ගාසා තීරයේ ළමා මන්දපෝෂණය අහස උසට නැගලා…
‘අපොයි දෙවියනේ… මේ කනගාටුදායක දසුන් කොහොම අපේ දෙනෙතින් දකින්නද? මගේ ජීවිතයේ කවදාවත් මේ වගේ පපුව පැළෙන දසුන් දැකලා නැහැ. ඒත් මේවා දකින්න තරම් අද මම හරිම අවාසනාවන්ත වෙලා. මම යුනිසෙෆ් සංවිධානයේ විධායක අධ්යක්ෂ ලෙසටයි වගකීමෙන් යුතුව කතාකරන්නේ. අපි එකතු කරගත්තු දත්තවලට අනුව මේ පලස්තීන-ඊශ්‍රායල යුද්ධයෙන් දැන් පලස්තීනයේ දරුවන් පමණක් 13,000ක් ඝාතනයට ලක්වෙලා. මම පසුගිය දවස්වල මේ ඛේදනීය දසුන් දැක්කා. ඝාතනය වුණු දරුවන්ට අමතරව තවත් දරුවන් දහස් ගණනක් තුවාල වෙලා ඉන්නවා. ඊට අමතරව දැන් ජීවත් වෙලා ඉන්න දරුවන්ට මන්දපෝෂණය හැදිලා. මම ගාසා තීරයේ රෝහල්වලට ගියා ප්‍රතිකාර ගන්න දරුවන් බලන්න. මේ දරුවන් සිටින රෝහල් වාට්ටු හරිම නිශ්ශබ්දයි. කුඩා දරුවන් සිටින තැනක් එහෙම වෙන්න බැහැ. මම බැලුවා මෙහෙම වෙන්නේ කොහොමද කියලා. දෙවියනේ ඒක හිතාගන්න බැහැ. මේ දරුවන්ට අද අඬන්නවත් ශක්තියක් නැහැ. ඔවුන් ඒ තරමටම දුර්වලයි. දරුවන්ට හඬන්න නම් ඔවුන්ගේ ඇඟේ යම් ශක්තියක් තිබිය යුතුයි. මේ දරුවන්ට හඬන්නවත් කිසිම ශක්තියක් නැහැ. ඔවුන් බලාගත්තු අතේ බලාගෙන ඉන්නවා. නැත්නම් නිද්‍රා ගතියෙන් ඉන්නවා. අනෙක මේ දරුවන් විශාල ප්‍රමාණයක් අධික කම්පන තත්ත්වයකටත් පත්වෙලා, මානසික ව්‍යාකූලත්වයකින් ඉන්න බවත් පේනවා. මේ තත්ත්වය අතිශයින්ම ශෝකජනකයි…’ Sri Lanka Latest News
කුමක්ද මේ හද පැළීයන කතාන්දරය? මෙම ශෝකබරිත වදන් පවසා සිටින්නේ කවුරුන් විසින්ද? මෙම වගතුග අපට අසන්නට ලැබුණේ මෙයට දින කිහිපයකට ඉහතදීය. හඬන්නටවත් ශක්තියක් නැති අසරණ දරුවන් ගැන සහ දරුවන්ගේ ම්ලේච්ඡ ඝාතනයන් ගැන මෙම වගතුග කියා සිටින්නේ සුවිශේෂ කාන්තාවක් විසිනි. ඇය නම් යුනිසෙෆ් සංවිධානයේ (එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ළමා අරමුදල) වත්මන් විධායක අධ්යක්ෂ කැතරීන් රසල් මහත්මියයි. මෙම තනතුර එම සංවිධානයේ ඉහළම තනතුර වන අතර, ඇය ඒ සඳහා පත්කරනු ලබන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා විසිනි.
දැනට 63 වැනි වියෙහි පසුවන කැතරීන් රසල් ඇමෙරිකානු ජාතිකයකු වන අතර, ඇය ඇමෙරිකාවේ වොෂින්ටන් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියක්ද හිමිකරගෙන සිටින විද්වත් කාන්තාවකි. ඇය වත්මන් තනතුර දරන්නට පෙර ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ දේශපාලන උපදේශකවරියක් ලෙස සේවය කර ඇත. ඇයට යුනිසෙෆ් සංවිධානයේ විධායක අධ්යක්ෂ ධුරය හිමිවන්නේ 2022 පෙබරවාරි 01 වැනිදාය. මෙම සුවිශේෂ කාන්තාව පසුගියදා ඊශ්‍රායල – පලස්තීන යුද්ධය සිදුවන ගාසා තීරයේ සජීවී නිල සංචාරයක් සිදුකළ අතර, ඉහත වගතුග ඇය හෙළිකර සිටින්නේ එම සංචාරයෙන් පසුවය. ඇය මෙලෙස තව දුරටත් එම ශෝකබරිත වගතුග කියා සිටින්නීය. ඇමෙරිකාවේ ප්‍රකට රූපවාහිනී විකාශයක් වන ක්‍ඊී මාධ්‍ය ආයතනයේ සාකච්ඡාවකදී ඇය එම තොරතුරු හෙළිකර සිටියාය. එම ආන්දෝලනාත්මක වගතුග ගැන සොයා බලමු.
CBS රූපවාහිනී මාධ්‍යවේදියා
දැනට මෙම යුද්ධයෙන් දරුවන් පමණක්ම 13,000ක් ඝාතනය වී තිබෙනවා යැයි ඔබ ප්‍රකාශ කරන්නේ කිනම් දත්තයක් මතද?
කැතරීන් රසල්
සම්පූර්ණයෙන්ම සත්‍ය ලෙස නිරාවරණය කරගත් දත්ත මතයි මෙම ප්‍රකාශය අපි සිදුකරන්නේ. මුලින්ම අපගේ යුනිසෙෆ් සංවිධානය මගින් එකතු කරගත් දත්ත තිබෙනවා. ඊට අමතරව තවත් ජාත්‍යන්තර මානුෂීය සංවිධාන එකතු කරගත් දත්ත තිබෙනවා. එයින් ගාසා තීරයේ පිහිටුවා තිබෙන එක්සත් ජාතීන්ගේ මානුෂීය කාර්යාලය ප්‍රධාන තැනක් ගන්නවා. ගාසා තීරයේ තිබෙන එරට ඔවුන්ගේ රජයේ මාධ්‍ය කාර්යාලය විසින් ලබාදී ඇති සංඛ්‍යාලේඛනත් මෙහිදී ප්‍රයෝජනයට ගත්තා. ඒ අනුව පසුගිය 2023 ඔක්තෝබර් 07 වැනිදා යුද්ධය ආරම්භ වූ දිනයේ සිට 2024 මාර්තු 14 වැනිදා දක්වා එලෙස අහිංසක දරුවන් 13,000ක් ම්ලේච්ඡ ලෙස ඝාතනයට ලක්ව තිබෙනවා. මේ අතර කාන්තාවන් පමණක් 9,000ක්ද ඝාතනයට ලක්ව තිබෙනවා. මුළු සිවිල් වැසියන් ගත් කල 35,000ක් පමණ වෙනවා. මේ සියල්ලක්ම මරණයට පත්වුණේ ඊශ්‍රායලය විසින් පලස්තීනයට එරෙහිව සිදුකළ යුද ප්රහාරයන් හේතුවෙනුයි. ඒ අතරම තවත් ජනතාව ලක්ෂ ගණනක් මහා ආහාර සාගතයකින් පීඩා විඳිනවා. එහිදී කුඩා දරුවන් දසදහස් ගණනක් නිරාහාරව දුක් විඳිනවා. ඒ දරුවන් දරුණු නීරක්තියෙන් සිටින ආකාරය මම පසුගියදා එහි රෝහල් තුළදී දැක්කා….’
CBS රූපවාහිනී මාධ්‍යවේදියා
ඔබ ඔය කියන සාධක මත එම සංඛ්‍යාලේඛන පිළිගත හැකි බව අපි විශ්වාස කරනවා. මේ කුරිරු යුද්ධය ආරම්භ කිරීමට මුලින්ම වගකිව යුත්තේ පලස්තීනයේ හමාස් සටන්කාමීන් බව කවුරුත් දන්නවා. එහෙත් එම යුද්ධය දැනට මාස 05කට අධික කාලයක් නොනවත්වා පවත්වාගෙන යන්නේ ඊශ්‍රායලයයි. මේ තත්ත්වය ගැන සිතෙන්නේ කුමක්ද?
කැතරීන් රසල්
ඔව්, ඒක හොඳ ප්‍රශ්නයක්. දැන් යුද්ධය සම්පූර්ණයෙන්ම පවත්වාගෙන යන්නේ ඊශ්‍රායලයයි. ලෝකයේ පාර්ශ්ව ගණනාවක් ඔවුන්ගෙන් ඉල්ලීම් කළා යුද්ධය නවත්වන්න කියා. එහෙත් එවැන්නක් සිදුවන බවක් පේන්නේ නැහැ. දැන් මම දකින ලද දසුන්වලට අනුව පෙනීයන්නේ ඊශ්‍රායලයට ඕනේ ගාසා තීරයේ අවසානයම දැකීමටයි. එනම් ගාසා තීරයට වෙනත් ලෝක පාර්ශ්ව විසින් ලබාදෙන ආහාර ආධාර සහ සෞඛ්‍ය ආධාර පවා ලැබීම ඊශ්‍රායලය විසින් වළක්වනවා කියලා ජාත්‍යන්තර විවේචන එල්ලවී තිබෙනවා. මෙය හරිම අමානුෂික තත්ත්වයක්. එයින් පේන්නේ ජනතාව මහා සාගතයකට පත්කිරීමේ වෑයමයි. මෙවැනි ආධාර ගාසා වෙත රැගෙන යෑමේදී එම ආධාර ට්‍රක් රථ ප්‍රවාහනයට පවා ඉතා විශාල නිලධාරීවාදී අභියෝග ඊශ්‍රායල බලධාරීන් විසින් සිදුකරනු ලබනවා.
CBS රූපවාහිනී මාධ්‍යවේදියා
ඔබ යුනිසෙෆ් සංවිධානයේ ප්‍රධානියා ලෙස පලස්තීනයේ දරුවන්ගේ මෙම ඛේදනීය තත්ත්වය ගැන හැඟීම්බරව කතා කරනවා. මේ යුද්ධය නවත්වන ආකාරයක් පෙනෙන්නත් නැහැ. මෙවැනි වටපිටාවක් යටතේ මේ අහිංසක දරුවන් තව තවත් අනතුරට පත්වෙනවා. ඉතින් කුමක්ද විසඳුම?
කැතරීන් රසල්
ඔව්, විසඳුමක් පෙනෙනතෙක් මානයකවත් නැහැ. ඊශ්‍රායලයට නොයෙකුත් පාර්ශ්ව විසින් තදබල ලෙස බලපෑම් කරනවා. යුද්ධය නවත්වන ලෙසට. සමහර පාර්ශ්ව ඇමෙරිකාවටත් චෝදනා කරනවා ඔවුන් මේ යුද්ධය දුරදිග ගෙනයෑමට උදව් කරනවා කියලා. දරුවන්ට සිදුවන විනාශය ගැන මම මහත් වේදනාවකින් සිටින්නේ. ලෝකයේ වෙනත් කිසිම යුද්ධයකදී මේ තරම් දරුවන් ඝාතනයට පත්වෙනවා අපි දැකලා නැහැ. අහලා නැහැ. දරුවන්ගේ මරණ අනුපාතය වැඩිම එකම යුද්ධය ඊශ්‍රායල-පලස්තීන යුද්ධය කියලා කියන්න පුළුවන්. අදටත් බොහෝ ළමුන් සුන්බුන් අතර සිරවෙලා ඉන්න පුළුවන්. එහෙම ඉඳලා නිරාහාරව මැරිලා යනවත් ඇති. දැන් ගාසාහි ජීවත්ව සිටින ළමුන් සෑම තිදෙනකුගෙන් එක් අයෙක්ම අතිශය උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙනවා. අපගේ යුනිසෙෆ් සංවිධානය මේ දරුවන් වෙනුවෙන් හැකි සෑම මෙහෙවරක්ම ඉටුකරනවා. කෙසේ වෙතත් ඉදිරියේදී ගාසා තීරයේ ආහාර සාගතය තවත් උග්‍ර වේවි. එහිදී එම තත්ත්වය ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ කුඩා දරුවන්ටයි.
CBS රූපවාහිනී මාධ්‍යවේදියා
ගාසා තීරයේ මියගිය දරුවන්ගේ සිරුරු තුරුලු කරගෙන හඬා වැලපෙන මවුපියන්ගේ දසුන් ඉතා ශෝචනීයයි. ඊශ්‍රායලයට හැකිද මේ යුද්ධය ජයග්‍රහණය කරන්න?
කැතරීන් රසල්
හොඳ ප්‍රශ්නයක්. ඊශ්‍රායලයට ඕනෑ වෙලා තියෙන්නේ ගාසා තීරයේ සමූල ඝාතනයක් සිදුකරන්න යැයි බොහෝ පාර්ශ්ව චෝදනා කරනවා. එහෙත් ඊශ්‍රායලය එම චෝදනා ප්‍රතික්ෂේප කරනවා. ඔවුන් කියන්නේ ආත්මාරක්ෂාව වෙනුවෙන් යුද්ධ කරන බවයි. මේක ඇත්තටම ලෝක අපරාධ අධිකරණයක පවා අවධානයට යොමුවිය යුතු අපරාධයක්.
ප්‍රියන්ත හෙට්ටිගේ