සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කුවේට් තානාපති Khalaf bu dhhair මහතා අතර විශේෂ හමුවක් සහ සාකච්ඡාවක් අද (27) සිදුවූ අතර මේ වනවිට කොරෝනා වෛරසය හේතුවෙන් කුවේටයේ අසරණව සිටින ශ්‍රී ලාංකික ජනතාවට අවශ්‍ය සහන සැලසීම සහ ඔවුන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී කුවේට් තානාපතිවරයාගේ අවධානය යොමු කරනු ලැබීය.
මේ හමුවෙන් පසු මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කළ සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ ආණ්ඩුව නොපමාව කුවේටයේ සිටින අපේ ජනතාව වෙනුවෙන් මැදිහත් වියයුතු බවය.
මේ ව්‍යසනය හේතුවෙන් ඉන්දියාව,තායිවානය,බංගලදේශය වැනි රටවල් කුවේටයේ වෙසෙන තම ශ්‍රමිකයින් සුරක්ෂිත කිරීමට කටයුතු කරද්දී ශ්‍රී ලංකාවේ බලධාරීන් අලස සහ මන්දගාමී ලෙස කටයුතු කරන බව සජිත් ප්‍රේමදාස මහතා කීය.
එදා මැතිවරණය වෙලාවේ රටවිරුවන් සේ හැදින්වූ අපේ විදෙස් ශ්‍රමිකයින් අද ආණ්ඩුව විසින්ම බෝම්බකරුවන් සේ හැදින්වීම තුළින් ගම්‍ය වන්නේ ආණ්ඩුවේ කළගුණ නොදත් අමානුෂික ස්වරූපය බවද ඒ මහතා කීය.
පසුගියදා සීෂෙල්ස් දිවයිනෙන් එරට පුරවැසියන් මෙරටට ගෙන ඒමේදී ඔවුන් බෝම්බකරුවන් නොවූ බවත් අපේ රටට විදෙස් විනිමය ගෙනෙන අහිංසක අපේම පුරවැසියන් ආණ්ඩුවට බෝම්බකරුවන් වීම විමතියට කරුණක් බවත් සජිත් ප්‍රේමදාස මහතා කීය.
ආණ්ඩුව වහාම කුවේට් ඇතුළු මැදපෙරදිග අසරණව සිටින අපේ ජනතාව කෙරෙහි සක්‍රීයව මැදිහත්විය යුතු බවද ඒ මහතා කීය.










