ඇමෙරිකාවේ 2020 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අහන්න මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලයට දේශපාලනඥයෝ කිහිපදෙනෙක් පැමිණ සිටියහ. ඒ අතර හිටපු විදේශ ඇමැති මංගල සමරවීරද විය. 2020 ජනාධිපතිවරණයේදී බයිඩන්ගේ ජයග්‍රහණය මංගල වගේම ඇමෙරිකාව සමග සම්බන්ධතා ඇති විපක්ෂයේ අනෙක් දේශපාලනඥයන් හිතුවේ එවක බලයේ සිටි ගෝඨාභයගේ ආණ්ඩුවට ලොකු තර්ජනයක් ලෙසය. 2015 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පරාජය කිරීම ඇමෙරිකානු කුමන්ත්‍රණයක් බව රාජපක්ෂවරු ප්‍රසිද්ධියේ පවසා තිබිණි. ඔවුන් බලා සිටියේ 2017 ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් ඔබාමාගේ පක්ෂය පරාජය වී රිපබ්ලිකන් පක්ෂය බලයට පත්වන තෙක්ය. මානව හිමිකම් වෙනුවෙන් පෙනීසිටින ඩිමොක්‍රටික් පක්ෂයට වඩා රිපබ්ලිකන් පක්ෂය තමන්ට වාසිසහගත යැයි රාජපක්ෂවරු සිතූහ. 2017 ට්‍රම්ප් ජනාධිපති ලෙස පත්වූවාට පසු ගෝඨාභයගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගන්න ට්‍රම්ප්ගේ ආණ්ඩුව උදව් කළ බව එකල කතාබහට ලක්විය. ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ප්‍රධාන බාධාව වූයේ ගෝඨාගේ ඇමෙරිකානු පුරවැසිභාවයය. එකල විදේශ ඇමැති වූ මංගල පැවැසුවේ ගෝඨාගේ පුරවැසිභාවය ඉවත් කර නැත කියාය. නමුත් මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය ගෝඨා සිය පුරවැසිභාවය ඉවත් කරගෙන ඇති බව නිවේදනය කරනු ලැබීය. මංගල ඔහුගේ දේශපාලන ජීවිතයට වසර 30ක් පිරීම නිමිත්තෙන් ලංකාවේ පැවැති උත්සවයට ඩිමොක්‍රටික් පාක්ෂික සමන්තා පවර් පැමිණ ට්‍රම්ප්ව දැඩි ලෙස විවේචනය කළේය. මෙයට එවක අගමැති රනිල් එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. එයට හේතුව ඇමෙරිකාවේ බලයේ සිටි ට්‍රම්ප් සමග ගැටුමක් හදාගන්න ඔහු කැමැති වූයේ නැති නිසාය. (Sri Lanka Latest News)
රනිල් රිපබ්ලිකන් පක්ෂය සමග සමීප සබඳතා පැවැත්වුවද මංගල සහ මෛත්‍රී-රනිල් ආණ්ඩුව හදන්න සහාය දුන් චන්ද්‍රිකා සමීප සබඳකම් පැවැත්වූයේ ඩිමොක්‍රටික් පක්ෂය සමගය. 2020 ජනාධිපතිවරණයෙන් බයිඩන් ජයගත් විට මංගල සහ චන්ද්‍රිකා වඩාත් සතුටට පත්වූහ. US AID ප්‍රධානී ලෙස පත්කළ මංගලගේ මිතුරිය සමන්තා පවර් ලංකාවේ මහජන නැගිටීම් සංවිධාන කරන්න ඔත්තුකාරයන් එවා ඇතැයි එකල රාජ්‍ය මාධ්‍යවල ප්‍රවෘත්ති පළවිය. ගෝඨාගේ උපදෙස් මත විදේශ අමාත්‍යාංශය මෙරට ඇමෙරිකානු තානාපතිනිය ගෙන්වා මේ ගැන ප්‍රශ්න කළ බවත් වාර්තා විය.
බයිඩන්ගේ ආණ්ඩුව සමග ගෝඨාභයගේ සබඳතා දුර්වල විය. ගෝඨාට එරෙහි අරගලයට ඇමෙරිකාවේ සහාය පළවූ බවටද ගෝඨාම පසු කලක චෝදනා කළේය. ගෝඨාට පසු ජනාධිපති වූ රනිල්ටද බයිඩන්ගේ ආණ්ඩුව සමග සමීප සබඳතා තිබුණේ නැත. බයිඩන්ගේ ආණ්ඩුව රනිල්ට ආර්ථිකය ගොඩනගන්න උදව් කළද රනිල් බලාපොරොත්තු වූ උදව් ලැබුණේ නැත. ඔහුත් බලාසිටියේ ඔහු ජනාධිපතිවරණය ජයගත් පසු ට්‍රම්ප් යළි ජනාධිපති වෙයි කියාය.
මේ ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් ජනාධිපති වුවහොත් ලංකාවට එරෙහි මානව හිමිකම් චෝදනා සමථයකට පත්කර ගතහැකි වනු ඇතැයි අනුර කුමාරගේ ආණ්ඩුව සිතනවා විය හැකිය. නමුත් අනුර කුමාර ඇමෙරිකානු සබඳතා ශක්තිමත් කරගත්තේ බයිඩන්ගේ ආණ්ඩුව සමගය. ඒ, මෙරට ඇමෙරිකානු තානාපතිනිය ජූලි චන්ග් හරහාය. ඇමෙරිකානු හිතවාදී රනිල් ජනාධිපති වූ විට සුබ නොපතපු බයිඩන් අනුර ජනාධිපති වූ විගස සුබ පැතුවේය. ඇමෙරිකානු ජනාධිපතිවරණය ලංකාවට එල්ල කරන බලපෑම ගැන අනුරගේ ආණ්ඩුවට අවබෝධයක් තියෙනවාද දන්නේ නැත. ඔහු සම්බන්ධතා ශක්තිමත් කරගත් නමුත් ඩිමොක්‍රටික් ජනාධිපති කෙනෙක් පත්වෙනවාට කැමැති වනු ඇත.











