කොවිඞ්-19 වෛරසයට එරෙහිව සටන් වදින ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන් වෙනුවෙන් වෛද්‍ය ඇඳුම් කට්ටල 4,500ක් ප්රදානය කිරීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුව ඉදිරිපත් විය. නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රියන්ත තල්වත්ත මහතා විසින් පසුගිය 11 වැනිදා කොළඹදී මෙම ඇඳුම් කට්ටල නිල වශයෙන් සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත බාර දෙන ලදී.
නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා, සෞඛ්‍ය නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ආනන්ද ජයලාල්, නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ප්‍රජා සත්කාරක අංශයේ ප්‍රධානී තේජා සිල්වා, එම බැංකුවේ විධායක උප සභාපති රමණිකා උනම්බුව (මානව සම්පත්), ප්‍රධාන අලෙවි නිලධාරී සංජය සෙනරත්, උප සභාපති නිසජ ආර්යසිංහ (ණය අයකර ගැනීම්) සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ කාර්යමණ්ඩලයේ මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.
නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, වෛද්‍ය අනිල් ජාසිංහ ඇතුළු සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරින් සමග කරන ලද සාකච්ඡාවලින් අනතුරුව, තම ජීවිත අවදානම නොතකා කටයුතු කරන කොවිඞ්-19 වෛරස තත්ත්වයට විශේෂඥ රෝහල්වල ඉදිරිපෙළ සේවයේ නිරත සියලුම සෞඛ්‍ය කාර්යමණ්ඩලය සඳහා වෛද්‍ය ඇඳුම් කට්ටල ලබා දීමට තීරණය කළේය.











