චීන බැංකු ලොක්කෙක් ලංකාවට!
සජිත්ට අමෙරිකාවන් මැසේජ් එකක්!
රාජ්‍ය ඇමැතිවරු රිටර්න් එකකට ලෑස්තියි!
චැනල් ෆෝ බෝම්බය පුපුරයි!
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාව පළකළ වීඩියෝවේ අන්තර්ගතය ගැන සොයාබැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කමිටුවක් පත්කරන බව ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් 06 වැනිදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.Sri Lanka Latest News
එම කමිටුව ඉදිරියේ සාක්ෂි ලබාදීම සඳහා ලංකාවට පැමිණීමට නොහැකි නම්, සූම් ඔස්සේ සාක්ෂි ලබාදිය හැකි බවද ඔහු එහිදී පැවසීය.
කෙසේ වෙතත් කමිටුවක් පත්කිරීමේ තීරණයක් හෝ නිශ්චිතව ගෙන නැති පසුබිමක් තුළ කමිටුව ඉදිරියේ සාක්ෂි ලබාදෙන ක්‍රමවේදය සම්බන්ධයෙන් ඇමැතිවරයා අදහස් දක්වා තිබේ.
පාර්ලිමේන්තු කමිටු නෑ – බන්දුල!
චැනල් 4 නාලිකාවේ වාර්තා වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා පැවැසුවේ ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරකසභාවක් පිහිටුවීමේ හෝ ඒ ගැන සාකච්ඡා කිරීමේ කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නැති බවයි. මනූෂ නානායක්කාර ඇමැතිවරයා මුලින්ම සඳහන් කර තිබුණේ එවැනි කාරකසභාවක් පිහිටුවන බවයි.
මේක විශ්වාස කරනවද? නාමල්!
රාජපක්ෂ පවුලට මෙහිදී එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙසේ පාර්ලිමේන්තුවේදී අදහස් පළකළේය.
‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටුවලා පාස්කු ප්‍රහාරයට අවුරුද්දකට කලින් අපි ප්‍රාදේශීය සභාවලින් සියයට 70කට වැඩි ප්‍රමාණයක් ජයග්‍රහණය කරනවා. ඒ නිසා අපිට තුන්වැනි පාර්ශ්වයක් හෝ ප්‍රතිපත්තිවලින් එහාට ගිහින් මැතිවරණයක් ජයග්‍රහණය කරන්න අවශ්‍යතාවක් තිබ්බේ නැහැ. අද චෝදනා කරන්නේ ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් ඒක පාවිච්චි කළා, ඒ සඳහා බුද්ධි අංශ එක්ක එකතුවෙලා සැලසුම් කළා කියලා. මෛත්‍රිපාල සිරිසේනගේ වේදිකාවේ හිටපු කෙනා, ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවේ හිටපු කෙනාගේ පුතා, මුජීබර් රහුමාන් පාර්ලිමේන්තුවේ දී ආරක්ෂා කරපු කෙනා රාජපක්ෂවරයෙක් බලයට ගේන්න තමන්ගේ ජීවිතය නැති කරගත්තා කියන එක පිළිගන්න පුළුවන් කාරණයක් නෙමෙයි.‘
චැනල් 4 සම්පූර්ණ වාර්තා චිත්‍රපටයේ සාරාංශගත පිටපත
චැනල් 4 නාලිකාව නිෂ්පාදනය කරන ලද වාර්තා චිත්‍රපටයේ සම්පූර්ණ සාරාංශයක් පහත පළවේ.
වැඩසටහන ආරම්භයේදී පාස්කු ඉරිදාව සහ ප්‍රහාරයේ වින්දිතයකුගේ අදහස් පළකිරීමක්, ප්‍රහාරයේ වීඩියෝ දර්ශන, කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි මෙන්ම නීතිඥයන්, මාධ්‍යවේදීන්, මානව හිමිකම් ක්‍රියාකාරිකයන් ඇතුළු පාර්ශ්ව ගණනාවක අදහස් දැක්වීම් ඊට ඇතුළත්ය.
මෙහි සම්පූර්ණ කාලය විනාඩි 47.22කි.
මෙම ප්‍රහාරය පිළිබඳ පැහැදිලි කිරීමක් චැනල් 4 නාලිකාව විසින් සිදුකරන අතර, ප්‍රහාරය බලය ලබාගැනීම සඳහා රට තුළ අස්ථාවරභාවයක් ඇතිකිරීමට සිදුකරන ලද්දක් බව සඳහන් වේ.
මෙහි තොරතුරු අනාවරණය කරන්නේ හන්සීර් අසාඩ් මවුලානා නමැති තමිල් මක්කල් විඩුතලයි පුලිගල් පක්ෂයේ (ඔඵඪඡ) නායක සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ගේ (පිල්ලෙයාන්ගේ) මාධ්‍ය ලේකම්වරයා ලෙස සිටි අයෙකි. ඔහු පවසන්නේ ප්‍රහාරය දිනකින් හෝ දෙකකින් සැලසුම් කළ එකක් නොවන බවයි. වසර දෙකක තුනක කාලයක් පුරා කණ්ඩායමක් තෝරාගෙන විශාල සැලසුමකට අනුව එය සිදුකර ඇති බව ඔහු පවසයි.
මෙම තොරතුරු අනාවරණ කරන හන්සීර් අසාඩ් මවුලානා නමැති අය 2022දී විදේශගත වී තිබේ. ප්‍රහාරය සම්බන්ධයෙන් බැහැර කළ නොහැකි සාක්ෂි තමන් සතුව පවතින බව ඔහු මෙම වැඩසටහනේදී සඳහන් කරයි.
ලසන්ත වික්‍රමතුංග!
හන්සීර් අසාඩ් මවුලානා පවසන්නේ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඉවත් කළ යුතු බව හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළ බවයි.
මේ වන විට විදේශගතව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් සහ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපති නිශාන්ත සිල්වාත් මෙම වැඩසටහනට එක්වෙමින් අදහස් පළකර ඇත. ඔහු විදේශගත වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පළමු අවස්ථාව මෙය වන අතර, ජීවිත අවදානම හේතුවෙන් ඔහු රටින් පලා ආ බව මේ වැඩසටහනේදී පවසයි. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් තමන් සිදු කළ පරීක්ෂණ පිළිබඳ මෙහිදී නිශාන්ත සිල්වා අදහස් පළකරයි.
තමන් එම ඝාතනය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ එවකට ලේකම් ගෝඨාභය රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ බව පවසන ඔහු, අදාළ සිදුවීමට සැකකරුවෙකු ලෙස තමන්ගේ නම අධිකරණයට ඉදිරිපත් කළේ කුමන හේතුවක් නිසා දැයි ගෝඨාභය රාජපක්ෂ තමන්ගෙන් ප්‍රශ්න කළ බව ද සඳහන් කරයි.
මාතෘකා කර ඇති පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය දෙසට අවධානය යොමුකරන හන්සීර් අසාඩ් මවුලානා පවසන්නේ පිල්ලෙයාන් විසින් තමන්ට ආගමික අන්තවාදයට සම්බන්ධ සිරකරුවන් කණ්ඩායමක් හමුවන ලෙස පැවසූ බවයි. මුස්ලිම් මවුලවිවරයෙකු වන සයිනි හෂීම් මවුලවි හමු වූ බව ඔහු පවසයි. එම මවුලවිවරයා NTJ සංවිධානයේ සහරාන් හෂීම්ගේ සහෝදරයකු බවද මෙහි සඳහන් වේ.
මෙම පිරිසෙන් ප්‍රයෝජනයක් ගතහැකි බව පිල්ලෙයාන් තමන්ට පැවසූ බව හන්සීර් අසාඩ් මවුලානා මෙම වැඩසටහනේදී පවසයි. පිල්ලෙයාන්ගේ උපදෙස් අනුව නීතිඥවරයකු සොයාගෙන ඔවුන් ඇපමත මුදාගැනීමට කටයුතු කළ බව හන්සීර් අසාඩ් මවුලානා කියයි.
සුරේෂ් සලෙයි!
2018 වසරේ ජනවාරි මාසයේ දී එම කණ්ඩායම සහ වත්මන් රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ අතර හමුවක් සංවිධානය කරන ලෙස පිල්ලෙයාන් තමන්ට උපදෙස් දුන් බව හන්සීර් අසාඩ් මවුලානා මෙම සාකච්ඡාවේ දී අනාවරණ කරයි.
මෙම වැඩසටහනේදී සිය අනන්‍යතාව හෙළිකිරීමට අකැමැති රජයේ නිලධාරියකු ප්‍රකාශ කරන්නේ ගෝඨාභය රාජපක්ෂ විසින් රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේව පාලනය කළ බවයි.
2018 වසරේ පෙබරවාරි මාසයේදී සුරේෂ් සලේ සහ බන්ධනාගාරයෙන් මුදාගත් සයිනි හෂීම් මවුලවි අතර හමුවක් නැගෙනහිර පළාතේ කරදිපුවල් ප්‍රදේශයේදී සිදුවූ බවත්, ඒ හමුව සඳහා පොල් වතු යායක පිහිටි නිවසකට බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ පැමිණි බවත්, එම ස්ථානයටම සුදු වෑන් රථයකින් පැමිණි සයිනි හෂීම් මවුලවි ඇතුළු හයදෙනා අතර සිටි පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂීම් ද එහිදී තමන්ට හඳුන්වා දුන් බවත් මවුලානා අනාවරණය කරයි.
තමන් විසින් සුරේෂ් සලේව එම පිරිසට හඳුන්වා දුන් බවත්, පොල් වතු යායේ පැවති නිවසේදී ඔවුන් අතර සාකච්ඡාවක් සිදුකෙරුණු බවත් පවසන මවුලානා, දීර්ඝ වේලාවක් පැවති එම සාකච්ඡාවට තමන් සහභාගි කර නොගත් බව ද සඳහන් කරයි. සාකච්ඡාවෙන් අනතුරුව සුරේෂ් සලේ තමන් සමග කතාකරමින් රාජපක්ෂවරුන්ට රටේ අනාරක්ෂිත තත්ත්වයක් ඇති කිරීමට අවශ්‍යතාවයක් පවතින බව ප්‍රකාශ කළ බව මෙම සාකච්ඡාවේදී ඔහු හෙළිදරව් කරයි. එය ගෝඨාභය රාජපක්ෂට ජනාධිපතිවරයා වීමට ඇති එකම මග බව සුරේෂ් සලේ ප්‍රකාශ කළ බව ද හන්සීර් අසාඩ් මවුලානා මෙහිදී කියයි.
සහරාන් හෂීම්ගේ ක්‍රියාකලාපය පිළිබඳවද වැඩසටහන සිය අවධානය යොමුකර තිබේ.
2018 වසරේ මඩකලපුවේ දී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීම, 2019 වසරේ දී පොල් වතු යායකින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගැනීම පිළිබඳ තොරතුරු එහි දැක්වේ. අදාළ පුපුරණ ද්‍රව්‍ය සොයාගත් ස්ථානය සුරේෂ් සලේ සහ සහරාන් ඇතුළු පිරිස හමුවූ ස්ථානය ලෙස තමන් හඳුනාගත් බව ද මවුලානා පවසයි.
එම පුපුරණ ද්‍රව්‍ය සහ අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ලද තොරතුවලට අනුව ඒවා සහරාන් හෂීම් සහ NTJ සංවිධානයට අයත් බවට තොරතුරු අනාවරණ වූ බව නම හෙළි නොකළ රජයේ නිලධාරියා මෙම වැඩසටහනට එක්වෙමින් කියයි. බුද්ධි අංශ පසුව ඒ පිළිබඳ නොමග යවන තොරතුරු ලබාදුන් බව පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු හෙළිවූයේ යැයි මෙම වැඩසටහනේදී ඔහු කියයි. අදාළ පුපුරණ ද්‍රව්‍ය පිටුපස NTJ සංවිධානය සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගත් බව නම හෙළි නොකළ රජයේ නිලධාරියා වැඩිදුරටත් සඳහන් කරයි.
2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල වීමට සති දෙකකට පෙර ඉන්දීය බුද්ධි අංශ විසින් ප්‍රහාරය එල්ල වන බවට තොරතුරු ලබාදී තිබූ බවද චැනල් 4 සඳහන් කරයි.
හන්සීර් අසාඩ් මවුලානා කියා සිටින්නේ පාස්කු ඉරුදින උදෑසන තමන්ට බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේගෙන් බලාපොරොත්තු නොවූ දුරකතන ඇමතුමක් ලැබුණු බවයි. ඇමතුමට අනුව තමන්ට වහාම ටාජ් සමුද්‍රා හෝටලය වෙත යන ලෙස පැවසූ බව ඔහු කියයි. ටාජ් සමුද්‍රා හෝටලයේ කිසියම් පුද්ගලයෙකු රැඳී සිටිනු ඇති බවත්, කඩිනමින් ඔහුව වාහනයට නංවාගෙන පිටත්ව යන ලෙසත් සුරේෂ් සලේ පැවසූ බව ද ඔහු සඳහන් කරයි.
අදාළ පුද්ගලයාගේ දුරකතනය ලබාගන්නා ලෙසත්, ඔහුට අවශ්‍ය ස්ථානයට ඔහුව ගෙන ගොස් දමන ලෙසත් සුරේෂ් සලේ තමන්ට පැවසූ බව හන්සීර් අසාඩ් මවුලානා ප්‍රකාශ කරයි. එම අවස්ථාවේ දී තමන් මඩකලපුවේ සිටින බව සුරේෂ් සලේට පැවසූ බව ඔහු වැඩසටහනේදී සඳහන් කරයි.
ප්‍රහාරය සිදු වූ 2019 අප්‍රේල් 21 දර්ශන ඉදිරිපත් කරමින් නාලිකාව පෙන්වන්නේ හන්සීර් අසාඩ් මවුලානාට දුරකතන ඇමතුම පැමිණි අවස්ථාවට සමීප අවස්ථාවක් වන පෙරවරු 8.50ට පමණ ප්‍රහාරයක් සඳහා පුපුරණ ද්‍රව්‍ය ද රැගෙන හෝටලයට පැමිණි සහරාන්ගේ කණ්ඩායමේ සාමාජිකයකුට ද දුරකතන ඇමතුමක් ලැබෙන අයුරුය.
හන්සීර් අසාඩ් මවුලානා විශ්වාසය පළකරන්නේ සුරේෂ් සලේ විසින් තමන්ට හෝටලයෙන් රැගෙන පිටව යන ලෙස දැනුම් දෙනු ලැබූ පුද්ගලයා මොහු විය හැකි බවයි.
දුරකතන ඇමතුම ලැබී විනාඩි දෙකක් ඇතුළත ඔහු විසින් ප්‍රහාරයක් දියත් නොකර ටාජ් සමුද්‍රා හෝටලයෙන් පිටව යන අයුරු නාලිකාවේ විකාශය වන සීසීටීවී දර්ශන මගින් පැහැදිලි කරයි.
ඉන්පසුව සහරාන් හෂීම්ගේ සොහොයුරා වන සයිනී ඇතුළු පිරිස අම්පාර – සයින්දමරුදුහිදී සියදිවි නසාගැනීම ද මෙම වැඩසටහනේ දැක්වේ.
මෙම සිදුවීම් මාලාවෙන් අනතුරුව තමන් පිල්ලෙයාන්ට කතා කළ බවත්, ඔහු කට පියාගෙන සිටින ලෙස තමන්ට පැවසූ බවත් හන්සීර් අසාඩ් මවුලානා පවසයි.
අනතුරුව රජයේ නම හෙළි නොකළ නිලධාරියා වැඩසටහනට එක්වෙමින් ඍජුවම චෝදනා කරන්නේ රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ මෙම ප්‍රහාරය පිටුපස සිටිමින් එහි යන්ත්‍රණය මෙහෙයවූ බවයි. සුරේෂ් සලේ ප්‍රහාරය පිළිබඳ දැන සිටි බවටත්, ඊට පහසුකම් සැපයූ බවටත් ඔහු වැඩිදුරටත් චෝදනා කරයි.
වැඩසටහනේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් තමන් සිදුකළ විමසීම්වලට ගෝඨාභය රාජපක්ෂ හෝ පිල්ලෙයාන් ප්‍රතිචාර නොදැක්වූ බවද චැනල් 4 සඳහන් කරයි.
සලේ ප්‍රතික්ෂේප කරයි!
රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ පාස්කු ප්‍රහාරයට තමන්ගේ සම්බන්ධයක් පවතින බවට එල්ල වන චෝදනා ඍජුවම ප්‍රතික්ෂේප කළ බව ද නාලිකාව ප්‍රකාශ කරයි. චෝදනා ප්‍රතික්ෂේප කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා පවසා ඇත්තේ සහරාන්ගේ සංවිධානයේ සාමාජිකයන් හමු වූ බවට පැවසුණු සමයේදී තමන් මැලේසියාවේ සිටි බවයි. අනතුරුව පාස්කු ප්‍රහාරය එල්ල වන සමයේ තමන් සිටියේ ඉන්දියාවේ බව ද ඔහු සඳහන් කරයි.
තමන් මෙම ප්‍රහාරයට සම්බන්ධ බවට සිරිල් ගාමිණී පියතුමා විසින් කරන ලද ප්‍රකාශයක් පිළිබඳව සුරේෂ් සලේ රුපියල් මිලියන 50ක වන්දියක් ඉල්ලා නඩුවක් ද පවරා තිබේ. මෙම ප්‍රකාශය නිසා තමන්ගේ සහ තම පවුලේ සාමාජිකයන්ට ජීවිත තර්ජන එල්ල වී ඇතැයි ද ඔහු මීට පෙර සඳහන් කර තිබිණි.
මම හිටියෙ බන්ධනාගාරයේ – පිල්ලෙයාන්
මේ අතර 06 වැනිදා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පිල්ලෙයාන් පවසා තිබුණේ මවුලානා විසින් සඳහන් කරනු ලබන දිනවලදී තමන් සිටියේ රක්ෂිත බන්ධනාගාරගතව බවයි. ඒ, ජෝශප් පරරාජසිංහම් මන්ත්‍රීවරයා ඝාතන සිද්ධියට අදාළවය. පිල්ලෙයාන් මෙහිදී වැඩිදුරටත් පවසන්නේ විදේශ රටක රැකවරණය වෙනුවෙන් මවුලානා මෙසේ අදහස් පළකරන බවයි.
කාදිනල් හිමිගේ සම්පූර්ණ කතාව
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පාදක කොටගෙන චැනල් 4 නාලිකාව නිෂ්පාදනය කළ වාර්තා වැඩසටහන පිළිබඳව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි 06 වැනිදා නිවේදනයක් නිකුත් කළේය. එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.
පාස්කු ඉරිදා ප්‍රහාරය පසුපස තිබූ කුමන්ත්‍රණය පිළිබඳවත්, ඒ හා සම්බන්ධව සිටියා යැයි කියැවෙන පුද්ගලයින් පිළිබඳවත් විමර්ශනාත්මක වාර්තා වැඩසටහනක් බි්‍රතාන්‍යයේ චැනල් 4 රූපවාහිනි නාලිකාව විසින් නිෂ්පාදනය කොට ඊයේ (සැප්තැම්බර් 05) දින බි්‍රතාන්‍ය වේලාවෙන් රාත්‍රී 11.00 ට (ශ්‍රී ලංකා වේලාවෙන් අද අලුයම 03.35ට පමණ) විකාශය කෙරුණ බව දැන් කවුරුත් දන්නා කාරණයක්.
මේ මහා කුමන්ත්‍රණය පිළිබඳ අප රටේ විධිමත් සහ විනිවිද පෙනෙන අවංක විමර්ශනයක් සිදුකර ගැනීමට අපත්, මේ රටේ යුක්තිය සහ සාධාරණත්වය අගයන පුරවැසියනුත් මේ දක්වා දැරූ සියලු ප්‍රයත්නයන් අසාර්ථකව තිබූ මොහොතක, බි්‍රතාන්‍යයේ චැනල් 4 වැනි ජාත්‍යන්තර මාධ්‍යයක් ඒ සඳහා දක්වන ලද උනන්දුව සහ වෙහෙස පිළිබඳ අපි චැනල් 4 රූපවාහිනි නාලිකාවටත්, ඒ සඳහා වෙහෙසුන සැමටත් අපගේ කෘතඥතාවය පළකර සිටිනවා.
අප මේ රටේ සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ වාර්තා වැඩසටහන ඔස්සේ, හෙළිදරව් කරනු ලැබූ කරුණු පිළිබඳ අවධානය යොමු කරන ලෙසයි. අපට වැදගත් වන්නේ රූපවාහිනි චැනලයේ පැරණි හැසිරීම නොව එය අප මුහුණ දුන් ප්‍රශ්නය ගැන සොයා ඉදිරිපත් කරන කරුණුය.
එම වැඩසටහන විකාශය වීමටත් පෙර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ ඒ පිළිබඳ පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන් විවිධ කරුණු කාරණා අදහස් උදහස් ප්‍රකාශ කරනු ලැබූ බව අප දුටුවා.
ඒ අතර මනුෂ නානායක්කාර ඇමැතිවරයා කියා සිටියේ මේ වැඩසටහනින් හෙළිදරව් කරනු ලැබූ කරුණු පිළිබඳව විමර්ශනය කිරීමට පාර්ලිමේන්තු කාරක සභාවක් පිහිටුවන බවයි. පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවූ දා සිට මේ දක්වා මේ පිළිබඳ විමර්ශන කොමිෂන් සභා දෙකක් සහ වත්මන් ජනාධිපතිතුමා අගමැති ලෙස කටයුතු කළ අවධියේදී පාර්ලිමේන්තු කමිටුවක් පත් කළද, ඒවායේ වාර්තා සහ ඒ වාර්තා මගින් නිර්දේශ ගණනාවක්ද ඉදිරිපත් වුවද ඒ කිසිවෙකින් මේ දක්වාම බලාපොරොත්තු වූ ප්‍රතිඵල නොලැබුණු බව රටම දනී. දැන් පවතින මෙන්ම මීට පෙර පැවති රජයද මේ නිගමනවලට දැක්වූයේ ඉතා උදාසීන ප්‍රතිචාරයකි.
ඒ නිසා මේ සඳහා පාර්ලිමේන්තුව විසින් පත් කරන තවත් කමිටුවකින්ද, මේ විමර්ශන අපක්ෂපාතීව සහ අවංකව සිදුවෙතැයි අපි කිසිදු ලෙසකින් නොසිතමු. එහෙයින් එවැනි පාර්ලිමේන්තු කමිටුවක් පත් කිරීම ජනතා මුදල් සහ කාලය නාස්ති කෙරෙන සහ ජනතාව මුලා කරන නිෂ්ඵල ක්‍රියාවක් වනු ඇති බව අපට විශ්වාස නිසා අපි එම යෝජනාව පිළි නොගනිමු.
එහෙයින් කඩිනමින් සිදුවිය යුතු ක්‍රියාවලිය වන්නේ,
- චැනල් 4 නාලිකාව සිය වාර්තා වැඩසටහනින් හෙළිදරව් කරන ලද, පාස්කු ඉරිදා ප්‍රහාරය පසුපස තිබුණා යැයි කියන කුමන්ත්‍රණය හා බැඳුන සියලූ වැදගත් කරුණු මෙන් ම ඒ හා සම්බන්ධ යැයි හෙළිදරව් කර ඇති පුද්ගලයින් පිළිබඳව මෙන්ම පාස්කු ප්‍රහාරය පිළිබඳව මේ දක්වා සිදුකර ඇති විමර්ශන සහ කොමිෂන් සභා වාර්තාවලින් හෙළිදරව් වූ, නමුත්, මේ දක්වා නිසි විමර්ශනයට ලක් නොවූ කරුණු පිළිබඳවද අපක්ෂපාතී, සාධාරණ සහ විනිවිද බවින් යුතු පුළුල් විමර්ශනයක් ආරම්භ කළ යුතුය.
- එම විමර්ශනය සිදුවිය යුත්තේ ස්වාධීන ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායමක් මගිනි.
- එම ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායමට සහය වීම සඳහා පත් කරනු ලබන දේශීය විමර්ශන කණ්ඩායමට, පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවූ මොහොතේ සිට මූලික විමර්ශන සිදුකරන ලද, දැනට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් විවිධ ප්‍රදේශවලට මාරුවීම් ලබාදී තිබෙන විමර්ශකයන් සියලු දෙනා ඇතුළත් විය යුතුය.
- එම විමර්ශනය ස්වාධීනව සිදුකිරීමට අවකාශය සැලසීම සඳහා මේ විමර්ශනයට ලක්වන, දැනටමත් බුද්ධි අංශවල මෙන්ම පොලිසියේ ඉහළ නිළතල හොබවන, සියලු නිලධාරීන්ගේ සේවය විමර්ශන නිමාවන තුරු අත්හිටවිය යුතුය.
එසේම, පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනීම අරබයා තම වගකීම් ඉටු කිරීමට අපොහොසත් වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරනු ලැබූ නමුත්, තවමත්, ශ්‍රී ලංකා පොලීසියේ පරිපාලන අංශය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහත්මාගේ සහ ඒ පිළිබඳ චෝදනාවට ලක්ව ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහත්මාගේ ද සේවය මෙම විමර්ශනය නිමාවන තුරු අත්හිටවිය යුතුය.
ඉහත කී අපගේ යෝජනා ජනාධිපතිතුමන් ඇතුළු මේ රජය ඉටුකරනු ඇතැයි අපි අවංකව අපේක්ෂා කරමු. මෙම ක්‍රියාවලිය ඔස්සේ සිදුවන සාධාරණ සහ විනිවිද පෙනෙන විමර්ශනයකින් හැර වෙනත් ආකාරයකින් පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයින් බවට පත් වූ අහිංසක ජනතාවට යුක්තිය සහ සාධාරණය ඉටු නොවන බව අපි අවධාරණය කර සිටිමු.
මේ අවස්ථාවේදී පොලිසියේ සහ බුද්ධි අංශවල මෙන්ම ආරක්ෂක අංශවල අදාළ නිලධාරීන්ගෙන් අප ඉල්ලා සිටින්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව ඔවුන් ඇතැම්, මේතාක් හෙළි නොවුණු නිශ්චිත කරුණු දැන සිටී නම් ධෛර්්‍යවන්තව ඒවා එළිදරව් කරමින් සත්‍යයට සාක්ෂි දරන්නට ඉදිරිපත් වන ලෙසය.
අපගේ දේවස්ථානභාර සියලු පියතුමන්ගෙන් අප ඉල්ලා සිටින්නේ දෙව් මවුන්ගේ උපන් මංගල්‍යය සිදුකරන සැප්තැම්බර් 08 වැනිදා සිකුරාදා දින සියලු දේවස්ථානවල සවස 6.30 ට පාස්කු ප්‍රහාරයේ යුක්තිය ඉටුකරගැනීම වෙනුවෙන් විශේෂාකාරයෙන් දෙව් මවුන්ගේ පිහිට පතන ලෙසය.
මේ සඳහා කොළඹ සහයක රදගුරු අති උතුම් ජේ.ඩී. ඇන්තනී හිමිපාණන් මෙහෙයවන විශේෂ දේව මෙහෙය එදින සවස 6.30ට කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දෙව් මැදුරේදීත්, අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු හිමිපාණන් මෙහෙයවන විශේෂ දේව මෙහෙය එදිනම සවස 6.30ට කොච්චිකඩේ සාන්ත අන්තෝනි සිද්ධස්ථනයේදීත් පැවැත්වෙන බව මෙයින් දැනුම් දෙමි.
එම දේව මෙහෙය තුළ දිව්‍ය පූජාව හෝ ශුද්ධවූ ජපමාලය උච්චාරණය කිරීම සහ දිව්‍ය සත්ප්‍රසාද ආශිර්වාදය ලබාදෙමින් ජනතාව ආසිරි ගැන්වීම සිදුවන බව දන්වා සිටිමි.
මේ සඳහා සහභාගී වන ලෙස අප ඉතා ඕනෑකමින් අපි සියලු කතෝලික සැදැහැවතුන්ගෙන් ඉල්ලා සිටිමු.
ද ටයිම් කතාව!
ඉහත දැක්වෙන්නේ චැනල් 4 නාලිකාව මගින් පාස්කු සම්බන්ධයෙන් වූ ආන්දෝලනාත්මක වීඩියෝව ලොව පුරා විකාශය කිරීමෙන් පසු ලංකාවේ ඇතිවූ තත්ත්වය එයැඑසපැගකන වෙබ් අඩවිය වාර්තා කර තිබූ ආකාරයය. මෙම වීඩියෝව හේතුවෙන් ලංකාව ඇතුළේ පමණක් නොව ලංකාවෙන් පිටතත් මේ වන විට මහත් ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුව ඇති ආකාරයක් දැකගන්නට ඇති අතර, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය, කාදිනල් මැල්කම් රංජිත් පියතුමා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දැනටමත් මේ පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බව ප්‍රකාශ කොට අවසානය. ඊට ප්‍රතිචාර දක්වමින් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පසුගිය බ්‍රහස්පතින්දා මාධ්‍ය වෙත ප්‍රකාශ කොට සිටියේ අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමට ආණ්ඩුව සූදානම් යැයි කියාය.
එන්න තිබ්බේ මාසෙකට කලින්!
කෙසේ වෙතත් බදාදා දිනයේ මෙම වීඩියෝව චැනල් 4 නාලිකාව මගින් විකාශය කළද ඒ පසුපස විශාල කතාවක් තිබේ. ඇත්ත වශයෙන්ම මෙම වීඩියෝව ප්‍රචාරය කිරීමට චැනල් 4 නාලිකාව සැලසුම් කර තිබුණේ මීට මාසයකට පමණ ඉහතදීය. නමුත් එය කල් දැමුණේ වීඩියෝව සම්බන්ධයෙන් සහ එහි ඇතුළත් ප්‍රකාශ සම්බන්ධයෙන් වත්මන් බුද්ධි අංශ ප්‍රධානි සුරේෂ් සලේ මහතාගෙන් ප්‍රකාශයක් ගැනීමට යෑමේදී ඇතිවූ අර්බුදයක් නිසාය. එහිදී ඇත්ත වශයෙන්ම චැනල් ෆෝ නාලිකාව සලේ මහතාගෙන් ප්‍රකාශයක් ගැනීමට උත්සාහ කළාද එසේ නොමැති නම් මෙවැනි වීඩියෝවක් එළියට එන බව දැන සලේ මහතා ඊට ප්‍රතිචාර දක්වා තිබුණාද යන්න සැකසහිතය. ඒ කොයි හැටි වෙතත් මේ සම්බන්ධයෙන් වහාම නීතිඥවරු මාර්ගයෙන් ප්‍රතිචාර දැක්වූ සලේ මහතා මෙම කරුණු සම්පූර්ණයෙන් අසත්‍ය බවත්, තමන් මේ කියන කාල සමයේ මැලේසියාවේ සහ ඉන්දියාවේ ගත කළ බවත් චැනල් 4 නාලිකාවට දැනුම් දී සිටියේය.
සාක්ෂිකරු රහසක්!
මේ තත්ත්වය යටතේ චැනල් 4 නාලිකාවද සිය වීඩියෝවේ නීතිමය පැත්ත පිළිබඳ නැවත වතාවක් සොයා බැලීමට තවත් මාසයක පමණ කාලයක් ගත්තේය. ඒ අනුව මෙවැනි ආන්දෝලනාත්මක වීඩියෝවක් නිකුත් කිරීමට නියමිතව ඇති බව මෙරට බුද්ධි අංශ වෙතද වාර්තා වී තිබුණු නමුත් එහි සාක්ෂිකරුවන් වශයෙන් කටයුතු කරන්නේ කවුද යන්න පිළිබඳ බුද්ධි අංශවලටද තිබුණේ මහත් ප්‍රහේළිකාවකි. ඔවුන්ට ඒ පිළිබඳ දැනගන්නට ලැබුණේ එම වීඩියෝවේ පූර්ව ප්‍රචාරක පටය නිකුත් වීමත් සමගය. සියල්ලන්ම පුදුමයට පත්කරමින් එහි සිටියේ වත්මන් ආණ්ඩුවේ ප්‍රබලයකු වන පිල්ලෙයාන් නොහොත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතාගේ පක්ෂයේ හිටපු මුදල් ලේකම්වරයා වන සහීර් මව්ලානා නමැත්තාය. හෙතෙම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් නොව ‘ද සන්ඩේ ලීඩර්’ කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන්ද මහත් ආන්දෝලනාත්මක කරුණු රැසක් එහිදී හෙළිදරව් කර සිටීමට පියවර ගෙන තිබිණි.
බලපෑම් වැඩිවෙයි!
කෙසේ වෙතත් පාස්කු ප්‍රහාරයට සමාන තවත් ප්‍රහාරයන් රැසක් මේ වනවිට ලංකාවට එල්ලවී ඇති ආකාරයක් ජාත්‍යන්තරය තුළ පෙළගැසෙමින් පවතින සිදුවීම්වලින් දැකගන්නට තිබේ. නමුත් ගෝඨාභය රාජපක්ෂ එලවා දමා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් කරගැනීමේදී පොහොට්ටුව පැත්තෙනුත්, එජාපය පැත්තෙනුත් පුන පුනා කියා සිටි කරුණක් වූයේ රනිල්ගේ පැමිණීමත් සමග ජාත්‍යන්තරය සමග ඇති සියලු ප්‍රශ්න විසඳෙනු ඇතැයි කියාය. රනිල් යනු ජාත්‍යන්තර දේශපාලනඥයකු බවත්, සියලු ජාත්‍යන්තර ප්‍රශ්න සහ ආර්ථික ප්‍රශ්න රනිල් විසඳනු ඇති බවත්, ජාත්‍යන්තරය රනිල්ගේ දෙපා ළඟට පැමිණෙනු ඇති බවත් එහිදී ඔවුන් කියා සිටි කතාව විය. මේ කතාවලට එදා මෙරට මාධ්‍යද විශාල ඉඩකඩක් ලබාදෙමින් රනිල්ගේ ජාත්‍යන්තර සබඳකම් පිළිබඳ මහා ඉහළින් වර්ණනා කරනු දැකගන්නට ලැබිණි. නමුත් අප ඒ අවස්ථාවේදී පවා කියා සිටියේ රනිල් ආවා කියා මෙම ජාත්‍යන්තර අර්බුද විසඳීමට නොහැකි බවකි. ජනවරමක් සහිත ජනාධිපතිවරයෙක් සහ ජනවරමක් සහිත ආණ්ඩුවක් පත්වන තුරු ජාත්‍යන්තර අර්බුද විසඳාගැනීමට අසීරු වනු ඇති බව අපි එහිදී පෙන්වා දුන්නෙමු. අප කී ආකාරයටම මේ වන විට ලංකාව රනිල් යටතේද බරපතළ ජාත්‍යන්තර ප්‍රශ්න ගණනාවකට මුහුණ දී අවසානය. එහිද එකක් පමණක් ලෙස මෙම චැනල් 4 අලුත්ම වීඩියෝව පෙන්වා දීමට පුළුවන.
නන්දලාල් රහස් කතාවක!
අනෙක් ප්‍රබලම ප්‍රශ්නය වී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කිරීමේදී මතුව ඇති ප්‍රශ්නයය. අප පසුගිය සතියේත් මෙම තීරය ඔස්සේ මේ පිළිබඳ යම් තොරතුරු ප්‍රමාණයක් වාර්තා කරමින් මූල්‍ය අරමුදල සිය දෙවැනි වාරිකය ලබාදීම පමා කිරීමේ අවදානමක් මතුව ඇති බව කියා සිටියෙමු. ඒ මූල්‍ය අරමුදලේ ප්‍රධාන කොන්දේසි ගණනාවක්ම ඉටු කිරීමට ආණ්ඩුව තවමත් අපොහොසත් වී සිටීම නිසාය. ඒ සමගම ජනාධිපතිවරයා පසුගිය සතියේ පාර්ලිමේන්තුවට පැමිණ දේශීය ආදායම් පනත මුදල් කමිටුවට හෝ ලබාදීමකින් තොරව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට එය සම්මත කරගැනීමට කටයුතු කිරීමට පියවර ගත්තේ කෙසේ හෝ මෙම වැඩකටයුතු අවසන් කිරීමට සිදුව ඇති බවත්, ඊට බාධා නොකරන ලෙසත් පාර්ලිමේන්තුවට දැනුම් දෙමිනි. ඒ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් පමණි. නමුත් විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම මූලික කරගෙන මේ වන විට ආණ්ඩුව සිටින්නේ පඹ ගාලක පැටලීය.
චීනය තවමත් වැට උඩ!
විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ප්‍රධානතම තැනක් හිමිවන්න් චීනයටය. ඒ, චීනය ලංකාවේ විශාලතම ණය හිමියා බවට පත්ව තිබීම හේතුවෙනි. මුල් අදියරේදී ඉන්දියාව, ජපානය, පැරිස් සමාජය, ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළට සහාය දිය හැකි බව ප්‍රකාශ කර සිටියත් චීනය ඒ සාකච්ඡාවලට එක්වූයේ නැත. චීනය කියා සිටියේ පොදුවේ පැවැත්වෙන සාකච්ඡාවලට එක්විය නොහැකි බවත්, තමන් එම සාකච්ඡාවල නිරීක්ෂකයකු වශයෙන් පමණක් සහභාගි වන බවත්ය. එමෙන්ම චීන ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ප්‍රථම ලංකාව සම්බන්ධයෙන් වන මූල්‍ය අරමුදලේ ණය සහ ලෝක බැංකුවේ ණය ප්‍රතිව්‍යුහගත කළ යුතු බවට චීනය පූර්ව කොන්දේසියක් පැනවීමටද පියවර ගෙන තිබිණි.
චීන බැංකුවේ කට්ටියක් ඇවිත්!
ඒ සියල්ල අතරවාරයේ මීට සති කිහිපයකට ඉහතදී චීන සංවර්ධන බැංකුවේ China Development Bank විශේෂ නියෝජිතයන් පිරිසක් ලංකාවේ සංචාරයක නිරත වීමට පියවර ගෙන තිබිණි. ලංකාව චීනයේ එක්සිම් බැංකුවෙන් ණය ලබාගෙන තිබුණද එක්සිම් බැංකුවද පාලනය වන්නේ චීන සංවර්ධන බැංකුවේ අධිපතිවරයා යටතේය. එහි තීන්දුද ගනු ලබන්නේ චීන සංවර්ධන බැංකුව මගින්ය. ඒ අනුව මීට සති කිහිපයකට ඉහතදී චීන සංවර්ධන බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයා ඇතුළු නිලධාරීන් කිහිප දෙනකු ලංකාවට පැමිණිමට පියවර ගෙන තිබිණි. නමුත් ඒ සම්බන්ධයෙන් කිසිදු මාධ්‍යයක් වාර්තා කොට නොතිබූ නිසා ඔවුන් ලංකාවට පැමිණියේ ඇයි, මුණගැසුනේ කවුද? කතා කළේ මොනවාද යන්න පිළිබඳ කොතැනකවත් සඳහන් වී තිබුණේ නැත. ඊට ප්‍රධානතම හේතුවක් වි තිබුණේ මෙම චීන නියෝජ්‍ය අධිපතිවරයාගේ ගමන ඉතා රහසිගත ලෙස තබාගැනීමට මෙරට මහබැංකු ප්‍රධානීන් කටයුතු කර තිබීමය. සාමාන්‍යයෙන් මෙවැනි ඉහළ පෙළේ විදෙස් නිලධාරීන් ලංකාවට පැමිණි විට මැති ඇමැතිවරුන්, මහාභාණ්ඩාගාරයේ ඉහළ නිලධාරීන් හමුවීම සාමාන්‍ය සම්ප්‍රදාය වුවද මෙම චීන නිලධාරීන් ලංකාවේ පවත්වා තිබුණේ එකම එක සාකච්ඡාවක් පමණි. ඒ, මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සමග පමණි. මෙම සාකච්ඡාව මහබැංකුවේ නන්දලාල් මහතාගේ කාමරයේ පැවැති අතර ඊට මහබැංකුවේ වෙනත් කිසිදු නිලධාරියකු එක් කරගැනීමට නන්දලාල් කටයුතු කර තිබුණේ නැත. ඊට එක්ව සිටි එකම එක නිලධාරියා වූයේ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පමණි. නන්දලාල් එසේ කොට තිබුණේ මෙම සාකච්ඡාව අතිශය රහසිගත ලෙස තබාගත යුතු වූ නිසාත්, එහි කතා කළ කරුණු මොනම ආකාරයකින්වත් එළියට නොයා යුතු නිසාත් විය යුතුය.
කතා කළ දේවල්!
කෙසේ වෙතත් ‘රාජ්‍ය රහස්’ තීරයට මෙම සාකච්ඡාව පිළිබඳවත්, එහි කතාබහට ලක්ව තිබූ කරුණු පිළිබඳවත් බොහෝ තොරතුරු ප්‍රමාණයක් ලැබී තිබේ. නමුත් ඇතැම් කරුණු අතිශය සංවේදී කරුණු වීම නිසා ඒවා රටට අනාවරණ කිරීමට වගකිව යුතු මාධ්‍යයක් ලෙස අපද සූදානම් නැත. නමුත් එක් කරුණක් පමණක් මෙහිදී සඳහන් කිරීමට පුළුවන. ඒ, අප විසින් මීට පෙරාතුව ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ වාර්තා කරන ලද කරුණක් පිළිබඳ මෙම චීන නිලධාරීන් නන්දලාල්ටත්, මහින්ද සිරිවර්ධනටත් දැනුම් දී ඇති බවය. එම කරුණ නම් චීන ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කලින් මූල්‍ය අරමුදලේ ණය සහ ලෝක බැංකුවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එම ආයතනද කටයුතු කළ යුතු යැයි කියාය. මෙම කොන්දේසිය වෙනස් කරගැනීමට නන්දලාල් සහ සිරිවර්ධන කෙතරම් උත්සාහ කළත් චීන නිලධාරීන් සිය ස්ථාවරය වෙනස් කොට නොමැති බව ‘රාජ්‍ය රහස්’ තීරයට ලැබුණු තොරතුරුවලින් දැනගන්නට ඇත. ඒ අනුව චීන ණය ප්‍රතිව්‍යුහගත කිරීම පැත්තෙන් මතුව ඇත්තේ තරමක් ව්‍යාකූල තත්ත්වයකි.
හැමිල්ටන් රිසර්ව් බැංකුවේ නඩුව!
මුල්‍ය අරමුදල මුල්කරගෙන ඊළඟ ප්‍රශ්නය පැනනැගී ඇත්තේ ඇමෙරිකාවේ හැමිල්ටන් රිසර්ව් බැංකුව මගින් 2022 ජුනි මාසයේ ලංකාවට එරෙහිව නිව්යෝක් අධිකරණයේ පවරා ඇති මූල්‍ය නඩුවේ තීන්දුව ලැබීමට නියමිතව තිබීමය. පසුගිය කාලයේ ආණ්ඩුව බැඳුම්කර විකිණීමේදී විදේශීය ආයෝජකයන් එම බැඳුම්කර මිලදී ගෙන තිබුණු අතර, ඇමෙරිකාවේ හැමිල්ටන් රිසර්ව් බැංකුවද ඩොලර් මිලියන 250ක බැඳුම්කර මිලදී ගෙන තිබිණි. නමුත් ආණ්ඩුව බංකොලොත් බව ප්‍රකාශ කිරීම හේතුකොට ගෙන මෙම විදෙස් බැඳුම්කර ගෙවීම අත්හිටුවීමට ආණ්ඩුව කටයුතු කොට තිබිණි. හැමිල්ටන් රිසර්ව් බැංකුව ඊට එරෙහිව නිව්යෝක් අධීකරණයේ ලංකාවට එරෙහිව නඩු පවරා ඇති අතර ඔවුන් එහිදී ඉල්ලා සිටියේ තම මුදල් ගෙවන ලෙසට අධිකරණ නියෝගයක් නිකුත් කරන ලෙසටය. යම් හෙයකින් මෙම නඩු තීන්දුව මගින් මුදල් ගෙවන ලෙස නියෝගයක් නිකුත් වුවහොත් සියලු විදෙස් බැඳුම්කර හිමියන්ගේ ණය පියවීමට ආණ්ඩුවට සිදුවනු ඇත. පවතින ඩොලර් අර්බුදය හමුවේ එය ඉතා අසීරු සහ කළ නොහැකි කටයුත්තකි.
දේපොළ පවරගන්නත් පුලුවන්!
අනෙක් අතට මෙහි ඇති බරපතළම කාරණය වන්නේ එවැනි තීන්දුවක් ලබාදීමෙන් පසු එය ගෙවීමට අපොහොසත් වුවහොත් එම රටවල ඇති ලංකාවට අයත් දේපළ පවරා ගැනීමේ අවදානමක් මතුවීමය. එහිදී තානාපති කාර්යාල දේපළ හැරුණු කොට ගුවන් යානා පවා අත්පත් කරගැනීමට තරම් එම නීති ප්‍රබලය. කෙසේ වෙතත් ලංකා ආණ්ඩුව මෙම නඩු කටයුත්තට සම්බන්ධ වෙමින් දැනටමත් අධිකරණයට දැනුම් දී ඇත්තේ විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත්, ඒ සඳහා යම් කාලසීමාවක් ගතවනු ඇති බවත්ය. මාස 06ක කාලයක් ලබාදෙන ලෙස එහිදී ආණ්ඩුව කළ ඉල්ලීම අනුව නිව්යෝක් අධිකරණය එම කාලය ලබාදීමට පියවර ගෙන තිබිණි. ඒ අනුව එම තීන්දුව ලබාදීමට නියමිතව තිබුණේ මේ මස මුල් සතියේය. එහිදී බොහෝ දෙනා සිතා සිටියේ හැමිල්ටන් රිසර්ව් බැංකුවට වාසිසහගත ලෙස මෙම තීන්දුව ප්‍රකාශයට පත්වනු ඇතැයි කියාය.
තීන්දුව නවත්වයි!
නමුත් සියල්ලන්ම පුදුමයට පත්කරමින් ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව මීට දින කිහිපයකට ඉහතදී මෙම නඩුවට මැදිහත් වීමට පියවර ගෙන තිබිණි. එහිදී ඔවුන් අධිකරණයට දැනුම් දී තිබුණේ මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත්කිරීම කල් දැමීමට කටයුතු කරන ලෙසය. ඒ අනුව අධිකරණය ලබන ඔක්තෝබර් 02 දක්වා මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත්කිරීම කල්දමා තිබේ. එය එක් අතකින් ලංකාවට සහනයක් මෙන්ම ලංකාවට ඉහළින් තොණ්ඩුවක් එල්ලා තැබීම හා සමාන සිදුවීමකි. මන්ද යත් ලබන ඔක්තෝබරය වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචනය සිදුකිරීමට මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් ලංකාවට පැමිණීමට නියමිතව තිබීම නිසා ලංකාවට අහිතකර නඩු තීන්දුවක් ප්‍රකාශයට පත්ව නොතිබීම එක් අතකින් වාසිසහගතය. අනෙක් අතින් අදාළ මුදල් ගෙවන ලෙස නිව්යෝක් අධිකරණය ඔක්තෝබර් 06ට පසු තීන්දුව ලබාදුනහොත් එම මුදල් පියවීමට ලංකාවට සිදුවනු ඇත. නොගෙවුවහොත් ලංකාවේ වත්කම් පවරා ගැනීමට අදාළ බැංකුව කටයුතු කරනු ඇත.
අපි මේවා කියන්නේ ඇයි?
අප මේ තොරතුරු ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ වාර්තා කරන්නේ වෙන කිසිවක් නිසා නොව මේ තිත්ත ඇත්ත පිළිබඳ ලංකාවේ කිසිදු මාධ්‍යයක් කතා නොකරන නිසාය. ඒ හේතුවෙන් ලංකාවේ ජනතාව මේ කිසිදු තොරතුරක් නොදන්නා නිසාය. ලංකාවේ කිසිදු ප්‍රශ්නයක් නොමැති ආකාරයට මෙරට මාධ්‍ය තොරතුරු වාර්තා කිරීම හේතුවෙන් ලංකාවේ ජනතාවද සිතන්නේ දැන් සියලු ප්‍රශ්න අවසන්ව ඇතැයි කියාය. නමුත් අප මෙම තොරතුරු වාර්තා කරන්නේ ඇත්ත තත්ත්වය සහ අවදානම කල්තියාම පෙන්වා දීම මාධ්‍ය සතු වගකීමක් වන නිසාය.
මූල්‍ය අරමුදලත් පඹ ගාලක!
මේ තත්ත්වය මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද ලංකාව සම්බන්ධයෙන් මුහුණ දී සිටින්නේ තරමක් අසීරු තත්ත්වයකටය. එක් අතකින් ලංකාව තවමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පොරොන්දු වූ කොන්දේසිවලින් ඉටුකර ඇත්තේ ඉතා අල්ප ප්‍රමාණයකි. ඒ නිසා ණය වාරිකයේ දෙවැනි කොටස ලබාදීම පිළිබඳ ඔවුන් තුළද ඇත්තේ දෙගිඩියාවකි. නමුත් ලංකාවේ තත්ත්වය දෙස බලන විට දෙවැනි වාරිකය නිදහස් නොකළොත් තත්ත්වය තවත් දරුණු අතට පෙරළීම වැළැක්විය නොහැකිය. එමනිසා ඇතැමුන් පවසන්නේ දෙවැනි වාරිකය ලබාදීම කල්දැමීමේ තත්ත්වයක් පවා මතුවිය හැකි යැයි කියාය. එමෙන්ම එය ණය වාරික නිදහස් කිරීමේ අවසන් අවස්ථාව වනු ඇති බවද ඇතැමුන්ගේ මතයය.
අස්සන් කළේ තත්ත්වය නොදැනද?
අනෙක් අතට මූල්‍ය අරමුදල ලංකාව සමග ගිවිසුම් අස්සන් කළේ ජාත්‍යන්තරය තුළ පවතින මේ තත්ත්වය පිළිබඳ නොදැනද යන්න පිළිබඳ මේ වන විට යම් කතාබහක් මතුව තිබේ. එවැනි වාතාවරණයක් හමුවේ යම් හෙයකින් මූල්‍ය අරමුදල සිය වාරික නිදහස් කිරීම අත්හිටුවීමට පියවර ගතහොත් නැවත වතාවක් ලංකාව බංකොලොත් රටක් බවට ප්‍රකාශ කිරීමට ඇති අවදානම ඉතා ඉහළය. ඒ ආකාරයට එක් වතාවකට වඩා වැඩි ගණනක් සිය රට බංකොලොත් බව ප්‍රකාශයට පත්කළ රටවල්ද ලොව නැතුවා නොවේ. එම තත්ත්වය වළක්වා ගන්නට තම ආණ්ඩුව මුලින්ම විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩකටයුතු අවසන් කොට මූල්‍ය ස්ථාවරත්වය ගොඩනගාගත යුතුය. ණය වාරික හා පොලී නිසි අයුරින් ගෙවීම ආරම්භ කළ යුතුය. මුලින් කීවාක් මෙන්ම අප මේවා වාර්තා කරන්නේ දේශපාලනඥයන්ගේ සුන්දර කතාවලට රැවැටී රට සුරපුරයක් බවට පත්වනු ඇතැයි සිතන යම් පිරිසක් තවමත් සිටින නිසාත්, ඇත්ත තත්ත්වය පිළිබඳ රට වැසියන් දැනුවත්ව සිටිය යුතු නිසාත්ය.
රාජ්නාත් හැරුණේ ඇයි!
අප අනාවරණ කිරීමට සූදානම් වන ඊළඟ ජාත්‍යන්තර ප්‍රශ්නය පෙර කී කරුණුවලටත් වඩා අතිශය භයානකය. ඒ, ඉන්දියාව සම්බන්ධයෙන්ය. රාජපක්ෂවරු බලයේ සිටියදීත් රාජපක්ෂවරුන් බලයෙන් ඉවත් වී සිටියදීත් අප මෙම තීරය ඔස්සේ වරින් වර කී කරුණක් වූයේ කවුරු බලයේ සිටියත් අසල්වැසි ප්‍රබලයා වූ ඉන්දියාව සමග ඉතා සමීප සබඳතාවක් පවත්වාගත යුතු යැයි කියාය. ඉන්දියාව සමග සමීපව කටයුතු කරද්දී ආණ්ඩු ආරක්ෂා වී තිබුණු ආකාරයත්, ඉන්දියාවේ මතයට එරෙහිව ගොස් ඉන්දියාව කෝප ගන්වා කටයුතු කරන්නට ගොස් ආණ්ඩු බිඳවැටුණු ආකාරයත් පසුගිය කාලය පුරාම අප මෙම තීරය ඔස්සේ වාර්තා කිරීමට පියවර ගත්තෙමු.
ඩොලර් බිලියන 4ක් දුන්නා!
විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ සමයේදී කොරෝනා වසංතයට මුහුණ දීමට සිදුවූ අවස්ථාවේදී රට සිටියේ ඩොලර් අර්බුදයේ එළිපත්තට පැමිණය. විදෙස් ණයවාරික ගෙවනවා තබා එදිනෙදා කෑම බීම, ඖෂධ, ඉන්ධන මිලදී ගැනීමට පවා ඩොලර් නොමැතිව ජනතාව කෑම, බෙහෙත් නොමැතිව මියයන තත්ත්වයක් එකල මතුව තිබිණි. ඒ අවස්ථාවේදී ලංකාවේ පිහිටට ආවේ වෙන කවුරුවත් නොව ඉන්දියාවය. එවක මුදල් ඇමැතිවරයාව සිටි බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවට ගොස් පවතින අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා ඩොලර් බිලියන 4ක ණය මුදලක් ලබාගැනීමට පියවර ගත්තේය. එදා ලංකාවේ ජනතාව කන්න නැතිව, බෙහෙත් නැතිව මැරෙන්නට තිබූ තත්ත්වයෙන් ගොඩ ඒමට හැකි වූයේ ඉන්දියාව ලබාදුන් ඒ ඩොලර් බිලියන 4ක ණය මුදලට පින් සිදුවන්නටය.
කිව්වේ නම් ඔක්කොම හරි කියලා!
මේ තත්ත්වය යටතේ සියලු දෙනාම සිතුවේ රනිල් ආ විගස ඇමෙරිකාව, බි්‍රතාන්‍යය ඇතුළු බටහිර රටවල් පමණක් නොව ඉන්දියාව සහ චීනය සමගද සමීප සබඳතාවක් පවත්වාගෙන යනු ඇතැයි කියාය. නමුත් මේ වන විට සිදුව ඇත්තේ එහි අනෙක් පැත්තය. චීන නැව් සිද්ධිය මුල් කරගෙන මේ වන විට ඉන්දියාව සිටින්නේ ලංකාව සමග තරමක විරසකයකින්ය. එමෙන්ම පසුගිය සතියේ සිදුවූ තවත් සිද්ධියක් හේතුකොට ගෙන ලංකාව හා ඉන්දියාව අතර සබඳතාවට කණ කොකා හඬන ආකාරයක් මතුව ඇති බවක්ද දැකගන්නට ඇත.
හේතුව කිව්වේ නෑ!
එම සිදුවීමට මුල් වූයේ ඉන්දීය ආරක්ෂක ලේකම් රාජ්නාත් සිං මහතාගේ ලංකා ගමන හදිසියේම අවලංගු කිරීමට ඉන්දීය රජය පියවර ගැනීමත් සමගය. පසුගිය සෙනසුරාදා දින රාජ්නාත්ගේ ලංකා ගමනට සියල්ල සංවිධාන කොට තිබියදී ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය සිකුරාදා රාත්‍රී 9ට නිවේදනය කළේ එම සංචාරය හදිසියේම ‘නොවැළැක්විය හැකි හේතුවක් මත’ අවලංගු කළා යැයි කියාය. නමුත් එම නොවැළැක්විය හැකි හේතුව කුමක්ද යන්න එම නිවේදනයේ සඳහන් නොවිණි.
ලංකාවේ උනන්දුවක් තිබ්බාද?
සාමාන්‍යයෙන් රාජ්නාත් සිං සැලකෙන්නේ ඉන්දීය ආණ්ඩුවේ අගමැති මෝදිගෙන් පසුව සිටින ප්‍රබලම නායකයා ලෙසය. එවැනි ප්‍රබලයකු ලංකාවට පැමිණෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් ලංකාවෙන්ද යම් පෙර සූදානම් වීමක් සිදුවිය යුතුව තිබිණි. නමුත් එවැනි සූදානම් වීමක් හෝ එම සංචාරය ගැන උනන්දුවක් හෝ ආණ්ඩුව පැත්තෙන් දැකගන්නට ලැබුණේ නැත. අවම තරමින් මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය හෝ ජනාධිපති ලේකම් කාර්යාලය හෝ ඒ පිළිබඳ උනන්දුවෙන් කටයුතු කරන බවක් දැකගන්නට තිබුණේද නැත. රාජ්නාත්ගේ ලංකා ගමන පිළිබඳ සියලු දෙනාටම තොරතුරු දැනගන්නට ලැබුණේ මෙරට මාධ්‍යවලින් නොව ඉන්දීය මාධ්‍යවල පළවූ පුවත්වලින්ය. එහිදී සමහරු කීවේ රාජ්නාත් ලංකාවට එන්නේ චීන නැව සම්බන්ධයෙන් කතා කිරීමට යැයි කියාය. තවත් සමහරු කිව්වේ උතුරු – නැගෙනහිර වාර්ගික ප්‍රශ්නය සහ පළාත් සභා මැතිවරණය ගැන සාකච්ඡා කිරීමට රාජ්නාත් ලංකාවට පැමිණෙනවා යැයි කියාය. කෙසේ වෙතත් සිකුරාදා පස්වරු 4ටත් මෙරට පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කොට තිබුණේ රාජ්නාත් ලංකාවට පැමිණ ජනාධිපති සහ අගමැති මුණගැසී ත්‍රිකුණාමලයේත් නුවරඑළියේ සීතා කෝවිල ප්‍රදේශයේත් සංචාරය කිරීමට රාජ්නාත් සැලසුම් කොට ඇතැයි කියාය. එසේ තිබියදීත් ලංකා ආණ්ඩුව පැත්තෙන් ඒ සම්බන්ධයෙන් කිසිදු නිවේදනයක් නිකුත් නොවීම විශේෂ සිදුවීමක් විය.
ප්‍රසන්නගෙන් නිවේදනය දුන්නේ පණිවුඩයක්ද?
එසේ තිබියදී සිකුරාදා පෙරවරුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මෙන්ම කැබිනට් අමාත්‍යවරයකුද වන ප්‍රසන්න රණතුංගගේ නමින් විශේෂ පුවතක් ඇතැම් වෙබ් අඩවිවල පළවිය. ඉන් කියැවුණේ පොලිස් ඉඩම් බලතල හැරුණු විට 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අනෙකුත් සියලු බලතල ලබාදීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව එකඟ බවට ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කර ඇති බවකි. අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ රාජ්නාත්ගේ සංචාරයට ප්‍රථම මෙවැනි පුවතක් පළකිරීම හරහා යම්කිසි පාර්ශ්වයක් 13 සම්බන්ධයෙන් වන ආණ්ඩුවේ මතය එළියට දමා තිබූ බවකි. එම පුවත පිළිබඳ ඉන්දියාවටද තොරතුරු වාර්තා වී තිබූ බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
නැවකුත් එව්වා!
ඒ කෙසේ වෙතත් රාජ්නාත්ගේ ලංකා ගමන තවදුරටත් තහවුරු කරමින් සිකුරාදා පස්වරුවේ ඉන්දීය ආරක්ෂක යුද නෞකාවක් වූ අයි.එන්.එස්. නෞකාව කොළඹ වරායට පැමිණ රාජ්නාත්ගේ ලංකා ගමනේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් සොයාබැලීමකද නිරත වී තිබිණි. සාමාන්‍යයෙන් ඉන්දීය අගමැතිවරයා හෝ එම ආණ්ඩුවේ ප්‍රබලයකු විදෙස්ගත වන්නේ නම් ඉන්දීය යුද නෞකා එම රටට කල්තියා පැමිණ ආරක්ෂක තත්ත්වය තහවුරු කිරීම සාමාන්‍ය සම්ප්‍රදායය. අයි.එන්.එස්. නෞකාව පැමිණියේ ඒ අනුවය. එසේ තිබියදීත් සිකුරාදා රාත්‍රී 9.04ට ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ හදිසි නිවේදනයකින් කියැවුණේ නොවැළැක්විය හැකි හේතුවක් මත රාජ්නාත්ගේ ගමන දින නියමයක් නැතිව කල්දමා ඇති බවකි. මෙය ලංකාවේ මාධ්‍යවලට එතරම් ලොකු පුවතක් නොවුණද, ඉන්දීය මාධ්‍ය එයට විශාල ප්‍රචාරයක් ලබාදීමට පියවර ගැනීම විශේෂ සිදුවීමක් විය. ඊට හේතු වී තිබුණේ සෙනසුරාදා පෙරවරුවේ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ලංකාවට පැමිණිමට නියමිතව තිබියදී සිකුරාදා රාත්‍රියේ එම සංචාරය අවලංගු කිරීම බරපතළ තත්ත්වයක් බව ඉන්දීය මාධ්‍ය වටහාගෙන තිබීම නිසාය. කොටින්ම කියනවා නම් එය රාජ්‍යතාන්ත්‍රික කටයුතුවලදී එතරම් සුබ ලකුණක් නොවන බව ඉන්දීය මාධ්‍ය වටහාගෙන තිබීම ඊට හේතුවය.
සනීප නැතිවද?
කෙසේ වෙතත් මෙය එතරම් හොඳ තත්ත්වයක් නොවන බව ආණ්ඩුවේ ඇතැමුන්ටද වැටහී ගියේ ඉන්දීය මාධ්‍ය ඊට ලබාදී තිබූ ඉඩකඩ දෙස බලන විටදීය. ඒ අනුව ආණ්ඩුව පැත්තෙන් ගිය ප්‍රචාරයකින් කියැවුණේ යම් හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රාජ්නාත් සිංගේ ලංකා ගමන අවලංගු කොට ඇතැයි කියාය. නමුත් එම ප්‍රචාරය බොරුවක් බව තහවුරු වූයේ සඳුදා දිනයේදී රාජ්නාත් ඉන්දීය මහ මැතිවරණය ඉලක්ක කරගෙන ජන ආශීර්වාද යාත්‍රා නමින් දැවැන්ත ප්‍රචාරක වැඩපිළිවෙළක් ආරම්භ කිරීම සඳහා සහභාගි වී සිටීම නිසාය. එහිදී විශේෂ කතාවක් කිරීමටද රාජ්නාත් කටයුතු කොට තිබිණි. ඒ අනුව ආණ්ඩුව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය මගින් නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබූ ‘නොවැළැක්විය හැකි හේතුවක්’ යන හේතුපාඨය සම්බන්ධයෙන් ආණ්ඩුව දැඩි අවධානයක් යොමුකළ යුතු බව බොහෝ දෙනාගේ අදහසය.
සජිත්ට පණිවුඩයක්!
චැනල් 4 නාලිකාව මගින් විකාශය කළ වීඩියෝවත් සමග මේ වන විට රට ඇතුළේ දේශපාලනය මෙන්ම ජාත්‍යන්තර දේශපාලනය මහත් කැලඹීමකට ලක්ව ඇති ආකාරයක් දැකගන්නට තිබේ. විශේෂයෙන්ම පසුගිය සතියේදී එම වීඩියෝවේ අඩංගු වී තිබූ කරුණු මුල් කරගෙන පාර්ලිමේන්තුව තුළ විශාල වශයෙන් සාකච්ඡා වූ ආකාරයක් දැකගන්නට ලැබිණි. මෙහිදී වීඩියෝව මගින් ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය පිළිබඳවද තොරතුරු අනාවරණ කර තිබූ අතර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරමින් ලසන්තගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් ආණ්ඩුව ඇතුළේ සිටින්නේද යනුවෙන් ප්‍රශ්න කර සිටීමටද පියවර ගත්තේය.
දුව අහිම්සාගෙන්!
මේ ආකාරයට ලසන්ත පිළිබඳ සජිත් පාර්ලිමේන්තුවේ කතා කිරීමත් සමග ඊට පසු දිනම සජිත්ගේ දුරකතනයට එක්තරා කෙටි පණිවුඩයක් ලැබිණි. එම කෙටි පණිවුඩය යොමුවී තිබුණේ වෙන කාගෙන්වත් නොව, ලසන්තගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංගගෙන්ය. අහිම්සා මේ වන විට ඇමෙරිකාවේ ජීවත් වන අතර, ලසන්ත වෙනුවෙන් ගෝඨාට එරෙහිව ඇමෙරිකානු අධිකරණය තුළ නඩු පැවරීමටද කටයුතු කොට ඇත. ඒ අනුව අහිම්සා සජිත්ට යැවූ කෙටි පණිවුඩයෙන් සිය පියා පිළිබඳ පාර්ලිමේන්තුවේ හඬ නැගීම සම්බන්ධයෙන් විශේෂ ස්තුතියක් පළකිරීමටද පියවර ගෙන තිබිණි.
ආයෙත් කමිටුවක්!
පසුගිය සතියේ ජනාධිපතිවරයා හා රාජ්‍ය අමාත්‍යවරුන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. ඒ සඳහා හේතු වී තිබුණේ තමන්ට බලතල නොපවරන බවට කාලයක් පුරාම රාජ්‍ය අමාත්‍යවරුන් තුළ තිබූ මැසිවිල්ලකි. අවසන් වරට අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී රාජ්‍ය අමාත්‍යවරුන් මේ පිළිබඳ අගමැතිවරයාට පැමිණිලි කර තිබූ අතර, වහාම ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් සූදානම් කරන ලෙස ඉල්ලීමක්ද කොට තිබිණි. ඒ අනුව ජනාධිපතිවරයා සමග පැවැති එම සාකච්ඡාවේදී රාජ්‍ය අමාත්‍යවරුන්ගෙන් ඉල්ලීම් දෙකක් ඉදිරිපත් විය. ඉන් පළමු ඉල්ලීම වූයේ රාජ්‍ය අමාත්‍යවරුන් වෙනුවෙන් වෙනම ලේකම්වරයෙක් පත්කරන ලෙසය. දෙවැනි ඉල්ලීම වී තිබුණේ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ විෂයයන් ගැසට් මගින් ප්‍රකාශයට පත්කරන ලෙසය. රාජ්‍ය අමාත්‍යවරුන් මෙම ඉල්ලීම ජනාධිපතිවරයාගෙන් කළේ එම ඉල්ලීම් දෙකම ඉටු නොවන බව හොඳින්ම දැනගෙනය. එමෙන්ම ජනාධිපතිවරයා මෙම ප්‍රශ්නය මඟහැරීම සඳහා කමිටුවක් පත්කරන බව හොඳින්ම වටහාගෙන සිටි රාජ්‍ය අමාත්‍යවරුන් සාකච්ඡාව ආරම්භයේදීම සිනාසෙමින් කියා සිටියේ, ‘අනේ ජනාධිපතිතුමනි, කරුණාකරලා මේකට කමිටු නම් දාන්නේ නැතුව අදම විසඳුමක් දෙන්න’ යැයි කියාය. ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරු මෙම ඉල්ලීම් දෙකම ඉදිරිපත් කරමින් එහි යහපත් පැත්ත ජනාධිපතිවරයාට පෙන්වා දීමට පියවර ගත්හ.
කෙසේ වෙතත් කොපමණ කරුණු පැහැදිලි කළත් අවසානයේදී ජනාධිපතිවරයා සාකච්ඡාව අවසන් කළේ අගමැතිවරයාගේ සහ ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් මෙම ප්‍රශ්නය විසඳීම සඳහා කමිටුවක් පත්කරමිනි. ඒ අනුව සාකච්ඡාව අවසන් කරමින් රාජ්‍ය අමාත්‍යවරු සිය නිල රථවලට ගොඩවූයේ, ‘අපිත් මේකට කොයිවෙලාවේ හරි හොඳ රිටන් එකක් දෙන්නම්කො’ යැයි එකිනෙකාට කියාගනිමිනි.
රනිල් මලික් එකතුව එළියට!
ලංකා දේශපාලනයේ කලින් කලට ප්‍රවෘත්ති මවන චරිතයක් ලෙස මලික් සමරවික්‍රම ප්‍රකටය. මලික් යනු රනිල්ගේ පාසල් සගයා මෙන්ම රනිල්ගේ අතිශය සමීපතම විශ්වාසවන්තයාය. මේ නිසාම එදා සිටම මලික් රනිල් සමග එක්ව ආණ්ඩුවේ වැඩකටයුතුවලටත්, පක්ෂයේ වැඩකටයුතුවලටත් සම්බන්ධ වී සිටියේය. කෙසේ වෙතත් පසුගිය ජනාධිපතිවරණයේදී පක්ෂ අපේක්ෂකත්වය සජිත්ට ලබාදීම සම්බන්ධයෙන් මලික් සහ මංගල සමරවීර සිටියේ එක මතයකය. ඔවුන්ගේ ස්ථාවරය වී තිබුණේ සජිත් එජාපයෙන් එළියට පැමිණ නව පක්ෂයක් පිහිටුවා රටේ බලය ඇල්ලිය යුතු යැයි කියාය. ඒ අනුව මේ සිද්ධිය මත බොහෝ දෙනා රනිල් සහ මලික් අතර මතගැටුමක් ඇති බව සිතා සිටියද එය එසේ වූයේ නැත. දෙදෙනාම තමන්ගේ හිතවත්කම ඒ අයුරින්ම පවත්වාගෙන ගියහ. ඇතැම් තැන්වල කියැවුණේ ජවිපෙ හා රනිල් අතර යම් යම් පණිවුඩ ගෙන යෑමට මලික් මැදිහත් වී ඇතැයි කියාය. තවත් තැන්වලදී කියැවුණේ සජබ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු ආණ්ඩුවට එක්කර ගැනීම සඳහා මලික්ගේ ගෙදර සාකච්ඡා වට කිහිපයක් පැවැත්වී ඇති බවකි. වරක් සජිත් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමකදී මලික් සජබය කැඩීමට උත්සාහ කරන බව කියමින් ප්‍රසිද්ධියේම අදහස් දැක්වීමටද පියවර ගෙන තිබිණි.
දැම්මේ කව්ද?
කෙසේවෙතත් මලික් හා රනිල් අතර හිතවත්කම එදා මෙන්ම තිබුණද එය එළියේදී වැඩිපුර දැකගන්නට ලැබුණේ නැත. නමුත් මෙම හිතවත්කම පසුගියදා නොවැළැක්විය හැකි හේතුවක් මුල්කරගෙන එළියට පැන්න ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ රනිල් රන්දෝලි පෙරහැර නැරඹීම සඳහා මහනුවරට ගිය අවස්ථාවේදී රනිල් සහ මලික් එකට සිටින ඡායාරූපයක් ජනාධිපති මාධ්‍ය ඒකකය මගින් ප්‍රචාරය කිරීමත් සමගය. රනිල් හා මල්වතු අස්ගිරි නාහිමිවරුන් අතර පැවැති හමුවේදී මලික්ද පසෙක අසුන්ගෙන සිටින ආකාරයක් මෙම ඡායාරූපවල දැකගන්නට ලැබිණි. ඒ අනුව එම ඡායාරූපය නොදැනුවත්ව ජනාධිපති මාධ්‍ය ඒකකය මගින් පිටවූවාද, එසේත් නැතිනම් කාගේ හෝ වුවමනාවක් මත එය මාධ්‍යයට නිකුත් වූවාද යන්න ප්‍රහේළිකාවකි.