පසුගියදා එළිදැක්වුණු මත විමසුමේ ප්‍රතිඵල හේතුවෙන් එජාපය ඇතුළේ යම් කඩාවැටීමක් දැකගන්නට ලැබෙද්දී නැවත වතාවක් සමගි ජන බලවේගය සමග කිසියම් එකඟතාවක් ඇතිකර ගැනීමේ උත්සාහයක් එජාපය පැත්තෙන් දියත් විය. ඒ සඳහා මූලිකත්වය ගෙන තිබුණේ එජාපයේ නියෝජ්‍ය නායකයකු වන රුවන් විජේවර්ධනය. ඒ අනුව රුවන් පසුගිය සතියේ සජබ ජ්‍යෙෂ්ඨයකුගෙන් හමුවීම සඳහා දිගින් දිගටම වේලාවක් ඉල්ලා සිටියේය. ඒ අනුව එම ජ්‍යෙෂ්ඨයා අදාළ පණිවුඩය සජිත්ට දැනුම් දීමෙන් පසු සජිත් කියා සිටියේ පෞද්ගලික මට්ටමෙන් මුණගැසුණාට කිසිදු ගැටලුවක් නොමැති බවත්, දේශපාලනය සම්බන්ධයෙන් කතා කිරීමට සූදානම් වන්නේ නම් ප්‍රවේශමෙන් කතාබහ කරන ලෙසත්ය. සජිත්ගෙන් ලැබුණු එම උපදෙසට අනුව පසුව රුවන් සහ මෙම සජබ ජ්‍යෙෂ්ඨයා අතර හමුවක් පසුගිය සතියේදී පෞද්ගලික මට්ටමින් කොළඹදී පැවැත්විණී.Sri Lanka Latest News
මෙම සාකච්ඡාවේදී පළමුව රුවන් සමගි ජන බලවේගය මෙවර ජනාධිපතිවරණයේදී ඉදිරියෙන් සිටින බවට පිළිගෙන අදහස් දක්වූ ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ අනුව, එජාපයත් සජබයත් එක්වී මහ මැතිවරණයකට හෝ ජනාධිපතිවරණයට තරග කළ යුතු බවට යෝජනාවක්ද රුවන් සජබ ජ්‍යෙෂ්ඨයාට ඉදිරිපත් කළේය. නමුත් මෙහිදී මෙම සජබ ජ්‍යෙෂ්ඨයා රුවන්ට ඉතා පැහැදිලි පිළිතුරක් ලබාදීමට පියවර ගත්තේය. ඒ, මේ වන විට ඒ සඳහා ඇති සියලු ඉඩකඩ ඇහිරී ගොස් ඇති බව කියමිනි.
සජබය දොර වහයි!
‘දැන් නම් ඒකට කිසිම ඉඩක් නැහැ. මොකද යූ.ඇන්.පී. එක පොහොට්ටුවත් එක්ක එකතු වෙලා පොහොට්ටුවෙන් ජනාධිපති වෙලා පොහොට්ටුවත් එක්ක ආණ්ඩු කරලා දැන් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙලා ඉන්නේ. දැන් යූ.ඇන්.පී. එකටත් පොහොට්ටුවේ හංවඩුව වැදිලා ඉවරයි. ඒ හින්දා අපි යූ.ඇන්.පී. එකට එකතු වෙනවා කියන්නේ යූ.ඇන්.පී.යයි, පොහොට්ටුවයි, සජබයයි තුනම එක ගොඩකට වැටෙන එක. එතකොට සජබයත් ආණ්ඩුවේම කොටසක් වගේ පේනවා. එහෙම වුණොත් ඒකේ වාසිය යන්නේ ජවිපෙට. එහෙම වුණොත් ජවිපෙ අපි ඔක්කොටම ගහලා ඉස්සරහට එනවා. ඒ හින්දා ඒක කරන්න බෑ. ඉස්සරහට එන්නේ මොන ඡන්දෙද, ඒකට අපි ඉල්ලන්නේ වෙනම. යූ.ඇන්.පී. එකත් වෙනම ඉල්ලන්න. ඊට පස්සේ ආණ්ඩුවක් පිහිටුවද්දී අපි බලමු මොනවද කරන්න පුළුවන් කියලා…’ යනුවෙන් මෙහිදී සජබ ජ්‍යෙෂ්ඨයා රුවන්ට දැනුම් දී ඇති බව ආරංචිය.
ඒ හරහා අප දිගින් දිගටම මෙම තීරයේ සඳහන් කළ තවත් කරුණක් තහවුරු වී තිබේ. ඒ, මොනයම් හෝ තත්ත්වයක් යටතේ වුවද සජබය කිසිසේත්ම එජාපය සමග එකතු නොවන බවය. එමෙන්ම එජාපයේ යම් යම් පිරිස් ජවිපෙ ඉහළින් සිටින බවට තැන් තැන්වල කියමින් ගියද මේ වන විට ඔවුන්ද තවදුරටත් ජවිපෙ ඉහළින් නොමැති බව පිළිගෙන තිබීමය. එසේත් නොමැති නම් සජබය ඉදිරියෙන් සිටින බවත්, සජබය හා ජවිපෙ අතර අතිවිශාල පරතරයක් ඇති බව තේරුම් ගෙන තිබෙන බවත්ය.