ශ්‍රී ලංකාවේ විශ්‍රාමික ප්‍රජාව විසින් වසරක් පාසා සිය ජීවත් වීමේ සහ පදිංචිය සනාථ කිරීමට අදාළ ජීවිත සහතිකය විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත යාවත්කාලීන කළ යුතු අතර එම ක්‍රියාවලිය වඩාත් සරල කරමින් සහ පහසු කරමින් විශ්‍රාමිකයන් වෙත ඇඟිලි සලකුණු ඔස්සේ එම ක්‍රියාවලිය සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ක්‍රියාකර තිබේ.
ඒ අනුව විශ්‍රාමිකයන්ගේ ජීවිත සහතිකය ග්‍රාම නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් මාර්ගයෙන් තහවුරු කිරීමේ පැවති ක්‍රමවේදය වෙනස් කරන ලද අතර ඒ වෙනුවට ඇඟිලි සලකුණු ලබා දීමේ වඩාත් සරල පියවර අනුගමනය කරමින් තම ජීවිත සහතිකය ලබා ගැනීමට විශ්‍රාමිකයන් වෙත අවස්ථාව සලසාදී තිබේ.
එහි ප්‍රථම අදියර ලෙස විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු දත්ත පද්ධතියේ ලියාපදිංචි වූ විශ්‍රාමිකයන් වෙත ඇඟිලි සලකුණු ඔස්සේ ජීවිත සහතිකය තහවුරු කිරීමේ අවස්ථාව හිමි විය. මෙම ක්‍රමවේදය සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමේ වැඩපිළිවෙළේ පළමු අදියර යටතේ දිවයින පුරා නම් කරනු ලැබූ ප්‍රාදේශීය ලේකම් කාර්යාල කිහිපයක් ඔස්සේ ඇඟිලි සලකුණු මඟින් ජීවිත සහතික ලබා දීමේ ක්‍රියාවලිය ආරම්භ විය.











