මෙවර ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප පසුගිය සතියේ සිදුවූ එක්තරා ගැටුමක තොරතුරු හෙළිකිරීමට සූදානම්ය. මෙම ගැටුම සිදුවූයේ වෙන කවුරුත් අතර නොව, අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සහ කරු ජයසූරිය මහතා අතරය. පසුගිය කාලයේදී ජනාධිපතිවරයාගේ යම් යම් මෙහෙයුම් කිහිපයකටම සක්‍රීයව දායකත්වය දක්වා තිබීම හේතුවෙන් කරු ජයසූරිය මහතා මේ වන විට ආණ්ඩුව ඇතුළේ විශාල භූමිකාවක් රඟදක්වමින් සිටින ආකාරයක් දැකගන්නට තිබේ. වරක් කරු උපයෝගී කරගෙන ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය කල්දමා ගැනීම සඳහා අතිසාර්ථක මෙහෙයුමක් දියත් කළේය. ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය කල් දමාගැනීම සඳහා විවිධ උප්පරවැට්ටි යොදමින් සිටියදී ඒ සඳහා උපයෝගී කරගත් ලොකුම ආයුධය බවට පත්ව තිබුණේ කරු ඒ දවස්වල ඉදිරිපත් කර තිබූ ජනසභා ක්‍රමයය. ගම් ඇතුළේ කමිටු පිහිටුවා දේශපාලන බලය ගමට ලබාදීම කරුගේ එම සංකල්පය විය. ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය කල්දැමීමට මාර්ග සොයද්දී කරුගෙන් ඉදිරිපත් වූ මෙම යෝජනාවත් සමග වහාම ජනාධිපතිවරයා කළේ එම යෝජනාව එළියට ගෙන එය ක්‍රියාත්මක කරන බව පවස ඒ සඳහා අවශ්‍ය කාලය ගැනීමය. ඊට අයවැයෙන් මුදල් වෙන් කිරීමය. ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේ කරු වෙනුවෙන් වෙනම කාර්යාලයක් විවෘත වූ අතර, කරුට හිතවත් කිහිප දෙනකුම එහි සේවය කරන ආකාරයක්ද දැකගන්නට ලැබිණි. ඒ අනුව පසුගිය කාලය පුරාම කරු ඇතුළු පිරිස ජනාධිපති ලේකම් කාර්යාලය තුළ හිඳිමින් මෙම ජනසභා වැඩසටහන ඉදිරියට ගෙන යෑම සඳහා යම් යම් වැඩකටයුතු සිදුකොට තිබිණි. Sri Lanka Latest News
දිනේෂ් බාල්දිය පෙරළයි!
කෙසේ වෙතත් ජනාධිපතිවරයා ස්විට්සර්ලන්තය බලා පිටත්ව යෑමට ප්‍රථම මේ ජනසභා ක්‍රමය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පළාත් පාලන විෂය භාර අමාත්‍යවරයා වූ අගමැති දිනේෂ් ගුණවර්ධන, කරු, ප්‍රසන්න රණතුංග, මනූෂ නානායක්කාර, රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත සහ අගමැතිවරයාගේ අමාත්‍යාංශ නිලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට පියවර ගත්තේය. මෙහිදී සාකච්ඡාව ආරම්භයේදීම අශෝක ජනසභා ක්‍රමයට විරෝධය පළකරමින් මෙය රාජ්‍ය නොවන ආයතනවල වුවමනාව මත එම ස්වරූපයෙන් ක්‍රියාත්මක වන වැඩසටහනක් බව පෙන්වා දුන්නේය. එහිදී මනූෂද පෙන්වා දී තිබුණේ මෙය ආණ්ඩුව හරහා ක්‍රියාත්මක වන්නේ නම් ඊට දේශපාලනය සම්බන්ධ විය යුතු යැයි කියාය. එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ දිනේෂ් ඊට ජනාධිපතිවරයා ඉදිරියේදීම විශාල බාල්දියක් පෙරළීමය. ඊට හේතු වූයේ මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ මන්ත්‍රීවරු කිසිවක් නොදැන සිටීමය. ඒ සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයා වූ දිනේෂ්ද කිසිවක් නොදැන සිටීම විශේෂ සිදුවීමක් විය. ඒ අනුව දිනේෂ් එම වැඩසටහනේ ඇති ප්‍රායෝගික ගැටලු, ඊට පොහොට්ටුවේ මැති ඇමැතිවරුන්ගේ ඇති විරෝධය, ගම්වල සිටින හාමුදුරුවරුන්ගේ සහ පාක්ෂිකයන්ගේ විරෝධය ආදිය ප්‍රසිද්ධියේම සඳහන් කිරීමට පියවර ගත්තේය. එහිදී එල්ල වූ ප්‍රබලම චෝදනාවක් වූයේ මෙම ක්‍රමය රාජ්‍ය නොවන සංවිධානයක් ක්‍රියාත්මක වන ආකාරයට සකස් කර ඇති බවය.
කරුට කේන්ති යයි
මේ ආකාරයට දිනේෂ් දිගින් දිගටම චෝදනා කරද්දී එක්තරා අවස්ථාවක කරුට කේන්ති ගිය බවක් දැකගත හැකි විය. ඒ අනුව කරු වහාම කියා සිටියේ, ‘මේක මගේ පෞද්ගලික වුවමනාවක් අනුව අරගෙන ආපු එකක් නෙවෙයි. ජනාධිපතිතුමාගේ අදහසකට අනුවයි මම මේක අරගෙන ආවේ. එතුමට උදව්වක් විදියටයි මම මේක භාරගත්තේ…’ යැයි කියාය. එහිදී වහාම දිනේෂුත්, සාකච්ඡාවේ සිටි ප්‍රසන්නත්, ‘නෑ නෑ මේක ඔබතුමා එක්ක තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. වෙන එකක්. මෙහෙම දෙයක් වෙනවා කියලා අපේ පැත්තේ මන්ත්‍රීවරුවත් දන්නේ නැහැ. අපි කියන්නේ එතුමන්ලාවත් දැනුවත් කරලා මේ වැඩේ කරන්න කියලා…’ යැයි කියද්දී ජනාධිපතිවරයා ප්‍රසන්නට කියා සිටියේ එසේ නම් මන්ත්‍රීවරුන් සමග සාකච්ඡාවක් සංවිධාන කොට ඒ පිළිබඳ ඔවුන් දැනුවත් කරන්නැයි කියාය.
ඒ අනුව, පෙබරවාරි 24 වැනි දින ජනසභා නිලධාරීන් සහ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් අතර රැස්වීමක් සංවිධාන කිරීමට ප්‍රසන්න සැලසුම් කළේය.
රැස්වීම උණුසුම්
මේ සම්බන්ධයෙන් නැවත වතාවක් බරපතළ සංවාදයක් මතුවූයේ පසුගිය අඟහරුවාදා පැවැති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීය. අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමට පොහොට්ටුවේ මැති ඇමැතිවරුන් විශාල පිරිසක් සහභාගි වී සිටි අතර, මෙහිදී පළමු බාල්දිය පෙරලුවේ රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්තය.
‘මොකක්ද මේ ජනසභා කතාව? අපි මොනවත් මේ ගැන දන්නේ නැහැ. කවුරුත් අපිව මේ ගැන දැනුවත් කරලත් නෑ. මේක ලොකු ප්‍රශ්නයක්. දැන් මේ ගැන සාකච්ඡා කරන්න සමුළුත් තියනවා. ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛත් ගහලා. මෙතැන තියෙන්නේ වෙන න්‍යායපත්‍රයක්.’ යනුවෙන් අශෝක කියද්දී අගමැතිවරයාද එය අනුමත කරමින් අදහස් දැක්වූ ආකාරයක් දැකගත හැකි විය.
‘එහෙම කොහොමද මන්ත්‍රීවරු කැඳවන්නේ? ඒ අය දන්නේ නැහැනේ මේකෙ තියෙන්නේ මොනවද කියලාවත්.’ යනුවෙන් දිනේෂ් කියද්දී ප්‍රසන්න ඊට යම් පැහැදිලි කිරීමක් කරමින් කියා සිටියේ ජනසභා ක්‍රමය පිළිබඳ පැහැදිලි කිරීමක් සිදුකිරීමට මෙසේ මන්ත්‍රීවරුන් කැඳවා ඇතැයි කියාය. එහිදී නැවතත් දිනේෂ් ප්‍රශ්න කරමින් කියා සිටියේ ‘දැනුවත් කරන්නේ මොකක් ගැනද කියලා මන්ත්‍රීවරුන් මුලින් දැනගෙන ඉන්න ඕනනේ.’ යැයි කියාය.
එහිදී සාකච්ඡාවට මැදිහත් වූයේ රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධය. ඉන්දික කියා සිටියේ මේ සම්බන්ධයෙන් කරුගේ කාර්යාලයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක් පවා නිකුත් කර ඇති බවත්, මාර්තු 31 වැනිදාට පෙර ජනසභා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස ඒ හරහා දැනුම්දී ඇති බවත්ය. එවිට දිනේෂ් කියා සිටියේ තමන් ඒ පිළිබඳ කිසිවක් නොදන්නා බවකි. එහිදී වහාම ඉන්දික කළේ සිය පළාතේ ප්‍රාදේශීය ලේකම්වරියට දුරකතන ඇමතුමක් ලබාදී, දුරකතනයේ ‘ස්පීකර්‘ ක්‍රියාත්මක කර ඇගෙන් මේ පිළිබඳ විමසා සිටීමය. එහිදී ප්‍රාදේශීය ලේකම්වරිය එම තොරතුරු සත්‍යයක් බව ප්‍රකාශ කිරීමත් සමග මන්ත්‍රී කණ්ඩායමේ සිටි සියලු දෙනා අගමැතිවරයාගෙන් විමසා සිටියේ විෂය භාර අමාත්‍යවරයා වශයෙන් අගමැතිවරයා ඊට කිසිසේත්ම ඉඩ දිය යුතු නැතැයි කියාය.
දිනේෂ්ට තද වෙයි
‘අගමැතිතුමනි, මේකට ඉඩ දෙන්න එපා. මේක ඔබතුමාගේ විෂයපථයට අයිති දෙයක්. එහෙම චක්‍රලේඛයක් ජනාධිපති ලේකම් කාර්යාලයේ තියෙන කාර්යාලයකින් නිකුත් කරනවා කියලා ඔබතුමා දන්නෙත් නෑ. වහාම මේ ගැන ක්‍රියාත්මක වෙන්න. එහෙම නැතිවුණොත් මේවා කරන්න ගිහින් රාජ්‍ය නිලධාරීනුත් අමාරුවේ වැටෙනවා.’ යනුවෙන් මන්ත්‍රීවරු දිනේෂ්ට දැනුම් දී සිටියහ. එහිදී දිනේෂ් කියා සිටියේ, එය ලේකම් කාර්යාලයක් පමණක් බවත්, ඊට නීත්‍යනුකූල තත්ත්වයක් නොමැති බවත්ය.
‘ඒක එක ලේකම් කාර්යාලයක් විතරයි. ඒකෙන් ගහන චක්‍රලේඛ නීත්‍යනුකූල නෑ. හැබැයි මට ඒකට ගිහින් නියෝග නිකුත් කරන්න බෑ මේක කරන්න එපා කියලා. ඒ හින්දා ඉස්සෙල්ලාම ඔය කැඳවලා තියෙන මීටින් එක කැන්සල් කරන්න. මොකද මන්ත්‍රීවරු මේ ගැන දන්නෙත් නෑ. ඒ නිසා මන්ත්‍රීවරුන්ව ඉස්සෙල්ලාම මේ ගැන දැනුවත් කරලා ඉන්න. අනෙක මේ මන්ත්‍රීවරු මේකට පාර්ලිමේන්තුවේදී විරුද්ධ වුණොත් මොකද කරන්නේ?’ යනුවෙන් එහිදී දිනේෂ් කියද්දී සියලු දෙනා එය නිහඬව අසා සිටි ආකාරයක් දැකගත හැකි විය.
අපිටම කෙළවෙනවා
ඉන් අනතුරුව මන්ත්‍රී කණ්ඩායමේ සාකච්ඡාවට ලක්වූයේ ආණ්ඩුව සම්මත කිරීමට සූදානම් වන ඔන්ලයින් පනත පිළිබඳවය. මෙහිදී ප්‍රසන්න මුලින්ම අදහස් දක්වමින් කියා සිටියේ මේ හරහා අධිකරණය අපහාසයට ලක්කිරීමේ ඉඩකඩ අහිමි කිරීමට කටයුතු කොට ඇතැයි කියාය. එවිට බොහෝ මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ අධිකරණය පමණක් නොව, පාර්ලිමේන්තුවටද අපහාස කිරීමේ ඉඩකඩ මෙමගින් වැළැක්විය යුතු යැයි කියාය. මේ අවස්ථාවේදී නීතිපතිවරයා පවා මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට එක්ව සිටි අතර, ඔහුටද චෝදනා එල්ල වන ආකාරයට මන්ත්‍රීවරුන් අදහස් දැක්වීම විශේෂ සිදුවීමක් විය.
කෙසේ වෙතත් රැස්වීම අවසානයේදී පෙළක් මන්ත්‍රීවරුන් අතර ගිය කසුකුසුවකින් කියැවුණේ ඉදිරියේදී මෙම පනත ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ටද පාරාවළල්ලක් විය හැකි යැයි කියාය.
‘අපි මේකට අත් ඉස්සුවට මේක අපිටත් කෙළවෙන වැඩක්. අපි විපක්ෂයට ගිය දවසට අපිටත් මේ පනතෙන් බැට කන්න වෙනවා. මං කියන්නේ බොරුද කියලා මන්ත්‍රීතුමන්ලා මේ පනත හොඳට කියවලා බලලා තේරුම් ගන්න’ යනුවෙන් මන්ත්‍රීවරුන් එහිදී එකිනෙකාට කියා ගන්නා ආකාරයක් දැකගත හැකි විය.