ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) කළමනාකරණ ගණකාධිකාරීන්ගේ වරලත් ආයතනය (CIMA) සමග එක්ව වාර්ෂිකව පවත්වන සමීක්ෂණයේදී කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ වඩාත්ම ඇගයීමට පාත්‍ර වූ සමාගම් 10 අතරට නැවත වතාවක් තේරී පත්වීමට සමත්ව තිබේ.
2018 වසරේදී ආරම්භ කළ මෙම ලැයිස්තුවට ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික වාණිජ බැංකුව පිට පිටම ඇතුළත් වූ හතරවැනි අවස්ථාව මෙය වේ.
ශ්‍රී ලංකාවේ වඩාත්ම ඇගයීමට ලක්වූ සමාගම් තෝරාගන්නා සම්මාන වැඩසටහනට ලැයිස්තුගත සහ ලැයිස්තුගත නොවන සමාගම්වලට ඇතුළත් විය හැකිවේ. මෙහිදී, මූල්‍ය කාර්යසාධනයට අමතරව කොටස්කරුවන්ට, ගනුදෙනුකරුවන්ට, සේවකයන්ට සහ සමස්තයක් ලෙස ප්‍රජාවට සමාගම් විසින් ලබාදී තිබෙන වටිනාකම්ද සැලකිල්ලට ගනී. මීට අමතරව, මෙම සමාගම්වල තිබෙන අඛණ්ඩත්වය, අධිකාරිය, තිරසාර වර්ධනය සහ විශිෂ්ට ව්‍යාපාරික කාර්යසාධනයද මෙම ඇගයීම සඳහා සැලකිල්ලට ගෙන තිබේ.











