සමස්ත ලෝකයේම අවධානය නැවත වරක් ශ්‍රී ලංකාව දෙසට යොමු කර ගනිමින් ජාත්‍යන්තර ඉංජිනේරු සහ ඉදිකිරීම් ප්‍රවෘත්ති සඟරාවක් වන Engineering News-Record (ENR) මගින් 8 වන වරටත් පවත්වනු ලැබූ වාර්ෂික ගෝලීය විශිෂ්ටතම ව්‍යාපෘති තරගයේදී කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ගෝලීය විශිෂ්ටතම ව්‍යාපෘතියට හිමි සම්මානය දිනාගැනීමට සමත් විය. මෙහිදී ලෝකයේ මහාද්වීප 6ක රටවල් 21ක් නියෝජනය කරමින් ඉදිරිපත් කරනු ලැබූ සුවිශේෂී ව්‍යාපෘති 30 අබිබවමින් ප්‍රමුඛම ස්ථානය දිනාගැනීමට කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සමත් වීම කැපී පෙනෙයි. මෙයට අමතරව නේවාසික/ආගන්තුක සත්කාර, මාර්ග/අධිවේගී මාර්ග, බලශක්ති/කාර්මික යනාදිය ක්‍ෂේත්‍ර සම්බන්ධයෙන්ද ඇගයීම් තක්සේරු කාර්යයකට ලක් විය.
මෙමගින් ගෝලීය හොඳම ව්‍යාපෘති හඳුනා ගැනීම සහ පසුගිය වසර තුළ සැලසුම් සහ ඉදිකිරීම් කාර්යයන් පිටුපස සිටින කණ්ඩායම් හඳුනා ගනිමින් ඔවුන් ඇගයීම් කාර්යයට ලක් කරනා අතර, එහි එක් රීතියක් වන්නේ අදාළ ව්‍යාපෘතියේ අවම වශයෙන් එක් සමාගමක්වත් එහි මව් සමාගමෙන් පිටත රටක් නියෝජනය විය යුතුය යන්නයි. තවද 2019 ජනවාරි සිට 2020 අප්‍රේල් දක්වා කාලය තුළ ඉදිකිරීම් අවසන් කළ යුතු බවට වූ කොන්දේසියට අනුකූලව සම්මානයට පාත්‍ර වූ ශ්‍රී ලංකාවේ කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියර එහි ඉදිකිරීම් සමාගම වන සී/ස චයිනා හාබර් ඉංජිනේරු සමාගම (CHEC) විසින් මෙම තරගයට ඉදිරිපත් කර තිබුණි.
මෙම තරගය සංවිධාන කළ Engineering News-Record (ENR) සඟරාව ඇමෙරිකා එක්සත් ජනපදය කේන්ද්‍ර කරගත් ප්‍රමුඛ මාධ්‍ය ජාලයක් වන අතර තරගය ලෝකයේ පිළිගත් ජාත්‍යන්තර සංවිධානවල නියෝජිත විනිශ්චය මණ්ඩලයකගේ ස්වාධීන අධීක්ෂණයට ලක්විය.











