පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම විමර්ශනයක් පැවැත්වූ බවත් අධිකරණයේ නඩු ගණනාවක් පැවැත් වූ බවත් ඒ කිසිදු තැනක පාස්කු ප්‍රහාරය සිදුකළ පුද්ගලයා තමන් දන්නා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් නොකළ බවත් ඔහු දැන් සිදුකරන ප්‍රකාශය පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් තිබෙනවාදැයි සැකයක් මතුවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පැවැසීය.Sri Lanka Latest News
වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පැවැසුවේ , කිසිදු පුද්ගලයෙකුට පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පිරිසගේ ජිවිත සමඟ සෙල්ලම් කිරිමට ඉඩ ලබා නොදිය යුතු බවත් පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳ තොරතුරු දන්නේ නම් ඒ සම්බන්ධයෙන් පොලිසියට හෝ අධිකරණයට දැනුම් දීම සිදුකළ යුතු බවත්ය.
අද (25) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා මේ බව සඳහන් කළේය.
එහිදී එස් එම් මරික්කාර් මහතා මෙසේ වැඩිදුරටත් අදහස් දැක්වීය.
‘‘අරලය පැවැති කාලයේ රට භාර ගන්න සමගි ජනබලවේගයත් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාවත් ඉදිරිපත් වුණේ නෑ කියලා බොහෝ දෙනෙක් පසුගිය කාලයේ චෝදනා කළා. මේ චෝදනාවට පැහැදිලි උත්තරයක් ලබාදිය යුතුයි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාට අගමැතිධූරය භාර ගන්නැයි කියූ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ බහුතරය සමගි ජනබලවේගයට නොමැති බවත් පාර්ලිමේන්තු බහුතරය තිබෙන්නේ පොදුජන පෙරමුණට බවත් ඒ නිසා පොදුජන පෙරමුණේ බහුතර බලය සමඟ අගමැතිවරයෙකුට රට ඉදිරියට ගෙන යාමට නොහැකි බවත් අපි ගෝඨාභය රාජපක්ෂට දන්වා සිටියා. ඒ වගේම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම අවස්ථාවේ රටේ ජනතාවගේ අප්‍රසාදය දිනාගෙන සිටි පුද්ගලයෙක්.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රටේ අගමැතිධුරය භාර ගැනීමට නම් නිශ්චිත කාල රාමුවක් තුළ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් ඉවත් වන බව ලිඛිතව දැනුම් දිය යුතු බවත් සමගි ජනබලවේගය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දැනුම් දුන්නා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉවත් වුණාම අගමැතිවරයා ජනාධිපතිධූරයට පත් වෙනවා ඉන්පසුව පාර්ලිමේන්තුවේ බහුතරය නැතිව හෝ රට පාලනය කරන්න ජනාධිපතිවරයාට හැකියාව ලැබෙනවා. අවශ්‍යනම් නියමිත කාලයේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ද හැකියාව ජනාධිපතිවරයාට තිබෙනවා. මේ කාරණය බොහෝ දෙනෙක් පිළි ගත්තේ නෑ.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතේ හෝ රට බංකොලොත් කළ කල්ලිය සමඟ ආණ්ඩු කිරිමේ කිසිදු අවශ්‍යතාවයක් සමඟ ජනබලවේගයට තිබුණේ නෑ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිශ්චිත දිනයකදී ඉවත් වන බව ලිඛිත පොරොන්දුවක් දෙනවානම් අගමැතිධුරය භාර ගන්න සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා සහ සමගි ජනබලවේගය සුදානම් බව අපි කිව්වේ ඒ නිසයි.
මහජනතාවගේ වරමින් රට භාර ගෙන, ආර්ථිය හදන්න , රට තිබු තත්ත්වයට පත් කරන්න , ජනතාවට සහන දෙන්න , ආදායම් මාර්ග වැඩි කරන්න , බඩු මිල අඩුකරන්න , බදු අඩු කරන්න සමගි ජනබලවේගය සුදානම්. රටේ බලය ජනතා වරමින් ගන්නවා මිසක් රට බංකොලොත් කළ ත්‍රාඩ කල්ලිය සමඟ එකට වැඩකරන්න සමගි ජනබලවේගය කිසිසේත් සුදානම් නෑ.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වගේ පුද්ගලයෙක් ජනාධිපතිවරයා කරන්න අපි විශාල කැපවීමක් සිදුකළා. නමුත් අද වනවිට ඒ පිළිබඳ තිබෙන්නේ විශාල දුකක්. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනව ජනාධිපතිකරන්න මහන්සි වුණා අපේ පාක්ෂිකයන් පිළිබඳවත් විශාල දුකක් ඇතිවුණා.
පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පිරිසගේ ජිවිත සමඟ සෙල්ලම් කරන්න කිසිදු පුද්ගලයෙකුට ඉඩ නොදිය යුතුයි. එම ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා දෙයක් තිබෙනවානම් තමන්ට ලැබුණු තොරතුරුක් තිබෙනවානම් ඒ සම්බන්ධයෙන් අධිකරණයට හෝ පොලිසියට දැනුම් දෙන්න පුලුවන්.
පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම විසින් විමර්ශනයක් පැවැත්වුවා , අධිකරණයේ නඩු ගණනාවක් තිබුණා , ඒ කිසිදු තැනකදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් කතා කරේ නෑ. දැන් ඔහු නින්දෙන් ඇහැරුනා වගේ කතා කරනවා. මේක දේශපාලන කුමන්ත්‍රණයක් ද කියලා සැකයකුත් මතුවෙනවා.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පක්ෂය මේවනවිට කැලි වලට කැඩිලා ගිහින් තිබෙනවා. ඔහුට පොදුජන පෙරමුණ සමඟ කටයුතු කිරිමට නොහැකි තත්ත්වයක් උදා වෙලා තිබෙනවා. ඔහුට ජාතික ජනබලවේගය සමඟත් එකතු වෙන්න බෑ. සමගි ජන බලවේගය සමඟත් ඔහු එකතු වෙන්න බෑ. ඒ නිසා මෙය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය ඔහුගේ උප්පරවැට්ටියක්ද කියන සැකය මතුවෙනවා.
කවුරු මොන දේශපාලන කුමන්ත්‍රණ සිදුකළත් පාස්කු ඉරිදා ත්‍රස්ථ ප්‍රහාරයෙන් මියගිය ජනතාව වෙනුවෙන් සාධාරණයක් ඉටු විය යුතුයි. පාස්කු ඉරිදා ත්‍රස්ථ ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍ය රටට හෙළි කිරිමේ වගකීමක් තිබෙනවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අධිකරණයට , පොලිසියට , කොමිසන් සභාවට නොකියපු එකපාරට දැන් කියන කතාව විහිළුවට ගන්න නොහැකියි.
මේ පිළිබඳව දැඩි විමර්ශනයක් සිදුකරලා අවශ්‍ය තොරතුරු ලබාගත යුතුයි.
රටේ ආර්ථිය හාල් කිලෝ 20 ක් දීලා හදන්න බෑ
‘‘රටේ ආර්ථිකය ප්‍රකෘති තත්ත්වයට ගේනවා කියලා ජනාධිපතිවරයා පවසනවා. හැබැයි රටේ ආර්ථිය හාල් කිලෝ 20 ක් දීලා හදන්න බෑ. රටේ පුරවැසියන්ට මිලදී ගැනීමේ හැකියාව වැඩිදියුණු වුණොත් තමයි රටක ආර්ථිකයක් ශක්තිමත් වෙන්නේ. අද වනවිට මිලදී ගැනීමේ හැකියාව හීන වෙලා ගිහින් තිබෙන්නේ. සමාජයේ පහළම සිටින පුද්ගලයන්ගේ සහ මධ්‍යම පාන්තිකයන්ගේ මිලදී ගැනීමේ හැකියාව වැඩි වෙලා නෑ. මිනිස්සු අන්දන්න හැදුවත් මිනිස්සු ජීවත් වෙන්නේ යථාර්ථය සමඟ. මිනිස්සුන්ට අවශ්‍ය වෙන්නේ ආර්ථික ප්‍රශ්නයට විසදුමක් ලබාදෙන්න පුලුවන් අනාගතය පිළිබඳව බලාපොරොත්තුවක් තියා ගන්න පුළුවන් වටාපිටාවක් නිර්මාණය කිරිමයි. රජය ගහන ගේම් දැන් පරණයි. ඒවට මිනිස්සු අන්දන්න බෑ.‘‘
වර්තමාන ආණ්ඩුව අලුත් වෙළඳපොලවල් තුළට ඇතුලු වෙන්නේ නැතිව බදු වලින් තමයි රට ගෙනියන්නේ
‘‘ලංකාව ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කරවලින් ණය අරගෙන තිබෙනවා. ඒ සඳහා මැදිහත් වෙලා තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කරවලින් ගත්ත ණය ලංකාව මේ වනවිට ගෙවන්නේ නෑ. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ලංකාවට ගණුදෙනු කරන්න සිදුවෙනවා. අපේ ගෙවීමේ හැකියාව වැඩි කරන්න අවශ්‍ය නිසා විවිධ කොන්දේසි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පනවනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ආණ්ඩුව ගෙවීමේ හැකියාව වැඩි කරන්න ආදායම් මාර්ග වැඩි කරන්න කිසිදු පියවරක් අරගෙන නෑ. ආණ්ඩුව ගෙවීමේ හැකියාව වැඩි කරන්නේ ජනතාව මත අධික බදු බරක් පටවලා. සමගි ජනබලවේග රජයක් යටතේ අපනයනය වර්ධනය කිරිමෙන් , සෘජු විදේශ ආයෝජන වැඩිකිරිමෙන් සහ ලෝකයේ අලුත් වෙළඳපොල් තුළට ඇතුළත් වීමෙන් ගෙවීමේ හැකියාව වැඩිවෙනවා. ඒ හරහා බදු අඩු කරන්න අනිවාර්යෙන් පුලුවන්. දිවන්ගත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගණුදෙනු කරලා තිබෙනවා. නමුත් එතුමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි වලට එකඟවෙලා නෑ. දිවන්ගත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා සිදුකළේ ඇඟළුම් කර්මාන්ත ශාලා ඇතිකරලා ඒ හරහා රටට ඩොලර් එන වැඩපිළිවෙළක් නිර්මාණය කළා. රටේ ඩොලර් ආදායම ඩොලර් මිලියන 7000 සිට 10000 දක්වා වැඩි කර ගත්තා. ඒ නිසා තමයි ජන සවියට ලෝක බැංකුව මුදල් ලබාදුන්නේ. වර්තමාන ජනාධිපතිවරයා සහ ආණ්ඩුව අලුත් වෙළඳපොලවල් තුළට ඇතුලු වෙන්නේ නැතිව බදු පිට බදු අය කරලා තමයි රට ගෙනියන්නේ. එවැනි අවස්ථාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියන දේවල් වලට රජයට එකඟවෙන්න සිදුවෙනවා. නමුත් සමගි ජනබලවේග ආණ්ඩුවක් යටතේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියන එකඟතාවලට එකඟ වෙන්නේ නෑ.‘‘