ලොව ප්‍රමුඛ TOYOTA සහ HINO රථවාහන සන්නාම සඳහා දේශීය හිමිකරුවන් මෙන්ම නියෝජිතයින් වන Toyota Lanka විසින්, ශ්‍රී ලංකාවේ රථ වාහන අනතුරු හා සම්බන්ධ අලුත්වැඩියා කිරීම් ක්ෂේත්‍රයේ නවමු වෙනසක් ඇති කරමින්, ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ සමාගම් සමූහයක් වන LOLCහි පූර්ණ හිමිකාරීත්වය ඇති එහි අනුබද්ධිත සමාගමක් වන LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් සමඟින් නව සබඳතාවයකට එළඹී ඇත. මෙම හවුල්කාරීත්වය හරහා පාරිභෝගිකයින්ට ඉතා කඩිනමින් හා පහසුවෙන් ඔවුන්ගේ රථවාහන ගැටලු විසඳා ගැනීම සඳහා පරිපූර්ණ රක්ෂණාවරණයක් ලබා දීමට TOYOTAසහ LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් ක්‍රියා කරයි.
මෙම සුවිශේෂී රක්ෂණාවරණය දියත් කරමින් වූ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම පසුගියදා සිදු වූ අතර, එම අවස්ථාව සඳහා පාර්ශ්ව ද්විත්වයම නියෝජනය කරමින් Toyota Lanka හි කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී මනෝහර අතුකෝරල මහතා සහ LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් හි ප්‍රධාන විධායක නිලධාරී කිත්සිරි ගුණවර්ධන මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.











