අපරාධකරුවන් තුරන් කිරීම පාපයක් නොවන බවට මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් පසුගියදා කළ ප්‍රකාශය හෙළාදකිමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නීතීඥ සභාව යෝජනාවක් සම්මත කර තිබේ.Sri Lanka Latest News
කළුතර කටුකුරුන්ද විශේෂ කාර්ය බළකායේ ක්ෂණික විහිදුම් යතුරුපැදි පාඨමාලාව හදාරන ලද පොලිස් නිලධාරීන්ගේ විසිරයාමේ පෙළපාලියෙන් පසු පැවති උත්සවයේදී අමාත්‍ය ටිරාන් අලස් අදාළ ප්‍රකාශය සිදුකර තිබිණි.
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති කෞෂල්‍ය නවරත්න පවසන්නේ මෙම යෝජනාව සම්මත කරන ලද්දේ ඇමැතිවරයා විසින් කරන ලද එම ප්‍රකාශය සම්බන්ධයෙන් බවය.
මිනීමැරුම්, මත්ද්‍රව්‍ය අලෙවිය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ අය තුරන් කිරීම “පාපයක් නොවේ” යැයි ඇමැතිවරයා එහිදී නිලධාරීන්ට පවසා තිබිණි.
ඇමැතිවරයා ඉල්ලා අස් නොවන්නේ නම් ඔහු මහජන ආරක්ෂක ඇමැති ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බවට නීතිඥ මණ්ඩලය තීරණය කළ බවද සභාපතිවරයා පවසයි.
ඇමැතිවරයා එම ධුරයෙන් ඉවත් නොකරන්නේ නම් දේශීය මෙන්ම අන්තර්ජාතික වශයෙන් ද නීතිමය ක්‍රියාමාර්ගවලට එළඹෙන බව නීතිඥ සංගමය පවසයි.
නීතිය හා සාමය බිඳ වැටීම හේතුවෙන් මෙම ප්‍රකාශය සිදු කරන බවත් පසුගිය මාස කිහිපය තුළ ශ්‍රී ලංකා පොලිසිය විවිධ නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ වූ බවටත් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති කෞෂල්‍ය නවරත්න චෝදනා කළේය.