ඒ වෙනකොටත් වෙසක් පෝය ඉවර වෙලා නෑ. වෙසක් හඳ අවපසට හැරෙන්න පටන් අරගෙන. රෑ අහසට එහෙන් මෙහෙන් එන අඳුරු වලාකුළු වෙලාවකට හඳ වහනවා. හඳ අමාරුවෙන් දඟලලා දඟලලා එළියට එනවා. ඈත තොරණක කවි කියන සද්දෙ ඈතට ඇහෙනවා. හුළඟට කලවන් වෙන කවි ගේ දොර අස්සට එබෙනවා.Sri Lanka Latest News
ඉඳහිට වැටෙන වැස්සක් විනාඩි තිහ හතළිහකට හැම දේම නතර කරනවා. දන්සල් හොයාගෙන පාරට බැස්ස මිනිස්සු තැන් තැන්වල නතර වෙලා අහසට දොස් කියනවා. අහස ඒ දොස් අහගෙන ඉන්න බැරිම තැන වැස්ස නවත්ත ගන්න, අහසට ඕවා මතක තියෙන්නෙ ටික වෙලාවයි, ආයෙත් වහිනවා. අහසට වගේම මිනිස්සුන්ටත් හුඟක් දේවල අමතකයි. අපි හිටියෙ වතුර නැතුව. ගිණියම දරාගන්න බැරුව. සෙල්සියස්වලින් උණුහුම මැන්නම තිස්හතට තිස්අටට වැඩි අගයක්. ආණ්ඩුවෙන්ම උපදෙස් දුන්නා, ඒ රස්නෙන් අපේ ශරීරයයට වෙන හානිය ගැන කියමින්.
‘පොඩි දරුවො, වැඩිහිටියො ඒ උණුසුමට නිරාවරණය කරන්න එපා’ වගේ ඒවා කියමින්. ඒත් ඒ උණුසුම වැඩිම උණොත් සෙල්සියස් අංශක හතළිහක් වෙන්න ඇති. එතකොට නෝනාවරුනි මහත්වරුනි එක පාරම සෙල්සියස් අංශය හසසීයක් හත්සීයක් වෙන බුරබුරා නැගෙන ගින්නකට කෙනෙක්ට මුහුණ දෙන්න වුණොත්….?
එදා රාත්‍රිය වෙන්දා වගේම සෙනෙහසේ නවාතැනට ආවා. ඒකෙ හිටියෙ කවුරුවත්ම අයිතිකාරයො අයිතිවාසිකම් නොකියන වැඩිහිටියොම නෙමෙයි. සමහර අයට කවුරු හෝ කෙනෙක් හිටියා. ඒ අය මේ අයව තනි කරලා අතරමං කරලා කියලා මිනිස්සු චෝදනා කරනවා. ඒක වැරදියි. අගක් මුලක් නොදැන ඔහේ කියවන ෆේස්බුක්කාරයො දන්නෙ නෑ සෙනෙහසේ නවාතැනට වැඩිහිටියෙක්ව දාන්න සාමාන්‍ය තත්ත්වය යටතේ මුදලක් අයකරනවා. ඒ මුදල රුපියල් තිස් පන්දහසට ආසන්න බවයි දැනගන්න ලැබෙන්නෙ.
ඒත් එහෙම නැතිව කීප දෙනෙක්ව නවත්වාගෙන උන්නා කියලා සමහරු කියනවා. දැන් ඒවා හොයන්න හෝ අහන්න විදියක් නෑ. මේ වෙනකොට සෙනෙහසේ නවාතැන අළුවෙලා ගිහිල්ලා. සියල්ල කඩාවැටිලා. මෙහි හිමිකරු සහ පාලකයා විදියට කටයුතු කළ පුද්ලයා අත්තඩංගුවට පත්වෙලා. ඒ නිසා ගණන් හිලව් හොයලා බලන්න හෝ පාලනය ප්‍රශ්න කරන්න මේක වෙලාවක් නෙවෙයි. ඒත් මෙතැනට ආව සමහර නෑදෑයෝ බොහෝ කතන්දර කියන බව සමාජ මාධ්‍යවල සටහන් වෙලා තිබුණා.
‘බලන්න දෙන්නෙ මාසෙකට වරක්…’
‘ඒ දවසට විතරක් ලස්සනට තියනවා…’
‘අනිත් දවස්වල සලකන්නෙ නෑ..’
එතකොට අපිට අහන්න තියෙන්නෙ,
‘තොපි ඕක කියන්න ගිනිගන්න කල්ම හිටියෙ අගවල් එකකටද?’ කියලා. මොකද මේ ප්‍රශ්න විසඳගන්න තිබුණා. එහෙම බැරිනම් නීතිමය පියවරක් හරි ගන්න පුළුවන්. මේ දෙකම බැරි නම් වැඩිහිටියන්ව මෙතැනින් අයින් කරගන්න ඕනෙ. ඒත් ඒක කරන්න පවුල්වල අය කැමැති නෑ. ඒ අවදානමක් ගන්න තියෙන අකැමැත්ත. අන්න ඒ අකැමැත්ත ගැන මේ පාලකයෝ දැන ඉන්න ඇති. ඒ නිසාම මේ වැඩිහිටියන්ව ‘අයින් කරගනී…’ කියන අවදානම ඔවුන්ට නෑ. හුඟක් අය කියනවා මේ වැඩිහියො නටමින්, ගී ගයමින් සතුටින් හිටියාය කියලා. ඒ අයගෙ වීඩියෝ හෝගාලා සමාජ මාධ්‍යවලට දානවා කියලත් කියනවා. අපි දන්න විදියට නම් එහෙම දාන්න පවා තහනම්. ඒත් ඒක එහෙම වෙලා තිබුණා. දෙයක් වෙනකල්ම ඉන්න ඕනේ හැමෝම ඕවා ගැන හොයන්න වගේ කතාවක් කියලා තර්ක කරන්න දැන් පුළුවන්.
ඇත්තටම මේ වගේ තත්ත්වයක් යටතේ වැඩිහිටි පිරිසක් බලාගන්න එක ලේසි නෑ.
‘ඉතින් බැරි නම් නිකන් ඉන්න එපායැ…’ වගේ එකක් කියන්න පුළුවන්. ඔව්, ඇත්තටම වැඩිහිටියො හැත්තෑවක් රඳවාගෙන ඉන්න තැනක මීට වඩා සිය දහස් ගණනක ආරක්ෂාවක් ඕනේ. මේ වෙලාවෙ හදිසියෙම මතුවෙන සමහර අමානුෂික දේවල් මේ වගේ තැනක නොවී බෑ වගේ තර්කයක් සමාජය විසින් නිර්මාණය කරමින් ඉන්නවා. එහෙම වැඩිහිටියො බැඳලා තියන්න පුළුවන්ද? එහෙම තියනවා නම් ඒ කුමන සීමාවක් යටතේද? එයාලව ලෙහන්නෙ මොන වෙලාවටද? දවසට කී වතාවක්ද? වගේ බරපතළ ප්‍රශ්න පේන්න තියෙනවා, ඒවා එකින් එක බේරගන්න වෙනවා.
මේක මේ නිවාසයට විතරක් නෙවෙයි. මුළු රටටම බලපාන ප්‍රශ්නයක්. පවත්වාගෙන යන නිවාස 148ක් තිබේ. කෙසේ වෙතත්, දිවයින පුරා පවත්වාගෙන යන සමස්ත වැඩිහිටි නිවාස සංඛ්‍යාව 456ක් පමණ බව කියවෙනවා. තවමත් නිසි ලියාපදිංචියක් නොමැතිව ක්‍රියාත්මක වන ආයතන 300කට අධික ප්‍රමාණයක් පවතින බව වාර්තාවෙනවා. ඒ ගණන කිසිවෙක්ට නිසි ලෙස ගණන් බලන්න බෑ. ළමා නිවාසවලත් තත්ත්වය ඒකම තමයි. ලංකාවෙ බහුලවම තියෙන්නෙ ස්වේච්ඡා ළමා නිවාස. ඒවා පුද්ගලික හිමිකරුවෙන් හෝ රාජ්‍ය නොවන සංවිධානවලින් පවත්වාගෙන යන ඒවා. එවැනි ළමා නිවාස හාරසීයකට ආසන්න ප්‍රමාණයක් වෙන කොට රජය මගින් පාලනය වෙන නිවාස ගණන දහයක් පහළොවක් පමණ බවයි දත්ත මගින් දැනගන්න ලැබෙන්නෙ. ඒ අනුව වැඩිහිටි නිවාසවලට වඩා මේ තත්ත්වය බොහෝම නරකයි.
හැබැයි ළමා නිවාසයක් ගිනිගත්තෙ නැති නිසා අපි ළමා නිවාස ගැන කියන්න යන්නෙ නෑ. අපි දැනට වැඩිහිටි නිවාස ගැන විතරක් කවි ගී ලියමු. දෙයක් වුණු දවසට ළමා නිවාස ගැනත් මොනවා හරි කියමු.
ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය කියලා ආයතනයක් ලංකාවෙ තියෙනවා. වැඩිහිටි නිවාස ලියාපදිංචි කිරීම, ඒවායේ ප්‍රමිතීන් නියාමනය කිරීම සහ වැඩිහිටි අයිතිවාසිකම් සුරැකීම සඳහා ඉහත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ප්‍රධානතම රාජ්‍ය ආයතනය මේක බවයි දැනගන්න ලැබෙන්නෙ. ලංකාවේ බොහෝ වැඩිහිටි නිවාස සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන නඩත්තු කිරීම හා ප්‍රාදේශීය මට්ටමින් අධීක්ෂණය කිරීම අදාළ පළාත් සභා සමාජ සේවා දෙපාර්තමේන්තු මගින්ද සිදුවෙනවා. සමාජ සේවා නිලධාරීන් තුන්සිය පනහකට අධික ප්‍රමාණයක් ඉන්නවා. ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට එකක් අයෙක් වශයෙන් 331ක් සහ විශේෂ නිලධාරීන් 20ක්. ඒ අයට වගකීමක් තියෙනවා මේ සම්බන්ධව හොයලා බලන්න.
ඒ වගේම දැන්වත් පටන් ගන්න ඕනෙ වැඩ ගොඩක් තියෙනවා. මීට කලින් දිට්වා සුළි කුණාටුව වෙලාවෙ මාඔය ඉවරේ වැඩිහිටියන් රැසක් මියගියා. ඒ අයව නිවැරදිව ඉවත් කරගත්තා නම් මේ තත්ත්වය වෙන්නෙ නෑ. ඒවා ඉතාම අවශේෂ සිදුවීම් විදියට අපි අමතක කළා. හෙට ආයෙත් දෙයක් වුණාම මාසයක් දෙකක් කතා කරයි. ඊට පස්සෙ ඉවරයි.
ඊළඟ ප්‍රශ්නය? කුමන හෝ තත්ත්වයක් යටතේ මහමග ජීවිතේ ගෙවන මිනිස්සු වෙනුවෙන් අපි කිසිම දවසක වැඩපිළිවළක් හදන්නෙ නෑ. ඒ මිනිස්සුන්ට හඬක් නෑ. ඒ මිනිස්සුන්ට අයිතිකාරයො නෑ. ඇත්තටම ඒ අය සමාජයට පවා ලොකු අවුලක්. හැම නගරයකම එවැනි අය කීප දෙනෙක් ඉන්නවා. ඒ අය ඉතාම දරුණු ගැටලු මැද කොහොම හරි ජීවත් වෙනවා. රටක එහෙම වෙන්න පුළුවන්ද? පුළුවන් ඇමෙරිකාවෙ පවා ‘නිවාස නැති මිනිස්සු’ කියන ප්‍රශ්නය තියෙනවා. ඒත් මේ වැඩිහිටි නිවාස නියාමනය හරහා මේ ප්‍රශ්නයට උත්තරයක් හොයන්න අපිට බැරිකමක් නෑ. ඒක අසීරු වුණත් නිසි ක්‍රමවේදයක් යටතේ කරන්න බැරි නෑ.
මේ මියගිය 13 දෙනාගෙ මරණ ඉතාම වේදනාකාරී බව ඇත්ත. සමහරු මියගියෙ දම්වැල්වලින් බැඳලා තියෙද්දි බව අහන්න ලැබෙනවා. සමහරු ඉඳගත්ත පුටුවෙම පිච්චිලා. රෝහල්ගත කළාට පස්සෙ මියගියේ එකක් අයෙක් හෝ දෙන්නෙක්. අනිත් අයව හොයාගන්නෙම පිළිස්සිලා අවසන් වුණාම. ඒක එහෙම වෙන්න බෑ.
අඩුම තරමෙ හදිසියකදී මුලින්ම අවදානය තියෙන්නෙ ඕනෙ ඇඳන්වල බැඳලා දාපු අය ගැන. බේරගන්න ආපු මිනිස්සු ඒ ගැන දන්නෙ නෑ. ඒක දන්නෙ පාලකයෝ. හේතු ඕනෙ තරම් ඇති. ඒත් ගින්නෙන් පිච්චුණේ මිනිස්සු. ඔබ අප වගේම මිනිස්සු. ඒ මිනිස්සු කොච්චර කෑගහන්න ඇතිද? කොච්චර උදව් ඉල්ලන්න ඇතිද? අතපය බැඳපු බැමි ගලවගන්න දඟලලා දඟලලා බැරිම තැන ඇස් දෙක පියාගන්න ඇති. මහා ගින්නකින් අමු මස් පිච්චෙන වේදනාව විනාඩි ගානක් ඇස් පියාගෙන දරාගන්න ඇති. අවුරුදු ගාණක් තිස්සෙ අල්ලපු ඇඳේ ජීවිතේ බෙදාගත්‍ත කෙනා ගිණි අරගෙන ඉවර වුණාම, ඊ ළඟට මගේ වාරය කියලා ඒ මිනිස්සු හිතන්න ඇති.
‘එයාලව මෙතැනට ගෙනාපු අය වැරදියි…’ කියලා මම කියන්නෙ නෑ. මේ ක්‍රමයත් එක්ක ඇත්තටම මිනිස්සු ඒ තත්ත්වයට වැටෙනවා. ඒත් ඒක එහෙම නොවෙන්න තිබුණා. මේ වෙසක් හඳ යට ඒ ගින්‍දර නොඇවිලෙන්න තිබුණා. හෙට අනිද්දා මේ ගින්නට හේතුව හොයාගනී. ඒ මළසිරුරු ටික වළලලා දායි. කතාව එතැනින් ඉවරයි. හැමදාම වුණේ එහෙම.
ජනාධිපතිතුමනි, මේ වෙලාවෙ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒක අපි දන්නවා. ඒත් මේ ගින්නට උත්තර හොයන්න. ඇත්තටම මේ මිනිස්සු පිච්චෙන්න ගත්තෙ අදක ඊයෙක නෙමේ. ඒ මිනිස්සු අවුරුදු විස්සක තිහක කාලයක් තිස්සෙ ඇවිළෙනවා. රට පුරාම එහෙමයි. මිනිස්සු පිච්චෙනවා. පුළුවන් නම් ඒ ගින්දර නිවන්න. නැත්නම් අපි විතරක් නෙවෙයි ඔයාලත් පිච්චෙනවා.
‘අපි කොච්චර උපදෙස් දුන්නත් අයිතිකරු ඒවා ගණන් ගත්තේ නෑ’ – මිල්ලනිය ප්‍රාදේශීය ලේකම්
‘මම මේ පුද්ගලයාව අවස්ථා ගණනාවකදීම ගෙන්නලා අවවාද කළා. හැබැයි මම කිව්වට ඒ අදාළ දේවල් ඔහු කරන්නෙ නෑ. එහෙම නොකළාම එතැනින් එහාට මට ගන්න ඇක්ෂන් එකක් නෑ. ඔය නිවාසයට අවස්ථා ගණනාවකදී මමම ගිහිල්ලා සෑහෙන්න උපදෙස් දුන්නා. ආරක්ෂාවට ගන්න ඕනෙ පියවර කිව්වා. ඊට පස්සේ ඒ පුද්ගලයා ඔෆිස් එකට ගෙන්නුවා. ඒත් ඔහු කළේ නෑ. ඉන් පසු මොහු මම කියන දේ අහන්නේ නෑ කියලා අදාළ ආයතන සියල්ල මම දැනුවත් කළා…’
(අඟුරුවාතොට ඛේදවාචකය ගැන මිල්ලනිය ප්‍රදේශීය ලේකම්තුමිය මෙසේ අදහස් දැක්වූ බවට සමාජ මාධ්‍ය තුළ පළකර තිබිණි.)

ජීවන පහන් තිළිණ










