ජයග්‍රහණය යනු ඉමහත් කැපකිරීමක ප්‍රතිඵලයකි. එයට වෙනත් කිසිදු බාධාවන් නොමැත යන්න මැනවින් සනාථ කරනු ලැබූ සිදුවීමක් සිදුවිය. ඒ, ශ්‍රී ලාංකීය පැරාලිම්පික් ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත හේරත් ලොවම අභිබවමින් ලෝක වාර්තාවක්වද සමගින් 2020 ටෝකියෝ පැරාලිම්පික් උළෙලේදී F46 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේදී මීටර් 67.79ක දුරක් හෙල්ල විසි කරමින් රන් පදක්කම හිමිකර ගැනීමට සමත් වීමය.
2020 ටෝකියෝ පැරාලිම්පික් නියෝජනය කරන ලාංකීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට සිය දක්ෂතා දැක්වීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සැපයුම්කරු වන ඩයලොග් ආසිආටා පීඑල්සී, සිය අනුග්‍රාහක දායකත්වය ලබාදීමට මෙවර ඉදිරිපත්ව ඇත. මෙයට අමතරව ජාතික පැරාලිම්පික් කමිටුව සහ ශ්‍රී ලංකා යුද හමුදා පැරාලිම්පික් ක්‍රීඩා කමිටුවද සිය අඛණ්ඩ අනුග්‍රාහක දායකත්වය සපයයි.
මෙවර ශ්‍රී ලාංකීය පැරාලිම්පික් කණ්ඩායමේ නායකයා වන දිනේෂ් ප්‍රියන්ත, ශ්‍රී ලාංකීය කණ්ඩායමේ සිටින ඔලිම්පික් පදක්කම්ලාභී, අත්දැකීම් සහිත මෙන්ම ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩයකයන් අතරින් කෙනෙකි.
2008 වසරේදී කිලිනොච්චියේ ක්‍රියාන්විත රාජකාරියේ නිරතව සිටියදී වම් අතට එල්ල වූ වෙඩි ප්‍රහාර තුනක් හේතුවෙන් ආබාධි තත්ත්වයට පත්වන දිනේෂ්, සිය ආබාධිත බවට අභියෝග කරමින් ඉන් වසර හතරකට පසුව දිනේෂ් පැරාලිම්පික් ක්‍රීඩකයකු ලෙස හෙල්ල විසිකිරීමේ ක්‍රීඩාවට යොමුවන්නේ, අවතැන්වූ සිටි මනසට ශක්තියක් ලබාදීමේ අරමුණෙනි. ඔහු මෙවර රන් පක්කම හිමිකර ගැනීම ලාංකීය ඔලිම්පික් තරග ඉතිහාසය තුළ ස්වර්ණමය මතකයන් රැසක් ලියවීමේ සමාරම්භක අවස්ථාව වනු නිසැකය.











