ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත්කරමින් වීරයන්, දුෂ්ටයන් වගේම පෙම්වතුන් පෙම්වතියන් සිනමා තිරය තුළ ප්‍රතිනිර්මාණය කළ අපගේ සිනමා අඹරේ දිදුළන තාරකාවලට ශක්තියක් වන සිනෙස්ටාර් පදනම, ඩයලොග් ආයතනය සමඟ එක්ව ඉදිරිපත් කරනු ලබන ‘ඩයලොග් රිදී රැයක්’ ප්‍රසංගය මෙවර ‘Best of ඩයලොග් රිදී රැයක්’ නමින් ඔබ වෙත ගෙන ඒමට සැලසුම් කර ඇත. වර්තමානයේ පවතින කොවිඞ් 19 තත්ත්වය යටතේ පෙර ලෙස සජීවි අයුරින් මෙය සංවිධාන කිරීමට නොහැකි බැවින් පසුගිය වසර පහක කාලය තුළ ඩයලොග් ආයතනයේ අනුග්‍රහයෙන් පවත්වනු ලැබූ සියලුම රිදී රැයක් ප්‍රසංගයන්ගේ ආකර්ෂණීය ප්‍රාසාංගික අංගයන් සහ එම ප්‍රාසාංගික අවස්ථාවලදී සහ පුහුණුවීම් කාර්යයන්වලදී අදාළ රංගන ශිල්පීන් අත්විඳි රසවත් අත්දැකීම් ප්‍රේක්ෂක සහෘදයන් සමඟ බෙදාගනිමින්, අදාළ ප්‍රාසාංගික අංගයන් ඔවුන් විසින්ම ඉදිරිපත් කරන අයුරින් නිර්මාණය කර ඇති මෙම ආකර්ෂණීය මෙන්ම විනෝදාත්මක “Best of ඩයලොග් රිදී රැයක්” ප්‍රසංගය, දෙසැම්බර් 31 රාත්‍රි 8.30ට ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ විකාශය කිරීමට සැලසුම් කර ඇත.
ලාංකීය ප්‍රේක්‍ෂකයන් වෙත නැවුම් අත්දැකීමක් එක් කරමින්, සිය සිනමා තාරකාවන් දැකගැනීමටත්, ඔවුනගේ ආකර්ෂණීය ප්‍රාසාංගික අත්දැකීම් විඳගැනීමටත් මනා අවස්ථාවක් නිර්මාණය කරමින් සංවිධානය කිරීමට යොමු වූ මෙම ‘ඩයලොග් රිදී රැයක්’ ප්‍රසංගය යනු ලාංකීය ප්‍රාසංගික කලාවේ සුවිශේෂී අනන්‍යතාවයක් හිමිකරගත් වැඩසටහනකි. විශේෂයෙන් වාර්ෂික ප්‍රාසාංගික වැඩසටහන් නාමාවලියේ ප්‍රමුඛම ස්ථානය හිමිකරගත් මෙම ‘ඩයලොග් රිදී රැයක්’ ප්‍රසංගය සෑම වසරකම දෙසැම්බර් 31වන දිනයේ ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත් රූපවාහිනී ප්‍රාසාංගික වැඩසටහනද වේ.