පසුගිය වසරට සාපේක්ෂව 14.3%ක සුවිශේෂී වර්ධනයක් සහිතව බදු පසු ලාභය රු. බිලියන 2.1ක් ලෙස වාර්තා කරමින් ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය සිය මූල්‍ය ප්‍රතිඵල, 2021 පළමු කාර්තුව සඳහා නිකුත් කර ඇත.
අදාළ කාලසීමාව තුළ සමූහයේ ආදායම රු. බිලියන 24.7ක් දක්වා වර්ධනය වූ අතර එය පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 11.4%ක වර්ධනයකි. ෆයිබර් තාක්ෂණික සේවා, 4G LTE, ජංගම අන්තර්ජාල සේවා, PEO TV සේවා මෙන්ම ධාරක දේශීය (Carrier Domestic) සේවාවන්වල ප්‍රගතිය මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත. ජාත්‍යන්තර ඇමතුම් ආදායම්වල පහළ යාමක් වාර්තා වන අතරම, ගෝලීය අන්තර් සේවා (Global Transit) සහ ගෝලීය දත්ත සේවාවන් පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව කැපීපෙනෙන ලෙස වර්ධනය වී තිබේ.
ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ මෙහෙයුම් ඉපයුම් ආන්තිකය (Earnings Before Interest, Tax Depreciation and Amortisation – EBITDA) රු. බිලියන 9.7ක, එනම් 13.6%ක වාර්ෂික වර්ධනයක් පෙන්නුම් කරන අතර, පසුගිය වසරේ අදාළ කාලසීමාව තුළ 38.6%ක් ලෙස වාර්තා වූ EBITDA ආන්තිකයද මෙම මූල්‍ය ප්‍රකාශයට අදාළ කාලසීමාවේදී 39.4%ක් ලෙස වර්ධනය වී ඇත. ගෝලීය තාක්ෂණික ප්‍රවණතා සමග සමපාත වීම සඳහා දරන ලද ප්‍රාග්ධන වියදම් ක්‍රමයෙන් ඉහළ යාම, සමූහයේ ක්ෂයවීම සහ ලියාහැරීම් රු. බිලියන 6.3 දක්වා වැඩිකර ඇති අතර, එය පසුගිය වසරට සාපේක්ෂව 18.0%ක වැඩිවීමකි.