ඩයලොග් සහ මොබිටෙල් පෙර-ගෙවුම් සහ පසු-ගෙවුම් පහසුකම් දැනටමත් ඇතුළත් කර තිබෙන කොමර්ෂල් බැංකුවේ කොම්බෑන්ක් Q+ ගෙවීම් ඇප් සේවාවේ ‘In-App Bill Payments’ අංගය සඳහා බැංකුව විසින් අලුතෙන් එයාර්ටෙල් සහ හච් යන දුරකතන සමාගම් දෙකද ඇතුළත් කර තිබේ.
මේ අනුව, ජාතික ක්ෂණික ප්‍රතිචාර (QR) කේත පද්ධතිය වන LANKAQR යටතේ එළිදැක්වූ පළමු QR කේත පදනම් කරගත් ඇප් සේවාව වන කොම්බෑන්ක් Q+ ගෙවීම් ඇප් සේවාවට එයාර්ටෙල් සහ හච් එකතුවීමත් සමග ශ්‍රී ලංකාවේ සියලුම ජංගම දුරකතන ග්‍රාහකයන්ට මෙම ඇප් සේවාව මගින් දුරකතන බිල්පත් ගෙවීමට, රීලෝඩ් කිරීමට අවස්ථාව හිමිවේ.
තමන්ගේ දුරකතනයෙන් මෙම ඇප් සේවාව මගින් ගෙවීම් කිරීමට මුලින්ම කොමර්ෂල් බැංකුවේ ගනුදෙනුකරුවන් කොම්බෑන්ක් Q+ ගෙවීම් ඇප් පහසුකම App Store හෝ Google Play Store වෙතින් ඩවුන්ලෝඩ් කරගත යුතුය. ඉන් පසුව, අවශ්‍ය තොරතුරු (භාවිත කරන්නාගේ හඳුනාගැනීම සහ ඊ-මේල්) ඇතුළත් කර ලියාපදිංචි වෙමින් Q+ ගිණුමක් නිර්මාණය කරගත යුතු වේ. මෙහිදී, මූල්‍ය ගෙවීම් කිරීමට ගනුදෙනුකරුවන් තමන්ගේ කොමර්ෂල් බැංකු ක්‍රෙඩිට්, ඩෙබිට් හෝ පෙරගෙවුම් කාඩ්පත් මෙයට ඇතුළත් කළ යුතු වේ. ඉන් පසුව, එය භාවිත කරන්නන්ට ගෙවීම් කිරීමට හැකි වේ.











