‘බිස්නස් ටුඩේ’ සඟරාව සිදුකළ 2020-21 වසරේ ශ්‍රී ලංකාවේ ඉහළම කාර්ය සාධනයක් පෙන්වූ සමාගම් වර්ගීකරණයේදී සුපුරුදු පරිදිම බැංකු අතර ඉහළම ස්ථානය ලබාගැනීමට කොමර්ෂල් බැංකුව සමත්වී තිබේ.
මෙම වර්ගීකරණයට පළමු වරට මෙවර සමාගම් 40ක් ඇතුළත් වූ අතර එහි සමස්තයක් ලෙස තුන්වැනි ස්ථානය කොමර්ෂල් බැංකුවට හිමි විය.
‘බිස්නස් ටුඩේ’ විසින් කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් 05 අතරට අඛණ්ඩව තෝරාගත් 13 වැනි වසර මෙය වන අතර 2021 දෙසැම්බර් මාසයේදී නිකුත් කළ නවතම වර්ගීකරණයට අනුව කොමර්ෂල් බැංකුවට ලකුණු 33.05ක් ‘බිස්නස් ටුඩේ’ විසින් ලබාදී ඇත. මෙහිදී, 40 වැනි ස්ථානය දිනාගත් සමාගම ලකුණු 7.35ක් ලබාගත් අතර පළමු ස්ථානය ලබාගත් සමාගම ලකුණු 37.25ක් හිමිකර ගෙන තිබේ.
කොමර්ෂල් බැංකුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට සහ ක්ෂුද්‍ර ව්‍යාපාරවලට සහයෝගය දැක්වීම ප්‍රමුඛතාවයක් කරගනිමින් ජාතික ආර්ථිකය නැංවීම සඳහා විශාල සහයෝගයක් ලබාදෙන බව මෙහිදී ‘බිස්නස් ටුඩේ’ සඳහන් කර ඇත. කොවිඩ්-19 වසංගතයෙන් පීඩාවට පත්වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහයෝගය දැක්වීමට කොමර්ෂල් බැංකුව දැවැන්ත ණය යෝජනා ක්‍රම 02ක් ආරම්භ කර තිබෙන බවත් කොවිඩි-19 සහන ණය වැඩිපුරම ලබාදුන් පුද්ගලික අංශයේ බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත්වී තිබෙන බවත් මෙම සඟරාව පවසා තිබේ.











