සෙල්ලම දැන්වත් නවත්තමු. මේ මරණ ගණනය දැන් අපිට ඇති.

ජීවන පහන් තිළිණ










