යහපාලන ආණ්ඩුවේ ප්‍රබල චරිතයක් වූ රිෂාඞ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට නියෝගයක් නිකුත් කරන්නේ පසුගිය 13 වැනිදාය. ඒ ඉකුත් ජනාධිපතිවරණ සමයේදී රජයේ මුදල් අවභාවිතා කරමින් රිෂාඞ් බදියුදීන් මහතා විසින් පුත්තලමේ අවතැන් ජනතාව ඡන්දය ප්‍රකාශ කිරීමට ලංගම බස් රථවලින් මන්නාරමට රැගෙන යාමක් සම්බන්ධයෙනි. කර්මාන්ත මෙන්ම නැවත පදිංචි කිරීමේ අමාත්‍යවරයාව සිටි රිෂාඞ් බදියුදීන් මහතා එසේ පුත්තලමේ රැදී සිටි අවතැන් වැසියන් මන්නාරමට රැගෙන යන්නට බස් රථ සදහා වැය කරන්නේ නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශයේ මුදල්ය. ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිල්ලකට අනුව මාස ගණනාවක් පුරාවට කළ විමර්ශනයේදී හිටපු ඇමති බදියුදීන් මහතාගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කිහිප විටක්ම ප්‍රශ්න කළේය. ලියකියවිලිද පෙන්වමින් ඔහු එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සදහන් කරන්නේ එවකට සිටි මුදල් ඇමති මංගල සමරවීර මහතාගේ අනුමැතිය ඇතිව එම මුදල් වැය කළ බවකි. ඒ ගැන හිටපු ඇමති මංගල සමරවීර මහතාගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කළේය. තමාගේ අනුමැතියෙන් සියල්ල සිදුවූ බව ඔහුද පිළිගත්තේය. තවත් බොහෝ අයගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයෝ ප්‍රශ්න කළෝය. සියල්ල සිදුවූයේ නීතිපතිවරයාගෙන් නිරන්තර උපදෙස් ලබා ගනිමිනි. බදියුදීන් අත්අඩංගුවට ගන්නැයි නීතිපතිවරයාගෙන් උපදෙස් ලැබෙන්නේ අවසානයේදීය.
තීන්දුව පිට වූ හැටි
එම උපදෙස වැඩ බලන පොලිස්පතිවරයා අතට පත්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වීමටත් මත්තෙන් විද්‍යුත් මාධ්‍යවල උණුසුම් පුවතක් බවට පත්ව හමාරය. ඒ නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනිය වන නීතීඥ නිශාරා ජයරත්න මහත්මිය හරහාය.
ඒ වන විට රිෂාඞ් බදියුදීන් මහතා සිටින්නේ පුත්තලමේ පිහිටි නිවසේ සිට කොළඹ පිහිටි නිවස බලා ඔහුට අයත් රේන්ජ් රෝවර් ජිප් රථයේ නැගී ගමන් කරමිනි. එම රථයේ ගුවන් විදුලි යන්ත්‍රය ඒ වන විටත් ක්‍රියාත්මකව තිබෙන්නේ දෙමළ භාෂාවෙන් වැඩ සටහන් විකාශය කෙරන එෆ්. එම් නාලිකාවකි. නිශාරා ජයරත්න මහත්මිය උපුටා දක්වමින් එම නාලිකාවේද රිෂාඞ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට ලබාදුන් උපදෙස විකාශය වන්නට වූයේ විශේෂ ප්‍රවෘත්තියක් ලෙසිනි. ඒ වන විටත් රිෂාඞ් බදියුදීන් මහතා ගමන් ගනිමින් සිටි රථය තිබෙන්නේ කොළඹට කිට්ටුකරමිනි. ගුවන් විදුලියේ විශේෂ පුවතක් ලෙස විකාශය වූ එම පුවත සවනට වැකුණු සැණින් රිෂාඞ් බදියුදීන් මහතා කලබල වන්නේ රජයේ දේපොළ අවභාවිතා කිරීමේ චෝදනාවකට අත්අඩංගුවට ගතහොත් අනිවාර්යෙන්ම ඇප නොමැතිව කාලයක් හිරේ ලගින්නට වන බව දැනගෙනය.
ජිප් රථයේ සිටින්නේ බදියුදීන් මහතා හැරුණු කොට රියදුරු සහ ඇමති ආරක්ෂක අංශයෙන් ඔහුගේ ආරක්ෂාවට අනුයුක්ත කර සිටි පොලිස් කොස්තාපල් රිල්වාන් පමණි. තමාව අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා උපදෙස් දුන් බවට විකාශය වූ පුවත ඇසීමෙන් ඒ වන විටත් රිෂාඞ් බදියුදීන් මහතා සිටින්නේ නොසන්සුන්වය. දෑස් පියාගෙන මද වේලාවක් දිගු කල්පනාවක සිටි ඔහු එකවරම රියදුරට දැනුම් දෙන්නේ ජිප් රථය නතර කරන ලෙසටය. අනතුරුව ඔහු ජිප් රථයෙන් බැස රියදුරුටත් ආරක්ෂක නිලධාරියාටත් දැනුම් දෙන්නේ බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවසට යන ලෙසිනි. ඒ අනුව ඔවුන් බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවසට යන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් එහි රැඳී සිටියේ රිෂාඞ් බදියුදීන් මහතාව අත්අඩංගුවට ගන්නටය. ඒ වන විට රිෂාඞ් බදියුදීන් මහතා සිටයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන්ට වෙට්ටුවක් දමා සැගවෙමිනි. ඒ ඔහු භාවිතා කළ ජංගම දුරකථනය පවා අක්‍රිය කරමිනි.
රිෂාඩ් අතුරුදන් වූහැටි
ගුවන් විදුලියෙන් විකාශය වූ විශේෂ පුවත ඇසීමෙන් කොළඹට එමින් සිටි රිෂාඞ් බදියුදීන් මහතා අතර මගින් ජිප් රථය නතර කර එයින් බැස ගිය බව ප්‍රශ්න කිරීම් හමුවේ රියදුරාත් ඇමති ආරක්ෂක පොලිස් නිලධරියාත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන්ට කියන්නට විය. එයින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් සෑහීමකට පත්වූයේ නැත. රිෂාඞ් අතර මගින් බැස ගත් රේන්ජ් රෝවර් ජිප් රථය පරීක්ෂා කළේය. ඒ තුළ තිබී හමුවන්නේ පිස්තෝලයක් සහ මැගසින් දෙකකි. එම මැගසින් දෙකම ඇත්තේ පතොරම් පුරවාය. එය ඇමති ආරක්ෂක පොලිස් නිලධාරියාට අයත් එකක් නොවීය. එය තිබුණේ රියදුරු භාරයේ බැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් ඊට සැකපිට රියදුරු අත්අඩංගුවට ගත්තේය. ඒත් සමගින් ඇමති ආරක්ෂක අංශයේ පොලිස් කොස්තාපල් රිල්වාන් අත්අඩංගුවට ගන්නේ නීතිපතිවරයා විසින් බදියුදීන් මහතාව අත්අඩංගුවට ගන්නැයි උපදෙස් ලබාදුන් බව ගුවන් විදුලියේ පුවතකින් දැනගෙනත් ඔහුට පළාගොස් සැඟවීමට ආධාර හා අනුබල ලබාදුන් බවට වූ සැකපිටය.
අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බදියුදීන් මහතා රැඳී සිටින බව සඳහන් තවත් නිවසක් පරීක්ෂාවට ලක්කළේය. එම නිවසේ ද බදියුදීන් මහතා පරිහරණය කරන බව කියන සුඛෝපභෝගී ජිප් රථයක් විය. එම ජිප් රථය සමග බදියුදීන් මහතාගේ තවත් සමීපතමයෙක්ද අත්අඩංගුවට ගන්නේ පිස්තෝලයක් සමගිනි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් හඳුනාගෙන ඇති ආකාරයට අනුව එම පුද්ගලයා බදියුදීන් මහතාට අයත් බව කියන මන්නාරමේ පිහිටි නිවසක් බලා කියාගන්නා අයෙකි.
මේ ආකාරයට බදියුදීන් මහතාගේ සමීපතයින් තිදෙනෙක්ම 13 වෙනිදා මැදියම වන විට අත්අඩංගුවට ගත්තද බදියුදීන් මහතා සැඟවී සිටින තැනක් තියා ඔහු ජිප් රථයෙන් බැස ආගිය තැනක්වත් සොයා ගන්නට නොවීය. එබැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතාට සිදුවන්නේ රිෂාඞ් බදියුදීන් මහතාව අත්අඩංගුවට ගන්නට පොලිස් කණ්ඩායම් 06ක්ම යොදවන්නටය. ඒ යැයි කියාද 14 වැනිදා මැදියම් රැය පහන් වන විටදීවත් රිෂාඞ් බදියුදීන් සැඟවී සිටින තැනක් ගැන ඉඟියක්වත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන්ට නොවීය. පොලිස් බුද්ධි අංශද ඒ වන විටත් රිෂාඞ් බදියුදීන් මහතා සැඟවී සිටින තැන් ගැන සිටින්නට වූයේ ඉව අල්ලමිනි. එහෙත් ඒ අයටද ඔහු ගැන කිසිදු තොරතුරක් නොවීය.
රාජිත-රවි-සම්පායෝ ගිය පාරේ
රිෂාඞ් බදියුදීන් අත්අඩංගුවට ගන්නැයි නීතිපතිවරයාගේ උපදෙස පොලීසියට නිකුත් වී පැය 48ක් ගෙවී යන්නේ 15 වෙනිදාය. රිෂාඞ් බදියුදීන් මහතා පොලිස් ඇසට වැලි ගසමින් සැඟවී සිටින්නේ ඇයිදැයි පැහැදිලි වන්නේ එදිනය. ඒ ඔහු සිය නීතීඥයින් මගින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන පෙත්සමකිනි. එම පෙත්සමින් ඔහු ඉල්ලා සිටින්නේ තමාව අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බැවින් එය වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙසටය.
මේ අකාරයට අධිකරණයේ පිහිට ලැබෙන තුරු පොලිස් අත්අඩංගුවෙන් බේරී සැඟවී සිටි එකම දේශපාලනඥයා වන්නේ රිෂාඞ් බදියුදීන් මහතා පමණක් නොව, හිටපු ඇමතිවරුන් වන රාජිත සේනාරත්න සහ රවී කරුණානායක යන මහත්වරුද සිටියහ. ඊට අමතරව මීගමුව බන්ධනාගාර අධිකාරී සම්පායෝද සිටියේ මේ ගොන්නේය. මේ සියලුදෙනාම එකවරම අතුරුදන්ව සැඟවෙන්නේ ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙසට නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ පොලිස්පතිට ලබාදෙන නීති උපදෙස පොලීසිය ක්‍රියාත්මක වන්නට පෙර මාධ්‍යයේ විශේෂ පුවතක් ලෙස විකාශය වීමට පිංසිදු වන්නටය. මේ සියලුදෙනාම අත්අඩංගුවෙන් මිදී සැඟවී සිටින්නේත්, හදිසියේ අසනීප වී රෝහල්ගත වන්නේත් විද්‍යුත් මාධ්‍යන්ට පිංසිදු වන්නටය. මේ ගැන මේ වන විට පොලීසියේද යම් කථාබහකට ලක්වෙමින් තිබීමද විශේෂිතය.
රියාජ් රියාජ් ප්‍රහාරයට සම්බන්ධද
බදියුදීන් පවුලේ රියාජ් බදියුදීන්ද මේ වන විට සමාජයේ දැඩි කථාබහකට ලක්වෙමින් ඇති චරිතයකි. ඒ පාස්කු ප්‍රහාරයේ මහා මොළකරුවෙක් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉකුත් අප්‍රේල් 14 වෙනිදා අත්අඩංගුවට ගෙන මාස පහමාරක කාලයක් රඳවා ගෙන තබා ගනිමින් කිසිදු චෝදනාවක් නැතැයි සඳහන් කරමින් ඔහුව ඉකුත් සැත්තැම්බර් 30 වෙනිදා නිදහස් කිරීමත් සමගිනි. රියාජ්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නේ සිනමන් ග්‍රෑන්ඞ් හෝටලයට මරාගෙන මැරුණු ප්‍රහාරයක් එල්ල කළ වැල්ලම්පිටියේ තඹ කර්මාන්ත ශාලවේ හිමිකරු සමග දුරකතනයෙන් සම්බන්ධකම් පැවැත්වූ බැවිනි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන ආකාරයට අනුව මේ දෙදෙනා අතර එම දුරකතන සම්බන්ධකම පැවතී ඇත්තේ පෙබරවාරි මාසයේ අග සහ මාර්තු මාසයේ මුල් සතියේය. එයත් සීමා වී ඇත්තේ දුරකතන ඇමතුම් 07කට පමණි. එම ඇමතුම් 07න් රියාජ් ඔහුට ලබාගෙන ඇත්තේ ඇමතුම් එකක් පමණි. සෙසු ඇමතුම් සියල්ලක්ම ලබාගෙන ඇත්තේ බෝම්බකරු විසිනි. බෝම්බකරුගේ ජංගම දුරකතයේ සටහන් වී ඇති අංක විශ්ලේෂණයේදී ඔහු සමග දුරකතනයෙන් සම්බන්ධකම් පවත්වා ඇති එකම පුද්ගලයා වන්නේ රියාජ් පමණක් නොව මෙරට පිහිටි රාජ්‍ය ආයතන ප්‍රධානීන් නිලධාරීන් මෙන්ම ව්‍යාපාරිකයින්ද සිය ගණනක් ඔහු සමග සම්බන්ධකම් පවත්වා ඇත්තේය. ඒ අය අතරින් රියාජ් බදියුදීන් සුවිශේෂී චරිතයක් බවට පත්කරමින් ඔහුව අත්අඩංගුවට ගන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පියවර ගන්නේ ඇතැම් විට අන්තවාදීන්ට සහයෝගය දුන් බවට බදියුදීන්ලාට චෝදනා එල්ල වූ නිසා වන්නට පුළුවනි. රිෂාඞ්ගේ තවත් එක් සහෝදරයෙක්ට යුද හමුදා බුද්ධි අංශය මෙන්ම හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා චෝදනා කරන්නේ සහරාන්ට 2017 වසරේදී ඉන්දියාවට බෝට්ටුවකින් පළායාමට සහයෝගය දී ඇති බවටය. ඒ බව පාස්කු කොමිසමේදීද අවස්ථා කිහිපයකදී අනාවරණය වන්නේ එවකට සිටි යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂකගේ සාක්ෂියකිනි. හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා කරනුයේ එම සාක්ෂිය වැඩිදුරටත් තහවුරු කිරීමය. එහෙත් රාජ්‍ය බුද්ධි සේවයේ එවකට සිටි අධ්‍යක්ෂ ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පාස්කු කොමිසම හමුවේ සක්ෂි දෙමින් අවධාරණය කරන්නට වූයේ යුද හමුදා බුද්ධි අංශය විසින් සදහන් කරන එම තොරතුර සනාථ කිරීමට කිසිදු සාක්ෂියක් නොලැබුණු බවකි. ඔහුට අනුව එය හුදෙක් තොරතුරක් පමණක් පමණි. එය තහවුරු කරගත් බුද්ධි තොරතුරක් නොවන බව කොමිසම හමුවේ ඔහු පෙන්වා දුන්නේ තොරතුරක් සහ බුද්ධි තොරතුරක් අතර ඇති වෙනසද කියා පාමිනි.
මේ තත්වය මත සහරාන්ට බෝට්ටුවකින් මන්නාරමේ සිට ඉන්දියාවට පළායන්නට සහයෝගය දුන් බව කියන රිෂාඞ් බදියුදීන්ගේ සහෝදරයාට එරෙහිව නීතිය ඉදිරියේදී කෙසේ ක්‍රියාත්මක වේවිදැයි කිව නොහැකිය. නමුත් රියාජ්ගේ නිදහස සම්බන්ධයෙන් සමාජයේ දැඩි කථාබහක් ඇති වෙමින් රජය පවා අප්‍රසාදයට ලක්වන විට නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ, අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් සහ රියාජ් බදියුදීන් සම්බන්ධයෙන් වූ විමර්ශන භාර සහකාර පොලිස් අධිකාරී විජිත පෙරේරා යන මහත්වරු කැඳවමින් රියාජ් නිදහස් කිරීමට අදාළ විමර්ශන ගොනු පරීක්ෂා කරන්නට වූයේ එම ගොනුව රියාජ් අත්අඩංගුවට ගත් දින සිට ඔහුව නිදහස් කරන අවස්ථාව දක්වාම නීතිපතිවරයා වෙත යොමු ව නොතිබුණු බැවිනි. ඒ ගැන නීතිපතිවරයා විසින් ලුණු ඇඹුල්ද ඇතිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දෙසා බාමින් එම ගොනුවේ පැවැති විමර්ශන අඩුපාඩුකම් පෙන්වා දෙන්නේ ඒ ගැන වහාම විමර්ශනයක් පවත්වා තමාට ගොනුව ඉදිරිපත් කරන ලෙසට දැනුම් දෙමිනි.
රියාජ් බදියුදීන් සම්බන්දයෙන් වූ කෙරුණු විමර්ශනයේ නීතිපතිවරයා විසින් දකින අඩුලුහුඩුකම් 07කි. ඒ ගැන විමර්ශන පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ 60 දෙනෙකුගේ කණ්ඩායමක් පත්කරන්නේ මෑත ඉතිහාසයේ වැඩිම නිලධාරීන් පිරිසක් යොදවා කෙරෙන පරීක්ෂණයක් ලෙස එය ඉතිහාසයට එක්කරමිනි. පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකුගේත්, සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේත් අධික්ෂණයෙන් එම නිලධාරීන් 60 දෙනා ක්‍රියාත්මක වන්නේ 30 දෙනා බැගින් වූ කණ්ඩායම් දෙකක් ලෙසිනි.
ඉහළ පුටු පෙරළෙයි
රියාජ්ගේ නිදහස සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් චෝදනා එල්ලවන්නට වූයේ එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාව සිටි නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතාටය. රියාජ් නිදහස් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවට ජනතා විරෝධතා දැඩිවන විට සිදුවන්නේ නුවන් වෙදසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත්කර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතාට එතැනට පත්කිරීමය.
නුවන් වෙදසිංහ මහතා මාරුකර යැවෙන්නේ බස්නාහිර උතුර (ගම්පහ දිස්ත්‍රික්ය) භාර වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසිනි. නුවන්ට විරුද්ධව විනය පරීක්ෂණයක් පවත්වන බවද ඒත් එක්කම කියැවිණි. එම විනය පරීක්ෂණයට මුහුණ දීමට නුවන් වෙදසිංහ මහතා සිටියේ මනා සූදානමකිනි. ඒ අවශ්‍ය ලිපි ලේඛනද සූදානම්කර ගෙනය. එහෙත් සිදුවන්නේ විනය පරීක්ෂණය වෙනුවට ස්ථාන මාරුවක් ලබා දීමට ඔහු කැමති ස්ථානය කුමක්දැයි පොලිස් බලධාරීන් විමසා සිටීමය. නුවන් වෙදසිංහ මහතා එහිදී තෝරා ගන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස ඔහු මෙම වසරේ ජනවාරි 01 වෙනිදා එන්නට පෙර සේවයේ නිරතව සිටි ගාල්ලය. ඒ අනුව නුවන් වෙදසිංහට ස්ථාන මාරුවීම ලැබෙන්නේ ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසිනි.
ජාලිය එහෙට: දවසින් එහෙන් මෙහෙට
මේ අතර ජාතික පොලිස් කොමිසම මැදිහත් වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස සිටි ජාලිය සේනාරත්න මහතාට ස්ථාන මාරුවීමක් ලබාදෙන්නේ කන්කසන්තුරේටය. රියාජ් අත්අඩංගුවට ගැනීම හා ඒ සම්බන්ධයෙන් ඔහු විසින් කළ මාධ්‍ය ප්‍රකාශ ඊට බලපෑවේය. ආරක්ෂක රාජ්‍ය ඇමති චමල් රාජපක්ෂ මහතා පවා පොලිස් මාධ්‍ය ප්‍රකාශකව පාර්ලිමේන්තුවේ දැඩි විවේචනයකට පවා ලක් කළේය. ජාතික පොලිස් කොමිසමෙන් ඔහුට ලබාදුන් නියෝගය වැඩ බලන පොලිස්පතිවරයා වහාම ක්‍රියාත්මක කරමින් ඊට අදාළ පොලිස් නියෝග පවා නිකුත් කළේය. ඒත් සමගම වැඩ බලන පොලිස්පතිවරයා තවත් නියෝගයක් නිකුත් කරන්නේ විශේෂ රාජකාරි සහ සේවා අවශ්‍යතා මත පොලිස් මූලස්ථානයට ඔහු කැඳවන බව සදහන් කරමිනි. එම සේවා අවශ්‍යතාව ලෙස එම නියෝගයේ සදහන් වන්නේ කොවිඞ් 19 මෙහෙයුම් මැදිරිය ලෙසිනි. පොලිස්පතිවරයා විසින් විශේෂ රාජකාරි සඳහා යැයි සඳහන් කරමින් ජාලිය සේනාරත්න මහතාව පොලිස් මූලස්ථානයේම තබා ගන්නේ ඔහු කන්කසන්තුරේට ගොස් වැඩ භාර ගැනීමටත් මත්තෙනි. ඒ අනුව ජාතික පොලිස් කොමිසම විසින් ජාලිය සේනාරත්න මහතාට ලබාදුන් ස්ථාන මාරුවීම ඔවුන් බලාපොරොත්තු වූ ආකාරයට කොතරම් දුරකට සිදුවීදැයි ඔවුන්ම සිතා බැලිය යුතු කරුණක් බවට මේ වන විට පත්ව හමාරය.
බිම්සානිට එරෙහිව පොලිසිය ඇතුළේ කැරැල්ලක්
මේ අතර පොලිස් නීති අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර , ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ ජාලිය සේනාරත්න මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 14 දෙනෙක් වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට නීතීඥයෙකු මාර්ගයෙන් එන්තරවාසියක් යොමු කරනුයේ රුපියල් මිලියන 70ක් ඉල්ලමිනි. ඒ ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ නියෝජ්‍ය පොලිස්පති ධුරයට පත්වූ බිමිසානි ජාසිංහ ආරච්චි මහත්මියගේ එම පත්වීම ලබාදීම අභියෝගයට ලක්කරමිනි. බිම්සානිව මේ වන විට නියෝජ්‍ය පොලිස්පති ධුරයට පත්කර ඇත්තේ වැඩ බලන පදනම මතය. කාන්තා පොලිස් නිලධාරීනියන් අතර දැනට පොලිස් සේවයේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරිනිය වන්නේ ඇයයි. ඇයව නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කරන්නට යැයි වැඩ බලන පොලිස්පතිවරයාට නිර්දේශ කරන්නේ ජාතික පොලිස් කොමිසම විසිනි. වැඩ බලන පොලිස්පතිවරයාට එන්තරවාසිය යොමුකරන ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 14 දෙනා පෙන්වා දෙන්නේ කාන්තා නිලධාරිනියන් වෙනුවෙන් නියෝජ්‍ය පොලිස්පති ධුරයක් වෙන්කර නොමැති බැවින් ඇයට එම තනතුර ලබාදීම නීති විරෝධි බවය. ඒ අය පෙන්වා දෙන්නේ නැති තනතුරකට ඇයව පත්කර ඊට අදාළ වැටුප් ලබාදීමේදී මුදල් රෙගුලාසි උල්ලංඝනය වන බවය. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 14 දෙනා වැඩ බලන පොලිස්පතිවරයාට එන්තරවාසිය මගින් දැනුම් දෙන්නේ ජාතික පොලිස් කොමිසම විසින් උපදෙස් දුන්නද බිමිසානි නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් නොකරන ලෙසය. මෙම නිලධාරීන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ එක් අයෙකුට රුපියල් මිලියන 05 බැගිනි.
වැඩ බලන පොලිස්පතිවරයා එම එන්තරවාසියට ප්‍රතිචාර දක්වන්නේ බිම්සානි වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරියක් ලෙස උසස් වීමක් ලබාදෙමින් ඉකුත් 09 වෙනිදා ඇයව පොලිස් සුභසාධනය මුළුමනින්ම භාරදෙමිනි. අනතුරුව එම එන්තරවාසිය ඔහු විසින් යොමු කරනුයේ ජාතික පොලිස් කොමිසමටය. ඒ එම නිලධාරීන් 14 දෙනාට එරෙහිව පැමිණිල්ලක් ලෙසිනි.
පොලිස් කාන්තාවන්ට ඇයි මේ කෙනෙහිලි…
ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසය පුරාවටම කාන්තා නිලධාරීන්ට සිදුව ඇත්තේ කෙනෙහිලිය. මේ ගැන කියන්නේ අප නොව කාන්තා නිලධාරීන්ය. ශ්‍රී ලංකා පොලිසීයේ කාන්තා නිලධාරිනියන්ට දොරගුළු විවර වන්නේ මෙරට පොලිස් සේවාව ස්ථාපිත කර වසර 87ක් ගෙවී ගිය 1953 වර්ෂයේදීය. කොස්තාපල්වරුන් ලෙස බඳවා ගැනෙන ඒ අයට ඉහළට යන්නට ක්‍රමවේදයක් එකල නොවීය. කාන්තා නිලධාරීන්ට සිදුවූයේ එකතැන පල්වන්නටය. ඊට එරෙහිව සටන් කරන්නේ ප්‍රමිලා දිවාකරය. පොලිස් කොස්තාපල්වරියක් ලෙස 1958 වර්ෂයේ පොලිස් සේවයට එක්වූ ඇය පිරිමි නිලධාරීන් සමග කරට කර සටන්කර කාන්තා නිලධාරීනියන්ට ඉහළට එන්නට අවස්ථාව උදාකර දෙන්නේ ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු කාන්තා සැරයන්වරිය, උප පොලිස් පරීක්ෂිකාව, පොලිස් පරීක්ෂිකාව, ප්‍රධාන පොලිස් පරීක්ෂිකාව, සහකාර පොලිස් පරීක්ෂාකාර, පොලිස් අධිකාරීවරිය සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරිය බවට පත්වෙමිනි. පොලිස් සේවයට එක්ව වසර 13කින් සැරයන් තනතුරට පත්වෙමින් පළමු සැරයන්වරිය වන ඇය 2002 වසරේ පොලිස් සේවයෙන් විශ්‍රාම යන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියක් ලෙසිනි. පොලිස් සේවයේ කාන්තා නිලධාරීනියන් වෙනුවෙන් වෙන්කර ඇති ඉහළම තනතුර වන්නේ ප්‍රමිලා දිවාකර මහත්මිය අවසන් වරට දැරූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරක් පමණි. එහෙත් මේ වන විට කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියන් 08 දෙනෙක් පොලිස් සේවයේ සිටින්නීය. ඒ නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස්වීම් ලැබූ බිම්සානි හැරුණු කොටය.
ශ්‍රී ලංකා පොලිස් සේවයේ පිරිස් පාලන අංශයේ දත්තයන්ට අනුව සමස්ත පොලිස් සේවයේ සිටිය යුතු නිලධාරීන් ගණන 85603 දෙනෙකි. ඒ අතර කාන්තා නිලධානියන් 11263 දෙනෙක් සිටින්නීය. ඒ අනුව පිරිමි නිලධාරීන් සිටිය යුතු ගණන 74340 දෙනෙකි. පොලිස්පති හැරුණු කොට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරු 12ක් පොලිස් දෙපාර්තමේන්තුවේ වෙන්ව ඇත්තේ පිරිමි නිලධාරීන් වෙනුවෙනි. සමස්ත පිරිමි නිලධාරීන්ගේ අනුපාතයක් සේ ගත් කල පිරිමි නිලධාරීන් 6195 දෙනෙකුට එක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් සිටින බව ඒ අනුව පෙනී යන්නේය. එහෙත් කාන්තා නිලධාරීනියන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිධුරයක් මෙතෙක් වෙන් කරන්නට තරම් පිරිමි නිලධාරීන් කාරුණික වී ඇති බවක් පෙනෙන්නට නැත. කාන්තා එක් නිලධාරිනියක් නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් වීම් ලබන විට ඊට එරෙහි වෙමින් පොලිස්පතිවරයාගෙන් නිලධාරීන් 14 දෙනෙක් මිලියන 70ක් ඉල්ලන්නේ නම් කාන්තා නිලධාරිනියක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කළහොත් කොපමණ මුදලක් ඉල්ලා පොලිස්පතිට එන්තරවාසි කොපමණ සංඛ්‍යාවක් ලැබේදැයි කියන්නට බැරිය. පිරිමි නිලධාරීන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුර වෙන්ව ඇති අනුපාතයට අනුව ගණනය කිරීමේදී කාන්තා නිලධාරීන් 11263 දෙනා වෙනුවෙන් අවම වශයෙන් කාන්තා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිනියක්වත් සිටිය යුතුය. මේ වන විට පිරිමි නිලධාරීන් වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසියේ වෙන්ව ඇති නියෝජ්‍ය පොලිස්පතිධුර ගණන 46කි. අනුපාතයක් ලෙස ගත් කල පිරිමි නිලධාරීන් 1616 දෙනෙක් වෙනුවෙන් එක් නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් සේවයේ සිටියි. කාන්තා නිලධාරීනියන් එම අනුපාතයට සැසසීමේදී නියෝජ්‍ය පොලිස්පතිධුරයේ සිටිය යුත්තේ එක් කාන්තා නිලධාරිනියක් නොව, නිලධාරිනියන් 07කට නියෝජ්‍ය පොලිස්පතිවරියන් වන්නට අවස්ථාව ඇත්තේය.
පොලිස් දෙපාර්තමේන්තුවේ පිරිස් සංඛ්‍යා දත්තයන්ට අනුව පිරිමි නිලධාරීන් වෙනුවෙන් වෙන්වී ඇති ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධුරයන් ගණන 169කි. ඒ පිරිමි නිලධාරීන් 440 දෙනෙකුට එක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් ලෙසිනි. මේ තත්වය ගත් කල කාන්තා නිලධාරිනියන්ට වෙන්විය යුතු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධුරයන් ගණන 25කි. මේ වන විට කාන්තා නිලධාරිනියන් 08 දෙනෙක් එම තනතුර දැරිය යුතුය. එහෙත් ලේඛනගත දත්තයන්ට අනුව කාන්තා නිලධාරීන්ට වෙන්ව ඇත්තේ එක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධුරයක් පමණි.
එසේම පිරිමි නිලධාරීන් වෙනුවෙන් පොලිස් අධිකාරී ධුර 162ක්ද සහකාර පොලිස් අධිකාරී ධුර 314ක්ද වෙන්ව තිබේ. මෙම තනතුරු දෙකටම කාන්තාවන්ට වෙන්ව ඇත්තේ 20ක් පමණි. ඒ අනුපාතයක් සේ ගත් කල කාන්තාවන්ට පොලිස් අධිකාරී ධුරයන් 24ක්ද සහකාර පොලිස් අධිකාරී ධුරයන් 47ක්ද වෙන් කිරීමට ඇති තත්වයක් පැවතියදීය.
සෙසු නිලයන් සම්බන්ධයෙන්ද ඇත්තේ මෙවන් තත්වයකි. කාන්තාවන්ට සම තැන වෙනුවට ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව තුළද ඇත්තේ කාන්තාවන් තලා පෙලා දැමීමකි. වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති බිම්සානි ඇතුළු අද වන විට පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළින්ම සිටින කාන්තා නිලධාරීනියන් 09 දෙනාම පිරිමි නිලධාරීන්ට නොදැවෙනි ලෙස ආදර්ශමත්ව වැඩ කර ඇති අයය. බිමිසානි සුබසාධනය භාර ගැනීමට පෙර සේවයේ නිරතව සිටියේ පොලිස් කාන්තා හා ළමා අපයෝජන වැළැක්වීමේ කාර්යංශයේ අධ්‍යක්ෂිකාව ලෙසිනි. ඇය නිහඬව ළමා හා කාන්තාවන් වෙනුවෙන් දැවැන්ත වැඩ කොටසක් කළාය. අල්ලස් කොමිසමේ විමර්ශන අංශයේ අධ්‍යක්ෂකවරිය ලෙස සේවය කරන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පද්මිණි වීරසූරිය මහත්මියයි. ඇයද අල්ලසට එරෙහිව දැවැන්ත වැඩ කොටසක් කරමින් සිටින්නීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක හා වෝහාරික පරිගණක අංශයේ අධ්‍යක්ෂකවරිය වන්නේ ද කාන්තා නිලධාරිනියකි. ඇය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දර්ශිකා කුමාරි මහත්මියයි. එසේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිපාලන කටයුතු භාරව කටයුතු කරන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියක් වන ඉමේෂා මුතුමාලි මහත්මියයි. පොලිස් දෙපාර්තමේන්තුවේ පරියේෂණ හා සැලසුම් භාරව සිටින්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රේණුකා ජයසුන්දර මහත්මියයි. පොලිස් මූලස්ථානයේ පරිපාලන බර කරට ගෙන සේවයේ නිරතව සිටින්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියක් වන ධීමතී පෙරියප්පෙරුම මහත්මියයි. ඇය ලෝකයේ හොඳම පොලිස් කාන්තාව ලෙසද සම්මානයට ලක්වූ තැනැත්තියකි. එසේම රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ධුර දරමින්ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියන් දෙදෙනෙක් සේවයේ නිරතව සිටින්නීය. ඒ එක් අයෙක් වන්නේ තිලිනා ජයවර්ධන මහත්මියයි. දෙවැන්නා නිශාන්ති සෙනෙවිරත්නය. ඇය මේ වන විට සේවයේ නිරතව සිටින්නේ ඉන්දියාවේ තමිල්නාඩුවේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂාව භාර නිලධාරිනිය ලෙසිනි. එසේම පොලිස් රෝහල මුළුමනින්ම මේ වන විට පරිවර්ථනයකට ලක්කරමින් එහි ප්‍රධානියා ලෙස සේවයේ නිරතව සිටින්නේ මදාරා ආරියසේන මහත්මියයි. ඇයට පොලිස් රෝහල භාර දෙන්නේම එය ගොඩ නගන්නටය. ඒ දූෂණ අක්‍රමිකතාවලින් පිරුණු මඩ ගොහොරක් බවට එය පත්ව ඇති බවට චෝදනා එල්ලවීම නිසාය.
අපේ රටේ පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළම තනතුරු දරමින් පිරිමි නිලධාරීන් පරයා යමින් අවංකව කැපවීමකින් සේවයේ නිරතව සිටින මෙම නිලධාරිනියන් ගැන රටේ ජනතාව දන්නේ නැත. ඒ පිරිමි නිලධාරීන් මෙන් මාධ්‍ය ඉදිරියේ මේ අය වැඩ කරන්නට නොයන බැවිණි. එහෙත් පිටතට නොපෙනෙන සැබෑ වැඞ්ඩන් කාන්තා නිලධාරීන්ය. පිරිමි නිලධාරීන් බියක් දක්වන්නේ ඊටය.
රුවන් වෙඩිවර්ධන