ශ්‍රී ලාංකීය ක්‍ෂණික අවන්හල් ක්‍ෂේත්‍රයේ දිගු ඉතිහාසයකට මෙන්ම ජනප්‍රසාදය දිනාගත් ප්‍රමුඛතම සන්නාමයක් වන පෙරේරා ඇන්ඞ් සන්ස් සමාගම (P&S) පසුගියදා සිය 118 වන සංවත්සරය සමරනු ලැබීය. කාලීනව ජනතාවගේ අවශ්‍යතාවයන් සපුරාලමින්, ලොව නවීණතම තාක්‍ෂණයන් සමඟම මුසුවෙමින් ක්‍රියාත්මක වූ එම ආයතනය විසින් ලාංකිය බේකරි නිෂ්පාදන සහ සේවා කර්මාන්තයේ වර්ධනය සඳහා සුවිසල් මෙහෙයන් රැසක් සිදුකරනු ලැබීය.
වර්තමානයේ විවිධාංගීකරණය කරනු ලැබූ සේවා රැසක් ඔස්සේ පාරිභෝගික විශ්වාසය තව තවත් තහවුරු කරගැනීමට සමත්වූ P&S ආයතනයේ ආරම්භය 19 වන සියවසේ මූලාරම්භය දක්වා දිව යන්නකි. 1902 වසරේදී දකුණුලක ගාල්ල කෝදාගොඩ ගම්මානයේ විසූ චාල්ස් පෙරේරා මහතාගේ කොළඹ ආගමනයත් සමඟ එතුමන් අගනුවර ජනතාවගේ ආහාර අවශ්‍යතාවයන් සපුරාලීම අරමුණු කර ගනිමින් පාන් සහ කෙටි ආහාර නිෂ්පාදනයට යොමුවිය. පාන් නිෂ්පාදකයකු මෙන්ම ගෙයින් ගෙට ගොස් බෙදාහරින්නෙක් ලෙස ඔහු විසින් ආරම්භ කරනු ලැබූ මෙම ව්‍යාපාරය ඔහු ද අපේක්ෂා නොකර අයුරින් ඉන් දශක ගණනාවක් ඉක්මයත්ම බේකරි නිෂ්පාදන ක්‍ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් නිර්මාණය කරලීමට සමත් විය. වර්තමානය වන විට සිව්වන පරපුරේ උරුමක් බවට පත්වෙමින් P&S දේශීය ව්‍යාපාරික ක්‍ෂේත්‍රයේ සුවිශේෂී කඩයිම් රැසක් සනිටුහන් කිරීමටද සමත්ව ඇත.











