පාස්කු ප්‍රහාරයට වසර 05ක් සම්පූර්ණ වූ ඉකුත් සතියේ සජිත් තවත් විශේෂ අමුත්තකු බැහැදැකීමට ගියේය. ඒ, වෙන කවුරුවත් නොව උති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ය. උන්වහන්සේ මේ දිනවල දණහිසේ ශල්‍යකර්මයක් සිදුකොට සිටින්නේ විවේක සුවයෙනි. පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු නොවීම හේතුකොට ගෙන පසුගිය කාලය පුරාම කාදිනල් හිමියන් සිටියේ පක්ෂ විපක්ෂ කිසිදු දේශපාලකයකුට තමන් හමුවීමට කාලවේලාව ලබා නොදෙමිනි. නමුත් සජිත් කළ විශේෂ ඉල්ලීම හමුවේ ඔහුට කාලවේලාව වෙන්කිරීමට කාදිනල් හිමිපාණෝ පියවර ගත්හ.Sri Lanka Latest News
මෙම හමුවේදී සජිත් කාදිනල් හිමිපාණන් හමුවීමට ගියේ නිකන් නොව, ඉදිරි සජබ රජයක් යටතේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකිරීමට සූදානම් වන පරීක්ෂණවල දළ සැලැස්මක්ද සකස් කොට ගෙනය. ඒ අනුව උන්වහන්සේ මුණගැසුණු සජිත් පාස්කු මහමොළකරුවන් නීතියේ රැහැනට හසුකරගන්නා ආකාරය කාදිනල් හිමියන්ට පෙන්වා දුන්නේය.
එළඹෙන ජනාධිපතිවරණයේදී තමා ජනාධිපතිවරයා ලෙස ජනතාව විසින් තෝරා පත් කරගත හොත් මාස 2ක් ඇතුළත් 1948 අංක 17 දරන පරීක්ෂණ කොමිෂන් සභා පනත යටතේ දේශීය හා විදේශීය සාමාජිකයන් 7ත් 9ත් අතර සමන්විත කොමිෂන් සභාවක් පත් කරන බවත්, ඒ තුළින් අතීත හා වර්තමාන සමයට අයත් සමස්ත ආරක්ෂක වැඩපිළිවෙළ අධ්‍යයනය කිරිමක් තුළ එයට සීමා නොවූ වගකීමක් ඉටු කරමින් ඕනෑම ආයතනයක ඕනෑම පුද්ගලයකුගෙන් කිසිදු තහංචියකින් තොරව ප්‍රකාශන ලබාගැනීමේ බලය ලබා දෙන බවත් සජිත් කියා සිටියේය.
එසේම කොමිෂන් සභාව ස්ථාපිත කර සති 6ක් ඇතුළත ඒ හා සමානව එක්ව කටයුතු කිරිමට ස්කොට්ලන්ඩ්යාර්ඩ්, එෆ්.බී.අයි ඇතුළු විදේශ ඔත්තු හා ආරක්ෂක සේවා මෙන්ම දේශීය බුද්ධි අංශ හා ආරක්ෂක අංශවලින් සමන්විත ස්ථිර විමර්ශන කාර්යාලයක් පිහිටුවන බවත්, කොමිෂන් සභාවේ නිර්දේශ හා නියෝගවලට, ශ්‍රී ලංකාවේ නීතිවලට යටත්ව නීතිපතිවරයා විසින් අධිචෝදනා ඉදිරිපත් කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම අනිවාර්ය කරන බවත් සජිත් කාදිනල් හිමිපාණන්ට පෙන්වා දුන්නේය.
තවද ඒ සඳහා අවශ්‍ය වන ආකාරයට 1948 අංක 17 දරණ පරීක්ෂණ කොමිෂන් සභා පනතේ 7 (2) හෝ 24 වැනි වගන්ති සංශෝධනය කරන බවත් ඉහත කී වැරදි සම්බන්ධයෙන් අධි චෝදනා ලැබූ පුද්ගලයන් සම්බන්ධයෙන් තීන්දු ලබා දීමට ස්ථිර මහාධිකරණයක් පිහිටුවන බව කී සජිත්, ඒ සදහා 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 12 වැනි වගන්තිය සංශෝධනය කිරිමට පියවර ගන්නා බවත්, නීතිපතිවරයාගෙන් ස්වාධීන වූ රජයේ අභිචෝදක කාර්යාලයක් පිහිටුවීමට නීති සම්පාදනය කරන බවත් කියා සිටියේය.
සජිත්ගේ මෙම පැහැදිලි කිරීම සාවධානව අසා සිටි කාදිනල් හිමිපාණන් ඉතා සතුටට පත්ව ඊට අනුමැතිය ලබාදුන් ආකාරයක් දැකගන්නට ලැබිණි. එමෙන්ම අපට ඇති ආරංචිවලින් කියැවෙන්නේ දැනට විවේක සුවයෙන් පසුවන කාදිනල් හිමිපාණන් හරියටම පාස්කු ප්‍රහාරයට වසර 05ක් පිරෙන ලබන අප්‍රේල් 21 වැනි දින දැවැන්ත වැඩපිළිවෙළක් සමග යළි කලඑළි බැසීමට සැලසුම් කරමින් සිටින බවය.