CDB, වෙතින් තවත් පාසල් ද්විත්වයකට සුහුරු පරිගණක විද්‍යාගාර පිරිනැමේ

සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) සමාගමේ සුහුරු පරිගණක විද්‍යාගාර ව්‍යාපෘතියේ නවතම අදියර යටතේ, එම සමාගමේ 25 වැනි සංවත්සරයට සමගාමීව තවත් පාසල් 20කට සුහුරු පරිගණක විද්‍යාගාර (Smart Computer Lab) පරිත්‍යාග කිරීමට සැලසුම් කර ඇත. CDB සමාගමේ ප්‍රමුඛතම තිරසාරත්ව ව්‍යාපෘතියක් වන මෙහි මූලික අරමුණ වන්නේ, ළමා පරපුරේ තාක්ෂණ දැනුම හා ඩිජිටල් සාක්ෂරතාව නංවාලමින් වඩාත් සුහුරු හා තිරසාර ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ මෙහෙවරට දායක වීමය.

මීට වසර 13කට පෙර ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය මගින් ගම්පහ, කළුතර, කුරුවිට, කෙහෙල්පන්නල, මොනරාගල, මදුරන්කුලිය, කඳපොළ, කුරුණෑගල, අනුරාධපුර, යාපනය සහ තිස්සමහාරාමය යනාදී ප්‍රදේශවල පිහිටි පාසල් 11ක් වෙත මේ ආකාරයේ සුහුරු පරිගණක විද්‍යාගාර පිරිනමා තිබේ.

ග්‍රාමීය ප්‍රජාවන් තුළ ඩිජිටල් සාක්ෂරතාව වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව හඳුනාගැනීමෙන් පසු, ළමා පරපුරට ඩිජිටල් ලෝකය හා සම්බන්ධ වීමට අවශ්‍ය තොරතුරු තාක්ෂණ කුසලතා සහ දැනුම ලබාගත හැකිවන පරිදි දිවයින පුරා පිහිටි පාසල් වෙනුවෙන් තවත් සුහුරු පරිගණක විද්‍යාගාර 20ක් කඩිනමින් පරිත්‍යාග කිරීමට CDB ප්‍රතිඥා දී තිබේ.

මෙය එක්සත් ජාතීන්ගේ සංවර්ධන ඉලක්ක අතර සිවුවැනි ඉලක්කය වන ‘ගුණාත්මක අධ්‍යාපනයක්’ යන්න පදනම් කරගත් ව්‍යාපෘතියකි. මේ ඔස්සේ ගුණාත්මකභාවය සඳහා අවශ්‍ය නවීන තාක්ෂණ පහසුකම් සපයන අතරම රටේ පාසල් සිසුන් අතර ඩිජිටල් සාක්ෂරතාව වැඩිදියුණු කිරීම CDB සමාගමේ බලාපොරොත්තුව වේ.

ව්‍යාපෘතියේ නවතම අදියරේ පළමු සුහුරු පරිගණක විද්‍යාගාරය කොළොන්නාව ශාන්ත ජෝසප් විද්‍යාලයේ ස්ථාපිත කරන ලද අතර, තවත් විද්‍යාගාර දෙකක් ඌව පළාතේ කුරුවිතැන්න මහා විද්‍යාලයේ සහ මධ්‍යම පළාතේ අටබාගේ උඩුගම මහා විද්‍යාලයේ ස්ථාපිත කරන ලදී.

Exit mobile version