ශ්‍රී ලංකා තරුණ සහ ක්‍රීඩා අමත්‍යාංශය ලාංකීය තරුණ ප්‍රජාව තුළ නව ව්‍යවසායික සංස්කෘතියක් නිර්මාණය කිරීමේ අරමුණින් දෙරණ මාධ්‍ය ජාලය මගින් මෙහෙයවනු ලබන Derana START UP 2021 රූපවාහිනී වැඩසටහනේ ව්‍යාපෘති සහකරු බවට පත්වීම සහ ඒ සඳහා වන අවබෝධතා ලිපියට අස්සන් තැබීම පසුගිය සැප්තැම්බර් මස 3 වැනි දින තරුණ සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතාගේ සහභාගිත්වයෙන් එම අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී සිදුවිය. මෙහිදී දෙරණ මාධ්‍ය ආයතනය වෙනුවෙන් එහි උප සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි ලක්සිරි වික්‍රමගේ සහ තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය වෙනුවෙන් එහි ලේකම් අනුරාධ විජේකෝන් යන මහත්වරුන් අදාළ අවබෝධතා ලිපියට අස්සන් තැබීය. මෙයට සමගාමීව මෙම ව්‍යාපෘතියේ ක්‍රමෝපායික හවුල්කරුවන් වන කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය, ශ්‍රී ලංකා නව නිපැයුම් කොමිසම, කාන්තා වාණිජ සහ කර්මාන්ත මණ්ඩලය, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SUM) සහ Hardtalk යන ආයතනයන් සමඟ වන අවබෝධතා ලිපි හුවමාරු කාර්යයද සිදුවිය.
දෙරණ මාධ්‍ය ජාලය,USAID හි තරුණ නිපුණතා සංවර්ධන හා ව්‍යවසායකත්ව ව්‍යාපෘතිය වන YouLead සහ ජෝර්දානු ලාභ නොබලන සංවිධානයක් වන Partners for Good (PfG) යන ආයතන ඒකාබද්ධව සිදුකරනා මෙම නවතම වැඩසටහන තුළින් දේශීය රැකියා වියුක්තිය අවම කරමින් දිවයින පුරා ශක්තිමත් අනාගත ව්‍යවසායකයන් රැසක් නිර්මාණය කිරීම සඳහා ශක්තිමත් පදනමක් සපයනු ලබයි. මෙයට අමතරව ව්‍යවසායකත්වය සම්බන්ධයෙන් සමාජය තුළ ඇති ඍණාත්මක ආකල්පය මඟහරවමින්, තාරුණ්‍ය තුළ ව්‍යවසායකත්වය සම්බන්ධයෙන් නව බලාපොරොත්තු ජනිත කරමින්, රැකියා අපේක්‍ෂා කරන්නන් නොව නව රැකියා අවස්ථා නිර්මාණය කරන්නන් වර්ධනය කරමින්, ජාතික ආර්ථික සංවර්ධනය සඳහා සක්‍රීය දායකත්වයක් ලබාදිය හැකි තාරුණ්‍යයක් රටපුරා ව්‍යාප්ත කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වෙයි.
වයස අවුරුදු 35ට අඩු, අවුරුදු දෙකක කාලයක් නොඉක්මවූ ව්‍යාපාරයක් හිමි තරුණ ව්‍යවසායකයන් හට මෙම තරගය සඳහා අයැදුම්පත් යොමු කිරීමේ හැකියාව ඇති අතර, තෝරාගනු ලැබූ සංචිත තුළ විවිධත්වය නිර්මාණය කරගැනීම සඳහා දිවයිනේ දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිදි තරගකරුවන්ගේ නියෝජනයන් සිදුවනු ඇත. එහිදී නිෂ්පාදනයේ හෝ සේවාවේ නව්‍යතාවය සහ නිර්මාණශීලී බව, වාණිජමය ශක්‍යතාවය, තරගකාරිත්වය සඳහා ඇති හැකියාව, සමාජයීය තිරසාර බව, රැකියා උත්පාදනය සහ ව්‍යාපාර පුළුල් කිරීමට ඇති හැකියාව වැනි සාධක ගණනාවක් යටතේ විශේෂඥ තේරීම් කමිටුවක් මගින් මෙම තේරීම් කාර්යය සිදුවන අතර, අවසන් තරගයේ විශිෂ්ටතම ව්‍යවසායකයන් තිදෙනා හට සිය ව්‍යාපාර පුළුල් කරගැනීම සඳහා රුපියල් මිලියන 3.9ක මුදලක් දිනාගැනීමේ අවස්ථාවද හිමිවෙයි.











