ශ්‍රී ලංකාව ඩිජිටල්කරණය කිරීමේ සිය කැපවීම අඛණ්ඩව ඉදිරියට ගෙනයමින්, ජාතික ජංගම සේවා සැපයුම්කරු වන මොබිටෙල්, අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල ප්‍රකාර පාසල් සඳහා කරන අයදුම්පත් ඇගයීමට ලක් කිරීම සඳහා මාර්ගගත (ඔන්ලයින්) පද්ධතියක් දියත් කළේය. ඉහළ තරගකාරීත්වයක් ඇති පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් කැපී පෙනෙන ලකුණු ලබාගත් සිසුන්, වර්තමානයේ පුද්ගල වැරදි හා අනපේක්ෂිත ප්‍රමාදයන්ට ලක්විය හැකි ක්‍රමෝපායක් මත විශ්වාසය තබන අතර ඒ හේතුවෙන් නව පාසල් සඳහා අයදුම් කිරීමේදී අපහසුතාවයනට මුහුණ දෙති. 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව පාසල් අයදුම්පත් තක්සේරු කිරීමට පහසුකම් සපයන මෙම මාර්ගගත ඇගයීම් ක්‍රමය නිර්මාණය කිරීම සඳහා මොබිටෙල් සමාගම අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලදි. මෙම වැඩසටහන දියත් කිරීම දෙසැම්බර් 10 වන දින ගරු අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල්. පීරිස් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල්හි සමූහ ප්‍රධාන විධායක නිලධාරි ලලිත් සෙනෙවිරත්න මහතා ප්‍රමුඛ කොටගෙන අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ SLT සමූහයේ ඉහළ නිලධාරීන්ගේද සහභාගිත්වයෙන් සිදුවිය.
නව ක්‍රමය ස්ථර තුනක් මත පදනම් වූ තොරතුරු පද්ධතියකින් සමන්විත වේ. අමාත්‍යාංශ මට්ටම, තෝරා ගැනීමේ ක්‍රියාවලියේ පද්ධති පරිපාලනය, යෙදුම් කළමනාකරණය සහ අනෙකුත් සියලුම පරිපාලනමය ක්‍රියාකාරකම්වලින් සමන්විත වේ. අධ්‍යාපන කලාප මට්ටම, මෙහෙයුම් සහ අධීක්ෂණය සිදුකරන අතර පාසල් මට්ටමේදී විදුහල්පතිවරුන් විසින් ශිෂ්‍යත්ව සුදුසුකම් ලත් සිසුන් වෙනුවෙන් පාසල් තෝරාගෙන අයදුම් කිරීම සිදුකරයි. සුදුසුකම් ලත් සිසුන් සඳහා පාසල් කෙටි ලැයිස්තුගත කිරීම සඳහා මෙමඟින් භාවිතයට පහසු සහ ඩිජිටල්කරණය කළ විසඳුමක් ලබා දෙනු ඇත.











