වසර 1971 අප්‍රේල් ඇරඹුණු අප්‍රේල් කැරැල්ලට 2024 අප්‍රේල් 05 වැනිදාට වසර 53කි. අප්‍රේල් කැරැල්ල පිළිබඳ මෙතෙක් පළවූ ග්රන්ථ සංඛ්‍යාව පනහකට ආසන්නය. එහෙත් ඔබ නොදත් කතාව සොයා මේ ලියුම්කරු දිස්ත්‍රික් 17ක සංචාරය කර, 1971 කැරැලිකරුවන් 150කට අධික සංඛ්‍යාවක් ඔවුන්ගේ නිවෙස්වලට ගොස් ඉකුත් වසර කිහිපය ඇතුළතදී එනම් 2010 සිට 2019 දක්වා හමුවුණි. එකී තොරතුරු ඇතුළත් පිටු 750ක පමණ ග්රන්ථයක් දැන් සකස්වෙමින් පවතී. මෙහි ඇත්තේ කරුණු එක්කළ කෙටි ලිපියකි. ලියුම්කරු සමග සාකච්ඡාවලට එක්වූ ඇතැමුන් අද ජීවතුන් අතර නැත. එහෙත් ඔවුනගේ හඬපට සහ ඡායාරූප ලියුම්කරු සතුය. කිහිප දෙනකුම අප්‍රේල් කැරැල්ල පිළිබඳ අදහස් දක්වා ඇත්තේ ඉතිහාසයේ ප්‍රථම වරටය. ඡායාරූප ගනු ලැබුවේද ලියුම්කරු විසිනි. (Sri Lanka Latest News)
ලාංකේය දේශපාලනයේ ගමන්මග වෙනස් කළ පළමු වෙඩිමුරය වූයේ 1971 අප්‍රේල් කැරැල්ලය. එය මෙහෙය වූයේ රෝහණ විජේවීරගේ නායකත්වයෙන් යුත් ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ)ය. රට පුරා පොලිස් ස්ථාන 92කට ජවිපෙ අප්‍රේල් 05 වැනිදා රාත්‍රියේ රාජ්‍ය බලය ලබාගැනීම අරමුණ ඇතිව පහර දුන්හ. නිදහසින් පසු සන්නද්ධ අරගලයක් මගින් රාජ්‍ය බලය ලබාගැනීමට දැරූ ප්‍රථම උත්සාහයද මෙය විය. අප්‍රේල් කැරැල්ලේදී කැරැලිකරුවන් පහර දුන් පොලිස් ස්ථාන 92ක අතරින් 57ක් විනාශ කළ අතර, දෙණියාය, ඌරගහ, රාජාංගනය, කතරගම සහ වරකාපොල යන පොලිස් ස්ථාන 05 යටත් කර ගත්තේය. තවත් පොලිස් ස්ථාන 43ක් තාවකාලිකව ඉවත් කරගෙන තිබිණි.
අප්‍රේල් කැරැල්ලේදී පොලිස් නිලධාරීන් 37ක් සහ හමුදා නිලධාරීන් 26ක් ජවිපෙ කැරැලිකරුවන් අතින් ඝාතනයට ලක්විය. කැරැලිකරුවන් මරාදමන ලද සිවිල් වැසියන් සංඛ්‍යාව 41කි. සමගි පෙරමුණ රජය මගින් ප්‍රකාශ කළ නිල දත්ත අනුව මරාදමන ලද කැරැලිකරුවන් සංඛ්‍යාව 1,200කි. එහෙත් මරාදමන ලද කැරලිකරුවන් සංඛ්‍යාව 5,000කට ආසන්න බව කියති. අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 18,000ක් පමණ වූ අතර, ඉන් 4,200ක් පමණ පොදු දේශපාලන සමාව යටතේ බාරවූ අය වේ. කැලණිය සහ ජයවර්ධනපුර සරසවි තාවකාලික සිර කඳවුරු බවට පත්විය. අප්‍රේල් කැරැල්ලෙන් පසු පරීක්ෂණ කොමිෂන් සභා 04ක් මගින් 1972 අගෝස්තු 10 සිට 1976 නොවැම්බර් 04 දක්වා කැරැල්ලේ මහ නඩුව ඇතුළු පරීක්ෂණ 140ක් පවත්වන ලදී. එයට චෝදනා ලැබූ චූදිතයන් සංඛ්‍යාව 3,908කි. ඉන් 3,014 කොමිෂන් සභා හමුවට ගෙන ආ අතර 894 දෙනකු අත්අඩංගුවට ගත නොහැකි විය. අත්හිටුවූ සිර දඬුවම් මත නිදහස් කළ සංඛ්‍යාව 2,492කි. බරපතළ සිරදඬුවම් ලැබූ කැරැලිකරුවන් ගණන 390කි.
ජවිපෙ නායක රෝහණ විජේවීර ඇතුළු 05 දෙනකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම විය. නිදොස් කොට යැවූ කැරැලිකරුවන් ගණන 104කි. මහ නඩුවේදී 41 දෙනකුට එරෙහිව නඩු පැවරිණි. අප්‍රේල් මහ නඩුවේ තීන්දුව 1974 දෙසැම්බර් 20 වැනිදා ලබාදුන් අතර, විත්තිකරුවන් 41 දෙනාගෙන් 4ක් නිදහස්වූ අතර, සුසිල් සිරිවර්ධන, එස්.ඩී. බණ්ඩාරනායක සහ ටී.ඩී. සිල්වාට අත්හිටුවු සිරදඬුවම් නියම විය. විජේවීර දිවි ඇති තෙක් හිරේය. බරපතළ වැඩ ඇතිව සිරදඬුවම් 28 දෙනකුට නියම විය.
කැරැල්ලේ නායක රෝහණ විජේවීර 1971 මාර්තු 13 වැනිදා පස්වරුවේදී අම්පාරේදී අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු සමග කෙලී සේනානායක, නිශ්ශංක, ප්‍රේමරත්න, ලාල් සෝමසිරි සහ ඇල්පිටියේ ඒ. ප්රේමසේනද අත්අඩංගුවට ගෙන මඩකළපු බන්ධනාගාරයට දමා මාර්තු 15 වැනිදා උදෑසන 7.30ට කොළඹ වැලිකඩ බන්ධනාගාරයට ගෙන එනු ලැබුවේ පොලිස් අධිකාරි රංජිත් සේනානායක විසිනි. පසුව විජේවීර, ප්‍රේමරත්න සහ ලාල් සෝමසිරි යාපනය බන්ධනාගාරයට ගෙනයන ලදී. ප්‍රේමරත්න සහ ලාල් සෝමසිරි 1971 මාර්තු 31 වැනිදා කල්මුණේ උසාවියට ඉදිරිපත් කළ විට ඇපපිට නිදහස් විය. විජේවීර එයට පෙර දින එම දෙදෙනාට කියා සිටියේ පහර දෙනවා නම් 500ක පමණ පිරිසක් තමා නිදහස් කරගැනීමට එවන ලෙසට සනත්ට සහ පියතිලකට දන්වන ලෙසය. වඩුතන්ත්රීගේ සිරිල් නොහොත් ලාල් සෝමසිරි බටපොල සිය නිවෙසේදී මේ ලියුම්කරුට පැවැසූ පරිදි විජේවීර එදා කැරැල්ල ආරම්භ කිරීමට දිනයක් සහ වේලාවක් තීරණය කර පහර දෙන ලෙසට පණිවුඩයක් කීවේ නැත. විජේවීර කියා ඇත්තේ පහර දෙනවා නම් 500ක් තමා බේරාගැනීමට එවන ලෙසය. අප්‍රේල් 05 වැනිදා වන විටත් විජේවීර සිටියේ යාපනය බන්ධනාගාරයේය.
ඔස්මන්ගේ අම්මා වන සීලවතී ද සිල්වා කියා සිටියේ යාපනය හිර ගෙදරදී තමා විජේවීර බැලීමට ගිය අවස්ථාවේදී පහර නොදී භේද අතහැර කටයුතු කරන මෙන් රෝහණ විජේවීර දුන් පණිවුඩය තමා සනත් සහ ලොකු අතුල ඇතුළු පක්ෂයේ නායකයන්ට දැනුම් දුන් බවය. වනාතමුල්ලේදී ඔස්මන් සිල්වා හමුවූ ලියුම්කරු එම කරුණු සනාථ කරගත්තේය. එවක රජයේ සොලිස්ටර් ජනරාල්වරයා සහ කැරැල්ල මැඬලීමෙහිලා සුවිශේෂ කාර්යභාරයක් කළ ඉයන් වික්‍රමනායක සීලවතීගෙන් ඉල්ලා සිටියේ යාපනයේ හමුවූ අවස්ථාවේදී කැරැල්ල ආරම්භ කරන ලෙසට විජේවීර කියූ බවට කටඋත්තරයක් දෙන ලෙසය. ගිනි තැබූ නිවෙස සදාදෙන බවටද, පුතුන් නිදහස් කර රැකියා ලබාදෙන බවටද ඉයන් වික්‍රමනායක පොරොන්දු වුවද තමා බොරු කීවේ නැති බවද සීලවතී පසුව කියා සිටියාය. ලාල් සෝමසිරි 1971 මැයි 31 වැනිදා දෙන ලද කටඋත්තරයේදී විජේවීර කියන ලද කරුණු ඉයන් වික්‍රමනායක විකෘති කර තිබූ බව ලාල් සෝමසිරි, මෙම ලියුම්කරුට අවධාරණය කළේය. ලොකු අතුල ඇතුළු ඇතැමකු කියන්නේ 1971 මාර්තු 13 අම්පාරේදී විජේවීර ස්වේච්ඡාවෙන්ම අත්අඩංගුවට පත්වූ බවකි. එහෙත් මහ නඩුවේ 26 වැනි සැකකරුවකු වූ එදා විජේවීරගේ සමීපතමයකු වුවද ජවිපෙ 2 වැනි කැරැල්ලේ ඝාතන ලැයිස්තුවේ සිට දිවි බේරාගැනීමට සමත්වූ විජේවීර සමග අම්පාරේදී අත්අඩංගුවට ගත් පස්දෙනා පවසනුයේ සිය කැමැත්තෙන් විජේවීර අත්අඩංගුවට පත්වූවා යැයි කීම දැඩිව ප්‍රතික්ෂේප කරන බවය.
අනපේක්ෂිත ලෙස අත්අඩංගුවට පත්වීමේ සිද්ධිය විකෘති කිරීමට කැමැති නැති බවද ඔවුහු කියා සිටියහ. අම්පාරේ 1971 මාර්තු 13 විජේවීර අත්අඩංගුවට ගැනීම පිළිබඳව සිදුවූයේ කුමක්දැයි සොයා බැලීමට මේ ලියුම්කරු බටපොල ලාල් සෝමසිරිගේ නිවෙසටත්, අම්පාරේ ප්‍රේමරත්නගේ නිවෙසටත්, කරන්දෙණියේ ප්රේමසේනගේ නිවෙසටත්, හෝමාගම නිශ්ශංකගේ නිවෙසටත් ගියේය. එමෙන්ම විදේශගතව සිටි කෙලී සේනානායක සමගද දුරකතනයෙන් සම්බන්ධ විය.
වසර 1971 මාර්තු 15 වැනිදා මඩකළපුවේ සිට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට ගෙන ආ බවද එදින උදෑසන 11.00 පැමිණි ඔස්මන්ගේ අම්මා සහ කුමානායකට විජේවීර තමා ඉදිරිපිටදී කියා සිටියේ, ලොකු අතුල සහ සනත්ට ප්‍රශ්න අමතක කරගෙන පසුබසින ලෙසත්, ආයුධ හංගා දිස්ත්‍රික්ක මාරුකරන ලෙසත් කෙලී සේනානායක ප්‍රකාශ කර ඇත. අප්‍රේල් කැරැල්ලේ පහරදීමේ අවසාන තීරණය ගත්තේ 1971 අප්‍රේල් 02 වැනිදා ගංගොඩවිල විදුදය සරසවියේ සංඝාරාමයේදීය. නම දෙනකුගෙන් යුත් එම නායකත්ව මණ්ඩලයේ මුලසුන දැරුවේ පියතිලකය. අප්‍රේල් 05 වැනිදා රාත්‍රී 11.30ට පොලිස් ස්ථානවලට පහර දියයුතු යැයි වැඩි ඡන්දයෙන් තීරණය විය. එය 6ට 3ක් වශයෙන් බෙදුණු තීන්දුවකි. එම රැස්වීමට සහභාගි වූ පස්දෙනකුද ලියුම්කරුගේ සාකච්ඡාවට එක්විය.
මේ තීරණයට පෙර ජවිපෙ නායකයන් 09 දෙනකු රැස්වී තීරණයක් ගෙන තිබිණි. ඒ අනුව තීරණය වූයේ තවදුරටත් පහරදීම ප්‍රමාද වන්නේ නම් 1971 අප්‍රේල් 04 වැනිදා රාත්‍රී 10.00ට පොලිස් ස්ථානවලට එකවර පහර දීමටය. ඒ අනුව එම තීරණය දින කිහිපයකට පෙර රට පුරා දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දෙමින් තිබිණි. අප්‍රේල් 05 වැනිදා උදේ වැල්ලවාය පොලිසියට පහර දෙන්නේ වැරදි විදුලි පණිවුඩයකින් නොව මෙම අලුතින් ගත් තීරණය ඔවුන්ට සන්නිවේදනය කර නොතිබීමෙනි. එහෙත් 1971 අප්‍රේල් 05 වැනිදා රාත්‍රී පහරදීමට ගත් තීරණය අනිකුත් සියලු ස්ථානවලට ගොස් තිබිණි. අප්‍රේල් 03 වැනිදා සවස බටපොල අතුලගේ නිවෙසේදී ලාල් සෝමසිරිට කැරැල්ලේ දෙවැනි නායක සනත් නියම කළේ, අම්පාර උහනට ගොස් මොනරාගල දිස්ත්‍රික් නායක දොඩම්ගහවෙල ප්‍රේමසිරි හමුවී පහරදෙන්නේ අප්‍රේල් 04 වැනිදා රාත්‍රී 10 නොව අප්‍රේල් 05 වැනිදා 11.30ට ලෙස වෙලාව වෙනස් වී ඇති බවය. පණිවුඩය ලබාදීමට අප්‍රේල් 04 වැනිදා හිමිදිරි පාන්දරම නුවර හරහා අම්පාරට යෑමට ගිය ලාල් සෝමසිරිට නුවර බස් නැවතුම්පොළේදී නිශ්ශංක ප්‍රේමරත්න හමුවිය. එවිට වේලාව දවල් 12.30 පමණ විය. ප්‍රේමරත්න විසින් සෝමසිරිට එහිදී කියා සිටියේ වහාම යළිත් විදුදය සරසවියට ගොස් පියතිලක හමුවන ලෙසට පියතිලක දන්වා ඇති බවත්, තමා වහාම මොනරාගල දිස්ත්‍රික් නායක දොඩම්ගහවෙල ප්‍රේමසිරි හමුවීමට ගොස් පහරදෙන්නේ අප්‍රේල් 04 රාත්‍රී නොව 5 වැනිදා රාත්‍රී බවට දැනුම් දෙන බවත්ය. කැරැල්ලට සහභාගි නොවී එදිනම සැඟවුණු ප්‍රේමරත්න එම පණිවුඩය මොනරාගල නායකයාට දැනුම් දුන්නේ නැත. එය තමා පසුපස සැකකටයුතු පුද්ගලයෙක් පැමිණීම නිසා මොනරාගලට නොගොස් අම්පාරට පැමිණි බව අම්පාරේ ප්‍රේමරත්න පිළිගත්තේය. වැල්ලවාය පොලිස් ස්ථානයට 1971 අප්‍රේල් 04 රාත්‍රී එල්ල කළ ප්‍රහාරය එම සන්නිවේදන සම්බන්ධිකරණයේ දුර්වලතාවක ප්රතිඵලයකි.
ප්‍රේමරත්නගේ දැනුම්දීම අනුව 1971 අප්‍රේල් 04 දහවල් 12.30ට නුවරින් කොළඹ බලා ආ ලාල් සෝමසිරි මහරගමට ගොස් විදුදය සරසවියේදී පියතිලක හමුවිය. එදින රාත්‍රී කෑම කා සරසවියේ නවාතැන් ගත් සෝමසිරි 1971 අප්‍රේල් 05 උදෑසන ඊබට් සිල්වා බසයට නැගී 60 දෙනකු සමග යාපනය සිංහල මහා විද්‍යාලයට පැමිණෙන විට රාත්‍රී 9.00 පමණ වී තිබිණි. නායකයන් භද්දිය හිමි සහ කරාටේ සැම්සන්ය. පිළියන්දල මධ්‍ය විද්‍යාලයේ සිසුන් 16ක්ද කණ්ඩායමට අයත් විය. දුම්රියෙන්ද පැමිණ යාපනයේ නාග විහාරයේ සිටි පිරිස සමග එක්ව කඩ වසා තිබූ බැවින් රාත්‍රී ආහාරයට බිස්කට් පමණක් කා බෝම්බ දෙක බැගින් ගෙන බන්ධනාගාරයට සහ පොලිසියට පහරදීමට ඔවුහු ගියහ. ප්‍රහාරයක් ද එල්ල කළහ. මේ සියලු කරුණු කාරණා ඉතිහාසයට එක්වී 2024 අප්‍රේල් 05 වැනිදාට හරියටම වසර 53කි.
එම කාලය තුළදී අප්‍රේල් කැරැල්ල පිළිබඳ පළවූ පතපොතද දුසිම් 04කට ආසන්නය. පුවත්පත් ලිපිද ප්‍රමාණයෙන් අතිවිශාලය. එහෙත් එම කතා එකිනෙකට පරස්පරය. එසේත් නොමැති නම් තම දෘෂ්ටිකෝණයන් අනුව ලියන ලද ලේඛනය. නැතිනම් පෙර පළකරන ලද පොත් සහ ලිපිවලින් එකතු කරගත් කරුණුය. 1971 අප්‍රේල් කැරැල්ල පිළිබඳ මවිසින් නිකුත් කරන නවතම ග්‍රන්ථය මෙතෙක් කිසිදු පුවත්පතක පළවී හෝ ග්රන්ථයක් වශයෙන් ප්‍රකාශයට පත්කොට හෝ නැත. අප්‍රේල් කැරැල්ලෙන් වසර 53කට පසු එළිදකින එම ග්‍රන්ථය සැකසීම මේ ලේඛකයා කැරැල්ලේ මහ නඩුවේ ජනප්‍රිය නායකයන් පමණක් නොව සැබෑ ලෙසම ප්‍රහාරයට එක්වූ ඉදිරිපෙළ සටන්කාමීන් සිය ගණනක් දශකයකට ආසන්න කාලයකදී හමුවූ අතර, අලුතින්ම නිකුත්වන ග්‍රන්ථය ඒ පිළිබඳ කළ ගවේෂණාත්මක වාර්තාකරණයකි. ජවිපෙ ආරම්භ වීමට හේතු, එම කාලවකවානුව තුළ තිබූ වෙනත් දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් හැටේ දශකයේ අවසාන භාගය සහ කැරැල්ල දක්වා ජවිපෙ විකාශනය විස්තරාත්මකව මෙයට ඇතුළත්ය.
ලේඛකයා ජීවත්ව සිටින එම සියලු නායකයන්ද, ඔවුන් ජීවත්ව නොමැති නම් ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සහ නායකයන් ද දිස්ත්‍රික්ක 17කට ගොස් කළ සාකච්ඡා මෙයට ඇතුළත්ය. මෙම ලිපි මාලාව දත්ත සහ ඓතිහාසික කරුණු රැසකින් පොහොසත් වනු ඇත. වර්තමානයේ ජීවත්වන වයස අවුරුදු 53ට අඩු අය කිසිදා නොදුටු, එහෙත් ඔවුනට අසන්නට පමණක් ලැබුණු 1971 අප්‍රේල් කැරැල්ලේ ඇතුළාන්තය පිළිබඳ සියලු තතු නොදන්නා අයටද ඒ අසම්පූර්ණ සිදුවීම් මාලාව පිළිබඳ පැහැදිලි චිත්‍රයක් මෙම ලිපි මාලාව තුළින් විද්‍යමාන වනු ඇත. මෙතෙක් බොහෝ දෙනා ඇසූ සහ කිය වූ උපකල්පන, විකෘති කිරීම්, වැරැදි වැටහීම් මත වෙනුවට සත්‍ය ඉතිහාසය මෙම ලිපි මගින් විවර කරනු ඇත.
ජවිපෙ 2 වැනි කැරැල්ලද විජේවීරගේ නායකත්වයෙන් 1986 ඇරැඹී 1990 අවසන් වූ අතර, එහිදී මියගිය හෝ අතුරුදන් වූ සංඛ්‍යාව මානව හිමිකම් සංවිධානවල වාර්තාවන්ට අනුව 67,652කි. මින් 6,661ක් කැරැලිකරුවන් අතින් ඝාතනයට ලක්වූ අතර, සෙසු අය ඝාතනයට පත්වූයේ ආරක්ෂක අංශ ඇතුළු එයට ඍජු සහ වක්‍ර සම්බන්ධකම් පැවතුණා යැයි කියන අතුරු හමුදා කණ්ඩායම් 13ක් මගිනි. ජවිපෙ 2 වැනි කැරැල්ල පිළිබඳවද නිරවද්‍ය විස්තරයක් මේ ලේඛකයා ඉකුත් දශකය තුළ සැපයීම හේතුකොටගෙන එම ලිපි මාලාව පුළුල් ලෙස සම්භාවනාවට පාත්රවිය.
1971 අප්‍රේල් කැරැල්ලේදී කියත් තලයෙන් අත්පා කැපීමෙන් පසු සිය හිස කඳෙන් වෙන්කර දැමීමේදීත් බද්දේගම, ගිනිමැල්ලගහ කොඩිතුවක්කු මද්දගේ කමලබන්දු පෑ ජීවගුණය ඔබට මතකයට නැඟෙනු ඇත. එමෙන්ම දියේ ගිල්ලවා මරාදමද්දීත් උනන්පිටියේ පදුම හිමියන් පෑ උපේක්ෂාව සිහියට නැඟෙනු ඇත. දූෂණය කොට මරාදමද්දීත් කතරගම ප්‍රේමවතී මනම්පේරි සුරක්ෂිත කළ විප්ලවීය සදාචාරය ආවර්ජනය වනු ඇත. එසේ තිරස්චීන අතවර සහ වද බන්ධනවලට ලක්ව ඝාතනය වූ තරුණ තරුණියන්ගෙන් ගලා ගිය උණුසුම් ලේ දහරා පිළිබඳ පමණක් නොව විප්ලවීය ජීවගුණයෙන් පිරිපුන් කැරැල්ලට සහභාගි වීමෙන් සිය අනාගතයම කැපකළ දහස් ගණනක් පිළිබඳ මතකය විනාශ කළ නොහැකි වුවද, පරාජය කළ නොහැකි වුවද අපේක්ෂාවක් බව කියවෙනු ඇත.
1971 අප්‍රේල් කැරැල්ල නවතම ග්‍රන්ථය ඔබ වෙනුවෙන් විවර වන්නේ එකී සැබෑ ඉතිහාසය වත්මන් පරපුර දැනගත යුතු නිසාය.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න