ඊ – වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් (මැයි 06 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය කරුණු පැහැදිලි කිරීමක් කරනු ලැබීය. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේ ටිරාන් අලස් අමාත්‍යවරයා විසින් ඊ – වීසා ගැටලුව සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට කළ මාධ්‍ය හමුවේදී වැරදි කරුණු ගණනාවක් ප්‍රකාශ කළ අතරම ඇතැම් කරුණු වසන් කිරීමට කටයුතු කළ බවය. (Sri Lanka Latest News)
‘ටිරාන් අලස් ජනතාවගෙන් හංගපු, හොර වැඩක් විදිහට කරපු ඒ ක්‍රියාවලියට අඩංගු සමස්ත ලිපි ලේඛන අපි ළඟ තියෙනවා. මේ ලිපි ලේඛන හරහා අපිට තියෙනවා ටිරාන් අලස්ගෙන් ප්‍රශ්න කිහිපයක්ම අහන්න. ඒ මාධ්‍ය හමුවේදී ඔහු පිළිතුරු නොදුන් ප්‍රශ්න. මුලින්ම 2023 වසරේ සැප්තැම්බර් මාසේ 08 වැනිදා කැබිනට් පත්‍රිකාවක් යොමුකරනවා මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලිපි ශීර්ෂයෙන් ටිරාන් අලස්ගේ අස්සනින් යුතුව. ඒකෙ තියෙනවා ලංකාවේ ඊ – වීසා සහ ඔන් එරයිවල් වීසා නිකුත් කිරීමේ කටයුතු සඳහා පෞද්ගලික සමාගමක් වන IVS GBS කියන සමාගම මැදිහත් කරගන්න කියලා ඉල්ලීමක් කරලා තියෙනවා. කැබිනට් මණ්ඩලයට යෝජනාව ඉදිරිපත් කරලා තියෙන්නේ ටිරාන් අලස්. දැන් ඒක නැහැ කියලා කියන්න ඔහුට බැහැ.’
‘ඒ වගේම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැරදි කරුණු තොරතුරු ඇතුළත් ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කළා මේකට අදාළව ටෙන්ඩර් කැඳවීමක් සිදුකළා කියලා. කැබිනට් පත්‍රිකාව අනුව එහෙම දෙයක් වෙලා නැහැ. ටිරාන් අලස් අද කියනවා නව තාක්ෂණය ගෙන එනවා කියලා ලොකු කතාවක්. නමුත් ඇත්ත දේ තමයි මේ IVS GBS කියන සමාගම යෝජනාවලියක් ඉදිරිපත් කරනවා ලංකාවේ වීසා නිකුත් කිරීමේ බලය ඔවුන්ට දෙන්න කියලා.’
‘IVS GBS ග්ලෝබල් සමාගම 2023 වසරේ ජුනි මාසයේ දී තමයි මේ යෝජනාව ඉදිරිපත් කරන්නේ. මේ යෝජනාවලිය ටිරාන් අලස් පසුගිය 2023 වසරේ සැප්තැම්බර් මාසයේදී කැබිනට් පත්‍රිකාවක් විදිහට අමාත්‍ය මණ්ඩලයට යොමු කරලා ඉල්ලීමක් කරනවා මේ සමාගමට මේක දෙන්න කියලා. එතකොට ආන්දෝලනයට ලක්වූ VFS සමාගම කියන්නේ අද ටිරාන් අලස් මේකේ උත්තර දෙන VFS සමාගම කියන්නේ ටෙන්ඩරය ගත්ත සමාගම නෙමේ.’
‘මේ ඉදිරිපත් කළ යෝජනාවේ පැහැදිලිව තියෙනවා Presented by IVS GBS Global Services powered by with VFS Global as a Technical Partner කියලා. VFS ග්ලෝබල් සමාගම මේකට තාක්ෂණ සහකරු ලෙසයි මැදිහත් වෙන්නේ. මේක භාරදීලා තියෙන්නේ IVS GBS කියන සමාගමට. ටිරාන් නම කියන්න බය සමාගමට තමයි භාරදීලා තියෙන්නේ.’
‘මේ අතර (මැයි මස 06 වැනිදා) දිනය යටතේ VFS සමාගම මාධ්‍ය නිවේදනයක් යොමුකරලා තියෙනවා. ඒ මාධ්‍ය නිවේදනයේ දෙවැනි පිටුවේ පැහැදිලිව කියලා තියෙනවා IVS GBS කියන සමාගම තමයි මූලික කොන්ත්‍රාත්කරු මේ ව්‍යාපෘතියේ, VFS සමාගම තාක්ෂණික සහයකයා කියලා. මේකට මුළුමනින්ම පටහැනි දෙයක් තමයි ටිරාන් අලස් මාධ්‍ය හමුවට ඇවිත් කිව්වේ…’ ඔහු කියා සිටියේය.
ටිරාන් අලස්ගේ දිව පැටලෙන්නේ ඇයි?
මේ අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ මෙරට ඊ – වීසා නිකුත් කිරීමට අදාළ මුල් සමාගම ඉන්දීය සමාගමක් බවත්, අමාත්‍ය ටිරාන් අලස් එම සමාගමේ නම හෙළිකිරීමට කටයුතු නොකළ බවයි.
‘අපි බලමු IVS GBS කියන සමාගම මොකක්ද කියලා. ඒ සමාගම කාගේද කියලා? IVS කියන නම කියන්න ටිරාන් අලස්ගේ දිව පැටලෙන්නේ ඇයි? මොකක්ද ඒ රහස? IVS කියන සමාගම අයිති කවීරාජ් බන්ධාරි කියන ඉන්දියාවේ කෝටිපති ව්‍යාපාරිකයාට. කවීරාජ් බන්ධාරි කියන්නේ හිටපු ඉන්දීය විදේශ ලේකම් රොමේෂ් බන්ධාරිගේ පුතා. මේක ඉන්දීය විදේශ සේවය, ඉන්දීය ඔත්තු සේවා ඔක්කොම එක්ක ගැටගැහිච්ච කතාවක්. මේක IVS සමාගමට දෙන කොට ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය දන්නවා ඒ ගැන. මේක ඉන්දීය සමාගමකට දීලා තියෙනවා කියලා කට්ටිය කියද්දී ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය කලබල වෙලා, හොරාට කලින් කෙහෙල් කැන වැට පැන්නා වගේ නිවේදනයක් නිකුත් කරනවා නැහැ නැහැ ඒක ඉන්දීය සමාගමක් නෙමෙයි කියලා.’
‘දැන් පාර්ලිමේන්තුවේ ඉන්න ඊනියා විපක්ෂයේ අය එහෙ කියවනවා මේක ඩුබායි සමාගමක් කියලා. IVS කියන සමාගම ඉන්දීය සමාගමක්, ඒක ඉන්දීය රජයත් එක්ක සමීප සම්බන්ධතා පවත්වන සමාගමක්. ඒ සමාගම ගැන තොරතුරු හංගන්න ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය මැදිහත් වුණේ ඇයි මේකේ හැංගිච්ච න්‍යාය පත්‍රයක් නැත්නම්. ඇයි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය බොරු කිව්වේ.’
‘අපි හිතනවා ලංකාවේ ජනතාවගේ ආරක්ෂාවට, ජාතික ආරක්ෂාවට, ලංකාවේ සංචාරකයන්ගේ පෞද්ගලිකත්වය පිළිබඳ හානියක් වෙනවා කියලා. ඒ වගේම අපි අහනවා ටිරාන් අලස්ගෙන් ලෝකයේ කොයි රටේද VFS ආයතනයට ගුවන් තොටුපොළේ කවුන්ටර් එකක් දාලා වීසා ලබාදෙන්න ඉඩ දීලා තියෙන්නේ කියලා.’
‘VFS එක කරන්නේ රට යන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනාගේ වීසා අයදුම්පත අරන් දීලා තානාපති කාර්යාලයට ඒක ප්‍රොසෙස් කරලා ගාස්තුවක් අය කරන එක. ඒ වගේම මොන රටේද වීසා ඉල්ලුම්කරුගේ අතිශය රහස්‍ය තොරතුරු VFS සමාගමට දීලා තියෙන්නේ? නිකම් බොරුවට ටිරාන් අලස් රටවල් 60 ගානක් ගැන කියවනවා අනිත් මිනිස්සු ඒවා ගැන දන්නේ නැහැ කියලා’ ඔහු පැවැසීය.
කැබිනට් මණ්ඩලය ගත් තීරණය
මේ අතර විදේශිකයන් මෙරටට පැමිණීමේදී එක් පුද්ගලයකුට දින 30ක වීසා බලපත්‍රයක් සඳහා අය කළ ඩොලර් 50ක පැරණි ගාස්තුව එලෙසම පවත්වා ගෙන යාමට අමාත්‍ය මණ්ඩල හමුවේදී තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
ඉන්දියාව, චීනය, රුසියාව, ජපානය, මැලේසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව යන රටවල් හතට මෙතෙක් නොමිලේ සැපයූ වීසා සේවාව එලෙසම ක්‍රියාත්මක බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. මෙරටට විදේශිකයකු ඇතුළු වීමේදී අදාළ වීසා නිකුත් කිරීමේ පූර්ණ වගකීම ආගමන විගමන දෙපාර්තමේන්තුව සතු බවද රජය අවධාරණය කළ බව එහි දැක්වෙයි.
සංචාරක කර්මාන්තයේ සාර්ථක ප්‍රගතියක් මේ වන විට රට තුළ ඇති වී තිබෙන බැවින්, විදේශිකයකු මෙරටට පැමිණීමේදී නිකුත් කරන වීසා බලපත්‍රයක උපරිම ගාස්තුව ඩොලර් 50ක සීමාවේ පවත්වාගෙන යන ලෙස සංචාරක ක්ෂේත්‍රයේ නියුතු පාර්ශව රැසක්ද පසුගිය දින කිහිපය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන් ඉල්ලා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
ඇමැති හරීන්ගේ ඉල්ලා අස්වීම?
සංචාරක අමාත්‍යවරයා ලෙස තමන් ඉල්ලා අස්වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ ලිපියක් හුවමාරු වන බවත්, එය සත්‍ය නොවන බවත් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබේ.
මේ අතර ඊ-වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් මතුකර තිබූ පැනයකටද අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සිය X ගිණුම හරහා පිළිතුරු ලබාදීමක් සිදුකරන ලදී.
‘රටවල් 50කට අධික ප්‍රමාණයකට නොමිලේ වීසා ලබාදීමේ යෝජනාව අපි අවසන් කරමින් සිටියදී මෙම ක්‍රමය ක්‍රියාත්මක කළ රේඛීය අමාත්‍යාංශයට වඩා විපක්ෂ නායකවරයාට එය මා මත පැටවීමට අවශ්‍ය වීම පුදුමයක් නොවේ. නව යෝජනාව ඉදිරිපත් කරන විට VFS ගාස්තු ගැන සඳහන් කර නොතිබුණි. එය හෙළිවූදා සිට මම එම යෝජනාවට විරුද්ධ වීමි.’
‘මුල සිටම සඳහන් කළ පරිදි, මැයි 07 වැනි දින සිට රටවල් 50කට වැඩි සංඛ්‍යාවක් සඳහා නොමිලේ වීසා සඳහා වන අපගේ යෝජනාව අවසන් වන තෙක් සියල්ල ඇතුළත්ව ඩොලර් 50කට දින 30ක කාලයක් සඳහා තනි පිවිසුම් වීසා බලපත්‍රයක් නිකුත් කෙරේ. එතෙක් රටවල් 7ක් සඳහා පෙර පරිදිම නොමිලේ වීසා පහසුකම හිමිවේ…’ අමාත්‍යවරයා සඳහන් කළේය.
‘විදේශිකයන්ගේ වීසා ගාස්තු වැඩියි කියලා කෑගහන ලංකාවේ අය රට යන්න ඊට වඩා ගාස්තු ගෙවනවා…’
‘VFS එක ආපු ගමන් අපේ සිස්ටම් එක ඕෆ් කරලා. ඉතින් එවැනි ප්‍රශ්න නිසා තමයි මේ වගේ දෙයක් වුණේ. ආගමන විගමන එකෙන් තමයි ඒක කරලා තියෙන්නේ. ඒ දේ කරපු අය ගැන වගේම ඒවා වීඩියෝ කරපු අය ගැනත් මම දන්නවා. එයාලට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නවා.’ යැයි ඊ – වීසා නිකුත් කිරීමේදී මතුවූ ගැටලු ගැන කරුණු පැහැදිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් (මැයි 06 වැනිදා) අවධාරණය කළේය.
මැයි 01 වැනිදා වැනිදා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී On Arrival වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුසහගත තත්ත්වය සහ වීසා ක්‍රමවේදය පිළිබඳ පැහැදිලි කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ සහභාගිත්වයෙන් (මැයි 06 වැනිදා) මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි.
වීසා ගාස්තු පිළිබඳවත් එවා සම්මත කරගත් යෝජනාවලට අනුකූල බවත් අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය. ‘වීසා ප්‍රශ්නය ගැන කතා කළොත් ඒක කොටස් දෙකකට තියෙන්නේ. එකක් වීසාවලට අප අය කරන මුදල වැඩිකිරීම. අනිත් එක VFS සමාගම වීසා නිකුත් කිරීමේ කර්තව්‍යයට එකතු කර ගැනීම.’
‘ගැටලුසහගත වීසා කාණ්ඩය’
‘අපි වීසා ගාස්තු වැඩිකිරීම ගැන කතා කළොත් අපි ප්‍රතිපත්තිමය තීරණයක් අරගත්තා වෙනත් වීසා කාණ්ඩ ලබාදෙන්න. මාර්ගගත ක්‍රමයට ලබාදීම සිදුකළේ දින 30 වීසා කාණ්ඩය පමණයි. ඒ දවස් 30 වීසා එක කාණ්ඩ කිහිපයක් යටතේ වෙනස් කිරීමට කටයුතු කළා. විශේෂයෙන් නොමෑඩ් කියන වීසා කාණ්ඩය, ඔන්ලයින් සේවාවන් කරන අයෙකුට ලංකාවට ඇවිල්ලා හෝටලයක නැවතිලා ඉඳගෙන තමන්ගේ රැකියාව කරන් යන්න හැකියාව තියෙනවා මේ වීසා එක යටතේ.’
‘දකුණු පළාතේ සංචාරයක් සඳහා ජනාධිපතිවරයා ගිය අවස්ථාවේදී හමුවූ විදේශිකයන්ගේ ඉල්ලීම් සැලකිල්ලට අරගෙන නව වීසා ක්‍රමවේදය සකස් කරන්න කටයුතු කළේ. නව වීසා ක්‍රමවේදය සම්බන්ධයෙන් යෝජනාව පාර්ලිමේන්තුවේදී විවාදයකින් තොරව ඒකමතිකව පසුගිය නොවැම්බර් මස 23 වැනි දින සම්මත වුණා.’
මොකක්ද මේ VFS කියන ආයතනය?
මෙරටට පැමිණෙන සංචාරකයන් සඳහා වීසා ලබාදීම සිදුකරන VFS ආයතනය සම්බන්ධයෙන්ද අමාත්‍ය ටිරාන් අලස් මෙහිදී කරුණු පැහැදිලි කිරීමක් කළේය. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ VFS ආයතනය විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබූ බවයි. එමෙන්ම රටවල් ගණනාවක ඔවුන් සිය සේවාවන් පවත්වාගෙන යනු ලබන බවද ඔහු පැවැසුවේය.
‘රට යන ලංකාවේ අය පවා දන්නවා VFS කියන්නේ මොකක්ද කියලා. මේ ආයතනය රජයන් 67ක, රටවල් 151ක මධස්ථාන තුන්දහසකට අධික සංඛ්‍යාවක් පවත්වාගෙන යන සමාගමක්. ඒ සේවාවට ඒගොල්ලෝ එක්ක තරග කරන්න කවුරුත් නැහැ. යුරෝපය ඇතුළු ලෝකයේ බොහෝ රටවල් භාවිත කරන්නේ VFS සේවාවයි.’
‘එක් චෝදනාවක් එල්ල වුණා මේක ඉන්දියානු සමාගමක් කියලා. ඒ වගේම ඉන්දියන් අය ඇවිල්ලා එතන වාඩිවෙලා ඉන්නවා කියලා. මම ඒ ගැන සොයා බැලුවා. ඒක ඉන්දියානු සමාගමක් නෙමෙයි. මේ සිදුවීම වූ අවස්ථාවේදී කටුනායක ගුවන් තොටුපොළේ කවුන්ටර්වල ඉඳලා තියෙන්නේ ලංකාවේ 13 දෙනෙක්. VFS එක කරන්නේ ලියකියවිලි සම්බන්ධයෙන් කටයුතු සොයාබැලීම පමණයි. වීසා ලබාදීම හෝ ප්‍රතික්ෂේප කිරීමේ බලය තියෙන්නේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ටයි. මේ ව්‍යාපෘතිය ගැන වසර 07කට පෙර කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඇවිල්ලා තිබුණා. එක ලංකාවේ සමාගමක් වසර කිහිපයක් උත්සාහ කළත් ඔවුන්ට ඒක සාර්ථක කර ගන්න හැකියාව ලැබුණේ නැහැ. ඒ වගේම චීනයේ සමාගමක් වසර 04ක් උත්සාහ කරලත් ඔවුන්ට මේක සාර්ථක කරගන්න බැරි වුණා.’
‘අපිට අවශ්‍යතාවයක් තිබුණා වීසා ලබාදීමේ නව ක්‍රමවේදයක් සකස් කරන්න. ඒ අතර වාරයේදී තමයි VFS ආයතනය විසින් මේ ව්‍යාපෘති යෝජනාව ඉදිරිපත් කළේ. පස්සේ ඒක ගැන බලලා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් යොමුකළා පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී. මේ සම්බන්ධයෙන් සොයා බලන්න අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත්කළා. ඒ වගේම නීතිපතිවරයා නිර්දේශ ඉදිරිපත් කරලා තිබුණා. ජනාධිපතිතුමා පවා ඒ ගැන නිර්දේශ ඉදිරිපත් කර තිබුණා. ලංකාවේ ඉන්න ජනතාව විදේශගත වෙද්දී VFS එකට ගෙවනවා එක එක රටවල් සඳහා විවිධ මිල ගණන් යටතේ ගාස්තු. උදාහරණයක් විදිහට UAE වලට යද්දී ඇමෙරිකානු ඩොලර් 25ක් ගෙවනවා. නමුත් විදේශ රටක ඉඳලා ලංකාවට එන විදේශිකයෙක් ඩොලර් 18.5ක් ගෙවනවා කියලා මේ රටේ ඉන්න අය කෑගහනවා…’ අමාත්‍යවරයා පැවැසීය.
මේ අතර මෙරට ගුවන් තොටුපොළවල් සහ ආගමන විගමන පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා ගතයුතු ක්‍රියා මාර්ග ගැන අධ්‍යයනය කර වාර්තාවක් ලබාදෙන ලෙස සිංගප්පූරු රජයෙන් කළ ඉල්ලීමක් මත විශේෂ කණ්ඩායමක් ඉදිරි දිනයකදී මෙරටට පැමිණීමට නියමිත බවද මෙහිදී අමාත්‍යවරයා පැවැසීය.
කටුනායක ගුවන්තොටුපොළේ ඇතිවූ ගැටලුව කුමක් ද?
මැයි මස 01 වැනිදා කටුනායක ගුවන් තොටුපොළේ VFS කවුන්ටරය අසලදී තරුණයකු සිදුකළ විරෝධය පළකිරීම ගැන ද අමාත්‍ය ටිරාන් අලස් මෙහිදී කරුණු පැහැදිලි කිරීමක් සිදුකරන ලදී.
‘එදා එතන ලංකාවේ නිලධාරීන් තමයි ඉඳලා තියෙන්නේ. මේක පටන් ගත්ත නිසා VFS සමාගමේ ඩුබායි කාර්යාලයේ ඉන්න උපසභාපතිවරයා ඉන්දීය ජාතිකයෙක් එදා එතැනට ඇවිත් ඉඳලා තියෙනවා. අර කෑගහන තරුණයා එයාගේ බිරිඳ එක්ක යනවා ආගමන විගමන අංශයට. එයාට වීසා නෑ. එතැන ඉන්න නිලධාරියා කියනවා අතනට ගිහිල්ලා වීසා එක ගන්න කියලා. මේ තරුණයා ඇවිල්ලා එතැන ඉන්න අර ඉන්දීය ජාතික උපසභාපතිවරයා අතට තමයි පාස්පෝර්ට් එක දෙන්නේ. ඒ නිලධාරියා පාස්පෝර්ට් එක බලලා කියනවා පෝලිමට යන්න කියලා. ඒ වෙලාවේ ඉඳලා එයා කෑගහලා තියෙනවා. එයාට ඕනෙ වෙලා තියෙන්නේ කෙළින්ම ගිහිල්ලා පෝලිමේ ඉන්නේ නැතුව වයිෆ්ගේ වීසා එක අරගන්න. ඒක තමයි වෙලා තියෙන්නේ.’ අමාත්‍යවරයා කරුණු පැහැදිලි කර සිටියේය.
ආගමන විගමන නිලධාරින් ගැනත් අවධානය
මේ අතර කටුනායක ගුවන් තොටුපළේ පිහිටි VFS කවුන්ටරයේ සේවාවන් පවත්වාගෙන යාමට පසුගිය මැයි මස 01 වැනිදා බාධා සිදුවීම ගැනද පියවර ගන්නා බවට අමාත්‍ය ටිරාන් අලස් මෙහිදී කරුණු සඳහන් කර සිටියේය.
‘එදා පළමු දවස. VFS එකට හරියට WiFi පහසුකම් ලබාදීලා තිබිලා නැහැ. එයාලා ඩොන්ගල් යොදාගෙන තමයි රාජකාරි ආරම්භ කරලා තිබුණේ. එදා මම හිටියේ නැහැ. ලේකම්තුමා රැස්වීමක් කැඳවලා තීරණය කරලා තියෙනවා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වගේම VFS ආයතනයේ සිස්ටම් දෙකම සමානව පවත්වාගෙන යන්න දවස් කිහිපයක්. ඒ දේ වුණේ නැහැ, VFS එක ආපු ගමන් අපේ සිස්ටම් එක ඕෆ් කරලා. ඉතින් එවැනි ප්‍රශ්න නිසා තමයි මේ වගේ දෙයක් වුණේ.’
‘ආගමන විගමන එකෙන් තමයි ඒක කරලා තියෙන්නේ. ඒ දේ කරපු අය ගැන වගේම ඒවා වීඩියෝ කරපු අය ගැනත් මම දන්නවා. එයාලට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නවා….’ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසුවේය.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී (මැයි මස 01 වැනිදා) උණුසුම් තත්ත්වයක් ඇති විය. ඒ, කටුනායක ගුවන් තොටුපොළ තුළ වීසා නිකුත් කිරීමේ ක්‍රියාපටිපාටියේ (මැයි මස 01 වැනිදා) සවස ඇතිවූ ගැටලුසහගත තත්ත්වයක් හේතුවෙනි.
කටුනායක ගුවන් තොටුපොළේදී සිදුවූයේ කුමක්ද?
මෙතෙක් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සිදුකළ වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය පෞද්ගලික සමාගමකට පැවරීමත් සමග (මැයි මස 01 වැනිදා) සවස 05.00 සිට එම පද්ධති නිසි පරිදි ක්‍රියාත්මක කරගැනීමට නොහැකිවී තිබිණි. ඒ හේතුවෙන් දිගු පෝලිම් ඇතිවී දෙස් විදෙස් සංචාරකයන් ඊට එරෙහිව දැඩි විරෝධයක් පළකිරීමත් සමග ගුවන් තොටුපොළ තුළ උණුසුම්කාරී වාතාවරණයක් නිර්මාණය විය.
කෙසේ වුවද මීට පෙර ආගමන විගමන නිලධාරීන් විසින් මිනිත්තු කිහිපයක් තුළදී මාර්ගගත වීසා නිකුත් කිරීමට කටයුතු කර තිබිණි.
නව නිලධාරීන් ඉවත් වෙයි.
කටුනායක ගුවන් තොටුපොළ තුළ වීසා නිකුත් කිරීම (මැයි මස 01 වැනිදා) සිදුකළ පෞද්ගලික සමාගම එය නිසියාකාරව ඉටුකර ගැනීමට අපොහොසත් වීම නිසා රාත්‍රී 11.30ට පමණ සේවයෙන් ඉවත් වී ගොස් තිබිණි. ඉන් පසුව එම කාර්යය යළිත් පැරණි ගාස්තු ක්‍රමය යටතේ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත පවරා සිදුකරගෙන යන ලෙස ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය නියෝග කරනු ලැබීය.
කටුනායක ගුවන් තොටුපොළ තුළ වීසා බලපත්‍ර නිකුත් කිරීමේ කාර්යය ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සිදුකරගෙන යන බවත්, එම කටයුතු වෙනදා මෙන් සාමාන්‍ය පරිදි සිදු වන බවත් ඔහු පැවැසීය.
ඒක පද්ධතියේ ඇතිවූ දෝෂයක්
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ඇතිවූ තත්ත්වය සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු දෙමින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක පැවැසුවේ එය වීසා නිකුත් කිරීමේ පද්ධතියේ ඇතිවූ දෝෂයක් නිසා සිදුවූ බවය.
‘අලුත් සිස්ටම් එකක් දාන්න ගිහිල්ලා ඒ සිස්ටම් එකේ ගැටලු කිහිපයක් ඇතිවෙලා මේ තත්ත්වය සිද්ධ වුණේ. අපි තාවකාලිකව ඒක නතර කරලා පැරණි ක්‍රමයට වීසා නිකුත් කිරීම සිදුකරන්නේ. ඉදිරියේදී නැවත තීරණය කරන දිනයක නව ක්‍රමය නැවත ක්‍රියාත්මක කරනවා. මේක සිස්ටම් එකේ තාක්ෂණික වශයෙන් ඇතිවූ දෙයක්. ඒ නිසා ඒක නිවැරදි කරලා ඉදිරියේදී ක්‍රියාත්මක කරනවා.’ අමාත්‍යාංශ ලේකම්වරයා පැවැසුවේය.
මේ අතර කටුනායක ගුවන් තොටුපොළේ වීසා නිකුත් කිරීම කළ පෞද්ගලික ආයතනයේ නිලධාරින් විසින් විදේශිකයන්ගෙන් අමතර ගාස්තු අයකිරීම සහ එකතු කරගෙන තිබූ මුදල්ද රැගෙන රාත්‍රියේ පිටව ගිය බවට පළව තිබූ මාධ්‍ය වාර්තා සත්‍ය දැයි කළ විමසීමකදී මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ඊට ලබා දුන්නේ මෙවන් පිළිතුරකි.
‘එහෙම කිසිම දෙයක් වෙලා නෑ. ඒ වගේම විදේශිකයන්ගෙන් ගාස්තු අය කිරීම් පිළිබඳ විධිමත් වැඩපිළිවළක් අදාළ අනුමැතීන්වලට යටත්ව තමයි සිදුකර තියෙන්නේ.’ ඔහු පැවැසීය.
වීසා නිකුත් කිරීමේ නව ක්‍රමවේදය කුමක්ද?
ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය පසුගිය දා පැවති මාධ්‍ය හමුවකදී නව වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් කරුණු දැක්වීමක් සිදුකරන ලදී. එහිදී ඔහු සඳහන් කළේ 2012 වසරේදී හඳුන්වා දුන් මාර්ගගත වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය යටතේ හඳුන්වා දුන් විද්‍යුත් සංචරණ අනුමැතිය මේ හරහා යාවත්කාලීන කිරීමට කටයුතු කළ බවයි. ඒ සඳහා පෞද්ගලික සමාගමක් සමග ගිවිසුම්ගතව කටයුතු කරනු ලබන බව ඔහු සඳහන් කළේය.
‘2012 වසරේදී අපි මාර්ගගත ක්‍රමය හෙවත් ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ වීසා නිකුත් කිරීම ආරම්භ කළා. ETA කියල අපි අඳුන්වපු Electronic Travel Authorization නැත්නම් විද්‍යුත් සංචරණ අනුමැතිය. මේ මගින් තමයි අපි ලංකාවෙ වීසා ක්‍රමවේදය ජාත්‍යන්තරයට ගෙනිච්චෙ. ඒ ක්‍රමවේදය ඔස්සේ අපි කටයුතු කරමින් ඉන්නකොට අපිට දැනුණු දේ තමයි ඒ ක්‍රමවේදය වර්තමානය වෙන විට යාවත්කාලීන වෙලා තිබුණෙ නෑ. ඉතිං ඒ නිසා තමයි අපි කල්පනා කළේ නව ක්‍රමවේදයක් ඔස්සේ සියලුම වීසා මාර්ගගත ක්‍රම ඔස්සේ ලබාගැනීමේ හැකියාව.’
‘ඇතැම් රටවලට වීසා ගැනීම සඳහා පාවිච්චි කරන ක්‍රමවේදවලදී අදාළ රටට යන්නට මත්තෙන් වීසා ගැනීමේ හැකියාව හරි අඩුයි. නමුත් මේ ක්‍රමය ඔස්සේ අපි බලාපොරොත්තු වෙන්නෙ සම්පූර්ණ වීසා ක්‍රමවේදයම මාර්ගගත ක්‍රමය ඔස්සේ තමන්ගෙ රටේ ඉඳලම මේ රටට පැමිණෙන්න පෙර වීසා ලබාගෙන මෙරටට පැමිණෙන්න පහසුකම් මේ වන විට අපි හදල දීල තියෙනවා.’
‘අපි තව බලාපොරොත්තු වන දෙයක් තියෙනවා, රට තුළට එන කෙනකුට නැවත නැවත වීසා අයැදුම් කිරීමට අවශ්‍ය නැතිව එක්වර වීසා අරගෙන දීර්ඝ කාලයක් ලංකාවෙ රැඳී සිටින්නටත්, ඒ දීර්ඝ කාලය තුළ වරින් වර තමන්ගෙ රටට ගිහින් ඒමට ඉඩ ප්‍රස්ථාව හැදෙනව. මේ කාරණය සංචාරක කර්මාන්තයට ඉතාමත් වැදගත්. දැනට අපේ තිබුණ ETA හරහා දින 30 වීසා එක දුන්නාම දින 30යි රට තුළ ඉන්න හැකි වෙන්නෙ. දින තිහට පස්සෙ ආපහු වීසා අයැදුම් කරන්න ඕනෙ. නමුත් මේ අලුතින් අපි හඳුන්වා දීපු වීසා ක්‍රමවේදය යටතේ අයැදුම්කරුට මෙවැනි සංචාරක වීසා කාණ්ඩ විශාල ප්‍රමාණයක් අපි හඳුන්වල දීලා තියෙනවා. දින 60 වීසා, දින 90 වීසා, දින 180 වීසා, වසර 05 සහ 10 දක්වා සංචාරක වීසා අපි මේ යටතේ හඳුන්වාදී තිබෙනවා.’
‘අවුරුදු 10ක වීසා එක ගන්න කෙනකුට නැවත වීසා ගැනීමකින් තොරව ඒ අවුරුදු දහය පුරාවට කැමැති කාලයක ලංකාවට ඇවිල්ල සංචාරය කරල යන්න පුළුවන්. නැවත නැවත වීසා අයැදුම් කරල සංචාරය කිරීමට වඩා බොහෝ දෙනෙක් මේ ක්‍රමවේදයට කැමැතියි. පළමු වීසා එකේම එක මාසෙ සිට මාස හයක් දක්වා වැඩි කරල රැඳී සිටීමේ කාලය දීර්ඝ කළේ සංචාරකයන්ට වීසා එක ගැන වැඩිය හිතන්නෙ නැතුව ඕනෙ වෙලාවක එන්න හැකි වෙන්න. ඒ නිසා සංචාරක වීසා විශාල ප්‍රමාණයක් මේ යටතේ හඳුන්වල දීල තියෙනවා. මීට කලින් අපි වීසා සඳහා ඔන්ලයින් Electronic Travel Authorization (ETA) එක දින 30 වීසා එක සඳහා විතරයි පාවිච්චි කළේ. නමුත් මේ නව ක්‍රමය යටතේ සියලු වීසා කාණ්ඩ මාර්ගගත (Online) ක්‍රමය ඔස්සේ අයැදුම් කර ලබාගන්න පුළුවන්.’
‘මේ සේවාව www.srilankaevisa.lk වෙබ් අඩවිය මගින් ලබාගන්න පුළුවන්. මේ වෙබ් අඩවිය හරහා ඕනෑම කෙනකුට වීසා ලබාගන්න පුළුවන්. වෙබ් අඩවිය නඩත්තු කිරීම සහ ඒ හරහා සංචාරකයන් ගෙන්වාගැනීමට අපි ගිවිසුම්ගත වෙලා තියෙනව VFS ආයතනයත් එක්ක, ඒ ආයතනය රටවල් 145 තුළ ඒ රටවල මව් භාෂාවලින් තොරතුරු ලබාගෙන වීසා අයැදුම්කරුවන්ට ලංකාවට ඒමට අවශ්‍ය පහසුකම ඇති කරල තියෙනවා.’
‘සෑම අවස්ථාවකදීම වීසා අනුමත කිරීම, ගාස්තු තීරණය කිරීම, ගාස්තු ලබාගැනීම ගැන තීරණ ගැනීම සිදුවෙන්නෙ ආගමන හා විගමන දෙපාර්තුමේන්තුව හරහා. වීසා එකක් දීම හෝ ප්‍රතික්ෂේප කිරීම සිදුවෙන්නෙ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව හරහා පමණයි. එම නිසා නීතිමය වශයෙන් කිසිදු ගැටලුවක් නැහැ. වෙබ් අඩවිය නඩත්තු කිරීම සහ තොරතුරු සැපයීමේ අංශය පමණයි අපි VFS ආයතනය හරහා කරන්නේ.’
‘අපි බලාපොරොත්තු වෙනවා අපි ඉලක්ක කර තිබෙන විදිහට මිලියන 03ක් හෝ ඊට වැඩි විශාල සංචාරක ප්‍රමාණයක් අපේ මේ අලුත් ක්‍රමවේදය හරහා ලංකාවට ගෙන්වාගන්න පුළුවන් වෙයි කියලා…’ ආගමන විගමන පාලකවරයා එහිදී පැවැසීය.
බීබීසී සිංහල වෙබ් අඩවියෙනි







