යාල වනෝද්‍යානයේ විනෝද චාරිකාවක නිරත වූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ දියණයගේ රුපියල් ලක්ෂ 25ක් වටිනා මගුල් මුද්දක් නැතිවීම නිසා එය සොයාගැනීමට ඊයේ (13) කිරින්ද පොලිසියට දැවැන්ත මෙහෙයුමක් කරන්නට සිදුවූ බව පොලිස් ආරංචි මාර්ග වාර්තා කරන්නේය.
වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.
ප්‍රසන්න රණතුංග ඇමති දියණියත්, ඇයගේ පවුලේ ඇත්තන් සහ හිතවතුන් කීප දෙනෙකුත් පෙරේදා යාල වනෝද්‍යානයේ චාරිකාවක් ගියේය.
ඊයේ දහවල් පිරිස ඇවිදින්නට ගොස් පැමිණ ඇඟපත සෝදා ගන්නා අවස්ථාවේ ඇමති දියණිය සිය විසිපන් ලක්ෂයේ මගුල් මුද්ද ගලවා නාන කාමරයේ උස් බිත්තිය මත තබා ඇත. පරිසර හිතකාමී හෝටලයක්න වන එම හෝටලයේ නාන කාමර නිර්මාණය කර තිබුණේ බිත්තිවලින් වටවූ වහලක් නැති විවෘත අවකාශයකය.
ඇමති දියණියට මුද්ද ගන්නට අමතක වී ආවාය. පිරිස සමග සාද කතාවේ නිරතවෙමින් පැය කීපයක් ගතවන විට මුද්ද සිහි වී බලන විට එය තිබූ තැන නැත.
ඒ අනුව වහාම කිරින්ද පොලිසියට සිද්ධිය දැනුම් දුන් අතර, පොලිසිය පැමිණිල්ල සටහන් කරගැනීමට හෝටලයට ආවේය.
හෝටල් කළමනාකාරිත්වය සහ එම කාමරය භාර තරුණයා පැහැදිලිවම කීවේ මුද්ද තමන් නොගත් බවය. එහෙත් ඔවුන්ගේ ප්‍රකාශ පොලිසිය විශ්වාස නොකළ අතර, වැඩිදුර ප්‍රශ්නකිරීම් සඳහා කළමනාකරු සහ තරුණයා කිරින්ද පොලිසියට රැගෙන යන ලදී.
අවසානයේ දී CCTV දර්ශන පරීක්ෂා කළ අතර, එහිදී අපහැදිලි ඡායාවක් එම මුද්ද නැතිවූ ස්ථානයේ සිට පිටවී යන ආකාරය දැකගන්නට ලැබිණි.
හෝටල් කළමනාකාරිත්වයට අමතරව හෝටලයේ රැඳී සිටි පුද්ගලයන් කවුරුන්දැයි විමසා බලන විට පෙදරේරුවන් තිදෙනෙක් සිටි බවත්, එක් පෙදරේරුවෙක් අද (14) නැවත නිවෙස වෙත යන්නට සූදානම් වන බවත් පොලිසියට දැනගන්නට ලැබිණි.
ඒ අනුව පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා තිබුණේ දිලිසෙන දෙයක් බිත්ති කණ්ඩිය මත තිබෙනු දුටු නිසා තමන් එය රැගෙන ගිය බවයි.
‘උඹ දන්නව ද ඒ මුද්ද කාගෙද කියලා? මේ ඇමැතිතුමාගෙ දුවගෙ. ඒකෙ වටිනාකම ලක්ෂ 25ක්. උඹ ඒක දන්නව ද?’ හෙම්බත් වී සිටි පොලිස් නිලධාරීන් ඉහවහා ගිය කේන්තියෙන් යුතුව පෙදරේරුවාගෙන් විමසීය.
‘බුදු අම්මේ සර්… ලක්ෂ විසිපහක්…? කවුද දෙයියනේ මුද්දක් එච්චර ගණන් වග දන්නෙ…?’ පෙදරේරුවා ඇස් උඩ තියාගෙන උත්තර දී තිබිණි.
lankasara.com