ශ්‍රී ලංකාව කිහිප වතාවක්ම ගූගල් අන්තර්ජාල සෙවුම හරහා ලෝකයේ SEXවචනය වැඩිම පිරිසක් සොයාබැලූ රට බවට පත්විය. ලිංගිකත්වය පිළිබඳ කතාකිරීම තවමත් මෙරට තුළ රහසක් සේ පවතින අතර ලිංගික අධ්‍යාපනය පාසල් විෂය මාලාවට එක් කිරීමට ගත් උත්සාහයන්ට ආගමික සංස්ථා ඇතුළුව සමාජයේ ඇතිවූ විරෝධය මැද හකුළා ගන්නට සිදුවිය. (Sri Lanka Latest News)
වත්මන් රජය මාර්ගගත සුරක්ෂිතභාවය පිළිබඳ වූ පනත ගෙන එන අවස්ථාවේදී ප්‍රකාශ කළ එක් ප්‍රධන හේතුවක් ලෙස සඳහන් කළේ දරුවන්ට හා කාන්තාවන්ට අන්තර්ජාලය හරහා වන අපරාධ වැළැක්වීමය. එවන් පසුබිමක් තුළ මාර්ගගත ක්‍රම හරහා දරුවන් සම්බන්ධ ප්‍රකාශන හෙවත් ළමුන්ගේ අසභ්‍ය ඡායාරූප හා වීඩියෝ සම්බන්ධව ලැබෙන පැමිණිලි වැඩිවී ඇතැයි අපට අනාවරණ කරගැනීමට හැකි විය.
ළමුන් සම්බන්ධ අසභ්‍ය පළකිරීම් 10ක් සම්බන්ධව මේ වසරේ මුල් මාස තුනේ දී පමණක් වාර්තා වී ඇති බව පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය අනාවරණ කළේය. මෙවැනි සිදුවීම් සම්බන්ධව පසුගිය වසර දෙකකට සාපේක්ෂව මේ වසරේ පැමිණිලි ලැබීම ඉහළ ගොස් ඇති අතර එම කාර්යංශයේ දත්තවලට අනුව 2022 වසරේ පැමිණිලි 13ක් සහ 2023 වසරේ දී පැමිණිලි 12ක් ලැබී තිබේ.
ළමුන්ගේ අසභ්‍ය ප්‍රකාශන සම්බන්ධ ලක්ෂයකට වැඩි වාර්තා
මීට අමතරව International Centre for Missing & Exploited Children සංවිධානයේ NCMEC දත්ත පද්ධතිය හරහා ළමුන් සම්බන්ධ අසභ්‍ය ප්‍රකාශන සම්බන්ධ ලක්ෂයකට වැඩි වාර්තා තමන් වෙත ලැබෙන බව බීබීසී සිංහල සේවය හා සම්බන්ධ වූ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර කියා සිටියාය.
සියලු සමාජ මාධ්‍යවල හෝ සයිබර් අවකාශයට ළමයකුගේ නිරුවත් ඡායාරූප, වීඩියෝ දර්ශන යම් පුද්ගලයෙකු විසින් මුදාහරින්නේ නම්, සමාජ මාධ්‍ය තුළ බෙදාහරින්නේ නම් හෝ එවැනි වීඩියෝ නිතර නිතර නරඹනවා නම් එම තොරතුරු අදාළ සමාජ මාධ්‍ය තුළින් සහ සයිබර් අවකාශයේ අනෙකුත් සේවා සපයන ආයතන විසින් NCMEC දත්ත පද්ධතිය වෙත යොමු කෙරේ.
පසුව එම දත්ත පද්ධතිය විසින් එම තොරතුරු අදාළ අපරාධකරුවන් සහ වින්දිත දරුවන් සිටින රටවල්වලට යොමුකරනු ලබන අතර, ශ්‍රී ලංකා පොලිසියේ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය ද එම දත්ත පද්ධතිය සමග සමීපව කටයුතු කරනු ලබයි. මෙම දත්ත පද්ධතිය හරහා 2022 වසරට අදාළව 146,000ක තොරතුරු ලැබී ඇති අතර, 2023 වසරට අදාළව 98,000කට වැඩි වාර්තා ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය වෙත ලැබී තිබේ.
‘සයිබර් ටිප් එකක් විදියට තමයි අපිට මේක එන්නේ. එතකොට කවුරු හරි මේ සයිට් එකකට වැරදිලා ගියත් ඒකත් ටිප් එකක් විදියට එනවා. ඒ විදියට ලක්ෂ ගානක් එනවා. 2022 ලක්ෂ ගානක් තියෙනවා. 2023ත් ලක්ෂයකට ආසන්න ගානක් තියෙනවා. ඒවායින් ප්‍රමුඛතාවය දීලා එවලා තියෙනවා. ඒවා තමයි අපි දැන් කරගෙන යන්නේ.’ යැයි නියෝජ්‍ය පොලිස්පතිනිය පැවැසුවාය.
මෙම වාර්තාවේ දත්ත එකින් එක සොයාබලා නිවැරදි ලෙස මෙම අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් සොයාගැනීම කළ යුතු අතර, ඇතැම් වාර්තා ප්‍රමුඛතා ලෙස දත්ත පද්ධතිය මගින් නම්කර එවනු ලබයි.
අපරාධය වළක්වාගෙන වින්දිතයා ගලවා ගැනීමේ හැකියාව
මෙය මෙරටට තවමත් ආගන්තුක ක්‍රමයක් වන අතර, තාක්ෂණික දුර්වලතා මෙන්ම අඩු පහසුකම් මැද මෙය ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන ලද්දේ මීට මාස 5කට පමණ පෙර බව ඇය සඳහන් කළාය.
‘අපි හැම වෙලාවෙම මිනිස්සුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නත් ඕනේ. ටිප් එකක් ආපු ගමන් ගිහිල්ලා මිනිස්සුන්ව ඇරෙස්ට් කරන්න බෑනේ. අපි ඒකට හොඳ ඉන්වෙස්ටිගේෂන් එකක් කරන්න ඕනේ, ඉන්වෙස්ටිගේෂන් එකකින් අපිට දෙන තොරතුරු සත්‍ය බවට පැහැදිලි වෙන්න ඕනේ. ඒ විදියට විමර්ශනවලින් එයා ළමයින්ගේ පොනෝග්‍රැෆි නිර්මාණය කරලා තියෙනවා කියලා තහවුරු වුණාට පස්සේ අපි ඇරෙස්ට් එක කරනවා. අපි ඒ වගේ කේසස් තුනක් ඉවර කරා.’
ඒ සිද්ධි තුනට සම්බන්ධ වින්දිතයන්ගෙන් දෙදෙනකු වයස අවුරුදු 10ක දරුවන් වන අතර එක් දරුවකුගේ වයස අවුරුදු 8කි.
මෙම දත්ත පද්ධතිය හරහා වින්දිතයා නොදැනුවත්ව හෝ පැමිණිල්ලක් නොමැතිව වුවද ළමුන්ට එරෙහි මාර්ගගත ක්‍රම ඔස්සේ සිදුවන අපරාධ හඳුනාගෙන එම අපරාධ වළක්වා ගෙන ඉක්මනින්ම වින්දිතයා ඉන් ගලවා ගැනීමට හැකියාව ලැබෙන බව නියෝජ්‍ය පොලිස්පතිනිය සඳහන් කළාය.
ගැහැනු දරුවන් මෙන්ම පිරිමි ළමුන් ද මෙහි ගොදුරක්වන මුත් ගැහැනු ළමුන් වින්දිතයන් වන අවස්ථා වැඩි බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිවරයා මෙන්ම ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පතිනිය ද පැවැසුවාය.
‘ලිංගිකත්ව අධ්‍යාපනයෙන් ලිංගිකව හැසිරෙන හැටි කියා දෙන්නේ නැහැ’
ලිංගිකත්ව අධ්‍යාපනය ලබාදීම හරහා දරුවන් මෙවැනි අපරාධවල ගොදුරක් වීම වළක්වා ගැනීමේ හැකියාවක් තිබේදැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිවරයාගෙන් අප විමසනු ලැබීය.
‘ලිංගිකත්ව අධ්‍යාපනය ලබාදීම තුළින් ලිංගික අපයෝජන වළක්වා ගැනීම කියන එක තමයි අපේ ප්ලෑන් එක. අපි පාර්ලිමේන්තුවේ ළමයින් හා කාන්තාවන් සම්බන්ධ පාර්ලිමේන්තු සංසදය, ආංශික අධීක්ෂණ කමිටු කිහිපයක්ම ඒ වෙනුවෙන් වැඩ කළා. සෞඛ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය වගේ ආයතන එකට එකතු වෙලා මැටිරියල් ගණනාවක් හැදුවා අන්තර්ජාලයට ඒවා මුදාහැරලා ඒ හරහා යම් දැනුවත් කිරීමක් කරන්න කියලා. දෙවැනි අදියර යටතේ අපි හිතනවා ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළ පාසල් අධ්‍යාපනය තුළට ලිංගිකත්ව අධ්‍යාපනය ගැන අවදානයක් දෙන ක්‍රමවේදයක් හදන්න.’
ජීව විද්‍යාත්මක වශයෙන් කායික වෙනස්කම් සිදුවන නව යොවුන් වයසේ දරුවන් වැඩි වශයෙන් ලිංගික අපයෝජනවල ගොදුරක් වන බව කී ආචාර්ය උදයකුමාර අමරසිංහ, ලිංගිකත්ව අධ්‍යාපනය හරහා සිදුවන්නේ දරුවන්ට ලිංගිකව හැසිරෙන ආකාරය කියාදීම නොව එහි බරපතළකම, අවදානම සහ වගකීම ගැන දැනුමක් ලබාදීම බව කියා සිටියේය.
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ආචාර්ය උදයකුමාර අමරසිංහ පෙන්වා දෙන්නේ කුඩා කල සිටම අදියර වශයෙන් දරුවන්ට එම දැනුම ලබාදිය හැකි බවය.
‘අපි පොඩි කාලේ ළමයින්ට කියලා දෙනවා පාරේ යන්න ඕනේ මොන පැත්තෙන් ද කියලා, කලර් ලයිට්ස් තියෙනවා නම් අපි කියලා දෙනවා රතු ලයිට් තියෙනවා නම් යන්න එපා, කොළ ලයිට් තියෙනවා නම් යන්න කියලා. පාරේ දකුණු පැත්තෙන් යන්න ඕනේ කියලා දෙනවා. එතකොට ඒක ජීවිතේ හැබිට් එකක් වෙනවානේ. එතකොට මේක වුණත් ළමයින්ගේ සේෆ්ටි කියන එක පොඩි කාලේ ඉඳලාම කියලා දෙන්න පුළුවන්.’
ළමා වින්දිතයන්ට නීතියෙන් ලැබී ඇති සුවිශේෂ අවස්ථාව
වින්දිත දරුවන්ගේ අනන්‍යතාවය හෙළි නොවන ආකාරයට පුද්ගලිකත්වය ආරක්ෂා කරගනිමින් නීතිමය කටයුතු කරන ආකාරය ද ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ආචාර්ය උදයකුමාර අමරසිංහ විස්තර කළේය.
‘ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ තියෙනවා වීඩියෝ සාක්ෂි පටිගත කිරීමේ මධ්‍යස්ථානයක්. ඒක දැනට ප්‍රධාන කාර්යාලයේ තියෙනවා, රාගම වෛද්‍ය පීඨයේ එකක් තියෙනවා, ලංකාව පුරා පළාත් කාර්යලවල පටන් ගන්න අදහස් කරගෙන ඉන්නවා. එතැනදී වීඩියෝ කැමරාවක් ඉදිරි සාක්ෂි දෙන්න පුළුවන්. පුහුණු කරපු කවුන්සලස්ලා, පුහුණු කරපු පොලිස් නිලධාරීන් තමයි ඒ සාක්ෂි ටික ගන්නේ. ඒක ස්වාධීන, අපක්ෂපාතී සාක්ෂියක්. ඒක අපි සම්පූර්ණයෙන්ම ටයිප් කරලා ඩොකියුමන්ට් එකකටත් ගන්නවා. ඒක අපි අධිකරණයට සහ නීතිපතිවරයාට ඉදිරිපත් කරනවා. වරින් වර සාක්ෂි ගන්නත් නීතිපතිවරයාට හා නීතිඥයින්ට මේ හරහා පුළුවන්. ඒක ළමා වින්දතයින්ට ලැබෙන සුවිශේෂ අවස්ථාවක්.’
ඊට අමතරව අධිකරණයට නොපැමිණ දුරස්ථ ස්ථානයක සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබාදීමේ හැකියාව ද පවතී. එම අවස්ථාවේ දී අදාළ සිද්ධියේ සැකකරුවාට දරුවා නොපෙනන ලෙස එම කටයුතු සිදුකෙරේ.
පිටරටක සිටින වින්දිතයකුට වුවද මෙම ක්‍රමය ඔස්සේ සාක්ෂි ලබාදෙමින් නීතිමය කටයුතු කිරීමේ ප්‍රතිපාදන ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිවරයා සඳහන් කළේය.
දරුවන් ගොදුරක් වෙන්නේ කොහොමද?
‘ගොඩක් වෙලාවට මෑතකාලීනව දැකපු තත්ත්වයක් තමයි සෝෂල් මීඩියා හරහා ඇති කරගත්ත හිතවත්කම් මත පස්සේ ප්‍රේම සම්බන්ධතා ඇති කරගෙන මේ ළමයින්ව සෙක්ෂුවලි ඇබියුස් කරපු එහෙම සැලකිය යුතු මට්ටමකින් මීඩියාවල රිපෝර්ට් කරනවා අපි දැකලා තියෙනවා. හැබැයි ඒ රිපෝර්ට් වෙන ප්‍රමාණයට වඩා විශාල වශයෙන් රිපෝර්ට් නොවන ප්‍රමාණයක් තියෙනවා.’ යැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ආචාර්ය උදයකුමාර අමරසිංහ දරුවන් අශ්ලීල ප්රකාශනවලට ගොදුරුවන ප්‍රධානතම ආකාරය විස්තර කළේය.
සභාපතිවරයා පවසන පරිදි ඔවුන් වෙත වාර්තාවන බොහෝ සිදුවීම්වල වින්දිතයන්ට නීති ක්‍රියාත්මක කරවා ගැනීමට වඩා අවශ්‍ය වන්නේ ඔවුන්ගේ වීඩියෝ හෝ ඡායාරූප අන්තර්ජාලයෙන් ඉවත් කරගැනීමය.
‘මේ දරුවෝ තමන්ගේ හොඳ පොටෝ සෝෂල් මීඩියා දානවානේ ඒවා අරගෙන නියුඩ් ෆොටෝ එකකට ඔළුව බද්ධ කරලා ඒ වගේ ෆොටෝ හදලා අප්ලෝඩ් කරළා ළමයින්ව බ්ලැක් මේල් කරපු පැමිණිලිත් ලැබෙනවා. හොරෙන් වීඩියෝ කරනවා නානකොට හරි, ඇඳුම් මාරු කරනකොට හරි ඒවාගේ ඒවා. ඊළඟට ළමයි ළමයි වීඩියෝ කෝල් ගන්නවා ඒවා ස්ක්‍රීන් රෙකෝඩ් කරගන්නවා, ඒ ස්ක්‍රීන් රෙකෝඩ් කරගෙන ඒවා යූස් කරනවා. ළමයි යාළුවෙලා ඉන්න කාලේ නිරුවත් ෆෝටෝ යවලා පස්සේ ඒවා ෂෙයාර් කරගෙන. ඒවා තමයි එන්නේ වැඩිපුර.’ යැයි ලැබෙන පැමිණිලි ගැන නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර කියා සිටියාය.
පැමිණිලි කළ හැක්කේ කෙසේද?
මාර්ගගත ළමා ලිංගික අපයෝජන සම්බන්ධව https://report.iwf.org.uk/lk_en වෙත පිවිස හෝ පැය 24 පුරා ක්‍රියාත්මක 1929 ක්ෂණික දුරකතන අංකය ඔස්සේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි කිරීමේ හැකියාව පවතී.
ඊට අමතරව පැය 24 පුරා ක්‍රියාත්මක 109 ක්ෂණික ඇමතුම් අංකයට ඇමතුමක් ලබාදීමෙන් හෝ 071 8595843 වට්ස්ඇප් අංකය ඔස්සේ මෙන්ම [email protected] දරන විද්‍යුත් ලිපිනය හරහා ළමා අපයෝජන සම්බන්ධව පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය වෙත පැමිණිලි කළ හැකිය.
බීබීසී සිංහල වෙබ් අඩවියෙනි