ලොව සුප්‍රකට ව්‍යාපාරිකයෙකු සහ රොත්ස්චයිල්ඩ් පවුලේ සාමාජිකයෙකු වන නතෑන්යල් රොත්ස්චයිල්ඩ් මහතා පසුගියදා ශ්‍රී ලංකාවේ කෙටි ව්‍යාපාරික සංචාරයක නිරත විය. එහිදී ඒ මහතා ජනවාරි 14 දින කොළඹ වරාය නගරය වෙතද පැමිණියේය.
ශ්‍රී ලංකාවේ උපන් බි්‍රතාන්‍ය දේශපාලනඥයෙකු සහ යුරෝපා සංගමයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන නිරන්ජන් දේව ආදිත්‍ය මහතා සහ ව්‍යාපාර ලොවේ ප්‍රවීණයෙකු වන රාජන් බි්‍රටෝ මහතාද රොත්ස්චයිල්ඩ් මහතා සමග මෙම සංචාරයට එක්වී සිටියහ.
කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ විධායක ව්‍යාපෘති අධ්‍යක්ෂ රාජා එදිරිසූරිය මහතා සහ CHEC Port City Colombo සමාගමේ සහකාර කළමනාකාර අධ්‍යක්ෂ සූඒ යේචිංග් මහතා ඇතුළුව කොළඹ වරාය නගරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් විසින් රොත්ස්චයිල්ඩ් මහතා ප්‍රමුඛ කණ්ඩායම පිළිගන්නා ලදී.
ඉන් අනතුරුව, කොළඹ වරාය නගර ව්‍යාපෘතිය, එහි ඉදිකිරීම්වල ප්‍රගතිය සහ අනාගත සැලසුම් ආදිය සම්බන්ධයෙන් රොත්ස්චයිල්ඩ් මහතා ඇතුළු පිරිස දැනුවත් කෙරිණි. එහිදී රොත්ස්චයිල්ඩ් මහතා කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ගැනත්, විශේෂයෙන් එහි යාත්‍රාංගණය සහ සංචාරක කටයුතුවලට වෙන්කර ඇති ප්‍රදේශ ගැනත් විශේෂ උනන්දුවක් පෙන්නුම් කළේය.
ව්‍යාපාරික ලොව සුප්‍රකට පවුලක් වන රොත්ස්චයිල්ඩ් පවුලේ සාමාජික සාමාජිකාවෝ ලොව පුරා විවිධ ක්ෂේත්‍රවලට අයත් ව්‍යාපාරවලට සම්බන්ධ වී සිටිති. මෙම ව්‍යාපාර අතරින් රොත්ස්චයිල්ඩ් බැංකුව සහ, ආසියාතික මුහුදේ සුඛෝපභෝගී යාත්‍රා හා නිවාස ව්‍යාපෘතියක් වන ‘පෝර්ට් මොන්ටෙනේග්‍රෝ’ (Port Montenegro) විශේෂ තැනක් ගනී.











