සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, සිය ගනුදෙනුකරුවන්ගේ පහසුව වෙනුවෙන් ‘My Brochure Portal’ නමින් විශේෂ ද්වාරයක් සිය නිල වෙබ් අඩවියට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.
සෙලාන් බැංකුවේ සේවාවන් සම්බන්ධ නවතම තොරතුරු ඇතුළත් ප්‍රචාරණ පත්‍රිකා, අත්පත්‍රිකා සහ වීඩියෝ දර්ශන ආදිය මෙම ද්වාරයට ඇතුළත් කර තිබේ. මින් ඉදිරියට මෙම ද්වාරයට පිවිසීම මගින් ගනුදෙනුකරුවන් සෙලාන් බැංකුවේ සේවාවන් පිළිබඳ නවතම තොරතුරු ඉතාමත් පහසුවෙන් ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත.
අත්පත්‍රිකා යනු, සමාගමක හෝ ආයතනයක නිෂ්පාදන හා සේවාවන් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා භාවිත කළ හැකි ඉක්මන් හා පහසු මාධ්‍යයකි. එහෙත් ලොව පුරා පවතින COVID-19 තත්ත්වය නිසා අත්පත්‍රිකා ආදිය මුද්‍රණය කිරීම හා බෙදාහැරීම අනාරක්ෂිත කටයුත්තක් බවට පත්වී ඇත. තවද COVID-19 තත්ත්වය මෙන්ම ඒ හේතුවෙන් වරින්වර පනවනු ලබන සංචරණ සීමා ආදිය නිසා, අත්‍යාවශ්‍යම කරුණකදී හැර ගනුදෙනුකරුවන් බැංකු ශාඛා වෙත පැමිණීමෙන් වැළකීමද සිදුවිය. මේ කරුණු සියල්ල සැලකිල්ලට ගනිමින්, පරිගණක සහ ජංගම දුරකතන ඇතුළු ඩිජිටල් උපාංග ඔස්සේ පහසුවෙන් පිවිසිය හැකි ද්වාරයක් හරහා තම සේවාවන් පිළිබඳ නවතම තොරතුරු ලබාගැනීමට ගනුදෙනුකරුවන්ට අවස්ථාව සලසා දීමට සෙලාන් බැංකුව තීරණය කරනු ලැබීය.











