
දිට්වා සුළි කුණාටු ව්‍යසනයෙන් මාස හයකට පසුව නැවත වරක් හෙමින් හෙමින් අළු ගසා නැඟීසිටින දුම්බර වනපෙතේ සංචාරයක යෙදෙන්න ‘කැලෑ කොලමේ‘ මට අවස්ථාව උදාවුණා. නිසි අරමුණක් හා අවබෝධයකින් සංචාරය කරන්නකුට දුම්බර කියන්නේ පාරිසරික තක්සලාවක්. ක්ෂණිකව වෙනස් වන කාලගුණය, මීදුමෙන් වැසී යන කඳු මුදුන්, අසුරු සැණෙන් කඩාහැලෙන අනෝරා වැසි දුම්බර වනපෙතට අරුමයක් නෙවෙයි. ඒ හැම සංසිද්ධියක්ම මෙකී පරිසර පද්ධතියේ අනේකවිධ අවස්ථාවන් උදාකර දෙනවා.
‘නකල්ස් කඳුවැටිය’ එහෙම නැත්නම් දුම්බර වනාන්තරය ලංකාවේ මධ්‍යම පළාතේ මහනුවර හා මාතලේ දිස්ත්‍රික්ක තුළ පිහිටා තිබෙනවා. සිංහලයන් මෙම කඳුවැටිය සාම්ප්‍රදායිකව හඳුන්වනු ලබන්නේ මීදුමෙන් පිරුණු කඳුවැටිය හෙවත් දුමින් බර කඳුවැටිය යන නමින් අරුත් දෙන ‘දුම්බර‘ නමින්. මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල සිට බලන විට මෙකී කඳුවැටිය මිට මොළවන ලද අතක (නකල්ස්) ආකාරයෙන් පිහිටා ඇති නිසා බි්‍රතාන්‍ය මිනින්දෝරුවන් මෙය ‘නකල්ස් කඳුවැටිය’ නමින් හඳුන්වා තිබෙනවා.
දුම්බර කඳුවැටියට මිලිමීටර් 5,080ක පමණ වාර්ෂික වර්ෂාපතනයක් ලැබෙන අතර, නැගෙනහිර බෑවුම්වලට මිලිමීටර් 2,500ත් 4,000ත් අතර වාර්ෂික වර්ෂාපතනයක් ලැබේ. මෙකී වනාන්තර පද්ධතිය තෙත් බිම්, තෙත් නිවර්තන පතන, අර්ධ සදාහරිත නිවර්තන, උපකඳුකර නිවර්තන හා කඳුකර තෙත් හා කඳුකර තෘණ බිම් පතන බිම් වැනි විවිධ පරිසර පද්ධතිවලින් දැක්නට ලැබෙනවා. ඉන් ඔබ්බට විමසුම් ඇස යොමුකිරීමේදී වර්ණවත් තුරුලතා, ගිරිශිඛර, ප්‍රපාත හා තැනිතලා බිම්ද විවිධ භූ ලක්ෂණද දිවයිනේ කිසිදු තැනක දකින්නට නොලැබෙන ඉතා මනස්කාන්ත භූ දර්ශනද ලංකාවට ආවේණික සත්ව හා ශාක විශේෂ ගණනාවක්ද මෙම දුම්බර කඳුවැටිය හා වනාන්තරය තුළ දක්නට පුළුවන්.
අපගේ චාරිකාවේ ගමන් සගයා වූයේ චන්දිම මල්ලි. ඔහු ප්‍රදේශයේ අස්සක් මුල්ලක් නෑර ඇසූපිරූ තැන් ඇත්තෙකු විය. අනෙක් විශේෂිත දැනුම ඇත්තා වූයේ වෘත්තියෙන් නැචුරලිස්ට් කෙනකු වන විකුම් මල්ලි. දුම්බරට ආවේණික සතුන් හඳුනා ගැනීමට ඔහුගේ සහාය මහත් උපකාරයක් විය. දුම්බරට පමණක් ආවේණික දුම්බර පඳුරු මැඩියා, නකල්ස් පඳුරු මැඩියා, පෙති අං කටුස්සා, දුම්බර කුරු බෝදිලිමා, නකල්ස් දිවාසැරි හූනා, පෙතියාගොඩගේ නොසිලූ කටුස්සා ජීවමානව දැකගැනීමේ අවස්ථාව අපට උදාවිය. මේ සියලු සතුන් දැඩි පාරිසරික තර්ජනයන්ට ලක්ව ඇති බව කිව යුතුමය. සමනල වර්ග කීපයක්ද කුරුලු විශේෂ කීපයක්ද අපේ කැමරා කාචවල සටහන් විය.

සංචාරකයන් ගැන සඳහන් කිරීමේදී අප දුටු කාරණයක් වූයේ බොහොමයක් දේශීය සංචාරකයන් දුම්බරට සහ රිවස්ටන්වලට පැමිණෙන්නේ එතරම් අවබෝධයකින් නොවන බවයි. එන්නම් වාලේ පැමිණ මිහිදුමේ පහස පමණක් විඳ නැවත යන්නේ කිසිම අවබෝධයකින් තොරව බව අපි දුටු වාර අනන්තයි.
රාත්‍රියේදී දුම්බර වනපෙත ගෙන එන්නේ අමුතුම ගුප්ත චමත්කාරයක්. එහි තිබෙන ගුප්ත බව හා ත්‍රාසය වචනයෙන් විස්තර කළ නොහැකියි. අප නවාතැන් ගත් ලොජ් එක දුම්බර පරිසරයට ආවේණිකම එකක් විය. එය 100%ක්ම ස්වභාවික විය. ලන්තෑරුම් එළියකින් හා සුන්දර වටපිටාවකින් හෙබි එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ‘ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි’ නවාතැනක් විය.



රාත්‍රියේදී අපිට ගැටහොඹු කටුස්සා, පොළොන් තෙලිස්සා, ඇහැටුල්ලා හා උණහපුළුවා දැකගැනීමට හැකි විය. අපේ අනෙක් ගමන් සගයන් වූයේ අචිනි නංගී, චතූ නංගී හා කනිෂ්කය. අපේ සියලු කැමරා ආම්පන්නවල හා අනෙකුත් සියලු උපකරණවල හිමිකරුවා වූයේ කනිෂ්කය.
හිමිදිරියේ ඉර උදාවන දසුන මම මේ රටේ වෙනත් ස්ථානවලින් දැක නැති ඉතා මනරම් දර්ශනයක් විය. එක් පසකින් මොරගහකන්ද ජලාශයද අනෙක් පසින් කළුගඟ ජලාශයද මැදිකොට හිරු උදාව සිත්ගන්නා සුලු වේ. ඇඟ හිරුගඩු පිපෙන සීතලේ අප සියලු දෙනාම මෙකී ආශ්වාදය නොඅඩුව වින්දෙමු.

පිටවල පතන හා කුඩා ලෝකාන්තය දුම්බර ඇති තවත් සුන්දර ඉසව්වකි. කුඩා ලෝකාන්තයේ දකුණු ඉසව්වේ දිට්වා ව්‍යසනයේ නටබුන් තවමත් ශේෂ වී ඇත. ඈතින් පෙනෙන රෙඩ්බානා ගමේ සුන්දර දසුන්ද ඉතා සිත්ගන්නා සුලුය.
නකල්ස් කඳු පන්තියෙන් පටන් ගන්නා තෙල්ගමු ඔයේ ජල පහස විඳගන්නා සංචාරකයකු නැවත වතාවක් එම ප්‍රදේශයට යෑම අනිවාර්යයි. ඒ තරමටම පිරිසිදු ජල පෝෂක ප්‍රදේශයකින් පැමිණෙන මෙකී ජල කඳේ පහස විඳගන්න සංචාරකයෙක් ඇත්තටම පින් කරන්න ඕනේ. බොහෝ දුරට තෙල්ගම ඔය ඉතා පිරිසිදු තත්ත්වයෙන් තිබුණත් සමහර සංචාරකයන්ගේ නොමනා ක්‍රියාකාරකම් නිසා අපවිත්‍ර වී ඇති තැන්ද නැතිවා නොවෙයි. මන්දයත් තෙල්ගමු ඔයේ දුම්බරට හා මෙරටට පමණක් ආවේණික මිරිදිය මත්ස්‍ය වර්ග විශාල ප්‍රමාණයක් රැඳී සිටින ජෛව විවිධත්වයෙන් අනූන ප්‍රදේශයක් නිසා වගකිවයුතු සංචාරකයන් වන අප එය පරිහරණය කිරීමේදී ඉතාමත් ප්‍රවේශම් විය යුතු බවද සඳහන් කරන්නම ඕනේ.

සොබාදහමේ වෙනස්කම් අත්විඳි දින තුනක සංචාරක කෙටි සටහන මෙසේ අවසන් කරන අතර, මෙරට සංචාරකයන්ගෙන් ‘කැලෑ කොලමේ’ අප ඉල්ලා සිටින්නේ ඔබ පරිසරය විඳින්න කැමැති කෙනෙක් නම් දුම්බර වනපෙතේ රිවස්ටන් කඳු මුදුනේ පහස විඳින්න යන්න. පා සටහන් පමණක් තබා එන්න. ඡායාරූප පමණක් රැගෙන එන්න. මන්ද, දුම්බර ලෝක උරුම වනාන්තරය අනාගත පරපුරටත් උරුම කර රැක බලාගැනීමට ආරක්ෂා කිරීම වර්තමානයේ අපේ පරම යුතුකම වන නිසාය.

සමන් හල්ලොලුව










