ගෙවුණු දින 7 ඇතුළත රට පුරා වෙඩිතැබීමේ සිදුවීම් 7ක් සිදුව ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණ කරයි.Sri Lanka Latest News
ඒ අනුව පසුගිය 16 වැනිදා නවගමුව වඳුරමුල්ල ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුවූ අතර, ඉන් 26 හැවිරිදි තරුණයකු මියගොස් තිබිණි.
ඉන් අනතුරුව පසුගිය 19 වැනි දින ගල්කිස්ස පොදු සුසාන භූමියෙහි මුරකරු වශයෙන් කටයුතු කළ පාතාල අපරාධකරුවකු වන සැන්ඩෝ නමැත්තාගේ පියාට වෙඩිතැබීමට කිසියම් පිරිසක් කටයුතු කොට තිබිණි. එම වෙඩි ප්‍රහාරයන් ඔහු තුවාල ලබා රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබිණි.
පසුව 21 වැනිදා ගල්කිස්ස ටෙම්ප්ලර්ස් පාරේදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු පුද්ගලයකු ඉලක්ක කරගෙන වෙඩි තැබීමට උත්සාහ කර තිබූ නමුත්, ගිනිඅවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් එම උත්සාහය ව්‍යර්ථ වී තිබිණි.
මීට අමතරව පසුගිය 22 වැනි දින පෙරවරුවේ දෙවුන්දර දේවාලය ආසන්නයේ පිහිටා තිබූ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල කොට තිබුණද, ඉන් කිසිවකුට තුවාල සිදුව තිබුණේ නැත.
අවසාන වශයෙන් පසුගිය බ්‍රහස්පතින්දා (23) පෙරවරුවේ බෙලිඅත්ත වලවල ප්‍රදේශයේ පිහිටි පොලිස් නිලධාරියකුගේ නිවසට වෙඩිතබා තිබූ අතර, දහවල් කාලයේදී දෙමටගොඩ කුප්පියාවත්ත සුසානභූමිය ආසන්නයේදීද වෙඩිතැබීමක් සිදුව තිබිණි. ඉන් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයකු තුවාල ලබා තිබිණි.
එදිනම සවස වත්තල පොලිස් වසමට අයත් පල්ලියවත්ත කදිරාන පාලම ආසන්නයේදී උත්සව ශාලාවකට එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් එක් පුද්ගලයකු මියගොස් තිබිණි.
පොලිසිය පවසන්නේ මේ සෑම සිද්ධියක් පසුපසම පාලාත ක්‍රියාකාරිකයන් සිටින බවත්, ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරෙමින් පවතින බවත්ය.










