‘පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාම දියවන්නා ඔයට දැමිය යුතුයි. පාර්ලිමේන්තුවට බෝම්බ ප්‍රහාරයක් එල්ල විය යුතුයි…’ යනුවෙන් පාර්ලිමේන්තුවේ සිටින ජනතා නියෝජිතයන්ට පමණක් නොව පාර්ලිමේන්තු ගොඩනැගිල්ලද බිමට සමතලා කළ යුතු බවට ඇතැමුන් පසුගිය කාලවලදී ප්‍රකාශ කළ බව රහසක් නොවේ. Sri Lanka Latest News
රටේ උත්තරීතරම ආයතනය පාර්ලිමේන්තුව වුවත් පසුගිය කාලයේදී ඩිජිටල් මාධ්‍යයේ (සමාජ මාධ්‍ය ජාලවල) ආගමනය පුළුල්ව සමාජය ආක්‍රමණය කිරීමත් සමගින් යම් මතයක් ගොඩනැගුණේ රටේ උත්තරීතරම ආයතනය පාර්ලිමේන්තුව නොව රටේ එපාම කරපු ආයතනය පාර්ලිමේන්තුව බවයි.
සමාජ මාධ්‍ය ජාලවලින් පාර්ලිමේන්තුවට එරෙහිව යම් මත ගොඩනැගුවද එම මත රටේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට නම් එතරම් හිතකර නොවන බව බහුතරයක් දේශපාලන විචාරකයන්ගේ අදහසයි.
විකල්පයක් නොමැතිව පාර්ලිමේන්තුව එපාකරවා ජනතාව ඕනෑම ඡන්දයකදී ඡන්ද පොළට නොපැමිණියහොත් රටක් පාලනය කරන්නේ කෙසේද?
එසේ වුවහොත් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය නොමැති වීමෙන් ඉතා කෙටි කාලයක් ඇතුළත රට දේශපාලනමය වශයෙන් පමණක් නොව ආර්ථික වශයෙන්ද අරාජික වන්නට පුළුවන.
සමාජ මාධ්‍ය ජාල මගින් පාර්ලිමේන්තුව කෙරෙහි යම් වෛරයක්, ක්‍රෝධයක් පසුගිය කාලය තුළ ගොඩනගපු නිසා මීට වසර 3කට පමණ පෙර අරගලය සිදුවූ කාලයේදී ඇතැම් පිරිස් පාර්ලිමේන්තුව වටකිරීමටද පැමිණියේ පාර්ලිමේන්තුව අත්පත් කරගැනීම සඳහාය. එසේ වූවා නම් ජීවිත මෙන්ම දේපළ හානියක් වීමටද ඉඩ තිබිණි.
ඇතැම් ජනතා නියෝජිතයන්ගේ යම් යම් වැරැදි නිසා 225ම දියවන්නාවට දාන්න ඕනෑ. පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න ඕනෑ, පාර්ලිමේන්තුව ගිනි තියන්න ඕනෑ වැනි සටන් පාඨ සමාජගත කිරීම කෙතරම් සාධාරණද කියා ඉතා ගැඹුරින් විමසා බැලිය යුතුව ඇත.
සමහරුන් දියවන්නා ඔය මැද පිහිටා ඇති පාර්ලිමේන්තුවට බෝම්බ ගැසිය යුතුයි, පාර්ලිමේන්තුවට ගිනිතැබිය යුතුයි යනුවෙන් ප්‍රකාශ කළාට ලෝකයේ බොහෝ රටවල රාජ්‍ය නායකයන්ගේ සිත් ගත්ම ස්ථානයක් බවට ශ්‍රී ලංකාවේ වර්තමාන පාර්ලිමේන්තු සංකීර්ණය පත්ව තිබෙනවා යන්න ඔබ දන්නවාද?
එවැනි පාර්ලිමේන්තු සංකීර්ණයක් බෝම්බ ගසා විනාශ කළා නම්, ගිනි තැබුවා නම් රටට සිදුවන අපකීර්තිය කෙතරම්ද? (1987 වර්ෂයේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ බෝම්බ පිපිරීමක් සිදුවිය. එය සිදුවූයේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉලක්ක කොට නොව එවක ජනාධිපතිව සිටි ජේ.ආර්. ජයවර්ධන මහතා ඉලක්ක කරගෙනය. ඒ ගැන ඔබ මෙතෙක් නොදත් තොරතුරු සමග ඉදිරි ‘ගැලරියේ සිට ලියමි’ තුළින් ගෙන ඒමට බලාපොරොත්තු වෙමි.
මෙතරම් අවධානයක් මෙරට පමණක් නොව ලෝක රාජ්‍ය නායකයන් ඇතුළු ලෝකයේම අවධානය දිනාගැනීමට සමත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ගොඩනැගිල්ල දියවන්නා ඔය මැදට පැමිණීමද අපූරු කතාවකි.
මෙම නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ වෙත ගෙන ඒමේ යෝජනාවේ පුරෝගාමියා වූයේ 1977 වසරේදී බලයට පත් එක්සත් ජාතික පක්ෂ රජයේ කතානායක සහ අනතුරුව රාජ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යවරයා වූ ආනන්ද තිස්ස ද අල්විස් මහතාය.
1977 මහ මැතිවරණයේදී කෝට්ටේ ආසනයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා වූයේ ආනන්ද තිස්ස ද අල්විස් මහතායි. 1976 වසරේ වැලිමඩ ඊ.ඩබ්. පෙරේරා ක්‍රීඩාංගණයේදී පැවැති ජන රැලියකදී ‘නැතිවී ගිය ඓතිහාසික ශ්‍රී විභූතිය තම පක්ෂය ආණ්ඩු බලය ලබාගැනීමෙන් පසු නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල පිහිටුවීමෙන් කෝට්ටේ ප්‍රදේශයට ලබාදිය යුතුයි’ යනුවෙන් එවක එක්සත් ජාතික පක්ෂ නායක හා විපක්ෂ නායක ජේ.ආර්. ජයවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කර තිබිණි.
1950 දශකයේ සිටම කෝට්ටේ ප්‍රදේශයේ දේශපාලන කටයුතුවල නිරතව සිටි ආනන්ද තිස්ස ද අල්විස් මහතා දියවන්නා ඔයද අයත් පැරැණි ශ්‍රී ජයවර්ධනපුර ශ්‍රී විභූතිය පිළිබඳ දැඩි උනන්දුවකින් කටයුතු කළ ජනතා නියෝජිතයෙකි.
තමා දියවන්නා ඔය සමග කුඩා කාලයේ සිටම කෙතරම් සම්බන්ධතාවක් තිබුණේද කියා ආනන්ද තිස්ස ද අල්විස් මහතා පාර්ලිමේන්තුවේ තම හිතවත් නිලධාරීන් පිරිසට ප්‍රකාශ කර තිබූ බව අප සමග කීවේ පාර්ලිමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියකු මෙන්ම පාර්ලිමේන්තුවේ හිටපු වේත්‍රධාරිවරයකු වූ විජය පල්ලියගුරුගේ මහතාය.
පල්ලියගුරුගේ මහතා ප්‍රකාශ කරන පරිදි ආනන්ද තිස්ස ද අල්විස් මහතාගේ කුඩා කාලයේ අත්දැකීම මෙසේය.
‘ළමා කාලයේදී නාවල කොස්වත්තේ පදිංචිව සිටි කුඩා ආනන්ද තිස්ස ද අල්විස් දියවන්නා ඔයේ ඔරු පැදීමටත්, ඒ අසබඩ වනරොද පීරා බෝවිටියා, දං, හිඹුටු ආදී පලතුරු කෑමටත් පුරුදව සිටියේය.
දිනක් සවස් කාලයේ කුඩා ආනන්ද තිස්ස ද අල්විස් එවන් පලතුරුවල රස විඳිමින් දියවන්නාව අසබඩ කැලෑරොද පීරූ අවස්ථාවක හිටිහැටියේම දියවන්නාවේ ගැඹුරු හැලේ එරුණි. ඉන් ගොඩඑන්නට තැතක් දැරුවද ඒ හැම උත්සාහයක්ම නිෂ්ඵල විය. උදව් ඉල්ලා මහ හඬින් කෑගැසුවද හඬ ඇසෙන මානයේ කිසිවෙක් නොවීය. ඇඳිරි වැටීගෙන එන විට මර බිය දැනෙන්නට විය. එහෙත් දියවන්නා මඩ වගුරේ ගිලී තම වටිනා ජීවිතය අවසන් කර දමන්නට තරම් කුඩා ආනන්ද තිස්සගේ දෛවය ඔහුට කුරිරු නොවීය.
ගොම්මන් වැටීගෙන එද්දී හරක් දක්කාගෙන පඳුරු අතරින් ගමන් ගත් මිනිසකුගේ කටහඬ අහම්බෙන් මෙන් ඇසුණෙන් කුඩා ආනන්ද තිස්ස මුළු වෙර යොදා කෑගැසීය. ඒ හඬ ඔස්සේ ඇදුණු මිනිසා මර බියෙන් ගැහෙන කුඩා ළමයා දුටුවේය.
දියවන්නා හැලේ භයානකකම හොඳින් දන්නා ගවයන් දක්කාගෙන පැමිණි පුද්ගලයා හැලට බැස්සේ නැත. හරකෙකුගේ ගෙල බැඳි කඹයක් ලිහා වතුරට විසිකර එය තදින් අල්ලාගන්නා ලෙස උපදෙස් දී ඔහු කඹය වැරෙන් ඇදීමට පටන් ගත්තේය. මඩ නාගත් ආනන්ද තිස්ස ද අල්විස් කොලුගැටයා පණ බේරාගෙන ගොඩට ආවේය.
ඒ දියවන්නා මඩ වගුර තුළින් නවීනතම අංගෝපාංගවලින් සමන්විත අලංකාර මහත් ගාම්භීරත්වයකින් යුත් පාර්ලිමේන්තු මහ මන්දිරය බිහිකරමින් තම දියවන්නා සිහිනය සැබෑ කරගත් පුද්ගලයා ඊට වසර ගණනාවකට පෙර එම දියවන්නා හැලේ එරී මියයන්නට ගොස් බොහොම අමාරුවෙන් පණ බේරාගැනීමද විශේෂත්වයකි.
මෙම අත්දැකීම කිසිම දවසක අමතක නොවුණු ආනන්ද තිස්ස ද අල්විස් දේශපාලනඥයකු වූ පසුවද එම අත්දැකීම දියවන්නා ඔය දකින විට නිතරම සිහිපත් වන්නට ඇත. නමුත් ඔහුගේ සිත තුළ තිබුණේ එවක නව පාර්ලිමේන්තු සංකීර්ණයක අවශ්‍යතාව මතුවූ නිසා එය දියවන්නා ඔය මූලික කරගෙන ඉදිකිරීමටය. ඒ අනුව එම යෝජනාව ආනන්ද තිස්ස ද අල්විස් විසින් එවක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන, අගමැති රණසිංහ ප්‍රේමදාස ප්‍රමුඛ එවක පැවැති ආණ්ඩුවට ඉදිරිපත් කරන ලදී.
ආනන්ද තිස්ස ද අල්විස් මහතාගේ එම යෝජනාව අනුව එවක නුගේගොඩ ප්‍රාදේශීය ලේකම්වරයා සහ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා විසින් ඇතුල්කෝට්ටේ පිහිටි ‘දූව’ නම් ප්‍රදේශය පිළිබඳ අවධානය යොමුකොට තිබිණි. මෙම සොයාගැනීම සිදුකර තිබුණේ 1977 වසරේ අග භාගයේදීය.
කරන ලද සොයාබැලීම්වලදී දැනගැනීමට ලැබුණේ රජයට අයත් දූව නම් ඉඩම නුගේගොඩ ප්‍රාදේශීය ලේකම්වරයා විසින් පිටකෝට්ටේ, බැද්දගාන පාරේ පී.එම්. ජයවීර නමැත්තකුට බදු දී ඇති බවයි. කෙසෙල් වගා කිරීම සඳහා එසේ බදුදී ඇති බවටද තොරතුරු වාර්තා වී තිබිණි.
එවක රාජ්‍ය අමාත්‍ය ආනන්ද තිස්ස ද අල්විස් මහතාගේ ආරාධනාවකට මෙම දියවන්නා ඔය මැද පිහිටි දූව ඉඩම බැලීම සඳහා එවක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ රජයේ අග්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමදාස මහතාත් එක්වූහ.
පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිකිරීමට අදාළව ශ්‍රී ජයවර්ධනපුර නව නගරය පිළිබඳ විධිමත් සමීක්ෂණයක් පවත්වන ලෙස ජේ.ආර්. ජයවරධන ජනාධිපතිවරයා විසින් ඇමෙරිකාව, ජර්මනිය, එංගලන්තය සහ ප්‍රංශය යන රටවලින් ඉල්ලීමක් කර තිබිණි.
එහි ප්‍රතිඵලයක් වශයෙන් ‘ෆ්‍රෙන්ච් සෙන්ට්‍රල් ගෲප් ෆෝ නිව් ටවුන්ස්’ නම් වූ ප්‍රංශ ආයතනයේ කණ්ඩායමක් මෙරටට පැමිණ පරීක්ෂා කොට ‘දූව ප්‍රදේශය’ නව පාර්ලිමේන්තු මන්දිරය ඉදිකිරීමට සුදුසු භූමිභාගය ලෙස නිර්දේශ කර තිබිණි. ඒ අනුව 1978 ජනවාරි 25 වැනිදා රජයට ඉදිරිපත් කර තිබූ එම වාර්තාවේ යෝජිත ප්‍රදේශය නිර්දේශ කිරීමට තුඩුදුන් හේතු 10ක් සඳහන් වී තිබිණි. ලෝකයේම අවධානය දිනාගත් ශ්‍රී ලංකාවේ නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල දියවන්නා ඔය මැද දූවේ ඉදිකරීමට තීරණය වූයේ ඒ අනුවය.

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු











