• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

June 7, 2026
in Exclusive, Rajya Rahas
Reading Time: 13 mins read
A A
Share on WhatsAppShare on Facebook

අමෙරිකාව එක්ක අලුත් අවුලක්

​අවස්ථා ගණනාවකදීම ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයා වූ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා වූ ඇමෙරිකා එක්සත් ජනපද විශේෂ නියෝජිත සර්ජියෝ ගෝර් සම්බන්ධයෙන් සුවිශේෂ තොරතුරු කිහිපයක් අප මෙම තීරයේ වාර්තා කර තැබුවෙමු. මුලින්ම අප ගෝර් පිළිබඳ වාර්තා කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ආමන්ත්‍රණය කිරීම සඳහා ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරට ගිය අවස්ථාවේදී ගෝර් හමුවීම පිළිබඳවය. එහිදී ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයා වශයෙන් ගෝර් ජනාධිපති අනුර සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අතර, එම සාකච්ඡාවේදී ඕනෑම අවස්ථාවකදී ට්‍රම්ප් ජනාධිපතිවරයාව සම්බන්ධ කර දීමේ හැකියාව තමන්ට ඇති බව ගෝර් විසින් ජනාධිපතිවරයාට දැනුම් දුන් බවද අපි එහිදී සඳහන් කළෙමු.Sri Lanka Latest News

ඉන් අනතුරුව ගෝර් සම්බන්ධයෙන් අප තොරතුරු අනාවරණ කළේ ඔහුගේ හදිසි ලංකා සංචාරය පිළිබඳවත්, එම සංචාරයේදී ගෝර් මුලින්ම ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවීමෙන් පසු කෙළින්ම කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට සහ බටහිර පර්යන්තයට ගොස් එම ස්ථානවල පිහිටි ග්‍රැන්ටි දොඹකරවලට නැගී සමස්ත වරායත්, ඉන්දියානු සාගරයත් නිරීක්ෂණය කළ බවත් අපි එහිදී සඳහන් කර සිටියෙමු. එම සිදුවීම මෙරට කිසිදු මාධ්‍යයකින් වාර්තා කිරීමට කටයුතු නොකිරීමද විශේෂ සිද්ධියකි. කෙසේ වෙතත් ගෝර් හා ජනාධිපතිවරයා අතර සිදුවූ හමුවේදී ලංකාවට වෙරළාරක්ෂක නෞකාවක් සහ ජීවිතාරක්ෂක හෙලිකොප්ටර් යානා 10ක් ලංකාවට ලබාදීමට ඇමෙරිකාව සූදානම් බවද ගෝර් ජනාධිපතිවරයා වෙත දැනුම්දී සිටියේය. මේ බවද ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ වාර්තා කළ අප, එම නෞකාව සහ හෙලිකොප්ටර් යානා ලංකාවට ලබාදෙන අවස්ථාවේදී ඊට අදාළ උත්සවයට සහභාගි වීමට ගෝර් පෞද්ගලිකවම ලංකාවට පැමිණීමට නියමිත බවද වාර්තා කර සිටියෙමු. මෙය ශ්‍රී ලංකා සහ ඇමෙරිකානු රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන්හි ඉතා සුවිශේෂ අවස්ථාවක් වනු ඇති බවද අප එහිදී සටහන් කොට තැබුවෙමු.

අප කී ආකාරයටම පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී මෙම වෙරළාරක්ෂක නෞකාව ශ්‍රී ලංකාවට භාරදීමට ඇමෙරිකාව පියවර ගත්තේය. ජනාධිපතිවරයාද සහභාගී වූ මෙම උත්සවය ඉතා ඉහළින් සැමරීමට මෙරට පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය කටයුතු කොට තිබුණද, එහි විශාල අඩුවක් බැලූ බැල්මටම බොහෝ දෙනාට දැකගන්නට ලැබිණි. ඒ අඩුව වෙන මොකක්වත් නොව, ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයා වූ සර්ජියෝ ගෝර්ගේ මුහුණ එහිදී දැකගන්නට නොවීමය. එසේ නම් මෙම වෙරළාරක්ෂක නෞකා සහ හෙලිකොප්ටර් යානා ලංකාවට ලබාදීමට මැදිහත් වූ සහ එම උත්සවයට තමන් පැමිණෙන බව කල් තියාම දැනුම්දී තිබියදීත් සර්ජියෝ ගෝර් ඊට සහභාගි නොවූයේ ඇයි? ඔහුගේ නොපැමිණීමට බලපෑ හේතුව කුමක්ද?
මේ සම්බන්ධයෙන් තොරතුරු සොයාගෙන යෑමේදී ‘රාජ්‍ය රහස්’ තීරයට වාර්තා වූයේ ගෝර්ගේ මේ නොපැමිණීම පසුපස විශාල රාජ්‍යතාන්ත්‍රික ප්‍රශ්නයක් මතුව ඇති බවය. ඒ අනුව ඇමෙරිකාව සහ ලංකාව අතර මතුව තිබූ මෙම රාජ්‍යතාන්ත්‍රික ප්‍රශ්නය කිසිදු මාධ්‍යයකින් එළියට පැමිණ නොතිබූ නිසා මෙවර ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ එම ගැටලුව සම්පූර්ණයෙන්ම රටට අනාවරණ කිරීමට අප සූදානම්ය.

අප වෙත ලැබී ඇති තොරතුරුවලට අනුව නම් ගෝර් ලංකාවට නොපැමිණීම පසුපස ඇත්තේ ඇමෙරිකාව සහ ඉරානය අතර පැවැති යුද්ධයට අදාළ සිදුවීමකි. එහිදී ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම අවහිර කිරීමෙන් පසු එය විවෘත කිරීම සඳහා මීට සති කිහිපයකට ඉහතදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඇමෙරිකාව විසින් විශේෂ යෝජනාවක් ඉදිරිපත් කළේය. මෙය ඉතා පහසුවෙන් සම්මත කරගත හැකි වනු ඇති බව මුලදී පෙනී ගියද එය ඉතා අසීරු එකක් බවට පත්වන ලකුණු දැකගන්නට ලැබුණේ චීනය සහ රුසියාව සිය නිශේධ බලය යොදා ඇමෙරිකාව විසින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ගෙන ආ එම යෝජනාව පරාජයට පත්කිරීමත් සමගය. සාමාන්‍යයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී මෙවැනි යෝජනාවක් පරාජයට පත්වූ විට එය නැවත වතාවක් සම්මත කරගැනීමට නම් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය වෙත එම යෝජනාව යළි ඉදිරිපත් කළ යුතුය. එපමණක් නොව එය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සාමාජික රටවල් ප්‍රමාණයෙන් තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත කරගත යුතුය. මතුව තිබූ වාතාවරණය යටතේ හෝමූස් සමුද්‍ර සන්ධිය කෙසේ හෝ විවෘත කරගැනීමේ අවශ්‍යතාව නිසා ඇමෙරිකාව තීන්දු කළේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙන් ප්‍රතික්ෂේප වූ එම යෝජනාව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය වෙත ඉදිරිපත් කර එය සම්මත කරගැනීමටය. ඒ අනුව ඊට අදාළ යෝජනාව සකස් කළ ඇමෙරිකාව, එය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය නියෝජනය කරන සියලු රටවල නියෝජිතයන්ට අස්සන යෙදීම සඳහා යැවීමට සැලසුම් කර තිබිණි.

ලංකාව බෑ කියයි

දකුණු ආසියානු කලාපය ගතහොත් එම යෝජනාව පැමිණි අවස්ථාවේදී මුලින්ම ඊට පක්ෂව අස්සන් තැබූයේ ඉන්දියාවය. ඉන් අනතුරුව බංග්ලාදේශය, නේපාලය වැනි රටවල්ද එම ගිවිසුමට අස්සත් තැබීමට කටයුතු කළේය. නමුත් පාකිස්තානය ඊට අස්සන් තැබීමට කටයුතු කළේ නැත. ඒ සඳහා බලපෑ සාධාරණ හේතුවක් ඔවුන් ඇමෙරිකාවට ඉදිරිපත් කිරීමට කටයුතු කළේය. ඒ, දැනට ආරම්භ වී ඇති ඇමෙරිකා – ඉරාන සාම සාකච්ඡාවල මැදිහත්කරුවකු වශයෙන් පාකිස්තානය කටයුතු කරන නිසා මෙවැනි යෝජනාවකට අස්සන් තැබුවහොත් එය මැදිහත්කාර භූමිකාවට අහිතකර ලෙස බලපානු ඇති බැවින් ඊට අස්සන් තැබිය නොහැකි යැයි කියාය. ඔවුන් ඉදිරිපත් කළ එම සාධාරණ හේතුව පිළිගත් ඇමෙරිකාව, පාකිස්තානයට ඊට අස්සන් නොතැබීම සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් දැක්වූයේ නැත.

නමුත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ දකුණු ආසියානු කලාපයේ ප්‍රබලම රටවල් පවා ඊට අස්සන් තබා තිබියදී ලංකාව එම යෝජනාවට අස්සන් කිරීම ප්‍රතික්ෂේප කිරීමය. මුලින් මුලින් එය ප්‍රකාශයට පත් නොකර ලංකා ආණ්ඩුව කල් මරද්දී ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය සහ එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලය මගින් අවස්ථා ගණනාවකදීම මෙම යෝජනාවට අස්සන් තබන ලෙස ආණ්ඩුවට සිහිකැඳවීම් සිදු කොට තිබිණි. නමුත් ඊටද ප්‍රතිචාර නොදක්වමින් ලංකාව නිහඬව සිටීම නිසා අවසානයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලිඛිතවම එහි ඇති බැරෑරුම්කම සඳහන් කරමින් ආණ්ඩුවට සහ විදේශ අමාත්‍යාංශයට ලිපියක් යොමුකොට තිබූ බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.

ඒ අනුව, අවසානයේදී නිහඬව සිටිය නොහැකි තැනට මෙම අර්බුදය තල්ලු වූ විට ලංකාව පැත්තෙන් දැනුම් දී තිබුණේ මෙම ලිපියට අස්සන් තැබීමට නොහැකි බවය. ඊට හේතුව මෙම යෝජනාව ඉරානය නොමැතිව ඒකපාර්ශ්විකව ඉදිරිපත් කොට ඇති බවය.

ලංකාවේ මෙම ස්ථාවරය දැනුම් දුන් වහා ට්‍රම්ප් පරිපාලනය ලංකාව සම්බන්ධයෙන් බොහෝ විමතියට සහ බලාපොරොත්තු කඩවූ තත්ත්වයකට පත්වූ බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඒ අනුව, ඇමෙරිකාව ලංකාවට ලබාදුන් පළමු රාජ්‍යතාන්ත්‍රික සංඥාව වී තිබුණේ ඇමෙරිකාව මගින් ලංකාවට ලබාදුන් වෙරළාරක්ෂක නෞකාව භාරගැනීමේ උත්සවයට සර්ජියෝ ගෝර් සහභාගි නොකිරීමය. ඒ අනුව මේ වනවිට තානාපති ක්ෂේත්‍රයේ විශාල වශයෙන් කතාබහට ලක්වන කාරණාවක් වන්නේ මෙම පසුබිම යටතේ ලංකාවට ඉදිරියේදී බරපතළ ප්‍රශ්න ගණනාවකට මුහුණ දීමට සිදුවනු ඇතැයි කියාය.

එය ඇස්පනාපිට තහවුරු වීමට වැඩි කාලයක් ගතවූයේ නැත. ඇමෙරිකාව ශ්‍රී ලංකාව ඉලක්ක කරගෙන තවත් 12.5%ක අමතර තීරුබද්දක් පැනවීමට පසුගිය සතියේ යෝජනා කිරීමට පියවර ගත්තේ මෙම පසුබිම යටතේය. එහිදී ඇමෙරිකාව ඉදිරිපත් කළ යෝජනාවේ සඳහන්ව තිබුණේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට බලහත්කාර ශ්‍රමය භාවිතයෙන් නිෂ්පාදිත භාණ්ඩ ආනයනය වළක්වා ගැනීම සඳහා අතිරේක තීරුබදු පැනවීමට යෝජනා කර ඇති බවකි. ඇමෙරිකානු වෙළෙඳ නියෝජිත කාර්යාලය (යූ,එස්.පී.අර්.) විසින් කරන ලද දීර්ඝ විමර්ශනයකින් පසු මෙම යෝජනාව ඉදිරිපත් කොට තිබූ අතර, බලහත්කාර ශ්‍රමයෙන් නිෂ්පාදිත භාණ්ඩ ලෝක වෙළෙඳපළට පැමිණීම වැළැක්වීමට ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගත් බවට මෙහිදී ඇමෙරිකාව විසින් රටවල් 60කට චෝදනා එල්ල කොට තිබිණි. ඒ අනුව කැනඩාව, යුරෝපා සංගමය, මෙක්සිකෝව, පාකිස්තානය, බංග්ලාදේශය, මැලේසියාව, තායිවානය, බි්‍රතාන්‍යය ඇතුළු රටවල් කිහිපයකට 10%ක අතිරේක තීරුබද්දක් යෝජනා කර ඇති අතර, ශ්‍රී ලංකාව ඇතුළු අනෙක් රටවල් 45කට 12.5%ක අතිරේක තීරුබද්දක් පැනවීමට ඇමෙරිකාව යෝජනා කොට තිබේ.
සාමාන්‍යයෙන් ලංකාවේ බොහෝ කර්මාන්ත සිය නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍ය ආනයනය කරනු ලබන්නේ චීනය සහ රුසියාව වැනි රටවලිනි. ඒ අනුව මෙම චීන සහ රුසියානු අමුද්‍රව්‍ය යොදාගෙන විශාල වශයෙන් ඇඟලුම් නිෂ්පාදනය කිරීම ශ්‍රී ලංකාව විසින් සිදුකරනු ලබයි. ලංකාවේ විශාලතම අපනයන වෙළෙඳපොළ ඇමෙරිකාව වන බැවින් එරට රජය මගින් පැනවීමට යෝජනා කොට ඇති මෙම 12.5%ක අතිරේක තීරුබද්දත් සමග ලංකාවේ ඇඟලුම් අපනයන කර්මාන්තයට විශාල බලපෑමක් සිදුවීම වැළැක්විය නොහැකිය. එහිදී ඇමෙරිකානු ගැනුම්කරුවන්ට ශ්‍රී ලංකාවේ භාණ්ඩවලට වැඩි මිලක් ගෙවීමට සිදුවන අතර, ඒ හරහා ලංකාවේ අපනයන ආදායමට සහ රැකියා ක්ෂේත්‍රයට විශාල බලපෑමක් සිදුවීම වැළැක්විය නොහැක. ඇමෙරිකාව මෙසේ 12.5%ක අමතර තීරුබද්දක් ලංකාවට පැනවීමට යෝජනා කොට ඇත්තේ මේ වනවිටත් 20%ක තීරුබද්දක් ලංකාවේ භාණ්ඩ මත පනවා තිබියදී වීම විශේෂත්වයකි.

මහින්දත් නැතිව මොනවා වෙයිද?

පසුගිය කාලවකවානුවේදී මෙම ඇමෙරිකානු තීරුබදු ප්‍රශ්නයට ලංකාවට මුහුණ දීමට සිදුවූ විට එය සැනසුම් සුසුමක් හෙළිය හැකි මට්ටමට අඩුකර ගැනීමට විශාල සටනක් ගෙන ගියේ වෙන කවුරුවත් නොව ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් කටයුතු කළ මහින්ද සමරසිංහ මහතාය. ට්‍රම්ප් විසින් මුල් අවස්ථාවේ ලංකාවට 44%ක තීරුබද්දක් යෝජනා කළද, පසුව මහින්ද සමරසිංහ වොෂින්ටනය සමග සාකච්ඡා කොට එම තීරුබදු ප්‍රමාණය 20% දක්වා පහළ දමාගැනීමට කටයුතු කොට තිබිණි. 2019 මහ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කළ මහින්ද සමරසිංහ එම මන්ත්‍රී ධුරයෙන් ඉවත් වී ඇමෙරිකානු තානාපති ධුරය භාරගැනීමට තීන්දු කළේ එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීමකට අනුවය. ඒ අනුව ගෝඨාගේ පාලන සමයේදී පැමිණි කොවිඩ් අර්බුදයෙන් සහ ඉන් අනතුරුව මතුවූ ආර්ථික අර්බුදයෙන් රට බේරාගැනීම සඳහා ඇමෙරිකානු තානාපතිවරයා වශයෙන් මහින්ද සමරසිංහ අමෙරිකාවේ සිට විශාල කාර්යභාරයක් සිදුකළේය. එහි ප්‍රතිඵලය වූයේ ගෝඨා බලයෙන් පහ කිරීමෙන් පසු පාර්ලිමේන්තුව හරහා ජනාධිපති ධුරයට පත් රනිල් වික්‍රමසිංහ මහතාද මහින්ද සමරසිංහව තවදුරටත් ඇමෙරිකානු තානාපතිවරයා වශයෙන් එම ධුරයේ තබාගැනීමය. රනිල්ගෙන් පසු බලයට පත්වූ අනුර කුමාර දිසානායක මහතා පවා අතිමහත් බහුතරයක් වූ තානාපතිවරුන් ලංකාවට කැඳවීමට කටයුතු කළද, මහින්ද සමරසිංහ මහතා තවදුරටත් එම තනතුරේ තැබීමට තීරණය කළේ ඔහු විසින් සිදුකළ රාජ්‍යතාන්ත්‍රික කටයුතුවල සාර්ථකභාවය මුල් කරගෙනය. ඇතැම් අවස්ථාවලදී ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයකු වූ වසන්ත සමරසිංහ පවා මහින්ද සමරසිංහ සිදුකළ මෙහෙය අවඥාවෙන් යුතුව හෑල්ලුවට ලක්කරද්දී ජනාධිපතිවරයා පෞද්ගලිකවම පාර්ලිමේන්තුවට පැමිණ මහින්ද සමරසිංහව ආරක්ෂා කිරීමට කටයුතු කළේ ඔහු ඉතා දක්ෂ අයුරින් සිය රාජකාරිය සිදුකොට තිබීම නිසාය. එමෙන්ම ලංකාවට එරෙහිව බටහිර රටවල් විසින් ජිනීවා මානව හිමිකම් කොමිසමට ලංකාව සම්බන්ධයෙන් යුද අපරාධ චෝදනාව මුල් කරගෙන යෝජනාවක් ඉදිරිපත් කළ අවස්ථාවේදී ලංකා ඉතිහාසයේ පළමු වතාවට ඡන්දයක් මගින් එම යෝජනාව පරාජයට පත්කිරීමට මූලිකත්වය ගත්තේද එවක විදේශ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ මහින්ද සමරසිංහය. නමුත් දැන් ඇති ප්‍රශ්නය වී ඇත්තේ මහින්ද සමරසිංහ ඇමෙරිකානු තානාපති ධුරයෙන් ඉවත් වන බවට වූ ලිපිය දැනටමත් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබීමය. එම ලිපියේ සටහන්ව ඇත්තේ ජූලි 31 වනවිට තමන් ඇමෙරිකානු තානාපති ධුරයෙන් ඉවත්ව ලංකාවට පැමිණෙන බවය. ඒ අනුව දැන් මතුව ඇති ප්‍රශ්නය වී ඇත්තේ මහින්ද සමරසිංහ ඇමෙරිකානු තානාපති ධුරයෙන් ඉවත් වීමෙන් පසු මෙවැනි අර්බුද විසඳා ගැනීමට ලංකා ආණ්ඩුව කටයුතු කරන්නේ කෙසේදැයි කියාය. මහින්ද සමරසිංහ වෙනුවට එම තනතුරට පත්කරන්නේ කවුරුන්දැයි කියාය.

අන්තිමට ගහපු ගේම

අවසන් වතාවට ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලංකාව ඉලක්ක කරගෙන 44%ක තීරුබද්දක් පැනවීමට කටයුතු කරද්දී එය 20% දක්වා අඩුකර ගැනීමට කටයුතු කළේ වෙන කවුරුවත් නොව මහින්ද සමරසිංහය. එහිදී වාචිකව එම එකඟතාවන්ට එළඹුණද එය ගිවිසුමක් දක්වා ගෙනයන තැනට වූ කටයුතු පසුගිය කාලයේදී අවසන්ව තිබුණේ නැත. විශේෂයෙන්ම බංග්ලාදේශය ජන අරගලයකින් පසු හිටපු අගමැතිවරිය රටින් පන්නා දැමීමේ පසුබිමක පවා බංග්ලාදේශ ආණ්ඩුව ඇමෙරිකානු රජය සමග සාකච්ඡා කොට එරටට පැනවූ 20%ක තීරුබද්ද ගිවිසුමක් දක්වා රැගෙන යාමට කටයුතු කොට තිබිණි. නමුත් ලංකාව ඇමෙරිකාව විසින් පනවා තිබූ ඇතැම් කොන්දේසිවලට එකඟ නොවීම මත එම සාකච්ඡා දිගින් දිගටම ඇදෙමින් පැවැති ආකාරයක් දැකගන්නට ලැබිණි. කෙසේ වෙතත් මහින්ද සමරසිංහ රට වෙනුවෙන් අවසන් වරට කළ මෙහෙයුම වී තිබුණේ එම 20%ක තීරුබදු පැනවීම පිළිබඳ සාකච්ඡා සාර්ථකව අවසන් කොට එය ගිවිසුමක් දක්වා ගෙනයෑමට කටයුතු කිරීමය. ඒ අනුව පසුගිය සතිය වනවිට මහින්ද වොෂින්ටනය සමග සාකච්ඡා කොට එම ගිවිසුම්වලට අස්සන් තැබීමට දින වකවානු පවා වෙන්කර ගැනීමට සමත්ව සිටියේය. ඒ අනුව ලබන ජූලි 20 වැනි දිනට ප්‍රථම ඊට අස්සන් තැබීමට හැකිවනු ඇති බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.

නමුත් මහින්ද සිය තනතුරෙන් ඉල්ලා අස්වී ලංකාවට පැමිණි පසු තත්ත්වය කුමක් වනු ඇද්ද? ඇමෙරිකාව විසින් ලංකාවට එරෙහිව යෝජනා කොට ඇති 12.5%ක නව තීරුබද්ද සම්බන්ධයෙන් ඇමෙරිකානු රජය සමග සාකච්ඡා ආරම්භ කරන්නේ කවුරුන්ද? මහින්ද කළාක් මෙන් එම තීරුබදු ප්‍රතිශතයද අඩුකර ගැනීමට අලුත් තානාපතිවරයාට හැකියාව ලැබෙයිද? එසේ නොවුණහොත් ලංකාවට බරපතළ අපනයන අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇති බව අමුතුවෙන් කිවයුතු නැත. බොහෝ ආර්ථික විශ්ලේෂකයන් ලංකාවේ නැවත ආර්ථික අර්බුදයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවා ඇති පසුබිමක කොරේ පිටට මරේ කියන්නාක් මෙන් ට්‍රම්ප්ගේ මෙම නව බද්දද ලංකාවේ කර මතට වැටුණහොත් ලංකාවේ අනාගතය කුමන අතකට පෙරළෙනු ඇත්දැයි දැන්ම තියා කිව නොහැකිය.

ඉරාන්ට දොර වැහෙයි

පසුගිය සතියේ අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ තවත් සුවිශේෂ තොරතුරක් අනාවරණ කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල නියෝජිතයන් සහ ජනාධිපතිවරයා අතර සිදුවූ හමුවේ අතිශය රහසිගත තොරතුරු විශාල ප්‍රමාණයක් අනාවරණ කිරීමට පියවර ගත්තෙමු. එහිදී අප කියා සිටියේ ලංකා ආණ්ඩුව ඉරාන් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අතුරු පාලක කමිටුවක් පත්කොට එය වසරක කාලයක් සඳහා රැගෙන යෑමට සැලසුම් කර ඇති නමුත් බොහෝ දුරට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් එම කාලය මාස 3කට සීමා කිරීමට කටයුතු කරනු ඇති බවකි. ඊට උදාහරණයක් ගෙනහැර දක්වමින් අප කියා සිටියේ බංග්ලාදේශයේද මේ ආකාරයට ක්‍රිකට් පරිපාලනය විසුරුවා හැර අතුරු කමිටුවක් පත්කිරීමට කටයුතු කළ අවස්ථාවේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඔවුන්ටද මාස 3ක් ඇතුළත නිලවරණය පවත්වා අවසන් කළ යුතු බව දැනුම් දී තිබූ බවකි.

එමෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ඉහළ නිලධාරීන් දෙදෙනකු ලංකාවට පැමිණ පැලවත්ත ජවිපෙ පක්ෂ මූලස්ථානයේදී ජනාධිපතිවරයා හමුවූ ආකාරයත්, එහි පැවැති සාකච්ඡාව තරමක උණුසුම් මුහුණුවරක් ගත් ආකාරයත් අප එහිදී අනාවරණ කර සිටියෙමු. මෙම නිලධාරීන් දෙදෙනා ලංකාවෙන් නික්ම යෑමෙන් පසු ඉදිරි දින කිහිපය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ලංකාව සම්බන්ධයෙන් වන සිය ස්ථාවරය ප්‍රකාශයට පත්කරනු ඇති බවද අපි එහිදී ලියා තැබුවෙමු.

අප වාර්තා කළ ආකාරයටම අයි.පී.එල්. තරගාවලියේ අවසන් තරගය පැවැති දින ඉන්දියාවේ අහමදාබාද් නුවරදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරීන් ජේ. ෂා මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පැවැත්වීමට පියවර ගත්තේය. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ අතුරු පාලන කමිටු ක්‍රියාත්මක වන බංග්ලාදේශයේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සභාපතිවරුන්ට ඊට අරාධනා නොකිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර තිබීමය. බොහෝ දෙනා පෙන්වා දෙන්නේ මෙය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ලංකාවට නිකුත් කළ බරපතළ සංඥාවක් යැයි කියාය. ඒ අනුව දැනටමත් බංග්ලාදේශය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ප්‍රතිඥාවක් දී ඇත්තේ ලබන ජූලි 31 වැනිදාට පෙරාතුව සිය ක්‍රිකට් නිලවරණය පවත්වා අවසන් කරන බවටය. නමුත් තවමත් ලංකාව එවැනි පොරොන්දුවක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ලබාදී ඇති බවක් දැනගන්නට නැත.

කෙසේ වෙතත් දැනට මතුව ඇති තත්ත්වය යටතේ බොහෝ දෙනා පෙන්වා දෙන්නේ නියත වශයෙන් ලංකාවටද බංග්ලාදේශය කළාක් මෙන්ම මාස 3ක් ඇතුළත නිලවරණයකට යෑමට ඉරාන්ගේ අතුරු පාලන කමිටුවටද සිදුවනු ඇති බවකි.

එමෙන්ම අපට ඇති තවත් ආරංචියකින් කියැවෙන්නේ අයි.සී.සී.ය මගින් ක්‍රිකට් අතුරු කමිටුවේ කාලය මාස 3කට සීමා කරනු ලැබුවහොත් ඊට මුහුණදීම සඳහා ආණ්ඩුවද ඉතා රහසිගතව සූදානම් වන බවය. ඒ සඳහා පසුගිය දින කිහිපයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා වට ගණනාවක් පැවැත්වී ඇති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඒ අනුව යම් හෙයකින් මාස 3ක් ඇතුළත නිලවරණය පවත්වන ලෙසට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුම් දුනහොත් ඉරාන්ගේ සභාපතිත්වයෙන් යුත් කණ්ඩායමක් නිලවරණය සඳහා ඉදිරිපත් කිරීම සඳහා මේ දිනවල සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බවක්ද දැනගන්නට ඇත.

අධිකරණයෙන් සටනක්

ආණ්ඩුව මේ දිනවල මුහුණ දෙන්නේ එක ප්‍රශ්නයක් ඉවර වනවිට තව ප්‍රශ්නයකට මුහුණ දෙන ආකාරයේ සිදුවීම්වලටය. මේ සියලු අර්බුද මැද්දේ පසුගිය සතියේදී ආණ්ඩුව මුහුණ දුන් අලුත්ම අර්බුදය වූයේ අගවිනිසුරු ඇතුළු ඉහළ අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීන්දුවය. මෙය පසුගිය සතියේ හදිසියේම අර්බුදයක් බවට පත්වන ලකුණු පහළ වූයේ ඉකුත් ජුනි 01 වැනිදා සවස ජනාධිපතිවරයා හා අධිකරණ නිලධාරීන්ගේ සංගමය හා මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය හමුවූ අවස්ථාවේ සිදුවූ සිද්ධියක් මුල් කරගෙනය. මෙහිදී මෙම සාකච්ඡාව ආරම්භ කිරීමට පෙර ජනාධිපතිවරයා අධිකරණ නිලධාරීන්ට දැනුම් දී ඇත්තේ ස්ථිර වශයෙන්ම අගවිනිසුරු ඇතුළු ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රම යෑමේ වයස දීර්ඝ කිරීමට තමන් කටයුතු කරන බවය. ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය සිදුකරද්දී එම සාකච්ඡාවට අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාර සහ අධිකරණ අමාත්‍යාංශ ලේකම් අයේෂා ජිනසේන පැමිණ නොසිටි බවත්, ජනාධිපතිවරයාගේ අදහස සම්බන්ධයෙන් අධිකරණ නිලධාරීන්ගේ සංගමය සහ මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමයේ නිලධාරීන් විශේෂ ප්‍රතිචාරයක් නොදැක්වූ බවත් ආරංචිය.

ජනාධිපතිවරයා මෙවැනි ආකාරයේ තීන්දුවක් ගැනීමට සූදානමින් සිටින බවට පළමු වරට රටට අනාවරණ කළේ වෙන කවුරුවත් නොව සජබයේ සිටින නීතිඥවරුන් වන සුජීව සේනසිංහත්, දයාසිරි ජයසේකරත්ය. එහිදී පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් වරෙක සුජීව සහ දයාසිරි කියා සිටියේ ජනාධිපතිවරයා මේ හරහා අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කිරීමට සූදානම් වන බවකි. එමෙන්ම විපක්ෂයේ කණ්ඩායම් රැස්වීම්වලදී පවා දයාසිරි කියා සිටියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ කාලය දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා ගනු ලබන උත්සාහයට විරුද්ධ විය යුතු බවත්, එය අධිකරණ ක්ෂේත්‍රයේ බරපතළ ගැටලු ඇතිවීමට හේතුවිය හැකි බවත්ය. නමුත් ඒ අවස්ථාවේදී විපක්ෂයේ කිසිවකුත් දයාසිරි කළ මේ කතාව ලොකුවට ඔළුවට ගත් ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. නමුත් සියලු දෙනාම ඇවිස්සුණේ ජනාධිපතිවරයා අධිකරණ නිලධාරීන්ගේ රැස්වීම ආරම්භ වීමට ප්‍රථම එවැනි ප්‍රකාශයක් සිදුකර ඇති බවට මාධ්‍ය මගින් තොරතුරු වාර්තා කිරීමත් සමගය.

ඒ අනුව ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයට මුලින්ම විරෝධය පළ කළේ වෙන කවුරුවත් නොව මෙරට නීති ක්ෂේත්‍රයේ ප්‍රබලම ආයතනය වන ශ්‍රී ලංකා නීතිඥ සංගමයය. එහිදී ඔවුන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය දැඩිව හෙළාදැකීමට පියවර ගෙන තිබිණි.

එමෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙම නිවේදනය නිකුත් කිරීමත් සමග ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයද ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාකලාපය දැඩිව විවේචනය කරමින් නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කළේය. ඉන් අනතුරුව දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ මහාධිකරණයේ නීතීඥවරුන්ගේ සංගමයද දීර්ඝ ලිපියක් යොමුකරමින් මෙම උත්සාහයට එරෙහිව අදහස් දක්වා තිබීමය. ඒ අනුව දැකගන්නට ඇති විශේෂම සිදුවීම වන්නේ ජනාධිපතිවරයාගේ මෙම උත්සාහය හරහා දැනටමත් අධිකරණ ක්ෂේත්‍රයේ බරපතළ අවුලක් මතුවෙමින් පවතින බවකි.

සාමාන්‍යයෙන් විධායකය සහ අධිකරණය අතර ගැටුම් ඇතිවූ පළමු අවස්ථාව මෙය නොවේ. හිටපු ජනාධිපතිවරුන් වන ජේ.ආර්. ජයවර්ධන මහතාගේ සමයේදීද, රණසිංහ ප්‍රේමදාස මහතාගේ පාලන සමයේදීද, චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ සහ මහින්ද රාජපක්ෂගේ පාලන සමයන්හිදීද මේ ආකාරයටම විධායකය සහ අධිකරණය අතර බරපතළ ගැටුම් නිර්මාණය වී තිබිණි. නමුත් එහි අවසන් ප්‍රතිඵලය වී තිබුණේ ඒ ඒ ආණ්ඩු බලයෙන් විසිවීමටද එම ගැටුම් හේතුපාදක වී තිබීමය. ඒ අනුව අගවිනිසුරුගේ සහ ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත්තේ කුමන අරමුණකින්ද යන්න පැහැදිලි නැතත්, දැනට මතුවෙමින් පවතින තත්ත්වය යටතේ එය ඉතා ලේසියෙන් සිදුකළ නොහැකි ආකාරයේ ලකුණු පහළ වෙමින් පවතින බවක් දැකගන්නට පුළුවන.

එමෙන්ම මෙහි බරපතළකම මේ වනවිට විපක්ෂයටද වැටහී ගොස් ඇති නිසා පසුගිය සතියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද හදිසි සාකච්ඡාවක් කැඳවා මෙම ප්‍රශ්නය පාර්ලිමේන්තුව ඇතුළේ දිගටම ඉදිරියට ගෙනයෑමේ සටන සුජීව සේනසිංහටත්, දයාසිරි ජයසේකරටත්, ෆයිසර් මුස්තාෆා මහතාටත් භාරදීමට පියවර ගත්තේය. ඒ අනුව අනෙකුත් පක්ෂ සමග සම්බන්ධීකරණ කටයුතු සිදුකොට ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගතයුතු ආකාරය පිළිබඳව විපක්ෂ නායකවරයා මෙහිදී සුජීවටත්, දයාසිරිටත්, ෆයිසර්ටත් උපදෙස් ලබාදීමටත් පියවර ගෙන තිබිණ.

රාජපක්ෂලාට අපලයි

මෙවැනි පසුබිමක් යටතේ ආණ්ඩුව රාජපක්ෂවරුන් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග තීව්‍ර කොට ඇති ආකාරයක්ද දැකගන්නට තිබේ. එහි පළමු ඉඟිය පසුගිය සතියේ දක්නට ලැබුණේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවට ගෙන සිටින හිටපු බුද්ධි අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ ප්‍රකාශයන් මත හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ තවත් හිටපු හමුදා නිලධාරීන් දෙදෙනකුට විදෙස් ගමන් තහනමක් පැනවීමට අධිකරණය කටයුතු කිරීමත් සමගය. ගෝඨාට මෙම විදෙස් ගමන් තහනම පැනවීමත් සමග වඩාත්ම කලබලයට පත්වූයේ වෙන කවුරුවත් නොව රාජපක්ෂ පවුලේ ජ්‍යෙෂ්ඨයන්ය. ඒ අනුව පසුගිය සතියේ පැවැති රාජපක්ෂ පවුලේ ප්‍රබලයන්ගේ සාකච්ඡාවකදී මෙම විදෙස් ගමන් තහනම පැනවීම බරපතළ සංඥාවක් ලෙස ගත යුතු බවත්, බොහෝ දුරට ඉදිරි දින කිහිපය ඇතුළත ගෝඨාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් බැලූ බැල්මටම පෙනෙන්නට ඇති බවක් සාකච්ඡා වී ඇති බවත් ආරංචිය.
ගෝඨාට මෙම විදෙස් ගමන් තහනම පැනවුණේ රාජපක්ෂ පවුලේ තවත් ප්‍රබලයකු වන බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව අධිකරණ දෙකකින්ම වරෙන්තු නිකුත් වී තිබූ පසුබිමකය. ඒ අනුව දැන් බැසිල් සිටින්නේ අත්අඩංගුවට ගන්නා ලෙසට අධිකරණය හරහා වරෙන්තු නිකුත්වය. නමුත් බැසිල් ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර වාසය කරන නිසා ආණ්ඩුව මේ වනවිට අප්‍රසිද්ධියේ බැසිල් අත්අඩංගුවට ගැනීම සඳහා අන්තර්ජාතික රතු නිවේදන නිකුත් කරවා ගැනීමට අවශ්‍ය සාකච්ඡා පවත්වමින් සිටින බවක් ආරංචිය. එය සාර්ථක වුවහොත් ජාත්‍යන්තර රතු නිවේදන හරහා බැසිල්ව ඇමෙරිකාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන්වා ගැනීමට බලධාරීන් සූදානමින් සිටින බවක් දැනගන්නට ඇත.

චමලුත් අත්අඩංගුවට?

මීට අමතරව මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ පැතිර යන තවත් කසුකුසුවකින් කියැවෙන්නේ රාජපක්ෂ පවුලේ ජ්‍යෙෂ්ඨයා වන චමල් රාජපක්ෂ මහතාවද අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවකි. දැනටමත් චමල්ට එරෙහිව චෝදනා කිහිපයක්ම ඉදිරිපත්ව ඇති අතර, අවස්ථා කිහිපයකදීම අදාළ ආයතන මගින් චමල්ව ප්‍රශ්න කිරීමටද ලක්කර ඇත. ඒ අනුව ඉදිරි දින කිහිපය තුළදී රාජපක්ෂ පවුලේ කිහිප දෙනකුම අත්අඩංගුවට පත්වීමේ අවදානමක් මතුව ඇති බව පසුගිය සතියේ පැවැති රාපජක්ෂවරුන්ගේ සාකච්ඡාවේදී දැඩිව අවධාරණයට ලක්ව තිබිණ. ඒ අනුව ඊට මුහුණ දෙන්නේ කෙසේද, ඒ සඳහා සහාය ලබාගත යුතු නීතිඥවරුන් කවුරුන්ද යන්න පිළිබඳවද රාජපක්ෂ පාර්ශ්වය එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කොට ඇති බවක්ද ආරංචිය.

කුට්ටිට හපන්න දුන් කට්ට

මේ ආකාරයට රාජපක්ෂවරුන්ට එරෙහිව ආණ්ඩුව පැත්තෙන් යම් යම් ක්‍රියාමාර්ග ගැනෙද්දී සහ රාජපක්ෂවරුන් ආණ්ඩුවට එරෙහිව යුද ප්‍රකාශ කොට ඇති පසුබිමක පසුගිය සතියේ තවත් අපූරු සිදුවීමක් සිදුවූ ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ, පොහොට්ටුවේ සිටින හිටපු මන්ත්‍රීවරයකු වූ තිස්ස කුට්ටිආරච්චි ආණ්ඩුවට එරෙහිව සටන් කරනවා වෙනුවට විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වූ සමගි ජන බලවේගයටත්, එහි නායකයා වූ සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිවත් සටනක් දියත් කර ඇති ආකාරයක් දැකගන්නට ලැබීමය. සාමාන්‍යයෙන් පොහොට්ටුව පසුගිය කාලසීමාවේදී සජබයට හෝ සජබ නායක සජිත්ට පහරදෙන තැනකට තල්ලු වී තිබුණේ නැත. සියලු දෙනාගේම නොනිල එකඟතාව වී තිබුණේ විපක්ෂය එකමුතුව ආණ්ඩුවට එරෙහිව නැගීසිටිය යුතු බවකි. නමුත් විපක්ෂය භේදභින්න කිරීම සඳහා කාගෙන් හෝ ලැබුණු කොන්ත්‍රාත්තුවකට අනුව තිස්සකුට්ටි පසුගිය සතියේදී සජබය සහ සජිත් ඉලක්ක කොටගෙන ඉතා පහත් ආකාරයේ නින්දිත ප්‍රහාරයක් එල්ල කිරීමට පියවර ගෙන තිබිණි. එම ප්‍රහාරය කෙතරම් නින්දිතදැයි කියනවා නම්, සජිත් යනු රණසිංහ ප්‍රේමදාස මහතාගේ පුතෙකුද යන්න සැක සිතෙන ආකාරයේ කතාවක්ද තිස්සකුට්ටි සිදුකොට තිබිණි.

මේ ආකාරයට තිස්සකුට්ටි සීමාව ඉක්මවා පහත් අඩියටම වැටී ප්‍රකාශ නිකුත් කළ පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුව සිටියදී පාර්ලිමේන්තුවේදී වම්බටු කතාවක් කියමින් මන්ත්‍රීනි රෝහිණී කවිරත්නට සහ සජිත්ගේ බිරිය වූ ජලනි ප්‍රේමදාසට බරපතළ අපහාසයක් කිරීමටද තිස්සකුට්ටි වරෙක කටයුතු කොට තිබිණි. කෙසේ වෙතත් මේ අවස්ථාවේදී තිස්සකුට්ටි මෙසේ සජිත්ට පහර දුන්නේ වෙන කාගේවත් වුවමනාවකට නොව, රනිල් සහ ඔහුගේ පාර්ශ්වය විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුවකට අනුව බව ‘රාජ්‍ය රහස්’ තීරයට වාර්තා වී තිබේ. රනිල් අසනීප තත්ත්වයෙන් සිංගප්පූරුවේ සිටියදී රනිල්ට සමීප එක්තරා ප්‍රබලයකුගේ දුරකතනය ඔස්සේ තිස්සකුට්ටි රනිල්ට කතාකොට ඔහුගේ සුවදුක් විමසා බොහෝ වේලාවක් රනිල් සමග කතා කරමින් සිටි බවත්, නැවත වතාවක් රනිල්ට ජනාධිපතිවරයා ලෙස පත්ව රට ගොඩගැනීමට සුබ පැතූ බවත් අපට ආරංචිය.

කෙසේවෙතත් තිස්සකුට්ටිගේ මේ කුප්ප දේශපාලන හැසිරීම සම්බන්ධයෙන් පොහොට්ටුවටද අවස්ථා ගණනාවකදීම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගෙන් පැමිණිලි ලැබී තිබිණි. මේ නිසා පසුගිය කාලයේදී නාමල් ඇතුළු පොහොට්ටුවේ ප්‍රධානීන් තිස්සකුට්ටිව කිසිදු දේශපාලන වැඩකට නොගන්නා තැනට කොන්කොට තැබීමටද කටයුතු කොට තිබිණි. විශේෂයෙන්ම නාමල් ජනාධිපති වූ විට තමන් ‘නිල නොවන ජනාධිපති‘ බවටද තිස්සකුට්ටි කළ ප්‍රකාශය හරහා පක්ෂය ඇතුළෙන්ම විශාල විරෝධයක් තිස්සකුට්ටිට එල්ල විය. ඒ අනුව කට පරිස්සම් කරගන්නා ලෙසට නාමල් ඇතුළු පොහොට්ටු ප්‍රධානීන්ගෙන් තිස්සකුට්ටිට රතු නිවේදන පවා නිකුත්වී තිබූ ආකාරයක්ද වාර්තා වී තිබිණි.

කුට්ටි පොහොට්ටුවෙන් දොට්ට

කෙසේ වෙතත් රනිල්ගේ වුවමනාව මත සජිත් ඉලක්ක කොට තිස්සකුට්ටි කළ මෙම ප්‍රකාශයත් සමග සජබයද ඊට වහාම ප්‍රතිචාර දැක්වීමට පියවර ගත්තේය. ඒ අනුව මුලින්ම සජබයෙන් ඊට පිළිතුරු දුන් එක් චරිතයක් වූයේ නිරෝෂන් පාදුක්කය. විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී තිස්සකුට්ටිගේ ප්‍රකාශය දැඩිව හෙළා දුටු නිරෝෂන් පාදුක්ක තිස්සකුට්ටිගේ ඉතිහාසයද ගෙනහැර දක්වමින් ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරීමට පියවර ගත්තේය. මීට අමතරව විශේෂඥ වෛද්‍ය චමල් සංජීවද මාධ්‍ය හමුවක් පවත්වමින් තිස්සකුට්ටිගේ ප්‍රකාශය දැඩිව හෙළාදැකීමට පියවර ගත්තේය. අවසානයේදී මෙම ප්‍රහාරයේ රස්නය පොහොට්ටුවට දැනීමට වැඩි වේලාවක් ගතවූයේ නැත. ඒ අනුව වහාම නාමල් විශේෂ සාකච්ඡාවක් කැඳවා දැඩිව කියා සිටියේ පොහොට්ටුවේ සටන පවතින්නේ සජබය සමග නොව, ආණ්ඩුව සමග යැයි කියාය. ඒ අනුව වහාම සජබයට සහ සජිත්ට අනවශ්‍ය ලෙස ප්‍රහාර එල්ල කිරීමෙන් සියලු දෙනාම වැළකී සිටිය යුතු බව නාමල් එහිදී තිස්සකුට්ටි ඉලක්ක කරගනිමින් දැඩි අනතුරු ඇඟවීමක් කිරීමට පියවර ගත්තේය. නාමල්ට එසේ සිදුකිරීමට සිදුවූයේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් විශාල පිරිසක් දිගින් දිගටම නාමල්ට කතාකරමින් තිස්සකුට්ටි මේ කරන ප්‍රකාශ හරහා පොහොට්ටුව ජනතාව අතර අප්‍රසාදයට පත්වන බවටත්, විපක්ෂය ඇතුළේ අනවශ්‍ය ප්‍රශ්නයක් ඇතිකිරීමක් කුට්ටි කටයුතු කරන බවටත්, කාගේ හෝ කොන්ත්‍රාත්තුවක් තිස්සකුට්ටි විසින් සිදුකරන බවටත් දැනුම්දීමත් සමගය. ඒ අනුව මෙම ජ්‍යෙෂ්ඨයන් නාමල්ට දැඩිව කියා සිටියේ තිස්සකුට්ටි නිසා පක්ෂයට විශාල හානියක් සිදුවන බවත්, වහාම ඔහු සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ගයක් ගත යුතු බවත්ය. ඒ අනුව මේ වනවිට තිස්සකුට්ටිව පොහොට්ටුවෙන් පන්නා දැමීමට පක්ෂ ජ්‍යෙෂ්ඨයන් තීරණය කොට ඇති බවක්ද ආරංචිය.

රනිල් කරන එකම දේ

සිංගප්පූරුවේ සිදුකළ හෘදය සැත්කමෙන් අනතුරුව ලංකාවට පැමිණි එජාප නායක රනිල් වික්‍රමසිංහ මේ දිනවල සිටින්නේ සිය 5 වැනි පටුමගේ නිවසට වී විවේක සුවයෙනි. ඒ අතරවාරයේ විවිධ දේශපාලනඥයන් නිවසට ගෙන්වා ගනිමින් ඔවුන් සමග කතාබහ කරමින් විවිධ දේශපාලන ගේම් ගැසීමට රනිල් කටයුතු කරමින් සිටින බවක් දැකගන්නට පුළුවන. අප පසුගිය සතියේ අනාවරණ කළ පරිදි හිටපු අමාත්‍ය විමල් වීරවංශ 5 වැනි පටුමගේ සිය නිවසට කැඳවා රනිල් ගැසුවේද එවැනිම දේශපාලන ගේම් එකකි. මීට අමතරව රනිල් කරන්නේ සමාජ මාධ්‍ය හසුරුවන පිරිස් ගෙන්වා සජබයටත්, සජිත්ටත් විවිධාකාරයේ ප්‍රහාර එල්ල කරමින් සජබය ඇතුළේ අර්බුද නිර්මාණය කිරීමය. සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථාවකදී රනිල් වසර 32ක් පුරා තමන් යටතේ දියාරු වී ගිය එජාපය යළි කෙළින් කටින් සිටුවීමට උත්සාහ ගතයුතුව තිබුණද, එවැන්නකට වචනයකින් හෝ දායකත්වය නොදී, මේ වනවිට රනිල් කරමින් සිටින්නේ සජබය විනාශ කිරීමට සිය සම්පූර්ණ කාලයම යොදා තිබීමය. රනිල් මේ ෆේස්බුක් මෙහෙයුම් භාරදී තිබෙන්නේ වෙන කාටවත් නොව සිය ඥාතීන් දෙදෙනකුටය. මේ ඥාතීන් දෙදෙනාගේ නම් ‘රාජ්‍ය රහස්’ තීරය සතුව තිබුණද මේ අවස්ථාවේදී අප එය හෙළිකිරීමට කටයුතු කරන්නේ නැත.

කෙසේ වෙතත් රනිල් කරන්නේ මේ ඥාතීන් දෙදෙනා සමග සෑම සඳුදා දිනකදීම ෆේස්බුක් මෙහෙයුම් කණ්ඩායම මුණගැසීමය. මේ සාකච්ඡාවේදී රනිල් කරන්නේ එම සතිය පුරා සජිත්ට සහ සජබයට ප්‍රහාර එල්ල කළ යුතු ආකාරය පිළිබඳ ෆේස්බුක් කණ්ඩායමට උපදෙස් ලබා දීමය. ඒ අනුව විවිධ මාතෘකා තමන්ට හිතූ හිතූ අයුරින් එහෙට මෙහෙට පෙරළමින් මෙම සාකච්ඡාවේදී රනිල් විසින් සිය ෆේස්බුක් කණ්ඩායම වෙත විස්තර කරනු ලබයි. ‘ සජබය ඇතුළේ අර්බූද’, ‘සජිත් – හර්ෂ අතර ගැටුමක්..’, ‘චම්පික පොදු අපේක්ෂකයා’, ‘එජාප නායකත්වය හර්ෂට’ යනාදී වශයෙන් සතිය පුරා විවිධ අසත්‍ය ප්‍රවෘත්ති ෆේස්බුක් කණ්ඩායම් හරහා සමාජගත වන්නේ රනිල් ලබාදෙන එම උපදෙස්වලට අනුවය.

සුජීව රනිල් හමුවක්

එමෙන්ම තමාගේ සුවදුක් විමසීමට නිවසට එන විවිධ මන්ත්‍රීවරුන්ද සිය ෆේස්බුක් මෙහෙයුම සඳහා උපයෝගී කරගැනීමටද රනිල් මේ වනවිට කටයුතු කරමින් සිටී. එහිදී ෆේස්බුක් කණ්ඩායමට ලැබී ඇති උපදෙස වී ඇත්තේ එසේ රනිල්ව බැලීමට එන සජබයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් රනිල්ට සහාය ලබාදීම සඳහා පැමිණෙන බවට රටට පෙන්වන ලෙසටය. ඊට හොඳම උදාහරණය වන්නේ සුජීව සේනසිංහ රනිල්ගේ සුවදුක් විමසීමට ගිය අවස්ථාවය. පසුගිය සතියේ සුජීව සජිත්ව මුණගැසී, තමන් රනිල්ගේ සුවදුක් බැලීමට යන බව දැනුම් දීමට කටයුතු කොට තිබිණි. සජිත්ද ගත් කටටම කිසිදු පැකිලීමකින් තොරව කියා සිටියේ එහි කිසිදු ගැටලුවක් නොමැති බවත්, රනිල්ගේ සුවදුක් බැලීමට එහි යන ලෙසත්ය.

ඒ අනුව, අප ඉතා වගකීමෙන් යුතුව කියා සිටින්නේ සුජීව සහ රනිල් අතර පැවැති සාකච්ඡාව විනාඩි 5කට පමණක් සීමා වූ බවය. එහිදී ගිය විගසම සුජීව රනිල්ගේ සුවදුක් විමසීමෙන් අනතුරුව රනිල් ඊට පිළිතුරු දෙමින් කියා සිටියේ දැන් තමන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවය. ඒ අනුව විනාඩි දෙක තුනක් ආගිය තොරතුරු කතාකරමින් සිට සුජීව යන්නට සූදානම් වනවිට රනිල් සුජීවගෙන් විමසා සිටියේ ‘දැන් කොහොමද පක්ෂ දෙක එකතු වෙන වැඩේ…?’ යැයි කියාය. ඊට සිනාසෙමින් සුජීව කියා සිටියේ ‘අයියෝ සර්…. සර්ම ඕක සජිත්ට කතා කරලා අහලා ඉවරයක් කරන්නකෝ…’ යනුවෙනි. ඒ අනුව 5 වැනි පටුමගේ නිවසින් පිටවූ සුජීව කෙළින්ම ගියේ සජිත්ව හමුවීමටය. එහිදී රනිල් සමග ඒ කෙටි විනාඩි 5 ඇතුළත කතාබහ කළ සියලු දේ සුජීව සජිත්ට දැනුම් දී සිටියේය. නමුත් මොහොතක් යෑමට මත්තෙන් සමාජ මාධ්‍ය තුළ රනිල්ගේ සමාජ මාධ්‍ය කණ්ඩායමෙන් අපූරු පෝස්ට් රැකක් නිකුත් කොට තිබිණි. ඒවායින් කියැවුණේ සුජීව රනිල් හමුවීමට පැමිණ ඔහුට සහාය පළකිරීමට කටයුතු කළා වැනි කතාවකි.

සජිත් වැඩ බාර දෙයි

මේ ආකාරයට ආණ්ඩුව සහ රනිල්ගේ පැත්තෙන් විවිධ දේශපාලන මෙහෙයුම් දියත් කරද්දී විපක්ෂ නායක සජිත්ද පසුගිය සතියේ සිය මන්ත්‍රී කණ්ඩායමේ කිහිප දෙනකු කැඳවා මෙහෙයුම් කිහිපයක්ම ඔවුන්ට භාරදීමට පියවර ගත්තේය. ඉන් පළමු වැන්න වූයේ ජනාධිපතිවරයා විසින් අගවිනිසුරු සහ උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට එරෙහි මෙහෙයුම සුජීවට සහ දයාසිරිට භාරදීමය. ඉන් අනතුරුව සජිත් ආණ්ඩුව ඇතුළේ සිදුවන අක්‍රමිකතා රටට හෙළිදරව් කිරීම සඳහා වෙනම කමිටුවක් ආරම්භ කළ අතර, එහි ප්‍රධානත්වය මුජිබර් රහුමාන්ට ලබාදීමට කටයුතු කළේය. එමෙන්ම මෑත කාලයේ ආණ්ඩුව විශාල දෙදරීමකට ලක්කළ බාල ගල්අඟුරු ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් සොයා බලා පාර්ලිමේන්තුව සහ රට දැනුවත් කිරීමේ වගකීම මරික්කාර්ට පැවරීමටද සජිත් පියවර ගත්තේය. ඊට හේතු වී තිබුණේ විදුලිබල ක්ෂේත්‍රයේ විශේෂඥයන් විසින් ඉදිරියේදී බරපතළ බලශක්ති අර්බුදයක් රට තුළ මතුවීමේ අවදානමක් ඇති බවට සජිත්ට තොරතුරු වාර්තා කර තිබීම නිසාය. මීට අමතරව සජිත් පසුගිය සතියේ සිවිල් සංවිධාන නියෝජිතයන් කැඳවා ඔවුන් සමගද ආණ්ඩුවට එරෙහිව විශාල මෙහෙයුමක් දියත් කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමට පියවර ගත්තේය.

ආණ්ඩුව නැමෙයි

ඒ අතරවාරයේ පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී අපූරු සිදුවීමක් සිදුවිය. සාමාන්‍යයෙන් පසුගිය කාලය පුරාම පැවැති පක්ෂ නායක රැස්වීම්වලදී ආණ්ඩුව සිය ආධිපත්‍යය එහි පතුරුවාගෙන අනම්‍ය ආකාරයෙන් සිටීමට කටයුතු කළත්, පසුගිය සතියේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී ඊට හාත්පසින්ම වෙනස් සිදුවීමක් සියලු දෙනාටම දැකගන්නට ලැබීම ඊට හේතුව විය. එදින පක්ෂ නායක රැස්වීමට ආණ්ඩුව නියෝජනය කරමින් බිමල් රත්නායක, වසන්ත සමරසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් කිහිප දෙනකු සහභාගි වී සිටි අතර, විපක්ෂය නියෝජනය කරමින් සජිත් ඇතුළු පක්ෂ නායකයන් රැසක් එක්ව සිටියහ. මෙහිදී සජිත් මුලින්ම ආණ්ඩුව ඉදිරියේදී ගෙන ඒමට සූදානමින් සිටින පරිසර පනතකට පාරිසරික සංවිධානවලින් දැඩි විරෝධයක් එල්ලවී ඇති බව පෙන්වා දී එම ගැටලුව විසඳන තෙක් පරිසර පනත ගෙන ඒම කල් දමන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය. සාමාන්‍යයෙන් වෙනදා නම් සජිත්ගෙන් හෝ විපක්ෂයෙන් මෙවැනි ඉල්ලීමක් ලද වහා ආණ්ඩුව ඊට එරෙහිව ප්‍රතිචාර දැක්වුවද එදින කිසිදු ගැටුමකින් තොරව සජිත් ඉල්ලූ ආකාරයටම එම පරිසර පනත් කෙටුම්පතේ ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්නා තෙක් එය කල් දැමීමට ආණ්ඩුව කටයුතු කළේය.

මීට අමතරව මතුවෙමින් පවතින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් දිනක විවාදයක් ඉල්ලා සිටීමට විපක්ෂය යෝජනා කරද්දී යම් අදහස් හුවමාරුවකින් පසු ඊටද එකඟතාව පළකිරීමට ආණ්ඩුව කටයුතු කිරීම විශේෂත්වයක් විය. ඒ අනුව වෙනදා නම් විපක්ෂය සමග කැත්තට පොල්ල ලෙස සිටි ආණ්ඩුව මේ වනවිට විපක්ෂය සමග නම්‍යශීලී සහ සුහදශීලී ආකාරයෙන් කටයුතු කිරීමට තීරණය කර ඇති ආකාරයක් දැකගත හැකි විය.

එමෙන්ම පසුගිය සතියේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවත් විශේෂ හමුවක් විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වීය. ඒ සඳහා ලංකාවම නියෝජනය වන පරිදි හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් කැඳවීමට පියවර ගැනීමය. එහි ඇති විශේෂත්වය වූයේ එම රැස්වීමට මේ වනවිට සජබය නියෝජනය කරන හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් පමණක් නොව, එජාපය නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රීවරුන් පවා එක්ව සිටීමය. ඒ බව දුටු සජිත් පවා පුදුමයට පත්ව ඔවුන් සමග කතාබස් කරන විට ඔවුන් සජිත්ට කියා සිටියේ එජාපය එකතු වූවත් නැතත් ඉදිරි පළාත් සභා මැතිවරණයේදී සජබය සමග එක්ව තරග වැදීමට තමන් සූදානම් යැයි කියාය. ඒ අනුව මේ වනවිට සජිත් තීරණය කොට ඇත්තේ විපක්ෂයේ අනෙකුත් සියලු පක්ෂ ඒකාබද්ධ කොටගෙන පළාත් සභා මැතිවරණය ඉල්ලා අලුත් සටනක් ආරම්භ කිරීමටය.

අලුත් අගරදගුරු පියතුමෙක් එනවා

කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් අවසන් වතාවට වතිකානුවට ගොස් සුළු මොහොතකට ලියෝ පාප්වහන්සේ මුණගැසී සාකච්ඡා කළ ආකාරයත්, එහිදී කාදිනල් හිමියන් තමන්ට සේවා දිගුවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටි ආකාරයත්, අවුරුදු 75 ඉක්මවීමෙන් පසු අගරදගුරු පදවියෙන් විශ්‍රාම යෑමේ සම්ප්‍රදාය පිළිබඳ දැනුම් දෙමින් පාප්වහන්සේ එය ප්‍රතික්ෂේප කළ ආකාරයත් මීට මාස ගණනාවකට ඉහතදී ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ විශේෂ අනාවරණයක් කරමින් අපි වාර්තා කළෙමු. එමෙන්ම එම හමුවේදී නව අගරදගුරුවරයා වශයෙන් පත්විය යුතු තැනැත්තා පිළිබඳ නම් තුනක් නම්කර එවන ලෙසද මැල්කම් රංජිත් හිමිපාණන්ට පාප්වහන්සේ විසින් දැනුම් දීමක් කර තිබිණි. අප ඒ බවද එකල රාජ්‍ය රහස් තීරයෙන් වාර්තා කිරීමට කටයුතු කළෙමු.
ඒ අනුව ලබන 26, 27 යන දෙදින ලොව පුරා සිටින කාදිනල් හිමිපාණන් වහන්සේලා වතිකානුවට කැඳවීමට ලියෝ පාප්වහන්සේ කටයුතු කොට තිබේ. ඒ අනුව ඊට කාදිනල් හිමිවරුන් 237ක් සහභාගි වීමට නියමිතව ඇති අතර, විශේෂ මාතෘකා කිහිපයක්ම එම හමුවේදී සාකච්ඡා වීමට නියමිතව ඇති බවක් දැනගන්නට ඇත.

එමෙන්ම අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ මැල්කම් රංජිත් කාදිනල් හිමියන්ද මෙවර වතිකානුවේ රැස්වීමට සහභාගි වීමට සූදානමින් සිටින බවත්, එහිදී ඊළඟ අගරදගුරු තනතුර සඳහා අලුත් නම් 3ක් පාප්වහන්සේ වෙත ඉදිරිපත් කිරීමට සැලසුම් කොට ඇති බවත්ය. ඒ අනුව නිල නොවන තොරතුරුවලින් කියැවෙන්නේ කොළඹ සහායක අගරදගුරු වන බිෂොප් ඇන්තනී, කොළඹ සහායක අගරදගුරු වන ඇන්ටන් රංජිත් සහ ගාල්ල බිෂොප්වරයා ලෙස කටයුතු කරන රෙජිනෝල්ඩ් වික්‍රමසිංහ යන පියතුමන්ලාගේ නම් එසේ කාදිනල් හිමියන් විසින් නව පාප්වහන්සේ වෙත භාරදීමට නියමිතව ඇති බවය.

එමෙන්ම අපට දැනගන්නට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ මෙම හමුව සඳහා පාප්වහන්සේ කාදිනල් හිමියන්ට විනාඩි 3ක කාලයක් පමණක් ලබාදී ඇති බවය. ලබන නොවැම්බර් 15 වැනිදා අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන්ගේ පදවියේ ධුර කාලය අවසන් වීමට නියමිතව ඇති බැවින් ඊට මාස 2කට පෙරාතුව නව අගරදගුරුවරයා සම්බන්ධයෙන් වූ ඉඟිය පාප්වහන්සේ විසින් ලබාදීමට නියමිතය. ඒ අනුව 2027 වසර ආරම්භ වනු ඇත්තේ වසර ගණනාවකට පසු ලංකාවට අලුත් අගරදගුරුවරයකු පත්කරමිනි.

කෙසේ වෙතත් මෙම වතිකානු සංචාරයෙන් පසුව මැල්කම් රංජිත් හිමිපාණන් යළි ලංකාවට පැමිණෙන්නේ සුපුරුදු පරිදි යුරෝපා සංචාරයක නිරත වීමෙන් අනතුරුවය.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

Next Post

මහින්ද ලංකාවට එන්න කලින් අන්තිම ගේමත් ගහලා! I Sri Lanka Latest News

MORE NEWS

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News
Exclusive

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News
Exclusive

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News
Exclusive

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

Load More
‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

​නිල්වන් කඳුවැටි අතරින් නිරන්තරයෙන් මීදුම් සළු තැවරෙන නුවරඑළියේ, ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුන සංචාරකයන්ට නම් සොඳුරු පාරාදීසයකි. නමුත්, මීට වසර තුනකට...

Read more
චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.