සම්මේලනයේදී බැසිල් අපේක්ෂකයා එළියට දමයි!
නාමල්ගෙන් විරෝධයක් ඇවිත්!
රනිල්-මහින්ද ෂැංග්රිලාවේදී යළි හමුවෙලා!
රනිල්ගේ බොඩි ලැන්ග්වේජ් එක දීපු උත්තරේ!
බොරු බොරු බොරු… අතේ පත්තු වුණු බොරු!
පසුගිය කාලය පුරා විවිධ අසත්‍ය පුවත් මාධ්‍ය ඔස්සේ පළකරමින් ජනතාව දේශපාලන වශයෙන් නොමග යවන සංස්කෘතියක් මතුව තිබෙන ආකාරය ‘රාජ්‍ය රහස්’ තීරය හරහා අවස්ථා ගණනාවකදීම අපි තහවුරු කර පෙන්වීමට පියවර ගත්තෙමු. වරක් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති පුටුවේ වාඩිවීමට ප්‍රථම විවිධ මාධ්‍ය උපයෝගී කරගනිමින් එකම ආකාරයේ පුවතක් සියලු මාධ්‍යවල පළවූ අතර ඉන් කියැවුණේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති පුටුවේ වාඩිවූ සැණින් ඩොලර් බිලියන 4ක මුදලක් ජපානය, ඇමෙරිකාව ඇතුළු විදෙස් රටවලින් ලැබීමට නියමිතව ඇති බවත්, ඒ හරහා රටේ ඩොලර් ප්රශ්නය පැය 48ක් තුළ විසඳෙනු ඇති බවත්ය. ඒ අවස්ථාවේදී මෙරට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මෙන්ම අවශේෂ මාධ්‍යන්ද මෙම පුවතට විශාල ප්‍රචාරයක් ලබාදෙමින් රනිල් පැය 48න් රටේ ආර්ථිකය ගොඩදමනු ඇති බවට සංවිධානාත්මකව ප්රචාරක ව්‍යාපාරයක් දියත් කර තිබුණද, අප ‘රාජ්‍ය රහස්’ ඔස්සේ තහවුරු කොට කියා සිටියේ එසේ එක ඩොලරයක් හෝ ලංකාවට නොලැබෙනු ඇති බවත්, නියත වශයෙන්ම ලංකාවේ ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට යෑමට සිදුවනු ඇති බවත්ය. අවසානයේදී මොන මාධ්‍ය මෙහෙයුම් ක්‍රියාත්මක වුවද අප කළ අනාවරණය සියයට සියයක් සත්‍ය බව තහවුරු කරමින් රනිල් වික්‍රමසිංහ මහතාද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට තවදුරටත් පැතීමට කටයුතු කළේය. නමුත් ජනාධිපති ධුරයට පත්ව වසර එකහමාරකට ආසන්න කාලයක් ගතවී ඇතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව ආදී ආයතන කිහිපයකින් හැරුණු විට කිසිදු රටකින් එකදු ඩොලරයක් හෝ ලංකාවට ලැබුණු ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත.Sri Lanka Latest News
30ක් එන බොරුව
ඉන් අනතුරුව දියත් වූ තවත් සංවිධානාත්මක මාධ්‍ය මෙහෙයුමකින් කියවුණු කතාවක් වූයේ සජබෙන් මන්ත්‍රීවරු 30ක් 40ක් ආණ්ඩුවට එක්වීමට නියමිතව ඇති බවත්, සජබය දෙකට තුනට කැඩී නන්නත්තාර වීමට නියමිතව ඇති බවත්ය. ආණ්ඩුවට හිතවත් මාධ්‍ය පමණක් නොව අනෙකුත් මාධ්‍යයන්ද පසුගිය කාලයේ අවස්ථා තුන හතරකදීම මේ කතාව ඉතා සැලසුම්සහගතව ප්‍රචාරය කිරීම නිසා රටේ ජනතාවද සිතා සිටියේ සජබෙන් ලොකු පළුවක් ආණ්ඩුව විසින් කඩාගනු ඇතැයි කියාය. නමුත් ඒ අවස්ථාවේදීද අප පැහැදිලි තොරතුරු සහිතව ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ කියා සිටියේ මෙම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්, ජනාධිපතිවරයාට අතිශය හිතවත් දෙතුන් දෙනකු හැරෙන්නට සජබෙන් කිසිවකුත් ඇමැතිකම් ගෙන ආණ්ඩුවට එක්වීමට සූදානම් නැති බවත්ය. ආණ්ඩුවට අතිශය තීරණාත්මක අවස්ථා ගණනාවක් පසුගිය කාලසීමාවේ දැකගන්නට ලැබුණද අප කී එම කතාවද 100%ක්ම තහවුරු කරමින් සජබයෙන් 30ක් 40ක් ආණ්ඩුවට එක්වූ ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත.
ලන්සාගේ බොරුව
ඉන් අනතුරුව එලෙස සංවිධානාත්මකව ප්‍රචාරය කෙරුණු තවත් පුවතක් වූයේ පොහොට්ටුව හා එජාපය එක්ව නව සන්ධානයක් ගොඩනගමින් පවතින බවය. නිමල් ලන්සා මෙයට මූලිකත්වය ගෙන ඇති බවත්, ඊට අනුර ප්‍රියදර්ශන යාපාගේ සහයෝගයද ඇති බවත්, සජබෙන් මන්ත්‍රීවරු 30කට ආසන්න පිරිසක් සහ පොහොට්ටුවෙන් මන්ත්‍රීවරු 40කට ආසන්න පිරිසක් ඊට එක්වීමට එකඟතාව පළකොට ඇති බවත් එම පුවත්වලින් වැඩිදුරටත් කියැවිණි. නමුත් ඒ අවස්ථාවේදීද අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ විශේෂ හෙළිදරව් කිරීම් ගණනාවක්ම සිදුකරමින් නිමල් ලන්සා රනිල් වෙනුවෙන් මෙවැනි සන්ධානයක් ගොඩනැගීමට උත්සාහ කරන බව කියා සිටියද සජබය හෝ පොහොට්ටුවෙන් කිසිදු මන්ත්‍රීවරයකු ඊට එක් නොවන බව කැට තියා තහවුරු කිරීමට පියවර ගත්තෙමු. අවසානයේදී මෙම සන්ධානය ගොඩනැගීමට රාජගිරිය ලේක් ඩ්‍රයිව් පාරේ නිමල් ලන්සා අලුත්ම කාර්යාලයක් විවෘත කොට වැඩ පටන්ගත් බව අනාවරණ කළ අපි, කිසිදු මන්ත්‍රීවරයෙක් ඊට එක් නොවීම නිසා එය වසාදැමීමට ලන්සා කටයුතු කළ ආකාරයද ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ රටට අනාවරණ කිරීමට පියවර ගත්තෙමු. ඒ අනුව අප කළ එම ආනාවරණයන්ද 100%ක්ම සත්‍ය බව මේ වන විට තහවුරු වී අවසානය.
මහ ඡන්ද බොරුව
මේ ආකාරයටම අප පසුගිය සති තුන හතරක කාලය තිස්සේම ආණ්ඩුව පැත්තෙන් දියත් කර තිබූ තවත් මාධ්‍ය මෙහෙයුමක් පිළිබඳවද රටට කරුණු අනාවරණ කළෙමු. ඒ, ආණ්ඩුවට හිතවත් කණ්ඩායම් කිහිපයක් විසින්ම පළමුව මහ මැතිවරණයක් පැවැත්වෙන බවට මාධ්‍ය ඔස්සේ සංවිධානාත්මකව ගෙන ගිය ප්‍රචාරයක් සම්බන්ධයෙනි. දැනට මාසයකට ආසන්න කාලයක් තිස්සේ මෙම පිරිස් විවිධ අසත්‍ය පුවත් ‘පැළකරමින්’, දේශපාලන විග්රහ සිදුකරමින් රටට පෙන්වා දීමට උත්සාහ කරමින් සිටියේ පළමුව පැවැත්වෙන්නේ ජනාධිපතිවරණය නොව මහ මැතිවරණය යැයි කියාය.
ආණ්ඩුවට හිතවත් පිරිස් මේ සම්බන්ධයෙන් පුවත් පළකරමින් විවිධ දේශපාලන හෑලි පත්තරවලට ලියද්දී අප පසුගිය සති තුන හතර පුරාම රටට පෙන්වා දුන්නේ මෙම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්, පළමුව පැවැත්වෙන්නේ ජනාධිපතිවරණය බවත්ය. එමෙන්ම ජනාධිපතිවරයා පළමුව ජනාධිපතිවරණය පැවැත්වීමට සැලසුම් කර තිබියදී මහමැතිවරණය පළමුව පැවැත්විය යුතු බවට ජනාධිපතිවරයා හමුවට ගොස් කිව්වේ කවුරුන්ද, එම යෝජනාව ජනාධිපතිවරයාට ඉදිරිපත් කළේ කෙසේද යන්න පිළිබඳවද අපි එහිදී අනාවරණ කර සිටියෙමු. එපමණක් නොව මීට සති දෙකකට ඉහතදී අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ තවත් විශේෂ අනාවරණයක් කරමින් තමන්ට අතිශය හිතවත් දැනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නොවන පුද්ගලයකු සමග පැවැති හමුවකදී මුලින් මහ මැතිවරණය පැවැත්වුවහොත් තමන්ට අත්වන ඉරණම පිළිබඳ ප්‍රකාශ කළ අයුරුත් සඳහන් කළෙමු. එහිදී අප කියා සිටියේ මහ මැතිවරණයෙන් කුමන ආණ්ඩුවක් පිහිටුවද ඉන් අනතුරුව තමන්ට දවස් දෙක තුනකට වඩා ජනාධිපති පුටුවේ සිටීමට ඉඩ නොදෙනු ඇති බව ජනාධිපතිවරයා විසින් සිය හිතවතාට ප්‍රකාශ කර තිබුණු බවකි.
එන්නේ ජනාධිපතිවරණය
කෙසේ වෙතත් අප කළ එම අනාවරණයන් කිහිපයද සනාථ කරමින් අවසානයේ ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේම ආණ්ඩු පක්ෂයට දැනුම්දී තිබුණේ පළමුව පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය බවත්, ඉන් අනතුරුව මහ මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට සූදානම් බවත්ය.
පොහොට්ටුවෙන් ධම්මික
මේ ආකාරයට ජනාධිපතිවරණ කතාව රටට අනාවරණ කිරීමෙන් නොනැවතුණු අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ පළමු වරට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්න පිළිබඳවද රටට විශේෂ අනාවරණයක් කිරීමට කටයුතු කළෙමු. පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් විවිධ තැන්වල මාධ්‍ය හමු පවත්වමින් අකුරු තුනේ නමක් සහිත අපේක්ෂකයකු පොහොට්ටුවෙන් ඉදිරිපත් වීමට නියමිත බව කියමින් රට හා පාක්ෂිකයන් නොමග යැවූවද මීට මාස කිහිපයකට පෙරාතුව විශේෂ අනාවරණයක් කරමින් අප කියා සිටියේ එම පොහොට්ටු අපේක්ෂකයා අකුරු තුනේ අයකු නොව, අකුරු හතරක ප්‍රකට පුද්ගලයකු යැයි කියාය. එම අනාවරණය කළ සතියට පසු සතියේ අප එම පුද්ගලයා කවුරුන්දැයි රටට හෙළිකරමින් ඒ, ධම්මික පෙරේරා බවද කියා සිටියෙමු. මාස ගණනකට පෙරාතුව අප කළ මෙම සුවිශේෂ අනාවරණය පසුගිය සතිය වන විට රටටම තහවුරු කර පෙන්වීමට පොහොට්ටු ප්‍රධානීන් කටයුතු කොට තිබීම විශේෂ සිදුවීමක් විය.
බැසිල් පත්තු කරයි
ජනාධිපතිවරයාගේ පැත්තෙන් ජනාධිපතිවරණය පිළිබඳව අදහස් ප්‍රකාශ වෙද්දී පොහොට්ටුවේ මහමොළකරු ලෙස සැලකෙන බැසිල් රාජපක්ෂ මහතාද සිය සැලසුම එළියට දමමින් හදිසියේම විශේෂ පොහොට්ටු සම්මේලනයක් පැවැත්වීම පසුගිය සතියට යොදාගත්තේ කරුණු කාරණා කිහිපයක්ම ඔළුවේ තබාගෙනය. ඉන් පළමුවැන්න වී තිබුණේ අරගලයෙන් පසුව කිසිදු අවස්ථාවක පොහොට්ටුව ප්‍රධාන පෙළේ රැස්වීමක් පවත්වා නොතිබීම හේතුවෙන් යළිත් පාක්ෂිකයන්ට මානසික උත්තේජනයක් ලබාදීම සඳහා සියලු දෙනා එකට සිටින බව රටට පෙන්වීමය.
දෙවැන්න වී තිබුණේ ජාතික මැතිවරණයකට මුහුණ දීම සඳහා පක්ෂය යළි කෙළින් කටින් සිටුවීමය.
මේ සියල්ලටම වඩා ලොකුම කාරණාව වී තිබුණේ පක්ෂයේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා නිල වශයෙන් රටට ඉදිරිපත් කිරීමය.
ඒ අනුව බැසිල් මෙම ජාතික සම්මේලනය සාර්ථක කරගැනීම සඳහා ලොකු වෙහෙසක් ගත් ආකාරයක් දැකගත හැකි විය. ඒ සඳහා විශාල මුදලක්ද වැය කෙරිණ. රට පුරා ප්රචාරක ව්‍යාපාරයක් දියත් කෙරුණු අතර, මුළු කොළඹම ඇතුළුව රටේ ප්‍රධාන නගර සියල්ලේම පොහොට්ු කොඩි එසවීමටද බැසිල් කටයුතු කොට තිබිණි. මෙසේ තිරය පිටුපස සියලු කටයුතු සංවිධාන කළ බැසිල් සම්මේලනය දිනයේදී ඉදිරිපෙළ ආසන කිහිපයේ අසුන්ගත යුතු පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සහ නායකයන්ගේ ලැයිස්තුවද සකස් කළේය. ඒ අනුව මහින්ද, බැසිල්, චමල්, නාමල් අතරට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු නොවන තවත් එක්තරා විශේෂ පුද්ගලයකුගේ නමක්ද ඇතුළත් කිරීමට බැසිල් පියවර ගත්තේය. ඒ වෙන කවුරුවත් නොව ධම්මික පෙරේරාය. ඒ හරහා බැසිල්ගේ සැලසුම වී තිබුණේ පක්ෂයට පමණක් නොව රටටම පොහොට්ටු ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුරුන්ද යන්න පිළිබඳ පැහැදිලි ඉඟියක් ලබාදීමය.
කට්ටියක් හොල්මන්
සැලසුම් කළ පරිදිම සම්මේලනය දිනයේදී ධම්මිකට ඉදිරි පෙළ රාජපක්ෂවරුන් අතර පුටුවක් ලබාදීම හරහා බැසිල්ගේ සැලසුම සාර්ථක වූ ආකාරයක් දැකගන්නට ලැබිණි. විශේෂයෙන්ම මෙම අරුමපුදුම සිදුවීම දුටු සැණින් ජනාධිපතිවරයාට අතිශය හිතවත් පොහොට්ටුවේ යම් යම් ඇමැතිවරුන්ගේ ඇස් නළලට ගිය ආකාරයක් බොහෝ දෙනකුට දැකගන්නට ලැබිණි. ඒ අනුව ඔවුන් ‘අන්න පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා එළියට ඇවිත්…’ යැයි කියමින් එකිනෙකාගේ කනට කොඳුරන ආකාරයක්ද දැකගත හැකි විය. ඇතැම් ඇමැතිවරුන් මෙය හාස්‍යයට මෙන් සිනාසෙමින් කියා සිටියද ඇතැම් ඇමැතිවරුන් එය පුදුමයට පත්වූ මුහුණින් යුතුව කියන ආකාරයක්ද දැකගන්නට ලැබිණි. අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ මෙතරම් ඉක්මනට පොහොට්ටුව සිය ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳ පැහැදිලි සංඥාවක් ලබාදෙනු ඇති බවක් ජනාධිපතිවරයා හෝ බලාපොරොත්තුවෙන් සිට නොමැති බවකි.
සර්… එනවා නේද
එසේම මෙම සමුළුව අවසානයේදී සිදුවූ මෙතෙක් මාධ්‍ය ඔස්සේ වාර්තා නොවුණු තවත් විශේෂ සිදුවීමක්ද මෙවර අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ වාර්තා කිරීමට සූදානම්ය. ඒ, සමුළුව අවසන් කොට පිටතට පැමිණෙද්දී ධම්මිකට ලැබුණු පොහොට්ටු පාක්ෂිකයන්ගේ ප්‍රතිචාර සම්බන්ධයෙනි. එහිදී ධම්මික රැස්වීමෙන් පිටතට පැමිණෙද්දී පොහොට්ටු පාක්ෂිකයන් කෑගසමින් ධම්මිකගෙන් විමසා සිටියේ ‘ධම්මික මහත්තයෝ ඔබතුමා ජනාධිපතිවරණයට එනවද…?’ කියාය. මුලින් මුලින් ඊට සුහදව සිනාසී අත ඔසවා ධම්මික ප්‍රතිචාර දැක්වුවද දිගින් දිගටම තැන් දෙක තුනකදී මෙම ප්‍රතිචාරය ඉදිරිපත් වූ බැවින් ධම්මිකද ඊට පිළිතුරු ලබාදීමට පියවර ගත්තේය. ඒ, ‘ඔව් ඔව්… බයවෙන්න එපා. මම එනවා…’ යැයි කියමිනි. එහිදී කෑගසමින් හුරේ දමමින් ප්‍රතිචාර දැක්වූ පොහොට්ටු පාක්ෂිකයන් ‘එච්චරයි මහත්තයෝ අපිට ඕනේ… අපිට ඒ ඇති… අපි දැන්ම වැඩේ පටන්ගන්නම්…’ යැයි කියමින් එකදිගට ඔල්වරසන් දෙන ආකාරයක් එහිදී අවට සිටි සියල්ලන්ටම දැකගත හැකි විය.
ආණ්ඩුව කලබල වෙයි
මේ ආකාරයට ධම්මික පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයා බවට පොහොට්ටු සම්මේලනයේදී නොනිල වශයෙන් රටටත්, පොහොට්ටු පාක්ෂිකයන්ටත් පණිවුඩය ලබාදීමෙන් පසු දෙබරයට ගලක් ගැසූ පරිද්දෙන් දේශපාලන පොර පිටිය කැලඹී ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි. ඉන් පළමු සිදුවීම වූයේ ජනාධිපතිවරයාට හිතවත් පොහොට්ටු ඇමැතිවරුන් මෙන්ම පොහොට්ටු නොවන ඇමැතිවරුන්ද කලබලයට පත්ව වහාම ජනාධිපතිවරයාට පණිවුඩ පිට පණිවුඩ යවන්නට පියවර ගෙන තිබීමය. ඒ සෑම පණිවුඩයකින්ම කියැවුණේ ධම්මිකගේ සංඥාවෙන් පොහොට්ටු පාක්ෂිකයන් උද්දාමයට පත්ව සිටින බවත්, එය යටපත් කිරීම සඳහා කුමක් හෝ දේශපාලන සංඥාවක් ආණ්ඩුව පැත්තෙන් ලබාදිය යුතු බවත්ය.
විජේවර්ධන බංගලාවේ තීන්දුව
ජනාධිපතිවරයා ඒ වන විට සිටියේ නුවරඑළියේ හෝටන් තැන්න සංචාරය නිමවා දියතලාවට පැමිණ එහි පිහිටි සිය ඥාති විජේවර්ධන පවුලට අයත් සුප්‍රසිද්ධ බංගලාවේ නවාතැන් ගෙනය. සාමාන්‍යයෙන් මේ විජේවර්ධන පවුලට අයත් දියතලාව බංගලාව සැලකෙන්නේ වික්‍රමසිංහ පවුලේ ඉතා වැදගත් තීන්දු තීරණ රැසක් ගෙන ඇති, අතිශය රහසිගත දේශපාලන සාකච්ඡා පවත්වා ඇති, කැබිනට් ඇමැතිවරුන් පවා පැමිණ කැබිනට් රැස්වීම් පවත්වා ඇති ප්‍රසිද්ධ ස්ථානයක් ලෙසටය. රනිල්ගේ මාමා වන හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන පමණක් නොව, රනිල්ගේ පියා වන එස්මන්ඩ් වික්රමසිංහද තම දේශපාලන ජීවිතයේ ඉතා වැදගත් තීන්දු තීරණ ගත් ස්ථානයක් ලෙසද විජේවර්ධන පවුලේ මෙම දියතලාව බංගලාව ප්රකටය. ඒ අනුව තමන්ට හිතවත් ඇමැතිවරුන්ගෙන් ලද මෙම පණිවුඩයත් සමග ජනාධිපතිවරයා තීන්දු කළේ තමන්ට ලැබෙන පළමු අවස්ථාව වන සඳුදා පැවත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම පුවතට ප්‍රතිචාර දැක්වීමටය.
නිවුස් ප්ලාන්ට් වෙයි
මේ අතර පොහොට්ටු සම්මේලනයෙන් පසු ධම්මික පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයා බවට වූ පණිවුඩය පොහොට්ටුව ඇතුළේද තහවුරු වෙද්දී තවත් එක්තරා විශේෂ පුවතක් මාධ්‍යවල හදිසියේම පළවූ ආකාරයක් දැකගත හැකි විය. නමක් ගමක් නොමැතිව පළවී තිබුණු එම පුවතින් කියැවුණේ පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ධම්මික පෙරේරාගේ නම සෙනසුරාදා පැවැති පක්ෂයේ විධායක සභා රැස්වීමේදී හෝ යෝජනා නොවුණු බවකි. මේ පුවතට ජනාධිපතිවරයාට සමීපව කටයුතු කරන වෙබ් අඩවිවල විශාල ප්‍රචාරයක් ලබාදී තිබුණු ආකාරයක්ද දැකගත හැකි විය.
මේ පුවත පළවූ වහා එහි තොරතුරු බැසිල්ටද වාර්තා විය. ඒ අනුව බැසිල්ද කළේ මෙම පුවත පළකළ පිරිස් සම්බන්ධයෙන් වහාම සොයා බැලීමය. එහිදී බැසිල්ට දැනගන්නට ලැබුණේ පොහොට්ටුවේ නොවන නාමල්ට හිතවත් පාර්ශ්වයක් විසින් මෙම පුවත පළකොට ඇති බවකි. එමෙන්ම මෙම පුවත පළකිරීමේ යටි අරමුණද බැසිල් විසින් සොයාගැනීමට සමත්ව තිබිණ.
දෙවැනි ප්ලාන්ට් එක
මේ අතර මාධ්‍ය ඔස්සේ පළවූ තවත් පුවතකින් කියැවුණේ සඳුදා දින පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට ජනාධිපතිවරයා කැබිනට් ඇමැතිවරුන් හමුවේ ප්‍රකාශ කළ බවකි. මෙම පුවත දුටු වහා එය ජනාධිතිවරයාගේ පැත්තෙන් ‘පැළ කරන ලද’ පුවතක්ද, එසේත් නැත්නම ජනාධිපතිවරයා එය ඇත්තටම කීවාද, එසේත් නැතිනම් ජනාධිපතිවරයා කළ ප්‍රකාශයක් බාගෙට ඇසුණු මන්ත්‍රීවරයකු විසින් මාධ්‍ය වෙත ලබාදුන් තොරතුරුවලට අනුව එවැන්නක් පළවූවාද යන්න පිළිබඳ බොහෝ දෙනකුට සැක මතුව තිබිණි. මන්ද යත් ජනාධිපතිවරයා එවැන්නක් ඇත්තටම කියා සිටියා නම් ආණ්ඩුවේ මාධ්‍යවල මෙන්ම ජනාධිපතිවරයාට හිතවත් පුවත්පත්වල ඊට ලොකු ප්‍රචාරයක් ලබාදීමට කටයුතු කළ යුතුව තිබීම හේතුවෙනි. නමුත් එවැන්නක් දැකගන්නට නොලැබුණු නිසා ඇත්තටම ජනාධිපතිවරයා එවැනි ප්‍රකාශයක් කැබිනට් මණ්ඩලයේදී කළාද යන්න පිළිබඳ ‘රාජ්‍ය රහස්’ තීරයද පසුගිය සතියේ සොයාබැලීමක නිරත විය.
මම නෙවෙයි අපි
එහිදී අපට දැනගන්නට ලැබුණේ ධම්මිකගේ පුවතින් කලබලයට පත්ව සිටි පොහොට්ටු ඇමැතිවරු ඒ පිළිබඳ ජනාධිපතිවරයාගෙන් විමසද්දී ‘ජනවාරියේ ඉඳලා අපි ජනාධිපතිවරණ කැම්පේන් එක පටන් ගනිමු’ යනුවෙන් ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය හමුවේ ප්‍රකාශ කොට ඇති බවය.
ඒ අනුව පළමුව එන්නේ ජනාධිපතිවරණය බවට අප කළ අනාවරණය ජනාධිපතිවරයාගේ මෙම ප්රකාශයෙන්ද තහවුරුය. කෙසේ වෙතත් මෙහදී ජනාධිපතිවරයා හිතාමතාම භාවිත කොට ඇති වචනය වී ඇත්තේ ‘මම’ නොව ‘අපි’ යන්නය. නැතහොත් ‘මම ජනාධිපතිවරණයට එනවා..’ යැයි කියා නොව ‘ජනවාරියේ සිට අපි ජනාධිපතිවරණ කැම්පේන් එක පටන් ගනිමු’ යැයි කියාය.
ජනාධිපතිවරයා කී මෙම කතාව මාධ්‍යවල පළවූයේ පෙර කී ආකාරයට ජනාධිපතිවරයා යළිත් වතාවක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් බවට ප්‍රචාරයක් රැගෙන යමිනි.
බොඩි ලැන්ග්වේජ් එක
මේ ආකාරයට ජනාධිපතිවරයා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට මාධ්‍ය වාර්තා කිරීමත් සමග මෙම කතාවේ ඇත්ත නැත්ත හරියටම දැනගැනීම සඳහා ජනාධිපතිවරයාට හිතවත් කිහිප දෙනෙක්ද පසුගිය සතියේ ජනාධිපතිවරයා හමුවීමට ගොස් මේ පිළිබඳ වටින් ගොඩින් විමසා සිටීමට පියවර ගත්හ. එහිදී ඔවුන් ජනාධිපතිවරයාට දැනුම් දී සිටියේ ජනාධිපතිවරණ මැතිවරණ ප්රචාරක ව්‍යාපාරය ආරම්භ කරනවා නම් ආවාට ගියාට පටන් නොගෙන සියලු දෙනාටම එකඟ විය හැකි වැඩපිළිවෙළක් සකස් කොට ගෙන එය ආරම්භ කළ යුතු යැයි කියාය. ඔවුන් මෙම යෝජනාව ජනාධිපතිවරයාට ඉදිරිපත් කළේම මෙම කතාවේ යම් සත්‍යතාවක් තිබේද යන්න ජනාධිපතිවරයාගේ කටින්ම දැනගැනීම සඳහාය.
නමුත් මෙම ප්‍රශ්නයට ජනාධිපතිවරයා ලොකු පිළිතුරක් දීමට කටයුතු නොකිරීම විශේෂ සිදුවීමක් විය. ඒ වෙනුවට ජනාධිපතිවරයා ඔළුව වනමින් ඊට කෙටි පිළිතුරක් දීමට පියවර ගත්තේය. එහිදී මේ පිරිස බලා සිටියේ ජනාධිපතිවරයාගේ ශාරීරික ඉරියව් දෙස. එසේ නොමැති නම් ජනාධිපතිවරයාගේ ‘බොඩි ලැන්ග්වේජ්’ එක දෙසය. ඒ, මේ කිහිප දෙනා කාලයක් තිස්සේ ජනාධිපතිවරයාගේ ළඟින්ම සිට ඔහුගේ ‘බොඩි ලැන්ග්වේජ්’ එක හොඳින්ම අධ්‍යයනය කර තිබෙන අය වීම නිසාය. ඒ අනුව ජනාධිපතිවරයා එම ප්‍රශ්නයට පිළිතුරු දුන් ආකාරයෙන්ම ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තවමත් ස්ථිර තීන්දුවක් ගෙන නොමැති බව ඔවුන්ට සක් සුදක් සේ පැහැදිලි විය.
චියර් එක කෝ
අනෙක් අතට තීරණාත්මක ජනාධිපතිවරණයකදී අපේක්ෂයකු වශයෙන් බලයේ සිටින ජනාධිපතිවරයකු හෝ ආණ්ඩු බලය හොබවන අගමැතිවරයකු හෝ ඉදිරිපත් වන බව ප්‍රකාශ කළ විට ඊට පක්ෂය ඇතුළෙන් දැවැන්ත ප්‍රචාරයක් ලබාදීම සාමාන්‍ය සම්ප්රදායය. මෑත ඉතිහාසය ගත් විට 1994දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ප්‍රකාශයට පත් කළ විට එය රට පුරා උත්සවශ්‍රීයෙන් සැමරීමට ශ්‍රීලනිප පාක්ෂිකයෝ පියවර ගත්හ. එසේම 2005 දී අගමැතිවරයා වශයෙන් කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ප්‍රකාශයට පත් කළ විටද මේ ආකාරයෙන්ම ශ්‍රීලනිප පාක්ෂිකයෝ රට පුරා රතිඤ්ඤා දල්වමින් ප්‍රීති ඝෝෂා පැවැත්වීමට කටයුතු කළහ. ඉතිහාසයේ එසේ කියවුණද මෙවර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවක් කැබිනට් මණ්ඩලයේදී නොනිල වශයෙන් ප්‍රකාශයට පත්කළ විට ඒ සම්බන්ධයෙන් පක්ෂය ඇතුළෙන් හෝ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිසිවකුත් ඒ ගැන වචනයක් හෝ ප්‍රකාශ නොකිරීම විශේෂ සිදුවීමක් විය.
ධම්මිකට තව තනතුරක්
තත්ත්වය එසේ පවතිද්දී සිකුරාදා පැවැති පක්ෂ සම්මේලනයෙන් පසු සෙනසුරාදා දිනයේදීම පක්ෂයේ විධායක සභාව මහින්දගේ නිල නිවෙසේදී කැඳවූ බැසිල් නව නිලධාරී මණ්ඩලයක් පත්කොට විදෙස්ගත වීමට පියවර ගත්තේය. එහිදී බැසිල් ඩුබායි හරහා ලොස් ඇන්ජලීස් බලා පිටත්ව ගිය අතර, පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ නත්තල් නිවාඩුව ගෙන ලබන ජනවාරි තුන්වැනි සතිය පමණ වන විට බැසිල් නැවතත් ලංකාවට පැමිණීමට නියමිතව ඇති බවකි. කෙසේ වෙතත් විධායක සභාවේදී තමන් මෙතෙක් දැරූ පොහොට්ටුවේ ජාතික සංවිධායක ධුරයෙන් ඉවත් වී එය හිස්ව තැබීමට බැසිල් කටයුතු කිරීම විශේෂ සිදුවීමක් විය. අපට ඇති තොරතුරුවලින් නම් කියැවෙන්නේ පොහොට්ටුවේ ජාතික සංවිධායක ධුරය ධම්මිකට ලබාදීමේ අරමුණෙන් එය හිස්ව තැබීමට බැසිල් කටයුතු කොට ඇති බවකි. ඒ සම්බන්ධයෙන් දැනටමත් ධම්මිකට යෝජනාවක් ඉදිරිපත්ව ඇති නමුත්, තවමත් ධම්මික ඒ සම්බන්ධව අවසන් වචනයක් ලබාදී නොමැති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
බැසිල් එහේ ඉඳන් වැඩ
මේ අතර, ලොස් ඇන්ජලීස් බලා පිටත්ව ගියද බැසිල් සිටින්නේ ලංකාව ඇතුළේ සිදුවන දේශපාලනය සම්බන්ධයෙන් හොඳ හැටි ඇහැ ගහගෙනය. එම නිසා ලොස් ඇන්ජලිස්වල සිට ලංකාවේ සිදුවන සෑම දේශපාලන වෙනසක් සම්බන්ධයෙන්ම සොයා බලමින් ඊට අවශ්‍ය ප්‍රතිචාර දැක්වීමට බැසිල් පසුගිය සතියේ කටයුතු කර තිබිණි. ඒ අනුව ධම්මික පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයා බවට පත්කිරීමට පක්ෂයේ විධායක සභාව මෙතෙක් තීන්දුවක් ගෙන නොමැති බවට හදිසියේම පළවූ පුවත සම්බන්ධයෙන් පමණක් නොව, සම්මේලනය පැවැත්වීමෙන් පසු මාධ්‍යවේදීන් විසින් විමසා සිටිය හැකි ප්‍රශ්නවලට ලබාදිය යුතු පිළිතුරු සම්බන්ධයෙන් පක්ෂ මහලේකම් සාගර කාරියවසම් මහතා දැනුවත් කිරීමටද බැසිල් පියවර ගත්තේය. සඳුදා දිනයේදී සාගර කාරියවසම් සුපුරුදු පරිදි මාධ්‍ය හමුවට වාඩිවූයේ මාධ්‍යවේදීන් විසින් අසනු ලැබිය හැකි යැයි සිතිය හැකි ප්‍රශ්නවලට අවශ්‍ය පිළිතුරු බැසිල්ගෙන් ලබාගැනීමෙන් අනතුරුවය. ඒ අනුව සිතූ පරිදිම මාධ්‍යවේදීන් පළමුව සාගරගෙන් විමසා සිටියේ ධම්මික පෙරේරා පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා බවට පැතිර යන රාවය පිළිබඳවත්, ඔහු සම්බන්ධයෙන් තවමත් පක්ෂයේ විධායක සභාව තීන්දුවක් ගෙන නොමැති බවට පැතිර යන ප්‍රචාරයන් පිළිබඳවත්ය.
සාගර දීපු උත්තරේ
ඒ අනුව, සැලසුම් කරගෙන සිටි පරිදිම සාගර මාධ්‍ය හමුවේ කියා සිටියේ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා නම් හතරක් පමණ පක්ෂයට ඉදිරිපත්ව ඇති බවත්, ධම්මික පෙරේරා මහතාගේ නමද එහි ඉදිරියෙන්ම ඇති බවත්ය. එහිදී සාගර අනෙක් කිසිදු අපේක්ෂකයකුගේ නමක් සඳහන් නොකර, ධම්මික පෙරේරාගේ නම විශේෂයෙන් සඳහන් කිරීම හරහා නිල නොවන ආකාරයෙන් පක්ෂයේ මතය ප්‍රකාශයට පත්කළ බව බොහෝ දෙනාගේ අදහස වී තිබිණි.
මෙහි ලස්සනම වැඩේ දැකගන්නට ලැබුණේ ඉන් අනතුරුවය. ඒ, සාගර විසින් ධම්මිකගේ නම නිල වශයෙන් සඳුදා පෙරවරුවේ එළියට දැමීමත් සමග සඳුදා පස්වරුවේ පක්ෂ නායක වන මහින්ද රාජපක්ෂ මහතා විසින්ද ධම්මිකගේ නම පිළිබඳ විශේෂ සඳහනක් කිරීමය. එදින පැවැති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් මහින්දගෙන් ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් විමසා සිටිද්දී මහින්ද කියා සිටියේ ධම්මිකගේ නමද ඒ සඳහා කියැවෙන බවත්, ඔහු ඉදිරිපත් වුවහොත් හොඳ අපේක්ෂකයකු විය හැකි බවත්ය. ඒ අනුව මේ සියලු සිද්ධි දාමයන් එක පෙළකට ගැනීමෙන් එකක් හොඳහැටි පැහැදිලිය. ඒ, ඉදිරි ජනාධිපතිවරණයේදී ධම්මික පෙරේරා පොහොට්ටුවේ අපේක්ෂකයා බවට රාජපක්ෂවරුන් අතරේ යම් එකඟතාවක් ඇතිවී තිබෙන බවය.
නාමල්ගේ ප්‍රශ්නයක්ද
අනෙක් අතට ලොස් ඇන්ජලීස්වල සිටි බැසිල් ධම්මික සම්බන්ධයෙන් යම් තීන්දුවක් විධායක සභාවෙන් නොගත් බවට පළවූ පුවත සම්බන්ධයෙන්ද යම් සොයාබැලීමක් සිදුකර තිබුණු බව මීට පෙර අපි සඳහන් කර සිටියෙමු. අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ එහිදී බැසිල් මෙම පුවත පළවූයේ කොතැනින්ද, එසේ පළකළ පිරිස්වල වුවමනාව කුමක්ද, එම පුවත පළකළේ කුමන හේතුවක් නිසාද යන්න විශේෂ මෙහෙයුමක් හරහා තහවුරු කොට ගෙන ඇති බවකි. නාමල්ට හිතවත් පාර්ශ්වයකින් මෙම පුවත පළවී ඇති බවක්ද මෙහිදී බැසිල් සොයාගෙන ඇති බව අපි එහිදී කියා සිටියෙමු.
මේ සම්බන්ධයෙන් අපද යම් සොයාබැලීමක් කළ අතර, එහිදී අපට දැනගන්නට ලැබුණේ මෙම නිවේදනය නාමල්ගේ පැත්තෙන් ආවාට ගියාට පළ කළ එකක් නොවන බවය. ඊට හේතු වී ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයේදී පොහොට්ටුවේ අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වීමට නාමල්ගේද යම් බලාපොරොත්තුවක් මතුව තිබීමය. නාමල්ගේ අදහස වී ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වී පරාජයට පත්වුවද ඉන් අනතුරුව පක්ෂයේ බලය තහවුරු කරගෙන විපක්ෂයේ ප්‍රබල චරිතයක් නිරූපණය කළ හැකි බවය. මේ පිළිබඳ තොරතුරු වාර්තා වීමත් සමග පසුගිය සතියේ පක්ෂයේම ප්‍රබලයකු නාමල්ට කතාකොට මෙම කතාවේ ඇත්ත නැත්ත කුමක්ද යන්න පිළිබඳ ඔහුගෙන් විමසා සිටීමට පියවර ගත්තේය. එහිදී නාමල් කියා සිටියේ මුලින්ම පක්ෂය හදාගෙන සිටිය යුතු බවත්, අනතුරුව පක්ෂයෙන් ආරාධනාවක් පැමිණියහොත් තමන් ජනාධිපති අපේක්ෂකත්වය භාරගැනීමට සූදානම් බවත්ය. ඒ අනුව නාමල්ද ජනාධිපති අපේක්ෂකත්වය භාරගැනීමට සිටින බවට පැතිරෙන කතාව සත්‍යයක් බව නාමල්ගේ මෙම පිළිතුරෙන් පැහැදිලිය.
බැසිල් ඉස්සර වෙයි
ඒ අනුව, පක්ෂයේ මතය සම්බන්ධයෙන් මේ දිනවල නාමල් යම් මතභේදයක සිටින බවක් දැකගන්නට තිබේ. ආණ්ඩුව වැට් බද්ද වැඩිකිරීමට තීන්දු කළ අවස්ථාවේදී නාමල් ඊට ප්‍රසිද්ධියේම විරෝධය පළකොට එම ඡන්ද විමසීමට හෝ සහභාගි නොවීමට පියවර ගෙන තිබිණ. මීට අමතරව මහින්දව මුණගැසී තිබූ නාමල්, මෙසේ ජනතාව පිට බදු බර පැටවීම පොහොට්ටුවේ ස්ථාවරය නොවන බැවින් ඊට සහභාගි නොවන බව මහින්දගෙන්ද ඉල්ලා සිටියේය. නමුත් මෙහිදී නාමල්ට තද පිළිතුරක් දී තිබූ මහින්ද කියා තිබුණේ තමන් ඉදිරියේදී ජනාධිපතිවරයා සමග දේශපාලනය කිරීමට තීරණය කොට ඇති බවත්, නාමල්ගේ දේශපාලනය නාමල්ට කැමැති විදිහට කරගත හැකි බවත්ය. ඒ අනුව මහින්ද වැට් බද්ද වැඩිකිරීමට පමණක් නොව, අයවැය සම්මත කරගැනීමටද අත ඉස්සීමට පියවර ගත්තේය. නමුත් නාමල් වැට් බද්ද වැඩිකිරීමට පමණක් නොව, අයවැය සම්මත කරගැනීමේ ඡන්ද විමසීමටද සහභාගි වී සිටියේ නැත.
මෙම පසුබිමත්, ධම්මික සම්බන්ධයෙන් නාමල්ගේ පාර්ශ්වයෙන් පළවුණු මාධ්‍ය වාර්තාවත් හේතුකොට ගෙන වහාම බැසිල් නාමල්ට කලින් සාගර ඉදිරියට දමා ධම්මික පොහොට්ටුවේ අපේක්ෂකයා බවට නිල නොවන වශයෙන් රටට ප්‍රකාශ කර සිටීමට පියවර ගත් බව බොහෝ දෙනාගේ ගණන් හැදිල්ලය.
මහින්ද රනිල් හමුවක්
සිකුරාදා පැවැති පක්ෂ සමුළුවෙන් පසු පසුගිය ඉරිදා රාත්රියේදී කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ විශේෂ හමුවක් පැවැත්වී තිබිණි. රාත්‍රී භෝජන සංග්‍රහයක් සමග පැවැති මෙම සාකච්ඡාවට පැමිණ සිටියේ වෙන කවුරුවත් නොව ජනාධිපතිවරයාත්, සාගල රත්නායකත්, හිටපු ජනාධිපති මහින්දත්, යෝෂිතත්ය. මීට පෙරද අප ‘රාජ්‍ය රහස්’ තීරයෙන් විශේෂ අනාවරණයක් කරමින් කියා සිටියේ මේ ආකාරයෙන්ම මහින්දත් රනිලුත් සාගලත් ෂැන්ග්‍රිලා හෝටලයේ හමුවී සාකච්ඡා කර තිබූ බවකි. ඊට මහින්දගේ පුත් යෝෂිත රාජපක්ෂද එක්ව සිටි බවද අප එහිදී සඳහන් කර සිටියෙමු.
ඒ අනුවම පසුගිය ඉරිදාත් මේ පිරිස අතර ෂැන්ග්‍රිලා හෝටලයේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැති අතර, ඉදිරියේදී දේශපාලන කටයුතු සිදුකරන ආකාරය පිළිබඳ දීර්ඝව සාකච්ඡාවක් එහිදී සිදුවිය. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ අදාළ රාත්‍රී භෝජන සංග්‍රහය පැවැති දිනට පසු දින, එනම් සඳුදා දින නිවේදනයක් නිකුත් කරමින් මහින්ද, ජනාධිපතිවරයාට පක්ෂව යම් අදහස් කිහිපයක් නිවේදනය කොට තිබීමය. ‘බදු බර’ යන මැයෙන් එම නිවේදනයේ මාතෘකාව දමා තිබුණද මහින්ද ඒ හරහා කියා තිබුණේ ජාතික මැතිවරණයක් එන තෙක් ආණ්ඩුව ආරක්ෂා කරගැනීම පොහොට්ටුවේ වගකීම යැයි කියාය.
රනිල් නොකියන්නේ ඇයි
ව්‍යවස්ථාවට අනුව 2024 ජනාධිපතිවරණය කැඳවීමට නියමිතව ඇත්තේ ලබන අගෝස්තු මාසයේදීය. ඒ අනුව ඊට ඉතිරිව ඇත්තේ තවත් මාස 8ක් පමණි. මෙතරම් කෙටි කාලයක් ජනාධිපතිවරණයකට ඉතිරිව තිබියදී ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ඒ සඳහා ලොකු සූදානමක් තවමත් නැත්තේ ඇයි? ජනාධිපතිවරයාගේ හිතවතුන්ට පවා ජනාධිපතිවරයාගේ ශාරීරික ඉරියව්වලින් එවැනි හදිසියක් නොපෙනෙන්නේ ඇයි? ඒ අනුව අපද ජනාධිපතිවරයාගේ මේ මන්දගාමී ස්වභාවයට හේතුව කුමක්ද යන්න පිළිබඳ තොරතුරු සොයාබැලීමක නිරත වීමු. ඒ අනුව අපට දැනගන්නට ලැබුණු කරුණ වූයේ අතීත අත්දැකීම් හේතුවෙන් ජනාධිපතිවරයා මෙසේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සිය ස්ථාවරය කල් තබා ප්‍රකාශ කිරීමට අදිමදි කරමින් සිටින බවකි. ඊට හේතුවී ඇත්තේ යම් හෙයකින් තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව ප්‍රසිද්ධියේ කිවහොත් හෝ ඒ බවක් ඇඟවුවහොත් ඒ මොහොතේ සිටම ජනාධිපතිවරයා කිසිවකුත් ගණන් නොගන්නා, එසේත් නොමැති නම් ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ නම්, ඛ්පැ ාමජන චරුිසාැබඑ කෙනකු බවට පත්වන නිසාය. ඒ සම්බන්ධයෙන් කවුරුත් නොදන්නවා වුණාට ජනාධිපතිවරයාට හොඳහැටි අතීත අත්දැකීම් තිබේ.
ඩීබීට වෙච්ච වැඩේ
හිටපු ජනාධිපති ඩී.බී. විජේතුංග මහතාගේ සමයේදී රනිල් මෙය පළමු වතාවට අත්දැක්කේය. ඒ කාලයේදී ගාමිණී දිසානායක නැවත වතාවක් එජාපයට එක්වීමට සාකච්ඡා පවත්වමින් සිටි අතර, ගාමිණී ජනාධිපති අපේක්ෂකයා බවට පත්වන බවටද ඒ කාලයේ ලොකු කැම්පේන් එකක් අරගෙන ගියේය. නමුත් රනිල් සිටියේ ඩී.බී. නැවත ජනාධිපති ධුරය සඳහා තරග වැදිය යුතු බවට වූ ස්ථාවරයේය. ඒ අනුව රනිල් ඇතුළු පිරිසක් ඩී.බී.ට පෙන්වා දුන්නේ ජනාධිපති ධුරයේ සිටියදීම එම බලය උපයෝගී කොට ගෙන ජනාධිපතිවරණය පවත්වා ජයග්‍රහණය කිරීමට සැලසුම් කළ යුතු බවය. නමුත් තවත් පිරිසකයේ අදහස වූයේ පළමුව මහ මැතිවරණය පවත්වා එය ජයගෙන ආණ්ඩුවක් පිහිටුව යුතු යැයි කියාය. අවසානයේදී ඩී.බී. ජනාධිපතිවරණය නොකැඳවා මහ මැතිවරණය කැඳවීමට පියවර ගත්තේය. අන්තිමේදී ඩී.බී. ගත් මෙම වැරැදි දේශපාලන තීන්දුව හේතුවෙන් එජාපය පරාජයට පත්ව හතරගාතේ දා ඇද වැටිණි. පසුව හොඳටම බියවී සිටි ඩී.බී. තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව කල් තියාම ප්‍රකාශයට පත් කළේය. එතැන් සිට කවුරුත් ඩී.බී.ව ගණන් නොගැනීම නිසා හෙතෙම ඛ්පැ ාමජන ජනාධිපතිවරයකු බවට පත්ව කටයුතු කළ ආකාරයක් දැකගත හැකි විය.
මේ අත්දැකීම හොඳින් දන්නා ජනාධිපතිවරයා ද මේ වන විට කරන බව කියන්නේ තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව නොකියා ඉදිරිපත් වන බව පෙන්වමින් සිය කටයුතු කරගෙන යාමය. යම් හෙයකින් තමන් ජනාධිපතිවරණයට නොඑන බව පැවැසුවහොත් තමන් වටේ සිටින කිසිවකුත් තමන් ගණන් නොගන්නා බවද ජනාධිපතිවරයා හොඳ හැටි දනී. ජනාධිපතිවරයාගේ මෙම ශාරීරික ඉරියව් හෙවත් බොඩි ලැන්ග්වේජ් එක හොඳින්ම දන්නා ඔහු සමීපයේ සිටින පිරිස පළමුව මහ මැතිවරණය පැවැත්විය යුතු බවට ජනාධිපතිවරයාට බලපෑම් කරමින් සිටින්නේ මේ හේතුව නිසාය. ඔවුන්ගේ සැලසුම වී ඇත්තේ ජනාධිපතිවරයා බලයේ සිටියදීම මහ මැතිවරණයක් කැඳවුවහොත් කෙසේ හෝ පොහොට්ටුව සමග එක්ව එජාපයෙන් කිහිප දෙනකු පාර්ලිමේන්තුවට පැමිණිය හැකි බවට වූ ස්ථාවරයකය. එසේ වුවහොත් සජබය සමග එක්ව හෝ ආණ්ඩුවක් පිහිටුවිය හැකි බව ඔවුන්ගේ ගණන් හැදිල්ල වී තිබේ. අප මේ සම්බන්ධයෙන් පසුගිය සති දෙක තුළ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ විශේෂ හෙළිදරව්වක් කිරීමටද කටයුතු කළෙමු. කෙසේ වෙතත් බැසිල් දැන් තියාම ධම්මිකව ඉදිරියට ගෙන ජනාධිපතිවරණ සටනට සූදානම් වන්නේ රනිල්ගේ මෙම සැලසුම හොඳහැටි දැනගෙනය.
ටීඑන්ඒ කචල් එක
දෙමළ ජාතික සන්ධානයේ නායක වන රජවරෝතියම් සම්බන්දන් හෙවත් ආර්. සම්බන්දන් හට මේ වන විට වයස අවුරුදු 90කි. 2001 සිටම දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය දරා සිටින සම්බන්දන් මේ වන විට අවුරුදු 22ක් එක දිගට දෙමළ සන්ධානයේ නායකත්වය දරා වාර්තාවක්ද තබා තිබේ. කලක් තිස්සේ පවතින අසනීප තත්ත්වය සහ වයස හේතුවෙන් දැන් දන් සම්බන්ධන් වැඩිය ප්‍රසිද්ධ දේශපාලන කටයුතුවලට සම්බන්ධ වන්නේ නැත. ඒ වෙනුවට උතුරේ දෙමළ සන්ධානයේ කටයුතු රැසක් සිදුකෙරෙන්නේ ශිවඥානම් ශ්‍රීදරන්ගේ නායකත්වය යටතේය. දකුණේ දේශපාලන කටයුතු වැඩි හරියක් කෙරෙන්නේ එම්.ඒ. සුමන්තිරන්ගේ නායකත්වය යටතේය. මෙම පසුබිම යටතේ මේ වන විට සම්බන්දන්ට නායකත්වයෙන් ඉවත් වන ලෙසට පක්ෂය ඇතුළෙන්ම දැඩි බලපෑමක් එල්ල වෙමින් පවතින අතර පක්ෂයේ නව නායකත්වය සඳහා ශ්‍රීධරන් හා සුමන්තිරන් අතර විශාල තරගයක් හටගෙන ඇති ආකාරයක් දැකගැනීමට හැකිය.
සුමන්තිරන්ද ශ්රීධරන්ද
මෙහිදී දෙමළ ඩයස්පෝරාවේ වැඩි සහායක් හිමිව ඇත්තේ ශ්‍රීධරන් හටය. ඔවුන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට බලපෑම් කරමින් කියා සිටින්නේ ශ්‍රීධරන් දෙමළ සන්ධානයේ ඊළඟ නායකයා කළ යුතු යැයි කියාය. නමුත් ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් රැසක් සිටින්නේ සුමන්තිරන් දෙමළ සන්ධාන නායකයා විය යුතුය යන ස්ථාවරයේය. දැනටමත් උතුරේ දෙමළ සන්ධානය සමග සිටි සහෝදර පක්ෂ ණනාවක් වෙන් වෙන්ම දේශපාලන කටයුතු ආරම්භ කොට තිබීම නිසා සියලු දෙනාගේම අදහස වී ඇත්තේ මෙම සියලු පක්ෂ එක්කළ හැකි නායකකු දෙමළ සන්ධානයේ නායකත්වයට පත්විය යුතු යැයි කියාය.
මෙවැනි පසුබිමක් යටතේ පසුගිය සතියේ විශේෂ ප්‍රකාශයක් සිදුකළ සුමන්තිරන් කියා සිටියේ දෙමළ සන්ධානයේ නව නායකත්වය පක්ෂය අභ්‍යන්තරයේ ඡන්දයක් පවත්වා තෝරාගත යුතු යැයි කියාය. එය වඩාත් ප්රජාතන්ත්රවාදී ක්රමවේය බවද සුමන්තිරන් කියා සිටියේය. එමෙන්ම වැඩිදුරටත් අදහස් දක්වමින් සුමන්තිරන් කියා සිටියේ තමන්ට මේ වන විට වයස අවුරුදු 60ක් බවත්, තවත් අවුරුදු පහකින් තමන් දේශපාලනයෙන් විශ්‍රාම යන බවත්ය. අතීතයේ සිටි දේශපාලන නායකයන් කළ වැරැද්ද කිරීමට තමන් සූදානම් නොමැති බවද සුමන්තිරන් එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.