ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) සමූහය, බදු පසු ලාභයේ 25%ක කැපී පෙනෙන වසරින් වසර වර්ධනයක් අත්කර ගනිමින් 2020 මූල්‍ය වර්ෂය ශක්තිමත් ලෙස අවසන් කිරීමට සමත්ව සිටී. COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් ඇතිවූ අභියෝගාත්මක වාතාවරණය හමුවේ වුවද රු. බිලියන 7.9ක් වන එම වර්ධනය ළඟාකර ගැනීමට හැකි වීම කැපී පෙනේ.
ගතවූ මූල්‍ය වර්ෂය තුළ සමූහයේ ආදායම රු. බිලියන 91.1ක් දක්වා වර්ධනය වූ අතර එය 6%ක වසරින් වසර වර්ධනයකි. ෆයිබර් සබඳතා ජාලය පුළුල් කිරීම සඳහා දියත් කරන ලද කඩිනම් වැඩපිළිවෙළ සහ ජංගම බ්‍රෝඩ්බෑන්ඩ් සේවා අංශයේ ඇති වූ වර්ධනය හේතුවෙන් ඉහළ නැංවුණු බ්‍රෝඩ්බෑන්ඩ් ආදායමේ වර්ධනය සමූහයේ සමස්ත ආදායම් වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු විය. PEO TV සහ ධාරක සේවා (Carrier Services) ආදායමද ගතවූ මූල්‍ය වර්ෂය තුළ වර්ධනය විය.
ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ පොලී ගෙවුම්, බදු ගෙවුම්, ක්ෂයවීම්, ක්‍රමක්ෂය ආදියට පෙර ලාභය (EBITDA)ද 2020 මූල්‍ය වර්ෂය තුළ රු. බිලියන 34.7ක, එනම් 16%ක වසරින් වසර වර්ධනයක් පෙන්නුම් කළ අතර පසුගිය වසරේ 35%ක් ලෙස වාර්තා වූ EBITDA ආන්තිකයද මේ වසරේදී 38%ක වර්ධනයක් පෙන්නුම් කළේය.











