ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන මහජන බැංකුව සිය මූල්‍ය ස්ථාවරත්වය, වර්ධනය, ලාභ ලැබීම් තුළින් ශ්‍රී ලාංකික ජන ජීවිත නගාසිටුවීමට මාවත් විවර කර දෙමින් මේ වසරේදී සිය අභිමානවත් 60 වැනි සංවත්සරය කරා පිය නගයි.
එසේ සිය ප්‍රතිරූපය සහ මූල්‍ය ශක්තිය ඉහළ නංවමින්, මහජන බැංකුව ජාතික ආර්ථිකයට, රජයට සහ පවතින ගෝලීය වසංගතය හේතුවෙන් අභියෝගවලට මුහුණපා සිටින ජනතාවට එය ජයගැනීම සඳහා අවශ්‍ය සහාය දැක්වූ අතර, ඉදිරියටද එම සහාය ලබා දීමට අපේක්ෂා කරයි. ජාතික යුතුකම අන් සියල්ලට වඩා වැදගත් බව විදහා දක්වමින්, වසංගතය හේතුවෙන් බලපෑමට ලක්ව සිටින ජනතාවට සහ ව්‍යාපාරවලට සහයෝගය ලබාදීමට පෙරමුණ ගෙන සිටින අතර ප්‍රධානතම රාජ්‍ය බැංකුවක් වශයෙන් රජයට අවශ්‍ය සහාය නිරන්තරයෙන්ම ලබාදීමට පියවර ගෙන තිබේ.
කොවිඩ් 19 වසංගත කාලය තුළ සමස්ත ආර්ථිකයට එල්ල වන බලපෑම අවම කිරීම සඳහා රජයේ උපදෙස් පරිදි ප්‍රමාද සහන කාල ලබාදීම සහ 480,000කට අධික ගනුදෙනුකරුවන් පිරිසකට සහන සැලසීම ඇතුළු ණය සහන පැකේජ මාලාවක් ඉදිරිපත් කරන ලද අතර, එය ශ්‍රී ලාංකික බැංකුවකින් පිරිනමන ලද දැවැන්තම සහන සැලසීම වේ.











