හයිවේ එකත් වහලා මහ රෑ හොර රහසේම ආ ගුවන් යානා දෙකේ ආවේ කව්ද?
සජිත් පුංචිහේවාට කතා කරයි!
චීනය නැතිව IMF යන්න ආණ්ඩුව තීන්දුවක් ගනී!
ගෝඨාට ඉන්න තැන එපා වෙයි!
දිනේෂ්ට අගමැතිකම නැති වෙයිද?
මැතිවරණ කොමිසම අතුරේ ගිය අසීරු ගමන!
පළාත් පාලන මැතිවරණය කල්දැමීමට ආණ්ඩුව 22 වතාවක් විවිධ උපක්‍රම, කකුල් මාට්ටු දමමින් කටයුතු කළද ඒ සියලු උපක්‍රම පරාජයට පත්කරමින් සහ කකුල් මාට්ටු මඟහරිමින් මැතිවරණ කොමිසමේ සභාපති, නීතිඥ නිමල් ජී. පුංචිහේවා, මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ඇතුළු කොමිසමේ අතිබහුතරයක් සාමාජිකයන් මැතිවරණ ක්‍රියාවලිය දිගටම සිදුකරගෙන ගිය ආකාරයක් පසුගිය සතිය වනතුරු දැකගන්නට ලැබිණි. පසුගිය සතියේදීත් මැතිවරණ කොමිසම මැතිවරණය පැවැත්වීමට තවත් පියවර දෙකක් ඉදිරියට තබමින් නිවේදන දෙකක් නිකුත් කිරීමට පියවර ගත්තේය. ඉන් එක් නිවේදනයක සඳහන් වූයේ රාජ්‍ය ආයතනවල මැතිවරණ අපේක්ෂකයන්ගේ ප්‍රචාරක කටයුතු සිදුකිරීම තහනම් බවකි. නිකුත් කළ අනෙක් නිවේදනය හරහා ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා මැතිවරණ කොමිසම තුළ වෙනම ඒකකයක් ස්ථාපනය කළ බව දැනුම් දීමට පියවර ගෙන තිබිණි.
මුද්‍රණාලයාධිපතිනි ගංගානි හදිසියේම වෙනස් වෙයි! කොමිසමට ලියුමක් එවයි!
ඒ අනුව පසුගිය සතිය ආරම්භ වන විට මැතිවරණයේ ප්‍රධාන මාතෘකාව බවට පත්ව තිබුණේ තැපැල් ඡන්දය පැවැත්වීමය. ලබන 22, 23, 24 යන දිනවල තැපැල් ඡන්දය පැවැත්වීමට නියමිතව තිබුණු අතර, ඊට අදාළව තැපැල් ඡන්ද පත්‍රිකා නිදහස් කිරීම යෙදී තිබුණේ පසුගිය බදාදා (15) දිනටය. එය දැනුම් දෙමින් මැතිවරණ කොමිසම රජයේ මුද්‍රණාලයාධිපතිනිය වන ගංගා කල්පනී ලියනගේ මහත්මිය හට ලිඛිතව දැනුම් දීමටද පියවර ගෙන තිබිණි. ඒ අනුව කොමිසම සිතා සිටියේ සැලසුම් කර ඇති පරිදි තැපැල් ඡන්ද පත්‍රිකා 15 වැනිදා නිකුත් වනු ඇති බවත්, ඉන් අනතුරුව නියමිත දිනට සැලසුම් කර ඇති පරිදි තැපැල් ඡන්දය පැවැත්වීමට හැකි වනු ඇති බවත්ය. නමුත් හිටිහැටියේම තැපැල් ඡන්ද පත්‍රිකා නිදහස් කිරීම සම්බන්ධයෙන් යම් ගැටලුවක් මතුවූයේ මීට ප්‍රතිචාර දක්වමින් රජයේ මුද්‍රණාලයාධිපතිනිය විසින් මැතිවරණ කොමිසමට ලිපියක් යොමුකරනු ලැබීමත් සමගය. ඇය එම ලිපියෙන් කොමිසමට දැනුම්දී තිබුණේ තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීමට නම් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට අවශ්‍ය මිලියන 400න් මිලියන 40ක මුදලක් තමන්ට අවශ්‍ය යැයි කියාය. එසේ නොවන්නේ නම් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීමේ හැකියාවක් තමන්ට නැති බව ඇය සිය ලිපියෙන් කියා තිබිණ.
පිටු 2ක ලියුම මෙන්න!
පහත දැක්වෙන්නේ ඒ සම්බන්ධව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ මැතිවරණ කොමිසම වෙත ඉකුත් 13 වන දින නිල වශයෙන් දන්වා යවා තිබූ පිටු දෙකකින් සමන්විත ලිපියයි.
සභාපති, මැතිවරණ කොමිෂන් සභාව,
මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය,
සරණ මාවත,
රාජගිරිය.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම – 2023ට අදාළව මැතිවරණ මුද්‍රණ කටයතු සිදුකිරීම සඳහා.
2022/12/27 දිනැති අංක 09/2022, 2023.01.27 දිනැති අංක 01/2023 හා 2023/02/02 දිනැති අංක 02/2023 දරන අයවැය චක්‍රලේඛ මගින් රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් උපදෙස් ලබාදී ඇත. ඒ අනුව මෑතකදී කරන ලද බදු සංශෝධන තුළින් අපේක්ෂිත ආදායම් ඉලක්ක සපුරා ගන්නා තෙක් අත්‍යවශ්‍යම රාජ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අත් මුදල් නිදහස් කිරීමටත් ඒ අනුව, වැටුප්, විශ්‍රාම වැටුප්, සුබසාධන වියදම්, වෛද්‍ය සැපයීම්, ණය සේවාකරණය සහ අයවැය චක්‍රලේඛන මගින් ප්‍රමුකතා ගතකර ඇති අත්‍යවශ්‍ය වියදම් පමණක් භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්ගේ නිල බැංකු ගිණුම මත පවතින ද්‍රවශීලතාව සලකා බැලීමෙන් පසු අත් මුදල් නිදහස් කරන බවටත් දන්වා ඇත. තවද, එම කොන්දේසිවලට පටහැනිව යම් බැඳීමක් නිලධාරීන් විසින් ඇති කර නොගත යුතු බවත්, එවැනි නියමයන් කඩ කරන නිලධාරීන් පුද්ගලිකවම ඒ සඳහා වගකිවයුතු බවද අවධාරණය කර ඇත.
- කෙසේ නමුදු, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම – 2023 මැතිවරණ දිස්ත්‍රික්ක 25කට අදාළව මැතිවරණය පවත්වනු ලබන දිනය මාර්තු 09 වශයෙන් 2023-01-30 දිනැති අංක 2317-02 සිට 2317-26 දක්වා අති විශේෂ ගැසට් පත්‍ර 25 ක් මගින් ප්‍රකාශයට පත්කර ඇත. තවද තැපැල් ඡන්ද සළකුණු කිරීමේ දිනය 2023.02.22, 23 හා 24 වශයෙන් නිවේදනය කර ඇත.
- ඒ අනුව පළාත් පාලන ආයතන 339ක දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් විසින් සකස් කරන ලද ඡන්ද පත්‍රිකා ආදර්ශයන් හා ඡන්ද පත්‍රිකා ඇණවුම් 339ක් එවනු ලබන බවට සඳහන් ඔබගේ අංක ඛ්ෑ/2023/03 දරන 2023.01.23 දිනැති දැන්වීම ඇනුව මේ වන විට ඇණවුම් සියල්ල ලැබී ඇත. (ඇමුණුම 01) එමෙන්ම, තැපල් ඡන්ද නිකුත් කිරීමේ කටයතු සඳහා අවශ්‍ය වන සියලු ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර 2023.02.13 දින වන විටදී මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබාදෙන ලෙස ඔබගේ අංක ඛ්ෑ /2023/03 2023.02.10 දිනැති ලිපිය මගින් ඉල්ලා ඇත. (ඇමුණුම 02)
- එහෙත්, උක්ත මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකළ පෙත්සමක් විභාග වන බැවින් එහිද අවසන් විනිශ්චයක් ලබාදී නොමැති හෙයින් උක්ත ඡන්ද පත්‍රිකා මුද්‍රණය හා ඒ සම්බන්ධයෙන් වන පිරිවැය දැරීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇත. දැනට ඉදිරිපත් කර ඇති ඇස්තමේන්තුව ප්‍රකාරව ඡන්ද විමසීමට අදාළව සමස්ත මුද්‍රණයට අදාළ පිරිවැය රුපියල් මිලියන 410.6කි.
(මගේ අංක ඍෑඪරැ්ඨඡ/03/02/03/2023 දරන 2023.01.25 දිනැති හා මගේ අංක ඍෑඪරැ්ඨඡ/03/02/07/2023 දරන 2023.02.10 දිනැති ලිපි මගින් දන්වා ඇති පරිදි) - ඒ අනුව දැනට අධිකරණ කටයුත්තක් පවතින නමුත්, ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා ඇණවුම් ලැබී ඇති බැවින් උක්ත 01 ඡේදයෙහි සඳහන් අයවැය චක්‍රලේඛ මගින් රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් ලබාදී ඇති උපදෙස්වලට අනුකූල වන පරිදි, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් එකී මුද්‍රණ කටයතු සඳහා වියදම් දැරිය යුතු වන හෙයින් අදාළ මුදල ලබාදීමට කටයතු කරදෙන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.
ගංගානි ලියනගේ
රජයේ මුද්‍රණාලයාධිපති
කොමිසම තිගැස්සෙයි! පක්ෂ ලේකම්වරුන්ට තත්ත්වය දැනුම් දෙයි!
පසුගිය සඳුදා (13) රජයේ මුද්‍රණාලයාධිපතිනිය මෙම ලිපිය කොමිසම වෙත ඉදිරිපත් කිරීමත් සමග කොමිසමේ සාමාජිකයන්ද තරමක් තිගැස්සුණු ආකාරයක් දැකගත හැකි විය. ඒ, අවසන් මොහොතේ මුද්‍රණාලයාධිපතිනිය එවා තිබූ මෙම ලිපිය හේතුවෙන් සැලසුම් කර තිබූ පරිදි 15 වැනි බදාදා දින තැපැල් ඡන්ද පත්‍රිකා නිදහස් කිරීමේ අවස්ථාව අහිමි වී යාමේ අවදානමක් මතු වන බව වැටහී යාමත් සමගය. එමෙන්ම එදිනම පෙරවරුවේ මැතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලු පක්ෂ මහලේකම්වරුන් සහ නියෝජිතයන් කැඳවා තිබූ බැවින් එම සාකච්ඡාවේදී ඔවුන්ට මුද්‍රණාලයාධිපතිනිය විසින් එවා ඇති ලිපියේ තොරතුරුද දැනුම් දීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය.
ගංගානිවයි මහින්ද සිරිවර්ධනයි ජනාධිපති ලේකම් කාර්යාලයට ගෙන්වලා!
කෙසේ වෙතත් මුද්‍රණාලයාධිපතිනියගේ මෙම ලිපිය පසුපසද කිසියම් අස්වාභාවික සිදුවීමක් ඇති බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාත්, නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතාත් පසුගිය සතියේ ප්‍රසිද්ධ වේදිකාවේදී සඳහන් කර සිටියහ. එහිදී ඔවුන් දෙදෙනාම අවධාරණය කර සිටියේ ජනාධිපතිවරයා විසින් මහා භාණ්ඩාගාර ලේකම්වරයාත්, රජයේ මුද්‍රණාලයාධිපතිනියත්, නීතිපතිවරයා ඇතුළු තවත් ඉහළ පෙළේ නිලධාරීන් කිහිප දෙනකුත් හදිසියේ සාකච්ඡාවක් සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා ඇති බවත්, ඉන් අනතුරුව මුද්‍රණාලයාධිපතිනිය විසින් මෙම ලිපිය කොමිසම වෙත යොමුකර ඇති බවත්ය. එම අනාවරණයේ සත්‍ය අසත්‍යතාව කුමක්ද යන්න අප නොදන්නා නමුත් අනුර කුමාරත්, මෛත්‍රී ගුණරත්නත් ප්‍රසිද්ධියේම කළ මෙම අනාවරණය ප්‍රතික්ෂේප කිරීමට තවමත් ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් හෝ මුද්‍රණාලයාධිපතිනියගේ පාර්ශ්වයෙන් කටයුතු කොට නොතිබීම විශේෂ සිදුවීමකි.
ඡන්දෙට කඩදාසි ඇති තරම්! යන්නෙත් බිලියන 2යි! චැපැල් ඡන්ද ලක්ෂ 3කුත් ගහලා!
මීට අමතරව පසුගිය සතියක ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප අනාවරණ කර සිටි කාරණයක් වූයේ මැතිවරණය සඳහා රුපියල් බිලියන 10ක මුදලක් වැයවන බවට ඇස්තමේන්තු කර තිබුණත්, පළමු අදියරේදී ඊට වැය වන්නේ බිලියන 02ක් වැනි මුදලක් පමණක් බවකි. එය මැතිවරණ පත්‍රිකා මුද්‍රණය කිරීම ඇතුළු ප්‍රධාන කටයුතුවලට යොදාගන්නා අතර, අනෙකුත් සියලු වියදම් අදාළ පාර්ශ්වයන් වෙත ගෙවනු ලබන්නේ මැතිවරණය අවසන් කොට සති කිහිපයක් ඉක්ම යෑමෙන් අනතුරුවය. ඉතිහාසය පුරා පැවැති සෑම මැතිවරණයකදීම සිදුව තිබූ පොදු පටිපාටිය වූයේද මෙයය. ඒ අනුව මෙවරද එම සම්ප්‍රදායට අනුව රජයේ මුද්‍රණාලය විසින් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ආරම්භ කර තිබූ අතර, යටකී ලිපිය මුද්‍රණාලයාධිපතිනිය විසින් කොමිසම වෙත යොමුකරන විටත් ලක්ෂ 03කට අධික තැපැල් ඡන්ද පත්‍රිකා ප්‍රමාණයක් මුද්‍රණය කොට තිබූ බවක් වාර්තා වී තිබිණි. එමෙන්ම තවත් මැතිවරණ දෙකකට අදාළව ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට අවශ්‍ය කඩදාසි මුද්‍රණාලයේ ඇති බව මුද්‍රණ සේවකයනුත්, අනුර කුමාර දිසානායකත් මාධ්‍යයට සඳහන් කර තිබිණි.
වහාම නඩු දාන්න! කොමිසමත් සූදානමින්!
කෙසේ වෙතත් කොමිසම සහ පක්ෂ ලේකම්වරුන් අතර පැවැති සාකච්ඡාවේදී කොමිසමේ සභාපතිවරයා මතුව ඇති අලුත්ම තත්ත්වය පිළිබඳ දේශපාලන පක්ෂ නියෝජිතයන් දැනුවත් කිරීමට පියවර ගත්තේය. මුද්‍රණාලයාධිපතිනිය විසින් මේ ආකාරයේ ලිපියක් යොමුකර ඇති බවත්, ඒ පිළිබඳ ඇය සමග දැනටමත් සාකච්ඡා කොට ඇති බවත්, එම සාකච්ඡාවේ තොරතුරුද දේශපාලන පක්ෂ නියෝජිතයන්ට දැනුම් දීමට කොමිසමේ සභාපති පුංචිහේවා පියවර ගත්තේය. මෙම තොරතුරු අනාවරණ වීමත් සමග දේශපාලන පක්ෂ නියෝජිතයන් දැඩිව කොමිසමේ සාමාජිකයන්ට කියා සිටියේ තවදුරටත් මැතිවරණය පවත්වන ස්ථාවරයේ සිට ඉදිරි කටයුතු සිදුකරන්න යැයි කියාය. එමෙන්ම කිසියම් අයකු මැතිවරණය කඩාකප්පල් කිරීමට කටයුතු කරන්නේ නම් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් මැතිවරණ නියෝජිතයෝ කොමිසමෙන් ඉල්ලා සිටීමටද පියවර ගත්හ. ඊට ප්‍රතිචාර දක්වමින් කොමිසමේ සභාපති පුංචිහේවාද කියා සිටියේ තමන් ඇතුළු කොමිසම කලින් සිටියාක් මෙන්ම මැතිවරණය පවත්වන ස්ථාවරයේ දිගටම සිටින බවකි.
සාගරයි රංගේයි හ්ම් නෑ!
මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ රැස්වීමට සහභාගි වී සිටි ආණ්ඩුව නියෝජනය කරන ප්‍රධාන පක්ෂ දෙකේ මහලේකම්වරුන් වූ සාගර කාරියවසම් මහතාත්, පාලිත රංගේබණ්ඩාර මහතාත් වචනයකුදු හෝ නොකියා නිහඬව සිටීමය. සාමාන්‍යයෙන් මාධ්‍ය හමුවේ කතා කරද්දී සාගර කාරියවසම් මුල සිටම කියා සිටියේ පොහොට්ටුව මැතිවරණයට සූදානම් යැයි කියාය. පොහොට්ටුව මැතිවරණවලට බය නැතැයි කියාය. එය රටටම පෙන්වමින් මාධ්‍ය හමුවේ ප්‍රකාශ නිකුත් කළා පමණක් නොව, දිස්ත්‍රික්ක කිහිපයකටම පොහොට්ටු අපේක්ෂකයන් කැඳවා මැතිවරණය සම්බන්ධයෙන් ප්‍රචාරක කටයුතු සිදුකරන ආකාරය පිළිබඳවද සාගර කාරියවසම් සාකච්ඡා කිරීමට පියවර ගෙන තිබිණි. ඒ අයුරින් රටට පේන්නට මැතිවරණයට බය නැති බවත්, මැතිවරණය පවත්වන ලෙසත් සිංහ නාද කළ සාගර කාරියවසම් එදින රැස්වීමේදී මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වචනයක් හෝ කතා නොකිරීම පැමිණ සිටි අනෙක් අයගේද පුදුමයට හේතු වූ කාරණාවක් විය. ඒ හරහා පොහොට්ටුවද මෙම මැතිවරණ කල්දැමීමේ කුමන්ත්‍රණය පසුපස ප්‍රධාන භූමිකාවක් නිරූපණය කරන ආකාරයක් සාකච්ඡාවට පැමිණ සිටි සියලු දෙනාටම දැකගත හැකි කරුණක් විය. සාකච්ඡාව අවසානයේදී මැතිවරණ කොමිසමෙන් එළියට පැමිණි සමගි ජන සන්ධානයේ පක්ෂ නායකයකු වන මනෝ ගනේෂන් මේ බව පැහැදිලිවම මාධ්‍ය හමුවේ සඳහන් කර සිටීමට පියවර ගත්තේය.
ගංගානිට හිරේ යන්න වෙයිද?
එපමණක් නොව සාකච්ඡාවට සහභාගි වී සිටි පොහොට්ටුව හා එජාප නියෝජිතයන් හැරුණු කොට අනෙකුත් සියලු සාමාජිකයන් මාධ්‍ය හමුවේ මැතිවරණය කල්දැමීමට ආණ්ඩුව දරන උත්සාහය දැඩිව හෙළාදැකීමටද පියවර ගත්තේය. එමෙන්ම සජබ නියෝජිතයනුත්, ජවිපෙ නියෝජිතයනුත්, ප්‍රකට නීතිඥවරුනුත් පැහැදිලිවම කියා සිටියේ මුද්‍රණාලයාධිපතිනිය සිදුකළ මෙම කටයුත්ත මැතිවරණය පැවැත්වීම නැවැත්වීමේ අරමුණෙන් කළ එකක් බවත්, ඊට එරෙහිව නිශ්චිත වශයෙන්ම අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත්ය. එහිදී අධිකරණය හමුවේ වරදකරු බවට පත්වුවහොත් අනිවාර්යයෙන්ම වසර 03ක සිර දඬුවමක් විඳීමට මෙම නිලධාරීන්ට සිදුවන බවද ඔවුහු එහිදී අවධාරණය කර සිටියහ.
ගංගානිත් පදේ වෙනස් කරයි! රහස් ලියුමක් ලියයි!
මේ තත්ත්වයත් සමග සමාජය ඇතුළෙන් ප්‍රබල බලපෑමක් මුද්‍රණාලයාධිපතිනිය හට එල්ල වන ආකාරයක් දැකගත හැකි විය. ඒත් සමග ඇයද යම් තිගැස්මකට ලක්වූ ආකාරයක් දැකගන්නට ලැබිණි. එහි ප්‍රතිඵලය වූයේ ඉතා රහසිගත ආකාරයට මුද්‍රණාලයාධිපතිනිය විසින් මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා වෙත තවත් විශේෂ ලිපියක් යොමුකිරීමය. මේ වන තෙක්ම ඒ ලිපිය පිළිබඳ කිසිදු තොරතුරක් මාධ්‍ය විසින් වාර්තා කොට නැති අතර ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප පළමු වරට මෙම ලිපිය පිළිබඳ තොරතුරු අනාවරණ කිරීමට සූදානම්ය. අපට ඇති තොරතුරුවලින් කියවෙන්නේ මෙම ලිපිය මගින් මුද්‍රණාලයාධිපතිනිය තමන් මෙම අර්බුදයෙන් නිදහස් කරන ලෙස මුදල් අමාත්‍යංශ ලේකම්වරයාගෙන් ඉල්ලා ඇති බවය. මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කොට ඇති චක්‍රලේඛය හේතුවෙන් මැතිවරණය සඳහා ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ හැකියාවක් තමන්ට නැති බවත්, එම නිසා අදාළ චක්‍රලේඛයෙන් තමන්ව මුදාහරින ලෙසත්, එසේත් නොමැති නම් මැතිවරණයේ ඉදිරි කටයුතු සිදුකරගෙන යෑම සඳහා තමන්ට මුදල් නිදහස් කරන ලෙසත් ඇය මෙම ලිපිය මගින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම්දී ඇති බවක්ද ආරංචිය. මීට අමතරව මතුව ඇති තත්ත්වය පිළිබඳ තවත් දීර්ඝ විස්තරයක්ද ඇය විසින් සිය ලිපිය හරහා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට පැහැදිලි කර ඇති බවද දැනගන්නට ඇත.
සජිත් පුංචිහේවාට හයිය දෙයි!
කෙසේ වෙතත් පක්ෂ ලේකම්වරුන් සහ කොමිසම අතර පැවැති සාකච්ඡා අවසන් වීමෙන් පසු සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර විසින් කොමිසමේ සභාපතිවරයා හා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර දුරකතන සංවාදයක් පැවැත්වීම සඳහා පසුබිම සකසා දීමට පියවර ගනු ලැබිණ. දීර්ඝ වේලාවක් පැවැති මෙම දුරකතන සංවාදයේදී සජිත් කොමිසමේ සභාපති පුංචිහේවා මහතාගෙන් ඉල්ලා සිටියේ මැතිවරණය පැවැත්විම සඳහා මෙතෙක් දැක්වූ ඍජුභාවයම ඉදිරියේදීත් දරන ලෙසය. ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජන බලවේගය මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙනුවෙනුත්, මැතිවරණ කොමිසම වෙනුවෙනුත් නොබියව පෙනී සිටින බවද මෙහිදී සජිත් කොමිසමේ සභාපතිවරයාට දැනුම් දී සිටියේය. එමෙන්ම මැතිවරණය කඩාකප්පල් කිරීම සඳහා නියමින් හෝ අනියමින් කටයුතු කරන සියලු දෙනාටම සමගි ජන බලවේගය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද මෙහිදී සජිත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට දැනුම් දී සිටියේය. ඊට ප්‍රතිචාර දක්වමින් කොමිසමේ සභාපතිවරයාද සජිත්ට දැනුම් දී සිටියේය. ඊට ප්‍රතිචාර දක්වමින් පුංචිහේවා කියා සිටියේ තමන් ඇතුළු සාමාජිකයන් මෙතෙක් සිදුකළ ආකාරයටම මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් ඉදිරියටත් ඍජුව පෙනී සිටිනවා යැයි කියාය.
සජබය වහා මන්ත්‍රී කණ්ඩායම රැස් කරයි! තීන්දු රැසක් ගනී!
ඉන් අනතුරුව මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විපක්ෂ නායක කාර්යාලයේ විශේෂ සජබ මන්ත්‍රී කණ්ඩායම් හමුවක් පැවැත්විණි. කොමිසම සමග පැවැති සාකච්ඡාව නිමවා රංජිත් මද්දුමබණ්ඩාර කෙළින්ම විපක්ෂ නායක කාර්යාලයට පැමිණියේ මෙම සාකච්ඡාවට සහභාගි වීම සඳහාය. ඒ අනුව පැවැති සාකච්ඡාවේදී විශේෂ තීන්දු තීරණ කිහිපයක්ම ගැනීමට සජබ මන්ත්‍රී කණ්ඩායම පියවර ගත්හ. ඉන් පළමු තීන්දුව වූයේ මැතිවරණයට බාධා කිරීමට කටයුතු කරන භාණ්ඩාගාර ලේකම්වරයා සහ මුද්‍රණාලයාධිපතිනියට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි නඩු පැවරීමේ අවස්ථාව පිළිබඳ සොයාබැලීමය. එය පක්ෂයේ නීතිඥ කණ්ඩායමට භාරදීමට ඒ මොහොතේදීම පියවර ගැනිණි. එමෙන්ම ආණ්ඩුවේ මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුත්තට එරෙහිව වහාම සියලු තානාපති කාර්යාල දැනුවත් කිරීමටද තීන්දුවක් ගැනිණි. එම කටයුත්ත භාරදුන්නේ හර්ෂණ රාජකරුණා මහතාටය. ඒ අනුව හර්ෂණ පළමුව කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගත් අතර, ඉන් අනතුරුව මෙරට පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් හමුවී ඔවුන්වද මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පියවර ගත්තේය. ඊළඟ තීන්දුව වූයේ මැතිවරණය කල්දැමීමට දරන උත්සාහයට විරෝධය පළකොට පක්ෂ මහලේකම්වරයා විසින් නිවේදනයක් නිකුත් කිරීමට තීන්දු කිරීමය. එම නිවේදනය මෙසේය.
සජබ මහලේකම්ගේ නිවේදනය මෙන්න!
මැතිවරණය කල් දැමීමේ ආණ්ඩුවේ උන්මත්තක ක්‍රියාවට එරෙහිව සියලු බලවේග එකට එක්වෙමු.
ජනතා පරමාධිපත්‍යය මංකොල්ලකෑමට ආණ්ඩුව විසින් ගනු ලබන නවතම නාඩගම කරළියට පැමිණ ඇත්තේ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණයට මුදල් වෙන් නොකිරීමට තීන්දු කිරීමෙනි.
ජනමතයක් නොමැති ආණ්ඩුව මැතිවරණය පැවැත්වීමට බියවී ඇති අතර, ඒ හේතුවෙන් මැතිවරණය කල්දමා ගැනීමට සිදුකරන කුමන්ත්‍රණ තවම අවසන්ව නැත. 22 වැනි වතාවටත් ආණ්ඩුව මැතිවරණය කල්දැමීම උදෙසා තවත් බියගුළු වෑයමක් ගෙන තිබේ.
කෙසේ වෙතත් මැතිවරණය කල්දැමීම උදෙසා ආණ්ඩුව දිගින් දිගටම ගත් කූට උපක්‍රම එකින් එක නීතිය ඉදිරියේ පරාජය විය.
මැතිවරණය යනු ව්‍යවස්ථාපිත අවශ්‍යතාවක් වන අතර, එය උල්ලංඝනය කිරීමට කිසිවකුට බලයක් නැති බව අවධාරණය කළ යුතුය. මැතිවරණ කල්දැමීමේ ආදීනව පිළිබඳ කුප්‍රකට ඉතිහාසගත සිදුවීම් අප රටක් ලෙස අවස්ථා රැසකදී අත්දැක ඇති අතර නැවත ඒ කළු සිදුවීම් වීමට තිබෙන සියලු මාර්ග වසාදැමිය යුතුය. මැතිවරණය කල්දැමීම උදෙසා කුමන්ත්‍රණ කරන සියලු දෙනාට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට සහ නීතිය ඉදිරියේ උපරිම දඬුවම් ලබාදීමට අප නොපසුබටව කටයුතු කරන බව දන්වා සිටිමු.
එබැවින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම බරපතළ ලෙස උල්ලංඝනය කරමින් මැතිවරණය කල්දැමීමට හෝ නොපැවැත්වීමට ආණ්ඩුව ගනු ලබන බියගුළු ක්‍රියාවන්ට එරෙහිව විපක්ෂයේ සියලු බලවේග සහ සෙසු සියලු ප්‍රගතිශීලී බලවේග එක කඳවුරකට ගොනුවිය යුතු අවස්ථාව උදාවී තිබේ.
එය මේ මොහොතේ පැහැර හැරිය නොහැකි වගකීමක් වන අතර උන්මත්තක ආණ්ඩුවට ජනතා පරමාධිපත්‍ය සමග සෙල්ලම් කිරීමට ඉඩ නොදීමේ තීරණාත්මක අවස්ථාව උදාවී ඇති බවද සිහිපත් කරමි.
රංජිත් මද්දුමබණ්ඩාර
මහලේකම්,
සමගි ජන බලවේගය.
2023.02.14
කොමිසමත් නිවේදනයක් නිකුත් කරයි!
මේ අතර සඳුදා පස්වරුවේම මතුව ඇති තත්ත්වය පැහැදිලි කරමින් මැතිවරණ කොමිසම කෙටි නිවේදනයක් නිකත් කිරීමටද කටයුතු කළේය. එම නිවේදනයෙන් දැක්වුණේ කොමිෂන් සභාවේ පාලනයෙන් තොරව නොවැළැක්විය හැකි හේතුවක් මත තැපැල් ඡන්ද නිකුත් කිරීම සඳහා ඡන්ද පත්‍රිකා ලබාගැනීමට නොහැකිව ඇති බැවින් 15 වැනි දින (බදාදා) තැපැල් ඡන්ද නිකුත් කිරීම සිදු නොකරන බවකි. එම දිනය පසුව දැනුම් දෙන බවද එහි සඳහන් විය.
නිවේදනය මෙන්න!
එම කෙටි නිවේදනය මෙසේය.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම 2023
තැපැල් ඡන්ද නිකුත් කිරීම කල්දැමීම දැනුම්දීම.
2023.03.09 දිනට පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද නිකුත් කිරීම 2023.02.15 දින මධ්‍යස්ථාන 1116කදී පැවැත්වීමට අදාළ සියලු කටයුතු සංවිධාන කොට තිබිණි.
එහෙත් කොමිෂන් සභාව පාලනයෙන් තොර නොවැළැක්විය හැකි හේතුන් මත තැපැල් ඡන්ද නිකුත් කිරීම සඳහා ඡන්ද පත්‍රිකා ලබාගැනීමට නොහැකිව ඇති බැවින් 2023.02.15 දින තැපැල් ඡන්ද නිකුත් කිරීම සිදුනොකරනු ඇත. තැපැල් ඡන්ද නිකුත් කිරීමේ දිනය පසුව දැනුම් දෙනු ලබන බව මෙයින් නිවේදනය කරනු ලැබේ.
මැතිවරණ කොමිෂන් සභාවේ නියමය පරිදි,
සමන් ශ්‍රී රත්නායක
මැතිවරණ කොමසාරිස් ජනරාල්
මාධ්‍ය ආයෙමත් අතේ රෝලක් ගහයි!
කෙසේ වෙතත් මෙම නිවේදනයේ මෙසේ සඳහන් වුවද ඒ මොහොතේම සියලු මාධ්‍ය මෙම පුවත විකෘති කොට සිය වෙබ් අඩවිවල පළකරමින් සඳහන් කළේ ඡන්ද පත්‍රිකා නොලැබීමේ ගැටලුව මත 22, 23, 24 දිනවල පැවැත්වීමට නියමිත තැපැල් ඡන්දය කල්දැමීමට පියවර ගෙන ඇතැයි කියාය. ඊට මාධ්‍යවලින්ද විශාල ප්‍රචාරයක් ලබාදීම හේතුකොට ගෙන සියලු දෙනාම සිතා සිටියේ මැතිවරණය කල්දැමීමට ආණ්ඩුව ගැසූ අවසන් ගේම සාර්ථක වී ඇතැයි කියාය. නමුත් මොහොතක් යෑමට මත්තෙන් මෙම පුවත මාධ්‍ය ගැසූ තවත් අතේ රෝලක් බව රටටම වැටහී ගියේ වහාම ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාත්, විපක්ෂයේ නියෝජිතයනුත් මෙම පුවතේ සැබෑ තත්ත්වය පිළිබඳ රටම දැනුවත් කිරීමට පියවර ගැනීමත් සමගය. එහිදී මැතිවරණ කොමසාරිස්වරයා පැහැදිලිවම මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් කියා සිටියේ තැපැල් ඡන්දය කල්දැමීමට කොමිසම තවමත් කිසිදු තීන්දුවක් ගෙන නොමැති බවත්, සිදුව ඇත්තේ තැපැල් ඡන්ද පත්‍රිකා නිදහස් කිරීමට තීන්දු කර තිබූ දිනයේ යම් වෙනසක් පමණක් සිදුවීමට නියමිතව ඇති බවත්ය. ඒ අනුව මැතිවරණය නොපැවැත්වෙන බවට මාධ්‍ය විසින් ගෙන ගිය තවත් විශාල අතේ රෝලක් එසැණින් කනපිට පෙරළෙන ආකාරයක් දැකගත හැකි විය.
කොමිසම ගංගානිට එන්න කියයි!
මේ තත්ත්වය යටතේ මැතිවරණ කොමිසම අඟහරුවාදා දිනයේදී වහාම සාකච්ඡාවක් සඳහා මුද්‍රණාලයාධිපතිනිය කොමිසමට කැඳවීමට පියවර ගත්තේය. ඒ වන විට මුද්‍රණාලයාධිපතිනියගේ ලිපියෙන් දේශපාලන කරළියම ගිනිගෙන තිබූ අතර සාකච්ඡාවේ මාතෘකාවද එයම විය. කෙසේ වෙතත් මෙහිදී සාකච්ඡා වූ කරුණු මාධ්‍යයට අනාවරණ වී නැතත් කනින් කොනින් කියැවුණු තොරතුරුවලින් කියැවුණේ දැනට මුද්‍රණය කර ඇති ඡන්ද පත්‍රිකා ප්‍රමාණයට අමතරව මුද්‍රණය කිරීමට ඉතිරිව ඇති ප්‍රමාණය දිගටම කරගෙන යෑමටත්, 12 වැනිදාට පෙර එම ප්‍රමාණය අවසන් කළ නොහැකි බැවින් මැතිවරණය පැවැත්වෙන මාර්තු 09 වැනිදාට පෙර දිනක ඒ සියල්ල ලබාදීමටත්, දැනට නියම කර ඇති පරිදි 09 දා පැවැත්වීමට නියමිත මැතිවරණයට බාධාවක් නොවන ආකාරයට ඒ සියල්ල සිදුකොට අවසන් කිරීමටත් එකඟතාවක් දෙපාර්ශ්වය අතර මතුව ඇති බවය. 18 වැනි සෙනසුරාදා වන විට තැපැල් ඡන්ද පත්‍රිකා නිදහස් කිරීමට හැකි පරිදි එම කටයුතු අවසන් කිරීමටත් මුද්‍රණාලයාධිපතිනිය එහිදී එකඟතාව දක්වා ඇති බවද එම ආරංචිවලින් කියැවේ. මෙම සාකච්ඡාවේදී මුද්‍රණාලයාධිපතිනියගෙන් එක්තරා විශේෂ ඉල්ලීමක්ද කොමිසම වෙත ඉදිරිපත්ව ඇති බව ආරංචිය. ඒ, කෙසේ හෝ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සමග සාකච්ඡා කොට දැනට මුදල් යෙදවීම සීමාකොට නිකුත් කර ඇති චක්‍රලේඛයෙන් තමන් නිදහස් කරදෙන ලෙසටය. කොමිසම මුද්‍රණාලයාධිපතිනියගේ එම ඉල්ලීම මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සමග සාකච්ඡා කරන බව එහිදී දැනුම්දී ඇති බවද දැනගන්නට ඇත.
සිරිවර්ධනට එන්න කිව්වත් ආවේ නෑ!
ඒ අනුව කොමිසම මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වන මහින්ද සිරිවර්ධන මහතා හට සාකච්ඡා සඳහා වහාම පැමිණෙන ලෙස අඟහරුවාදා දිනයේදීම දැනුම් දීමක් කළේය. නමුත් අඟහරුවාදා සහ බදාදා දිනයේදී තමන්ට රාජකාරි අධික බැවින් බ්‍රහස්පතින්දා දිනයේදී කොමිසම හමුවට පැමිණිය හැකි බව මහින්ද සිරිවර්ධන කොමිසම වෙත දැනුම්දීමක් කර තිබිණි. ඒ අනුව බ්‍රහස්පතින්දා සවස 02ට එම සාකච්ඡාව සූදානම් කෙරිණි. නමුත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ බ්‍රහස්පතින්දා දිනයේදීද මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කොමිසම සමග පැවැති සාකච්ඡාවට සහභාගි වී නොතිබීමය.
ජාත්‍යන්තරයම ඇහැ ගහගෙන! ආධාර නැති වෙයිද?
මේ ආකාරයට ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය කෙසේ හෝ කල්දමා ගැනීම සඳහා දිගින් දිගටම සිදුකරන කුමන්ත්‍රණ පිළිබඳ මෙරට සියලු විපක්ෂ දේශපාලන පක්ෂ පමණක් නොව ජාත්‍යන්තර ප්‍රජාවද සිටින්නේ හොඳින් ඇහැ ගහගෙනය. ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු රටක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට නොතිබුණද බටහිර රටවල් ඇතුළු සියලු රටවල් මේ වන විට සිටින්නේ යම් හෙයකින් ආණ්ඩුව මැතිවරණය කල්දැමුවහොත් ඒ සම්බන්ධයෙන් මැදිහත් වීමේ දැඩි ස්ථාවරයකය. ඒ අනුව ඔවුන් බලා සිටින්නේ ආණ්ඩුව නිල වශයෙන් මැතිවරණ ක්‍රියාවලිය අඩපණ කිරීම සඳහා මැදිහත් වීමක් සිදුකරන තෙක්ය. ඒ මොහොතේදීම ඔවුන් ඊට එරෙහිව ප්‍රතිචාර දැක්වීමට සූදානමින් සිටින බවද රාජ්‍ය රහස් තීරයට ආරංචිය.
චීනය ලියුමට තවම ප්‍රතිචාරයක් නෑ!
මේ සියල්ල අතරවාරයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදුකරන සාකච්ඡාද මේ වන විට පවතින්නේ ඉතා තීරණාත්මක ස්ථානයකය. මීට සති දෙකකට ඉහතදී චීනයේ එක්සිම් බැංකුව මගින් ශ්‍රී ලංකාවේ ණය වසර දෙකක කාලයක් සඳහා ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟතාව පළකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ලිපියක් යොමුකොට තිබූ නමුත් ඒ සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් කරමින් මූල්‍ය අරමුදල කියා තිබුණේ වසර දෙකක එම සහනය කිසිසේත්ම පිළිගත නොහැකි බවත්, අනෙකුත් රටවල් කළාක් මෙන් ඊට වැඩි කාලයක ණය සහනයක් චීනයෙන් ලංකාවට ලැබිය යුතු බවත්ය. නමුත් මූල්‍ය අරමුදලේ එම ලිපියට තවමත් චීනය කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොතිබීම විශේෂ සිදුවීමකි.
චීන ලියුම නැතිව ආණ්ඩුව IMF සාකච්ඡාවට යන්න යයි!
ඒ අනුව පසුගිය සතියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීන ජනාධිපති ෂී ජින්පින් මහතා හට දුරකතන ඇමතුමක් ලබාදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථා ගණනාවකදීම උත්සාහ දැරුවද එම උත්සාහයන් සියල්ල ව්‍යර්ථ වී තිබිණි. පසුව ඉකුත් දින කිහිපය තුළද ජනාධිපතිවරයා ඒ පිළිබඳ යළිත් උත්සාහ කළත් එහිදීද ලැබුණේ ඊට පෙර ලැබුණු ප්‍රතිචාරයමය. ඒ අනුව මේ වන විට ලංකාව මුහුණ දී සිටින්නේ මූල්‍ය අරමුදලේ ණය සහනය නොලැබී යන අවදානමකටය. එසේ වුවත් ආණ්ඩුවට හිතවත් සිංහල මාධ්‍ය මෙන්ම ඉංග්‍රීසි මාධ්‍යද පසුගිය දින කිහිපය පුරාම විවිධ පුවත් මවමින් කියා සිටියේ ලබන මාසය වන විට මූල්‍ය අරමුදලෙන් යහපත් ප්‍රතිචාරයක් ලංකාවට ලැබෙනු ඇති බවත්, මාර්තුව වනවිට ණය මුදල් නිදහස් වනු ඇති බවත්ය.
මේ තත්ත්වය යටතේ මේ වන විට ආණ්ඩුව තීරණය කර ඇත්තේ චීනය නොමැතිව කෙසේ හෝ ලංකාවට ණය ලබාදීම සම්මත කරගත යුතු යෝජනාව මූල්‍ය අරමුදලේ විධායක සභාවට ඉදිරිපත් කිරීමටය. නොඑසේ නම් ණය ප්‍රතිව්‍යුහගත කරන චීන ලිපිය නොමැතිව මූල්‍ය අරමුදල සමග සාකච්ඡා දිගටම පවත්වාගෙන යෑමටය.
චීනය නැතිව පූලුවන් වෙයිද?
නමුත් ප්‍රශ්නය ඇත්තේ චීනයෙන් අවශ්‍ය ලිපිය නොමැතිව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එම සාකච්ඡා ඉදිරියට පවත්වාගෙන යෑමට සූදානම්ද යන්න සම්බන්ධයෙන්ය. දැනටමත් අවස්ථා ගණනාවකදීම මූල්‍ය අරමුදල ප්‍රකාශ කොට තිබුණේ ලංකාවේ වැඩිම ණය හිමියා චීනය වන බැවින් ඔවුන්ගේ ණය ප්‍රතිව්‍යුගතකරණ වැඩපිළිවෙළ අත්‍යාවශ්‍ය කාරණයක් බවත්, අනෙක් රටවල් හා සමානවම චීනයද ලංකාව සම්බන්ධයෙන් එක හා සමාන දායකත්වයක් දැරිය යුතු බවත්ය. ඒ අනුව මූල්‍ය අරමුදලෙන් ලැබීමට නියමිත මුදල් සම්බන්ධයෙන් මේ වන විට ආණ්ඩුවට අලුත් අර්බුදයකට මුහුණ දීමට සිදුව ඇති බවක් මේ වන විට දැකගන්න තිබේ.
පොහොට්ටුව අලුත් ගේමක් ගහන්න යයි!
පසුගිය දින කිහිපයේදී පොහොට්ටුව පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගෙන සිය අපේක්ෂකයන් දැනුවත් කිරීමේ රැස්වීම් මාලාවක් සංවිධාන කළද මුල් වටයේදීම ඊට අපේක්ෂකයන්ගෙන් සහ පාක්ෂිකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර එතරම් හොඳ නැති බවක් පක්ෂයේ ප්‍රධානීන්ට දැකගන්නට ලැබිණි. විශේෂයෙන්ම වෙනදා පොහොට්ටුවට තිබූ ඉහළ ප්‍රතිචාර මෙදා නොලැබෙන බවත්, පාක්ෂිකයන් දුර්මුඛ වී ඇති බවත්, ගම්වල තත්ත්වය විශාල වශයෙන් ගැටලුසහගත බවත් ඔවුන්ට වාර්තා වී තිබිණි. මෙම තත්ත්වය යටතේ මැතිවරණයකට ඉදිරිපත් වුවහොත් එය සියදිවි නසාගැනීමක් බව වටහා ගත් පක්ෂයේ මහමොළකරුවා වන බැසිල් රාජපක්ෂ මහතා පසුගිය සතිය වන විට තීන්දු කොට තිබුණේ මැතිවරණය කල්දමන ආණ්ඩුවේ සැලැස්මට පක්ෂයේ පූර්ණ සහයෝගය ලබාදීමටය. පක්ෂ මහලේකම්වරුන් සහ මැතිවරණ කොමිසම අතර පැවැති සාකච්ඡාවේදී පොහොට්ටු මහලේකම් සාගර කාරියවසම් මහතා මැතිවරණය සම්බන්ධයෙන් වචනයක් හෝ කතා නොකළේ මෙවන් පසුබිමක් යටතේය.
මහින්ද ආයෙත් අගමැති!
ඒ අතරතුරරේ පොහොට්ටුව මේ දිනවල තවත් දේශපාලන මෙහෙයුමක් දියත් කර ඇති බවක් රාජ්‍ය රහස් තීරයට ආරංචිය. ඒ, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා නැවත අගමැති තනතුරට පත්කිරීමේ මෙහෙයුමය. ඊට හේතු වී ඇත්තේ ජනාධිපති ධුරය හෝ අගමැති ධුරය නොමැතිව මොන යම් හෝ මැතිවරණයකට ගියහොත් පොහොට්ටුවට ඉතා භයානක ඉරණමක් අත්වනු ඇති බව පක්ෂයේ ප්‍රධානීන් හට අවබෝධ වී තිබීමය. එම තත්ත්වය යම් තරමකින් හෝ සමනය කරගැනීමට නම් ආණ්ඩුවේ ඉහළ තනතුරක් පොහොට්ටුව වෙත ලබාගත යුතු බව බැසිල් ඇතුළු පිරිසේ මතය වී ඇත.
දිනේෂ්ට පණිවුඩ පිට පණිවුඩ!
නමුත් මේ සඳහා ප්‍රධාන බාධකය වී ඇත්තේ වන කවුරුවත් නොව වත්මන් අගමැතිවරයා ලෙස කටයුතු කරන දිනේෂ් ගුණවර්ධනය. දිනේෂ් ආණ්ඩුවේ සිටින ජ්‍යෙෂ්ඨයකු වන බැවින් එක්වරම මෙවැනි යෝජනාවක් ඔහුට ඉදිරිපත් කළ නොහැකි නමුත් පසුගිය සතිය වන විට රාජපක්ෂ පවුල ඇතුළෙන් ඔහුට මෙම පණිවුඩය නොනිල ලෙස ලබාදීමට කටයුතු කෙරිණි. එහිදී කියැවුණේ මහින්දට තවත් එක් අවස්ථාවක් පමණක් අගමැති ධුරයේ කටයුතු කිරීමට අවස්ථාව ලබාදීමට කටයුතු කළ යුතු යැයි කියාය. පළමු අවස්ථාවේදී දිනේෂ්ගෙන් නිහඬ ප්‍රතිචාරයක් ලැබී තිබුණු බැවින් රාජපක්ෂ පවුලේ කිහිප දෙනකුම යළිත් එම පණිවුඩය දිනේෂ් වෙත නොනිල ලෙස දැනුම් දී ඇති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. නමුත් දිනේෂ් මේ වන තෙක්ම ඊට ‘හා’ හෝ ‘බෑ’ කියා හෝ නොමැති බවක්ද දැනගන්නට ඇත. නමුත් රාජපක්ෂ පවුල තවමත් එම මෙහෙයුම අතහැර නැති බවද වාර්තා වේ.
ගෝඨාට ඉන්න තැන එපා වෙයි!
ජනාධිපති ධුරයේ සිට අරගලය හේතුවෙන් රටින් පලාගොස් නැවත ලංකාවට පැමිණි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හට ආණ්ඩුව නවාතැන් ගැනීම සඳහා ලබාදුන්නේ කොළඹ බෞද්ධාලෝක මාවතේ ප්‍රධාන මාර්ගයට මුහුණලා ඉදිකර ඇති විශාල නිල නිවෙසකි. ඒ, ගෝඨාගේ පෞද්ගලික නිවෙස වූ මිරිහානේ පිහිටි නිවෙසෙහි ආරක්ෂක තත්ත්වය ප්‍රමාණවත් නොවන බවට ඒ වන විට ආරක්ෂක අංශ විසින් ලබාදී තිබූ වාර්තා මුල්කොට ගෙනය. ඒ අනුව ලංකාවට පැමිණි දින සිට ගෝඨා පදිංචිව සිටියේ බෞද්ධාලෝක මාවතේ පිහිටි මෙම නිවෙසේය.
නමුත් දින කිහිපයක් ගතවෙද්දීම ගෝඨාට මෙම නිවෙසේ වාසය කිරීම විශාල අවුලක් බවට පත්වූයේ නිරන්තරයෙන්ම ඇසෙන වාහනවල ශබ්දය සහ ඒවායේ නලා ශබ්දයය. නිහඬ ජීවිතයක් ගතකිරීමට ප්‍රිය ගෝඨාට එය දින කිහිපයක් ගතවෙද්දීම මහත් කන්දොස්කිරියාවක් බවට පත්ව තිබූ ආකාරයක් දැකගත හැකි විය. ඒ නිසාම ගෝඨා අවස්ථා ගණනාවකදීම මෙම නිල නිවෙස වෙනුවට වෙනත් නිල නිවෙසක් ලබාදෙන ලෙස වගකිව යුත්තන්ට දැනුම් දීමටද පියවර ගෙන තිබිණි.
පරණ පුරුදු මිරිහානට යයි!
මීට අමතරව ගෝඨාගේ අදහස වී තිබුණේ හිටපු ජනාධිපති මහින්ද වාසය කරන විජේරාම මාවතේ පිහිටි නිල නිවෙස අලුත්වැඩියා කර අවසන් වී ඇති බැවින් මහින්ද එහි පදිංචියට ආ පසු එතෙක් ඔහු රැඳී සිටි බුලර්ස් පාරේ නිල නිවෙසේ පදිංචියට යෑමටය. නමුත් විවිධ හේතු මත එම නිල නිවෙසද ගෝඨාට ලැබෙන පාටක් දැකගන්නට ලැබුණේ නැත. එම තත්ත්වය යටතේ පසුගිය සතියේදී ගෝඨා එක් විශේෂ තීන්දුවක් ගත්තේය. ඒ, තමාට හුරුපුරුදු තමාගේ පෞද්ගලික නිවෙස වූ මිරිහානේ නිවෙසේ පදිංචියට යෑමටය. ඒ අනුව ගෝඨා මේ වන විට පදිංචිව සිටින්නේ නිහඬ නිසංසල පරිසරයක පිහිටි මිරිහානේ සිය පෞද්ගලික නිවෙසේය.
කටුනායක ආරක්ෂාව හදිසියේ තරවෙයි!
පසුගිය සති අන්තයේ හදිසියේම කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළට විශේෂ ආරක්ෂාවක් යෙදවීමට ගුවන් තොටුපළ බලධාරීහු පියවර ගත්හ. ඒ අනුව ගුවන් තොටුපළ පරිශ්‍රයේ පමණක් නොව ගුවන් තොටුපළ පරිශ්‍රයෙන් පිටත මහාමාර්ගවල පවා ආරක්ෂක අංශ සාමාජිකයන් යෙදවීම තුළ මොකක් හෝ යමක් ගුවන් තොටුපළ තුළ සිදුවන බවක් එහි සේවකයන්ට වැටහී ගොස් තිබිණි. බොහෝ දෙනා සිතුවේ දේශපාලන අධිකාරියේ ඉහළ නිලධාරියකු හෝ විශේෂ විදේශ අමුත්තකු හෝ ගුවන් තොටුපළට පැමිණීමට නියමිතව ඇති නිසා මෙසේ විශේෂ ආරක්ෂාවක් යොදවන්නට ඇතැයි කියාය. නමුත් ආරක්ෂාව යොදා දිනක් තුනක් ගතවුවද විශේෂ යමක් ගුවන් තොටුපළ තුළ සිදු නොවූයෙන් බොහෝ දෙනාට එය සාමාන්‍ය දසුනක් බවට පත්වන්නට වැඩි වේලාවක් ගියේ නැත.
රහසේම ආපු යානා දෙක!
ඒ කොයි හැටි වෙතත් පසුගිය අඟහරුවාදා රාත්‍රියේදී කටුනායක ගුවන් තොටුපළට Boeing C 17 Globemaster වර්ගයේ දැවැන්ත යුද ගවන් යානා දෙක්ක පැමිණෙන ආකාරයක් දැකගත හැකි විය. අසල්වැසි රාජ්‍යයක සිට පැමිණි මෙම ගුවන් යානා දෙක ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් අතිවිශේෂ රාජකාරි සඳහා යොදාගන්නා ගුවන් යානා දෙකක් විය. එමෙන්ම ඇමෙරිකාව පසුගිය කාලයේදී ඉරාකය, ඇෆ්ගනිස්තානය, හයිටි ආදී රටවල යුද මෙහෙයුම් සඳහා භාවිත කළේද ඉන්දියාවේ හදිසි ගංවතුර තත්ත්වයක් මතුවූ අවස්ථාවේදී ජීවිත ගලවා ගැනීම සඳහා යොදාගනු ලැබුවේද මේ වර්ගයේ ගුවන් යානාවන්ය. එකවර හමුදා සාමාජිකයන් සිය ගණනක් ඇතුළුව යුද රථ හා යුද උපකරණ පවා මෙම යානාවෙන් ප්‍රවාහනය කළ හැකි බව පැවැසේ.
දැනගෙන හිටියේ ටික දෙනයි!
සාමාන්‍යයෙන් වෙනදා නම් මේ ආකාරයට ඇමෙරිකානු රජයට අයත් විශේෂ ගුන් යානාවක් ලංකාවට පැමිණෙන්නේ නම් ඊට විශාල පූර්ව ප්‍රචාරයක් ලබාදීම සිදුකෙරෙන්නක් වුවත් මෙවර කිසිදු පාර්ශ්වයකින් ඒ සම්බන්ධ වචනයක් හෝ නිල වශයෙන් ප්‍රකාශයට පත් නොවීම විශේෂ සිදුවීමක් විය. එමෙන්ම එන්නේ කවුරුන්ද කියා හෝ වචනයක්වත් කිසිදු පැත්තකින් ප්‍රකාශ නොවීමද එහිදී දැකගන්නට ලැබුණු තවත් විශේෂ සිදුවීමක් විය. ඒ තරමටම එය රහස් ගමනක් වූ අතර ආරංචි මාර්ගවලින් කියැවෙන්නේ ජනාධිපතිවරයා සහ තවත් අතේ ඇඟිලි ගණනටත් අඩු පිරිසක් පමණක් එය දැන සිටි බවකි.
හයිවේ එකත් වහයි!
කෙසේ වෙතත් මෙම ඇමෙරිකානු ගුවන් යානා දෙකේ පැමිණිම සහ එහි පැමිණියේ කවුරුන්ද යන්න පිළිබඳ කිසිදු තොරතුරක් සඳහන් නොවුණත් අඟහරුවාදා රාත්‍රියේ යම් විශේෂ දෙයක් සිදුවන බවක් බොහෝ දෙනාට වැටහී ගියේ හදිසියේම කටුනායක අධිවේගී මාර්ගය වසාදැමීමට බලධාරීන් පියවර ගැනීමත් සමගය. සාමාන්‍යයෙන් අතිවිශේෂ රාජ්‍ය අමුත්තකු පැමිණෙන්නේ නම් පමණක් මෙසේ කටුනායක අධිවේගී මාර්ගය වසාදැමීම සිදුකෙරෙන්නක් වුවත් මෑත ඉතිහාසයේ එවැන්නක් වාර්තා වූ දිනක් නොමැති තරම්ය. ඒ අනුව අධිවේගී මාර්ගය වසා දැමීමත් සමග රටට ඇතුළු වූයේ කවුරුන්ද යන්න පිළිබඳ සොයා බැලීමට බොහෝ පාර්ශ්වයන් උනන්දු වූ ආකාරයක්ද දැකගත හැකි විය.
ආපු අය හරි විදිහට ආවාද?
එම සොයාබැලීමේවලදී තහවුරු වූ කරුණ වූයේ කාටත් හොරා එසේ පැමිණ ඇත්තේ ඉන්දු පැසිෆික් ආරක්ෂක කටයුතු පිළිබඳ එක්සත් ජනපදයේ ප්‍රධාන නියෝජ්‍ය සහකාර ආරක්ෂක ලේකම් Jedidiah P. Royal මහතා ප්‍රමුඛ 27ක නියෝජිත කණ්ඩායමක් බවකි. මෙම පිරිස කොළඹට පැමිණි පසු ජනාධිපතිවරයාත්, රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාත්, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතාත් මුණගැසී සාකච්ඡා පැවැත්වූ බව වාර්තා වී තිබිණි. මෙහිදී ආරක්ෂක රජ්‍ය අමාත්‍ය ප්‍රමිත මුණගැසුණු ඡායාරූප පවා මාධ්‍යයට නිකුත් කොට තිබිණි.
නමුත් ප්‍රශ්නය ඇත්තේ මෙම කණ්ඩායමේ ප්‍රධානියාගේ ඡායාරූප ප්‍රසිද්ධියට පත්කිරීමට කටයුතු කළේ නම් ඔවුන්ගේ ගමන විශාල රහසක් ලෙස තබාගැනීමට මුල් අවස්ථාවේදී කටයුතු කළේ මක්නිසාද යන්නය. ආරක්ෂක ප්‍රධානී Jedidiah P. Royal සමග පැමිණි අනෙකුත් සාමාජිකයන් කවුරුන්ද යන්නය. ඔවුන් අතර බුද්ධි නිලධාරීන්ද සිටියේද යන්නය. ඔවුන් සියලු දෙනා නිල වශයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව හරහා වීසා පහසුකම් ගෙන ලංකාවට ඇතුලු වුණේද යන්නය.
ආවෙත් අමෙරිකාවයි චීනයයි හැප්පෙන පසුබිමක!
අනෙක් විශේෂත්වය වන්නේ මේ ආකාරයට ඇමෙරිකානු ඉහළ පෙළේ කණ්ඩායමක් ලංකාවට පැමිණෙන්නේ ඇමෙරිකාව හා චීනය අතරද ගැටුමක් වර්ධනය වෙමින් පවතින කාලවකවානුවක වීමය. දැනටමත් ඇමෙරිකාව සිය රටට ඉහළින් අභ්‍යවකාශයේ තිබූ චීන බැලුමක් විනාශ කොට ඇති අතර කැනඩාවද එවැනිම ආකාරයට සිය රටට ඉහළින් තිබූ චීන ඔත්තු බැලුනයක් බිම හෙළීමට පියවර ගෙන තිබිණි. එවැනි පසුබිමක ඇමෙරිකාවේ ඉහළ පෙළේ ආරක්ෂක නිලධාරීන් පිරිසක් පැමිණීමද විශේෂ සිදුවීමකි.
රනිල්ට ඉන්දියාවෙන් වෙලාව දෙයි!
පාර්ලිමේන්තුව හරහා ජනාධිපති ධුරයට පත්වූ දින සිටම රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමග හමුවක් පැවැත්වීමට උත්සාහයන් ගණනාවක්ම දැරූ ආකාරය පසුගිය අවස්ථා කිහිපයකදීම අපි ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අනාවරණ කළෙමු. ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හරහාත් ඉන්දියාවේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය හරහාත් පළමුව උත්සාහ දරා, එය ව්‍යර්ථ වූ විට ජනාධිපතිවරයා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හරහාද මෝදිගෙන් වේලාවක් ලබාගැනීමට උත්සාහ කළ බව අපි එහිදී කියා සිටියෙමු. එමෙන්ම ලංකාවට පැමිණි ඉන්දීය රහස් ඔත්තු සේවයේ ප්‍රධානියා වූ අජිත් දෝවාල් මහතා හරහාද, ඔහුගේ පුත් සෞර්යා දෝවාල් මහතා හරහාද ඒ සඳහා උත්සාහ දැරූ නමුත් ඒ සියල්ල අවසානයේ ව්‍යර්ථව ගොස් තිබිණි. මීට අමතරව වරක් සිය කාර්ය මණ්ඩල ප්‍රධානියා මෙන්ම ජ්‍යෙෂ්ඨ උපදේශකයකු වූ සාගල රත්නායක මහතා ඉන්දියාවට යැවීමට පවා ජනාධිපතිවරයා පියවර ගත්තද ඒ කිසිදු අවස්ථාවක මෝදිගෙන් වේලාවක් ලබාගැනීමට ජනාධිපතිවරයාට හැකියාවක් ලැබුණේ නැත. නමුත් අවසානයේදී ජනාධිපතිවරයාගේ උත්සාහය සාර්ථක කරගත්තේ මීට දින කිහිපයකට ඉහතදී ලංකාවට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජෙයිෂංකර් මහතාගේ සංචාරය අතරතුරදීය. අපට දැනගන්නට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ ඉන්දියාව මේ වන විටත් එම දිනය සහ වේලාව ජනාධිපතිවරයා වෙත ලබාදී ඇති බවකි. ඉදිරි දින කිහිපය ඇතුළත එය ප්‍රකාශයට පත්වීමට කනියමිතව ඇති බවද දැනගන්නට ඇත.