මෙරට තරුණ පරපුර මේ වනවිට ඉතා සීග්‍රයෙන් මත්ද්‍රව්‍ය රකුසා බිලිගනිමින් සිටී. 70 දශකයේ අගභාගයේදී හෙරොයින් ලෙස මෙරටට ඇතුළු වූ මත් රකුසා අද වනවිට තවත් විවිධ වේශයන්ගෙන් තරුණ පරපුර විනාශය කරා ඇදගෙන යන්නේ හිතාගන්නත් බැරි වේගයකිනි. අද වනවිට මත්ද්‍රව්‍ය ව්‍යාප්තව නැති ගමක් නගරයක් සොයාගැනීම නොමළ ගෙදරකින් අබ මිටක් සොයාගැනීමක් වැනිය. නගරයට වඩා මත් රකුසා බිලිගෙන ඇත්තේ ගමය. පාසල් යන දරුවන් පවා මතට හුරුවී ඇත්තේ රටේ අනාගතය ගැන අවිනිශ්චිත තත්ත්වයක් පවා ඇතිකරවමිනි. ඊට නිසි පිළියම් සොයනවා වෙනුවට පාලකයන් ඉතිහාසය පුරාවම කරනු ලැබුවේ පයබරවාට පිටිකර බෙහෙත් බැඳීමකි. ඒ අතර, මතින් තොර රටක් වෙනුවෙන් සැබෑ වුවමනාවක් තිබූ පාලකයෝද නැත්තේම නැත.Sri Lanka Latest News
ඒ අතරින් කැපීපෙනෙන චරිතයක් වන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියයි. මෑත ඉතිහාසය තුළ මතට එරෙහිව හඬක් නැගූ මෙරට ප්‍රථම රාජ්‍ය නායකයා ලෙස ඇය හැඳින්වූවාට වරදක් නැති තරම්ය. ඇය රට භාරගත් 90 දශකයේ අගභාගය වනවිට අද මෙන් ගමක් නගරයක් පාසා තරුණ පරපුර මත් රකුසා විසින් බිලිගෙන සිටියේ නැත. ගමට ලොකුම ව්‍යසනය බවට පත්ව තිබුණේ නීති විරෝධී මත්පැන්ය. නමුත් ඇය ඒ ටික පවා පාලනය කිරීමට ඇවැසි තීරණ ගන්නට මත්පැන්, දුම්වැටි මෙන්ම නීති විරෝධී මත්ද්‍රව්‍ය පාලනය කිරීමට විශේෂ කාර්යසාධක බළකායක් පවා ස්ථාපිත කළාය.
මුළු රටක්ම නම කියූ සැණින් දන්නා, පොලිස්පතිවරයාට පමණක් වගකියන කිසිදු දේශපාලන හෝ හයිකාරයකුට යටත් නොවන, ‘මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය’ නමින් පානදුර වලානේ පිහිටා තිබෙන විශේෂ පොලිස් ඒකකය පවා බිහිවන්නේ චන්ද්‍රිකා ජනාධිපතිනියගේ අදහසකට අනුවය. ඒ, ලකී කොඩිතුවක්කු පොලිස්පතිව සිටි සමයේදීය. මධ්‍යම දූෂණ මර්දන බළකායෙන් වැඩිපුරම එකල බැටකෑවේ කසිප්පු ජාවාරම්කරුවන්ය. ඒ හැරුණු කොට විෂ මත්ද්‍රව්‍ය සේ සැලකෙන හෙරොයින්, අබිං වැනි කොළඹ ඇතුළු නගර කිහිපයකට පමණක සීමා වූ මත්ද්‍රව්‍ය පාලනයටත් මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය යම් වැඩ කොටසක් ඉටුකරනු ලැබීය.
චන්ද්‍රිකාගේ ආණ්ඩුව 2001 වසරේදී පෙරළා දමා රනිල්ගේ ආණ්ඩුව පිහිටුවීමත් සමග මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායට සිදුවන්නේ වලානට පමණක් සීමා වන්නටය. ඒ, කැලණි පාලමෙන් එපිට පය තැබීම තහනම් කරමින් නියෝගයක් පැනවෙන බැවිනි. එදා පොලිස්පතිවරයාව සිටි ආනන්ද රාජා විසින් එම නියෝගය පනවනු ලබන්නේ රනිල්ගේ ආණ්ඩුවේ පොලිසිය භාර ඇමැතිවරයා දුන් උපදෙසකිනි. රටටම පිළිලයක්ව පැවැති කසිප්පු ජාවාරම්කරුවන් දේශපාලන අධිකාරිය විසින් එදා රැකගත්තේ එසේය. රනිල්ගේ ආණ්ඩුවේ එකී පොලිස් ඇමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ආ විට ඔහු වෙනුවෙන් පෝස්ටර් ගසා පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගයේ රැඳී සිටිමින් හුරේ දැම්මේද කසිප්පු ජාවාරම්කරුවන්ය.
‘කුඩු නූර්’ නමැති කුප්‍රකට අංක එකේ මත්කුඩු ජාවාරම්කරුගෙන් එකල අල්ලාගත් හෙරොයින් කිලෝ 10කින් 04ක් පොලිසිය සොරාගත්තේද ඒ යුගයේදීමය. එකල කිලෝ 10ක් අත්ඩංගුවට ගැනීම අද කිලෝ 100කට වැඩි ලොකු ගානක් අත්අඩංගුවට ගැනීම හා සමානය. අවසානයේදී කුඩු නූර් වෙඩිකා මැරෙන්නේ මත්කුඩු ජාවාරමත් දේශපාලනයත් පොලිසියත් හා බැඳුණු බොහෝ රහස් සඟවාගෙනය.
ව්‍යාපාරික වෙසින් වෝර්ඩ් පෙදෙසේ සුවිසල් නිවසක කුමාරයෙක් ලෙස ජීවත්වූ තවත් අංක එකේ මත්කුඩු ජාවාරම්කරුවෙක් වූ කුඩු සියාම්ට ජනපති මන්දිරයේ දොරගුළු පැය 24 පුරාම එකල විවරවී තිබුණේ චන්ද්‍රිකා ජනපතිවරියට හිතවත් දේශපාලනඥයකුගේ අනුහසිනි. එම දේශපාලනඥයා එදා කැබිනට් මණ්ඩලයේ වැඩි දෙනෙක්ම ව්‍යාපාරිකයෙක් ලෙස සියාම්ව හඳුන්වා දී තිබුණේ මැතිවරණවලදී පවා සියාම් මගින් උදව් උපකාර කරවමිනි. ඒ නිසාම එකල වෝර්ඩ් පෙදෙසේ සියාම්ගේ නිවසේ කැබිනට් ඇමැතිවරයෙක් නොමැති දිනක් නොමැති තරම්ය. රටේ ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයම අන්දවාගෙන සිටි සියාම්ට වැඩ වරදින්නේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් ඔහු පදිංචිව සිටි රටේ ඉහළම දේශපාලනඥයන් නිතර ආගිය තැනක් වූ වෝර්ඩ් පෙදෙසේ නිවස වටලා හෙරොයින් විශාල ප්‍රමාණයක් සොයාගැනීමත් සමගිනි. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් එම වැටලීම කරන විට එහි අධ්‍යක්ෂවරයා වූයේ පූජිත් ජයසුන්දරය. එදා සියාම් හැම දෙයක්ම වැමෑරුවත් පොලිස් පොත්වල ඒ හැම දෙයක්ම ලියැවුණේ නැත. බොහෝ දේ පොත්වලින් මැකී ගිය බැවින් රෙදි ඇඳගෙන පාරේ බැස යන්නට පුළුවන්කමක් එදා කැබිනට් මණ්ඩලයට ලැබුණි යැයි සඳහන් කළහොත් වරදක් නැති තරම්ය. අවසානයේදී රනිල්ගේ ආණ්ඩුවේ පොලිස් ඇමැතිවරයාගේ රූකඩයක් බවට පොලිසිය පත්කළ ආනන්ද රාජා පොලිස්පතිවරයාට ගෙදර යන්නට සිදුවන්නේද කුඩු ජාවාරම්කරුවෙක් නිසාය. ඒ, ව්‍යාපාරික වෙස්ගත් අංක එකේ මත්කුඩු ජාවාරම්කරුවකු විසින් තරු පන්තියේ හෝටලයක සංවිධාන කර තිබූ සිය දියණියකගේ උපන්දින සාදයකට සහභාගි වීමේ වරදට හසුවෙමිනි. එදා ඒ මත්කුඩු ජාවාරම්කරුගේ දියණියගේ උපන්දින සාදයට සහභාගි වූවන් අතර කොළඹ පොලිසි රැසක ස්ථානාධිපතිවරු මෙන්ම පොලිස් ලොක්කෝ රැසක් සිටියද ඒ අයට එරෙහිව ගත් පියවරක් අදටත් සොයා ගන්නට නැත. එම නිලධාරීන්ගෙන් වැඩි දෙනෙක් පසු කාලයේ පොලිස් සේවයෙන් විශ්‍රාම ගත්තේද පොලිස් අධිකාරී සහ නියෝජ්‍ය පොලිස්පති ධුරයන්ට උසස්වීම් ලබාය.
පොලිස්පති ධුරයට ඊට පසු පත්වන්නේ ඉන්ද්‍රා ද සිල්වාය. ඔහු වැඩි කාලයක් පොලිස්පති ධුරයේ රැඳී සිටියේ නැත. ඒ කාලය තුළ ඔහු නැවත මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය සක්‍රීය කර ජාඇල සහ වත්තල පැත්තේ ඇති කසිප්පු ස්කාගාර සුන්නද්දූලි කර දමන්නට වගබලා ගත්තත් ඊට එහා මත්ද්‍රව්‍ය ජාවාරමට වැට බැඳීමට කළ දෙයක් පැහැදිලිවම අනාවරණ වන්නේ නැත. පොලිස් වාහනවලින් මත්කුඩු බෙදාහරින බවට කසුකුසුවක් පවා පැවැතියේ එකලය. ඒ අතර පොලිසියේ ඉහළම නිලධාරියකුගේ මෝටර් රථය පවා මත්කුඩු අදින්නට ජාවාරම්කරුවන් යොදාගත් බව කියැවිණි. ඒ එම නිලධාරියා අනියම් ඇසුරක් පැවැත්වූ පොලිස් කාන්තාවකගේ නිවසට යන එන විටදී ඇගේ සැමියා විසින් මෝටර් රථය රැගෙන ගොසිනි. ඒ දේවල් පාලනය කිරීමට තරම් කාලයක් ඉන්ද්‍රා ද සිල්වා පොලිස්පති ධුරයේ රැඳී සිටියේ නැත. ඒ ඔහුගේ සේවා කාලය එතරම් දිගු එකක් නොවූ බැවිනි.
මාධ්‍ය හරහා දැවැන්ත ප්‍රචාරයක් ගෙනයමින් මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව අමුතුම සෙල්ලමකට පොලිසිය හැඩගස්වන්නේ ඉන්ද්‍රා ද සිල්වාගෙන් පසු පොලිස්පති ධුරයට පත්වූ චන්ද්‍රා ප්‍රනාන්දුය. ඒ වනවිටත් ජනපති ධුරයේ රැඳී සිටියේ චන්ද්‍රිකාය. ඔහු චන්ද්‍රිකා ජනාධිපතිනියගේ හිත දිනාගන්නේ ‘ඔපරේෂන් ක්ලීනප්’ නමින් මත්ද්‍රව්‍ය වැටලීම් මාලාවක් ආරම්භ කරමිනි. මත්ද්‍රව්‍ය වැටලීම් යැයි කීවද සැබෑ ලෙසම ඒ පිටුපස තිබුණේ නීති විරෝධී මත්පැන් ජාවාරමට පහරදීමය. ඒ තුළින් පොහොසත් වූයේ අරක්කු සමාගම්ය. ඒ දේවල් කෙසේ වූවත් සංඛ්‍යා දත්ත සමග වැඩි කාලයක් ගතකළ චන්ද්‍රා ප්‍රනාන්දු පොලිස්පතිවරයා ‘ඔපරේෂන් ක්ලීනප්’ ඔස්සේ සංඛ්‍යා විජ්ජාවක් කළේය. ඒ දෛනිකව පොලිස් ස්ථානවලින් මත්ද්‍රව්‍ය වැටලීම් වාර්තා ලබාගනිමින් ඒවා චන්ද්‍රිකා ජනාධිපතිනිය අතට පත්කරමිනි. කසිප්පුකාරයෝ සහ කුඩුකාරයෝ දහස් ගණන් අල්ලා ඇති බවට වූ සංඛ්‍යා දත්ත දැකීමෙන් චක්ද්‍රිකා ජනාධිපතිනිය සතුටින් උද්දාමයට පත්වන්නේ චන්ද්‍රා ප්‍රනාන්දු තරම් පොලිස්පතිවරයෙක් නැති තරම්ය. ඒ ඔහු ඒ වැඩේට ජනමාධ්‍යද යොදාගනිමින් දක්ෂ ලෙස කරන්නට වූ බැවිනි. මාධ්‍ය ඔස්සේද සංඛ්‍යා දත්ත එළියට දමමින් ‘ඔපරේෂන් ක්ලීනප්’ සඳහා ලොකු වටිනාකමක් චන්ද්‍රා ප්‍රනාන්දු එකල ලබාදුන්නේය.
චන්ද්‍රිකා ජනපති ධුරයෙන් විශ්‍රාම ගන්නා විට මහින්ද රාජපක්ෂ 2005දී ජනපති ධුරයට පත්වන්නේ ‘මතට තිත’ තබන බවට රට හමුවේ පොරොන්දුවක්ද ලබාදෙමිනි. ඒත් එක්කම චන්ද්‍රා ප්‍රනාන්දු පොලිස්පතිවරයාගේ ‘ඔපරේෂන් ක්ලීනප්’ පරිවර්තනය වන්නේ ‘මතට තිත’ ලෙසිනි. එතැන් සිට රට පුරාම පොලිසි මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වූ වැටලීම් සිදුකරන්නට වූයේ ‘මතට තිත’ යැයි කියාය. ඒ දේශපාලන වුවමනාවන්ට අනුව පරිවර්තනය වෙමිනි.
ඔපරේෂන් ක්ලීනප්වලින් චන්ද්‍රිකාව අල්ලා ගත්තා සේම චන්ද්‍රා ප්‍රනාන්දු පොලිස්පතිවරයා මතට තිතෙන් මහින්දගේ සිතද දිනාගත්තේය. ඒ නිසාම ඔහු පොලිස්පති ධුරයට 2006 වසරේදී සමුදුන්නද මහින්ද ජනාධිපතිවරයා ඔහුව තමා ළඟින් තබාගන්නේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙක් ලෙසිනි.
චන්ද්‍රා ප්‍රනාන්දුගෙන් පසු එතැනට එන්නේ වික්ටර් පෙරේරාය. ඔහු සංඛ්‍යා සෙල්ලම් දමන්නට දැන සිටියේ නැත. මාධ්‍ය සංදර්ශන පවත්වන්නට පවා ඔහුට පැහැදිලි දැනුමක් නොවීය. ඒ, ඔහුට මාධ්‍ය මිතුරෝ යැයි කියා පිරිසක්ද නොසිටි බැවිනි.
‘මතට තිත’ නමට පමණක් ඔහුගේ කාලයේ සීමා වුවත් පොලිසිය දෛනිකව සිදුකළ යුතු වැටලීම් සහ රාජකාරි ඔහු පොලිස්පති ධුරයෙන් 2008 වසරේදී සමුදෙන තුරු කරගෙන ගියේය. අනතුරුව පොලිස්පති ධුරයට පත්වන්නේ ජයන්ත වික්‍රමරත්නය. මතට තිත තියනවා වෙනුවට ඔහුගේ කාලයේ වැඩි බරක් තබන්නට සිදුවන්නේ නිමාවූ යුද්ධයේ සාමය ස්ථාපිත කිරීමටය. ඒ එහි වැඩි බරක් පොලිසිය පැත්තට යොමුවී තිබුණු බැවිනි.
ජයන්ත වික්‍රමරත්නගෙන් පසු 2009 වසරේදී පොලිස්පති ධුරයට පත්වන මහින්ද බාලසූරිය සිය ආචාර්ය උපාධියට තෝරාගත්තේ මත්ද්‍රව්‍ය ව්‍යාප්තියය. එහෙත් එම වකවානුව මත්ද්‍රව්‍ය පාලනය කිරීමට තරම් උනන්දුවක් ඔහුට තිබුණේද යන්න පිළිබඳ ඇත්තේ විවාදාපන්න තත්ත්වයකි.
මහින්ද රාජපක්ෂ රජයේ ඇතැම් ප්‍රබල දේශපාලනඥයන්ට සමීප සම්බන්ධකම් පැවැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ අතේ නැටවෙන බිංකුණ්ඩෙක් බවට මහින්ද බාලසූරිය පත්ව සිටියේ යැයි පොලිසිය ඇතුළෙන්ම එදා නැගුණු චෝදනාය.
දෙමටගොඩ පැත්තේ කුප්‍රකට මත්කුඩු ජාවාරම්කරුවකු හලාවත පැත්තේදී මත්කුඩු කිලෝ තිහ හතළිහක් සමග කොටුකර ගන්නා විට එම මත්ද්‍රව්‍ය කේරළ ගංජා බවට පත්වූයේද මේ වකවානුවේදීය.
බම්බලපිටිය පැත්තේ තට්ටු නිවාස සංකීර්ණයක පිහිටි සුඛෝපභෝගී නිවසක නිතර මුණගැසෙමින් රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රබල දේශපාලන චරිතයක් සහ වෙලේ සුදා සමග පොලිසියේ ඉහළම ලොක්කෙක් බෝතල් හිස් කළ බව කියැවෙන්නේද මේ කාලයේය. ඒ ගැන රාජ්‍ය බුද්ධි සේවය පවා බලධාරීන්ට වාර්තා පිට වාර්තා ලබාදී තිබුණත් ඒ හැම වාර්තාවක්ම අවසානයට ගියේ කුණු කූඩයටය.
සුදු වෑන් රථ කරළියට ඒමත් සමග රටින් පැන්න වෙලේ සුදා පාකිස්තානයෙන් අල්ලාගෙන මෙරටට රැගෙන එන්නේ 2015දී සිදුවන ආණ්ඩු පෙරළියත් සමගිනි. වෙලේ සුදා හැම දෙයක්ම එදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ වමාරා තිබුණේය. පොලිසිය නිල වශයෙන්ද ඒ ගැන කිවේ පොලිස්පතිවරයකුට නිවසක් පවා ඔහු ඉදිකරදී ඇති බව හෙළිවන බව පවසමිනි. එකී පොලිස්පතිවරයාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පැවැතියද එය ආපස්සට හැරෙන්නේ පොලිසියට එල්ලවන කළු පැල්ලම ගැන බලධාරීන්ට දෙවරක් සිතන්නට වූ බැවිනි.
මතට තිත වෙනුවට ‘තිතට මත’ තැබූ ශ්‍රී ලංකා පොලිසියේ බාලසූරිය යුගය නිමාවන්නේ 2011දීය. ඒ, කටුනායක පැවැති ඇඟලුම් කම්හල් සේවක උද්ඝෝෂණයකදී පොලිසිය තැබූ වෙඩිල්ලකින් රොෂේන් චානක මියයාමත් සමග ඇතිවූ ජනතා විරෝධය හමුවේ ඉල්ලා අස්වෙමිනි. රාජපක්ෂ ආණ්ඩුව රැකගැනීමට එදා ඉල්ලා අස්වූ බාලසූරිය අවසානයේදී අමාත්‍යාංශ ලේකම්වරයෙක් මෙන්ම විදේශයන් දෙකක තානාපති ධුරයන්ට පවා පත්කරනු ලැබීය. රටින් පැන්න වෙලේ සුදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ බලය අල්ලාගෙන සිටියේ යැයි කියැවෙන්නේද ඒ කාලයේදීය.
එන්.කේ. ඉලංගකෝන් පොලිස්පති ධුරයට පත්වෙමින් ශ්‍රී ලංකා පොලිසියේ ස්වර්ණමය යුගය බිහිවන්නේ ඒත් සමගිනි. දේශපාලන වන්දනාවේ නොගොස් ඔහු කොන්ද කෙළින් තබාගෙන සිටියේ පොලිසිය ඇතුළෙන්ම ඇතැම් නිලධාරීන් කකුලෙන් ඇදමින් තිබියදීමය. මාධ්‍ය මිතුරෙක් වූ ඉලංගකෝන් ඒ ඔස්සේ සංදර්ශන පවත්වන්නට ගියේ නැත. පොලිසියට කීවේ පොලිස් ආඥා පනතින් පැවරී ඇති වගකීම් ඉටුකර මහජන සාමය ස්ථාපිත කිරීමට කටයුතු කරන ලෙසය. මත්කුඩු අල්ලන්නැයි කියා පොලිසිවලට ඕනෑවටත් වැඩියෙන් පීඩනය එල්ලකරමින් දේශපාලනඥයන් සතුටු කරන්නට ගියේ නැත. ඔහු හැම විටම විශ්වාස කළේ පොලිසය සිය රාජකාරිය නිසි ලෙස ඉටුකරන්නේ නම්, ඔපරේෂන් ක්ලීනප්, මතට තින වැනි මෙහෙයුම් බොරු වැඩ බවය. ඔහු ඒ බව ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වනු ලැබූ පොලිස්පතිවරයෙකි. ඔපරේෂන් ක්ලීනප්වලින් මෙන්ම, මතට තිතෙන් කළ වැටලීම්වලට වඩා වැඩි මත්ද්‍රව්‍ය වැටලීම් ගොන්නක්ම ඔහු ඒ කාලය තුළ සිදුකර තිබුණේය. ඒ වැඩි ශබ්දයක් නොමැතිවය. මත්කුඩු හිඟයක් පවා රට තුළ ඇතිවී කුඩුකාරයෝ පිස්‍සුවෙන් දඟලන්නට වූයේ මේ යුගයේදීය. එහෙත් ආනන්ද රාජා පොලිස්පතිවරයාව සිටි යුගයේදී මෙන් කුඩුකාරයෝ කුඩු නොමැතිව සියදිවි හානිකර ගැනීම් නම් විශාල ලෙස වාර්තා වූයේ නැත. ඒ වෙනුවට ඇඟපත බ්ලේඩ්වලින් කපාගත් කුඩ්‍ඩෝ නම් රෝහල්වල පිරී සිටියහ.
රාජපක්ෂ යුගයේදී පොලිස්පති ධුරයට පත්වූ ඉලංගකෝන් වයස අවුරුදු 60න් විශ්‍රාම ගන්නේ මෛත්‍රී යුගයේදීය. ඒ 2016 වසරේදීය. රටම දන්නා ජනප්‍රිය චරිතයක් වූ පූජිත් ජයසුන්දර පොලිස්පති ධුරයට පත්වන්නේ ඉලංගකෝන්ගේ අනුප්‍රාප්තිකයා ලෙසිනි.
පූජිත් තරම් ශ්‍රී ලංකා පොලිසියේ එකල මාධ්‍ය ඉදිරියේ සෙල්ලම් පෑමට කිසිදු නිලධාරියෙක් සමත් නොවීය. මාධ්‍ය අල්ලාගෙන ඔහු මත්කුඩු ජාවාරම මැඬලීමට අමුතු සෙල්ලම් දැමුවේ ඒ සඳහා තමා තරම් අයෙක් ශ්‍රී ලංකා පොලිසියේ නැති බව රටට කියාපාමිනි. මාධ්‍ය ඉදිරියේ එදා ඔහු දාපු වැඩකෑලි ටිකට අනුව අද වනවිට රටේ බෙහෙතකට හෝ මත්කුඩු බිඳක් සොයා ගන්නට නොහැකි විය යුතුය. ආනන්ද රාජා පොලිස්පතිවරයා කුඩුකාරයකුගේ දියණියගේ උපන්දින සාදයකට ගිය බව පවා රටට හෙළිකරනු ලැබුවේ ඔහු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා ලෙස සේවයේ නිරතව සිටි කාලය තුළ බැවින් රටේම ජනතාව විශ්වාස කරනු ලැබුවේ පූජිත් රට මතින් මුදාගනිතැයි කියාය. එහෙත් පූජිත් ගහපු බෙරයකුත් නැති බෙරේ පළුවකුත් නැති බව කොයි කාටත් පසක් වන්නේ පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය මුල් කරගෙන පොලිසිය අතහැර ඔහුට යන්නට වීමත් සමගිනි.
පූජිත්ව පොලිස්පති පුටුවට ගෙනාවේ මෛත්‍රීපාල ජනාධිපතිවරයාය. ඔහු පවා විශ්වාස කළේ පූජිත් මත්ද්‍රව්‍ය ව්‍යසනයට හොඳ පිළිතුරක් වනු ඇති බවය. එතෙක් කාලයක් මහජනතාව ප්‍රශ්න කරන්නට වූ අල්ලා ගන්නා මත්කුඩුවලට අවසානයේ සිදුවන්නේ කුමක්දැයි රට හමුවේ පෙන්වා දුන්නේද මේ කාලයේදීය. ඒ අල්ලාගත් මත්කුඩු ප්‍රසිද්ධියේ විනාශ කරමිනි. කුඩුකාරයෝ එල්ලා මැරීමට පවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා උත්සාහයක පවා ඔහුගේ යුගයේදී නිරත විය. ඩුබායිහිදී අල්ලාගත් මාකඳුරේ මධුෂ්ව පවා මෙරටට ගෙන්වා ගන්නට ලොකු වැඩකොටසක් පවා කළ මෛත්‍රීපාල ජනාධිපතිවරයාට අවශ්‍ය වූයේ එක කුඩුකාරයෙක් හෝ එල්ලා මරා කුඩු ජාවාරම්කරුවන් අතර මරණ බියක් ඇති කරවන්නටය. එහෙත් ඊට පෙර මෛත්‍රීපාල ජනාධිතිවරයාට ජනාධිපති ධුරයට සමුදෙන්නට සිදුවන්නේ මෙරට ඉතිහාසයේ වැඩිම මත්ද්‍රව්‍ය තොගඇල්ලූ යුගය අවසන් කරමිනි.
එතැන් සිට ඇරැඹෙන්නේ ගෝඨාභය ජනාධිපතිවරයාගේ යුගයයි. මතට තිත තියන්නට ඔහු වැඩි වැඩ කොටසක් දරනු ඇතැයි බොහෝ දෙනා සිතුවද ඒ සියල්ල ගඟට කැපූ ඉනි බවට පත්වන්නේ මත්කුඩු ජාවාරම හා බැඳී සිටි පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් රැසක් ගැන සාක්ෂි සහිතව තොරතුරු හෙළිකළ මාකඳුරේ මධුෂ්ගේ අබිරහස් ඝාතනයත් සමගිනි. එම ඝාතනය ඔහු පොලිස් අත්අඩංගුවේ සිටියදී සිදුවූ සැලසුම්සහගත ඝාතනයක් බව ඒ ගැන විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ටද පෙනීගොස් හමාරය. මධුෂ් හෙළිකළ දේශපාලනඥයන් අතරින් වැඩි පිරිසක් එදා සිටියේ ගෝඨාගේ ආණ්ඩුවේය. මේ වකවානුවේදී පොලිස්පති ධුරයේ සිටින්නේ සී.ඩී. වික්‍රමරත්නය. ඔහු පොලිස්පති ධුරයේ රැඳී සිටියාට නිල නොලත් පොලිස්පති වූයේ දේශබන්දු තෙන්නකෝන් බව එකල පොලිසියේ ප්‍රසිද්ධ රහසකි. එකල බොහෝ දේවල් සිදුවූයේ සී.ඩී. අභිභවා යමිනි. ඒ ඉලංගකෝන් පොලිස්පතිවරයාව සිටියදී අනුර සේනානායක නිල නොලත් පොලිස්පතිගේ භූමිකාවේ සිටි ආකාරයටය.
2019 සිට 2023 දක්වාම පොලිසියේ නියමුවා වූයේ සී.ඩී.ය. ඔහුගේ වකවානුවද ගෙවීගියේ හැලහැප්පීම්වලිනි. ඒ නිසාම ඔහු පොලිසියට පොලිස් රාජකාරිය කරන්නට ඉඩ දී සිටියේ නිහඬවය. ඒ වකවානුවේදී ඔහුගෙන් පොලිස්පති ධුරය උදුරා ගන්නට පවා පොලිසිය ඇතුළේ ගිය කුමන්ත්‍රණ ප්‍රසිද්ධ රහසකි. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය, කොවිඩ්, ආර්ථික අර්බුදය වැනි කාරණා නිසා කුඩුකාරයන් මට්ටුකරන්නට පොලිසියට වැඩි පීඩනයක් දෙන්නට පවා ඔහුට එකල ඉඩක් නොවූවත් ප්‍රමාණාත්මකව ගණනය කිරීමේදී නම් සැලකිය යුතු මත්කුඩු තොගයක් ඒ කාලය තුළදීත් අත්අඩංගුව ගැනීමට පොලිසිය සමත්ව තිබුණේ මාධ්‍ය සංදර්ශනවලින් තොරව පොලිසියට මත්කුඩු අල්ලන්නට පුළුවනි යැයි පණිවුඩය ලබාදෙමිනි.
බස්නාහිර පළාත් භාර පොලිස් ප්‍රධානියාව සිටි දේශබන්දු තෙන්නකෝන් ‘යුක්තිය’ කරේ තියාගෙන එන්නේද ඒ කාලය තුළදීය. ඒ වනවිට ගෝඨාභය රාජපක්ෂ ධුරය අතහැර ගොස් රනිල් වික්‍රමසිංහ සිටින්නේ ජනපති පුටුවේ අසුන්ගෙනය. පොලිස් ඇමැති ධුරය ලැබී තිබුණේ දේශබන්දුගේ හිතවතෙක් වූ ටිරාන් අලස්ටය. පොලිස්පති ධුරයට යන්නට පවා දේශබන්දුට පාර කැපෙන්නේ ‘යුක්තිය’ බව සඳහන් කළහොත් එහි වරදක් නැති තරම්ය. ලොකු මාධ්‍ය සංදර්ශනයක් පවා පවත්වමින් මුළු පොලිසියේම ශත්තිය එදා ‘යුක්තිය’ට යොමුකළද අවසානයේදී ඒ හැම දෙයක්ම බොරු මවාපෑමක් බව දැන් පැහැදිලිය. එදා බුරුතු පිටින් ඇල්ලූ කුඩුකාරයෝ අද ඉන්නේ නිදහසේය. ඒ ඔවුන් සමග ඇල්ලූ බව කී මත්ද්‍රව්‍ය පාන්පිටි හෝ වෙනත් ද්‍රව්‍යයන් බව රස පරීක්ෂණ වාර්තාවලින් තහවුරුවී ඇති බැවිනි. එදා එහෙම පිටින්ම කර ඇත්තේ යුක්තියේ නාමයෙන් අයුක්තිය රජකරවීමකි. ගෙදර දරුවන්ට පාන් ගෙඩියක් ගෙන එන්නට කඩේට ගිය පියවරු පවා අල්ලාගෙන ගොස් අතින් මත්කුඩු දමා පොලිසිය එදා යුක්තියේ ඉලක්කම් වැඩි කළේය. අවසානයේදී සිදුවන්නේ යුක්තියේ නාමයෙන් දේශබන්දු පොලිසියෙන් පන්නා දැමීමය.
හුදෙක් මාධ්‍ය සංදර්ශනයක් බවට පත්ව තිබුණු යුක්තියට නැවතීමේ තිත තැබෙන්නේ අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්ව පොලිස්පති ධුරය ප්‍රියන්ත වීරසූරියට ලබාදීමත් සමගිනි. ‘යුක්තිය’ වෙනුවට ‘රටම එකට’ කරළියට එන්නේ ඒ සමගිනි.
මාලිමා ආණ්ඩුවේ මතට එරෙහි ‘රටම එකට’ වැඩ අරඹන්නේ පසුගිය වසරේ ඔක්තෝබර් 30 වැනිදාය. ඒ, යුක්තියට නොදෙවැනි ලෙස සුගතදාස ක්‍රීඩාංගණයේ ලොකු උත්සවයක් පවා පවත්වමිනි.
ඒ වනවිට යුක්තියත් නැති රටම එකටත් නොමැතිව මාලිමා ආණ්ඩුවේ 2025 වසර තුළ පමණක් මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් පොලිසිය අල්ලාගෙන සිටි සැකකරුවන් ගණන ලක්ෂ 02ට වැඩිය. පොලිසියේ නිල සංඛ්‍යා දත්තයන්ට අනුව 2025 වසර තුළ පමණක් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අල්ලාගෙන ඇති සැකකරුවන් ගණන 2,62,354කි. යුක්තිය රජකළ 2024 වසරේදී එම ගණන සටහන් වන්නේ 2,28,450ක් ලෙසිනි. වැඩි මාධ්‍ය සංදර්ශන නොමැතිව ගෙවුණු සී.ඩී. වික්‍රමරත්න පොලිසිය මෙහෙයවූ 2019 වසරේදී කුඩුකාරයෝ 89,478 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබිණි. 2020 වසරේදී එම ගණන 97,416ක් ලෙස ඉහළ යන විට 2021 වසර ඉතිහාසගතවන්නේ කුඩුකාරයෝ ලක්ෂයකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගත් පළමු අවස්ථාව ලෙස සටහන් කරමිනි. එම ගණන 110,031කි. 2022 වසරේදී එම ගණන තවදුරටත් වර්ධනය වන්නේ අත්අඩංගුවට ගත් ගණන 152,979ක් ලෙසිනි. මේ කාලය තුළ මත්කුඩු අල්ලාගෙන ඇත්තේද ටොන් ගණනින්ය. වර්ෂයෙන් වර්ෂය අත්අඩංගුවට ගන්නා සැකකරුවන් මෙන්ම මත්කුඩුද වැඩිවන බවක් මිස අඩුවන බවක් නම් සංඛ්‍යා දත්තවලින් පෙන්නුම් නොකෙරෙයි. මාධ්‍ය සංදර්ශන තිබුණාද, නැද්ද කියා එහි වෙනසක් නැති තරම්ය. යුක්තිය ලොකු ඝෝෂාවක් දමාගෙන 2024 වසරේදී කුඩුකාරයන් යැයි කියමින් 228,450 දෙනෙක් අත්අඩංගුවට ගත්තද, හෙරොයින්, අයිස්, කොකේන්, අබිං, කුෂ් ඇතුළු මත්ද්‍රව්‍ය අල්ලාගෙන ඇත්තේ කිලෝ 2,500කටත් අඩු ප්‍රමාණයකි. ඒ ගංජා කිලෝ 8,359ක් හැරුණුකොටය. මෙම ගණන් මිනුම් යුක්තිය නොමැති ඊට පෙර වර්ෂවල අල්ලා ඇති මත්ද්‍රව්‍ය හා සාපේක්ෂව සැසඳීමේ ලොකු වෙනසක් නැති තරම්ය. වැඩිවී ඇත්තේ අත්අඩංගුවට ගත් පිරිස පමණි.
එහෙත් ‘යුක්තිය’ තරම් තවමත් ‘රටම එකට’ දූෂිත වී ඇති බවක් පෙනෙන්නට නැත. රටම එකට වැඩ අල්ලා තවමත් ගෙවීගොස් ඇත්තේ මාස 08ක් පමණි. මේ කාලය තුළ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් කර ඇති වැටලීම් ගණන ලක්ෂ දෙකකට ආසන්නය. එම වැටලිම්වලින් අත්අඩංගුවට ගෙන ඇති හෙරොයින් ප්‍රමාණය ටොන් දෙකකට අඩුවන්නේ කිලෝ 50ක් පමණි. නමුත් අයිස් නම් ටොන් දෙකකට වඩා අත්අඩංගුවට ගෙන හමාරය. ගංජාද ටොන් පහකට වඩා අත්අඩංගුවට ගෙන ඇත. මත්පෙති සහ කරල්ද ලක්ෂ 16කට වඩා සොයාගෙන තිබේ. කොකේන්, කුෂ්, හෂිෂ්, මදනමෝදක, මාවා වැනි මත්ද්‍රව්‍යද ටොන් දෙකක පමණ ප්‍රමාණයක්ද පොදුවේ ගත් කල අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.
ශ්‍රී ලංකා ඉතිහාසයේ එතෙක් මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති වැඩිම මත්ද්‍රව්‍ය තොගය මේ ආකාරයට ‘රටම එකට’ මෙහෙයුම් මගින් අල්ලා ගැනීමට සමත්ව ඇතත් තවමත් ගම්මට්ටමින් සහ නගර මට්ටමින් මත්කුඩුවල හිඟයක් ඇතිවී ඇති බවක් නම් බිම් මට්ටමින් කරනු ලබන සොයා ගැනීම්වලදී නම් පෙනෙන්නට නැත. මේ අල්ලාගෙන ඇති මත්කුඩුවලින් බොහොමයක්ම අල්ලාගෙන ඇත්තේ මහ මුහුදේදීය. ඒ ගොඩබිමට ගෙන එන්නට පෙරය. ඒ කිලෝ සිය ගණනින්ය. ටොන් ගණන් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත්තද ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් මත්කුඩු ජාවාරම් සම්බන්ධයෙන් කොටුකර ගත්තද මත්කුඩු හිඟයක් රට තුළ තවමත් ඇතිවී නැත්තේ මේ අල්ලන අය අතර සැබෑ ලෙසම මත්කුඩු ජාවාරමට සම්බන්ධ ප්‍රබල ජාවාරම්කරුවන් වැඩි දෙනෙක් නොමැති බැවිනි. ලක්ෂ දෙකක පමණ පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතත් සැබෑ ලෙසම ඒ අතර ජාවාරමට සම්බන්ධ බව යැයි කියන පිරිස් සිටින්නේ 1000ක් හෝ ඒ ආසන්න පිරිසකි. ඒ බව කියන්නේ අප නොව පොලිසියේම වාර්තාය. මත්ද්‍රව්‍ය විකිණීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අය සිටින්නේ 5000කටත් අඩු පිරිසකි. පොලිසියේම දත්තයන්ට අනුව අත්අඩංගුවට ගෙන ඇති ලක්ෂ දෙකක් පමණ වූ පිරිස අතරින් සියයට 90කට වැඩි පිරිසක්ම සිටින්නේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ය. ඒ අය අතරින්ද පුනරුත්ථාපනය සඳහා යොමුකර ඇත්තේ 2,200ක පමණ වූ සුළු පිරිසක් පමණි. ලක්ෂ දෙකකට ආසන්න මත්ලෝලීන්ගෙන් අවසානයේදී පුනරුත්ථාපනය සඳහා යොමුකර ඇත්තේ අල්ලාගත් අයගෙන් සියයට 2කට ආසන්න පිරිසක් පමණක් බවය. සෙසු අයට සිදුවන්නේ අධිකරණයෙන් නියම කෙරෙන දඩයකට යටත් වන්නටය. නැතිනම් කෙටි කාලයකට හිරේ විලංගුවේ සිටින්නටය. නැවතත් ඒ අය සමාජයට පැමිණ සිදුකරනු ලබන්නේ මත්කුඩු පානය කිරීමය. මේ අය සැලකෙන්නේ ඇබ්බැහි වූවන් ලෙසිනි. එදත් අදත් පොලිසියට සංඛ්‍යා විජ්ජාවන් ඔස්සේ දේශපාලනඥයන් රැවටීමට හැකියාව ලැබී ඇත්තේ මේ අය නිසාය. යුක්තියේ නාමයෙන් සිදුවූ මෙවැනි දේවල් නොකරන්නැයි කට කැඩෙනකම් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය උදේ හවා සූම් මීටින් තබමින් පැවැසුවත් තාමත් දේශබන්දුගේ අවතාර පොලිසියේ හොල්මන් කරන බව තහවුරු වන්නේ මෑතකදී ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයට එකම දිනකදී මත්ද්‍රව්‍ය නඩු දෙකක් බොරු සාක්ෂි නිර්මාණය කර ඉදිරිපත් කිරීමට ගොස් අතේ මාට්ටු වීමත් සමගිනි. ‘රටම ’ ඇතැම් තැන්වලදී ‘යුක්තිය’ බවට පත්ව ඇත්තේ එවන් ආකාරයෙනි. රටම එකට මාස 08ක මෙහෙයුම්වලින් අල්ලාගත් ලක්ෂ දෙකක පිරිස සම්බන්ධයෙන් විශ්‍ලේෂණයක් කිරීමේදී පෙනීයන්නේ එකම පුද්ගලයා මේ කාලය තුළ කිහිප වරක්ම පොලිසිය විසින් අල්ලා ඇති බවය. එය යුක්තියට මෙන්ම ඔපරේෂන් ක්ලීනප් සඳහාද පොදුය. සැබෑ ජාවාරම්කරු සිටින්නේ නිදැල්ලේය. පොලිසියට හැමදාමත් අල්ලන්නට ලැබෙන්නේ මත්කුඩු බොන එකාමය. දවසේ ටාගට් එක අඩුවන විට හෝ ඉහළ නිලධාරීන්ගෙන් බැණුම් අසන්නට ලැබෙන විට ගමේ පොලිසියට කෝකටත් තෛලය වී ඇත්තේද කුඩු බොන එකාය. අල්ලාගත් කුඩුකාරයන්ගේ ලැයිස්තුව අසාමාන්‍ය ලෙස ලක්ෂ ගණනින් දැන් ඉහළ ගොස් ඇත්තේ ඒ අයගෙනි. එසේ නොමැතිව ජාවාරම්කරුවන් අල්ලාගන්නා නිසා නොව. මත්කුඩු ජාවාරමට තවමත් තිත තැබී නැත්තේත්, මොන නමින් මෙහෙයුම් ආවත් ගම් නගර පුරා මත්ද්‍රව්‍ය සුලබව අදටත් ඇත්තේත් ඒ නිසාය. දේශපාලනඥයන් පිනවීමට පොලිසිය විසින් කරනු ලබන මේ බොරුව නවතන තුරු මෙරටින් මත්ද්‍රව්‍ය තුරන් කිරීම කෙසේ වෙතත් පාලනය කිරීමටවත් නොහැකි වනු ඇත.
රුවන් වෙඩිවර්ධන










