ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විශේෂිත බැංකුවක් වන ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් රුපියල් බිලියන 05ක ණය ප්‍රාග්ධන බැඳුම්කරයකින් නිකුත් කරන ලදී.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැංකුකරුවන් සඳහා සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයට ආසන්න වශයෙන් සමාන වන ප්‍රාග්ධනයක් ගොඩනැඟීමට ලබාදුන් අවසරය මත හා Basel III ප්‍රතිපත්තිවලට අනුකූලව මෙම බැඳුම්කරය නිකුත් කරන ලදී. එය Additional Tier 1 ප්‍රාග්ධන සංචිතය ලෙස හඳුන්වන අතර එය බැංකුවක සාමාන්‍ය කොටස් හිමියන්ට ඇති වගකීමට ආසන්න වගකීමක් දරන ප්‍රාග්ධන කොටසකි.
ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සියලුම කොටස් මහා භාණ්ඩාගාරයට එනම් ශ්‍රී ලංකා රජයට හිමිවෙ. බැංකුවේ ව්‍යාපාර කටයුතු පුළුල් වීම හා සමගාමීව එහි ප්‍රාග්ධනයද වර්ධනය විය යුතු අතර ඒ සඳහා සාමාන්‍ය කොටස් ප්‍රාග්ධන නිකුතුවක් වෙනුවට එයට ආසන්න වශයෙන් වගකීමක් දරන ප්‍රාග්ධනයක් ගොඩනැඟීම සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුව මෙම බැඳුම්කරය නිකුත් කරන ලදී. මෙම බැඳුම්කරය ලැයිස්තුගත කර නොමැති අතර එයට නිශ්චිත කල්පිරෙන දිනයක්ද නොමැත. තවද එය සුරැකුම් රහිත බැඳුම්කරයකි.
ජාතික ඉතිරි කිරීමේ බැංකුව පුරා වසර 17ක් අඛණ්ඩව ශ්‍රී ලංකාවේ බැංකුවකට ලබාගත හැකි ඉහළම ණය ශ්‍රේණිගත කිරීම ලබාගෙන ඇති අතර මෙම බැඳුම්කර නිකුතුව සඳහාද එවන් බැඳුම්කරයකට ලබාගත හැකි ඉහළම ශ්‍රේණිගත කිරීම ලබාගැනීමට සමත්ව ඇත.











