පසුගිය යහපාලන ආණ්ඩු සමයේ දේශපාලන පළිගැනීමට ලක්වූ බව කියමින් රාජ්‍ය නිලධාරීන් 27 දෙනෙකුට වන්දි වශයෙන් රුපියල් කෝටි 12ක් ගෙවීම සඳහා සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායම කටයුතු කරමින් සිටිනබව වාර්තා වෙනවා.
මැයි 09දා ඉල්ලා අස් වූ අගමැති මහින්ද රාජපක්ෂ නමින් ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ මේ කැබිනට් පත්‍රිකාව මේ වන විට වර්තමාන අගමැති දිනේෂ් ගුණවර්ධන මගින් කැබිනට්ටුවට ඉදිරිපත් කිරීමටයි ඔවුන් සූදානම් වන්නේ.
පොහොට්ටුවේ ඉහළම පෙළේ පිරිසක් මෙම බලපෑම අගමැතිවරයාට කරමින් සිටින බවද ආරංචි මාර්ග පවසනවා.
එක් නිලධාරියෙකුට රුපියල් ලක්ෂ 7 සිට ලක්ෂ 250 දක්වා මුදලක් හිමි වීමට නියමිත බවයි කියන්නේ.
තවත් රාජ්‍ය නිලධාරීන් එකොළොස් දෙනෙකු සදහා වන්දි ලබා දීම මේ වටයේ දී ප්‍රතික්ෂේප ව ඇත්තේ ඔවුන්ට එරෙහිව පවතින නඩු අවසන්ව නොමැති නිසා හෝ සමහර නඩු යළි පැවරීමට අධිකරණය උපදෙස් දී ඇති නිසයි.
වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගමැති ධූරය දැරූ යහපාලන ආණ්ඩු සමයේ දේශපාලන පළිගැනීමට ලක්වූවා යයි කියා වන්දි ලබා ගැනීමට සැරසෙන නිලධාරීන් අතර හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ හිටපු ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්ද ඇතුලත් වෙනවා.
හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග (රුපියල් ලක්ෂ 150), හිටපු ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් (රුපියල් ලක්ෂ 240), හිටපු ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කළමනාකාර අධ්‍යක්ෂ පියදාස කුඩාබාලගේ (රුපියල් ලක්ෂ 24., විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට (රුපියල් ලක්ෂ 140), මහේස්ත්‍රාත් තිළිණ ගමගේ (රුපියල් ලක්ෂ 60), ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු ලේකම් නීල් බණ්ඩාර හපුහින්න (රුපියල් ලක්ෂ 59), දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් කිත්සිරි රණවක (රුපියල් ලක්ෂ 48) සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ (රුපියල් ලක්ෂ 42) ලෙස මෙම වන්දි ගෙවීමට සැලසුම් කරන බවයි වාර්තා වෙන්නේ.